Print this Article


සම්බුදු සසුන්කෙත ආලෝකවත් කරන ධර්ම විනයධර බුද්ධ පුත්‍රයන් වහන්සේ ගලගෙදර රතනවංශ හාමුදුරුවෝ

සම්බුදු සසුන්කෙත ආලෝකවත් කරන ධර්ම විනයධර බුද්ධ පුත්‍රයන් වහන්සේ ගලගෙදර රතනවංශ හාමුදුරුවෝ

ගලගෙදර ආර්.ඩබ්ලිව්. සයිමා සහ එච්.ඩබ්ලිව්. බේබි යන මවුපියනට දාව පිරිමි දරුවන් පස් දෙනකුගෙන් යුත් පවුලේ මද්දුමයා වශයෙන් 1974.05.08 දින උන්වහන්සේ මෙලොව උපත ලදහ.

ගලගෙදර නම් වූ ඒ කුඩා ගම්මානය තුළ අසිරිය ද විඳිමින් ගමේ පාසලේ පස්වන ශ්‍රේණිය දක්වා දක්ෂ ලෙස අධ්‍යාපන කටයුතු කළහ. පස්වන ශ්‍රේණිය සමත් වී මොරගනේ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූයේ අධ්‍යාපන කටයුතු දිගටම කර ගෙන යන අදහසිනි. නමුදු මාස පහක්වත් එම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් උදා නොවූයේ පෙර පින් බලය ඉස්මතු වීමෙන්දෝ'යි හැඟී යන්නේ ගිහි ජීවිතය අතහැර පන්සලට යෑමට සිදුවීම නිසා ය. ඒ අනුව වසරක කාලයක් පන්සලේ පිළිවෙත් පුරා පැවිදි බිමට අවශ්‍ය මූලික අධ්‍යාපනය නිම කොට 1986.06.12 වැනි දින පැවිදි බිමට පත්වූහ.

එතැන් පටන් කුඩා සාමණේර හිමි නමක් වශයෙන් විනයගරුක ව පැවිදි ප්‍රව්‍රජ්‍යාව තුළ ඉඳිමින් අධ්‍යාපන කටයුතු සිදු කළහ. ගොකරැල්ල පොල්ගොල්ල ශ්‍රී ශාස්ත්‍රාරවින්ද විද්‍යායතනයෙන් මූලික අධ්‍යාපන කටයුතු අවසන් කළ උන්වහන්සේ ඉන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා ගත්හ. අධ්‍යාපනය ලබන එම කාලය තුළම පැවිදි ජීවිතයට ආභරණයක් වූ උපසම්පදාව ද ලබා ගත්හ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු තායිලන්තයේ වට්පක්නාම් විහාරස්ථානයට වැඩම කොට භාවනාව පිළිබඳ කෙටි කාලීන පුහුණුවක් ද ලැබූහ. අනතුරුව ලංකාවට පැමිණ හක්මන, පොත්තේවෙල ශ්‍රී ජිනරාජ මහ පිරිවෙනෙහි වසර තුනකට ආසන්න කාලයක් ගුරුවරයකු වශයෙන් සේවය කළහ. ඉන් අනතුරුව උන් වහන්සේට මහායාන ධර්මය ඉගෙන ගැනීමට අවස්ථාවක් උදාවීම හේතුවෙන් ඒ සඳහා ශිෂ්‍යත්වයක් ලැබී තායිවානයට වැඩම කළහ. එහිදී දිගුකාලීන අධ්‍යාපනය එම රටේ ලබා එය අවසන් කොට ලංකාවට වැඩම කොට නැවතත් කොබෙයිගනේ, පුබ්බිලය ශ්‍රී සාරානන්ද මූලික පිරිවෙනෙහි ගුරුවරයකු වශයෙන් වැඩ භාර ගන්නා ලදී. කු/නික/වාරි රතනසේල ඓතිහාසික මහ පිරිවෙනහි ද සේවය කොට 2021.01.01 දින මහව උඩගම ශ්‍රී ඉන්දසුමන මහ පිරිවෙන් ආයතනයට මාරුවක් ලබා ගත්හ. උන්වහන්සේ ශාසනික වශයෙන් ද විශාල සේවාවක් සිදු කරන ස්වාමීන් වහන්සේ නමකි.

කලා කෞෂල්‍යයෙන් යුත් දක්ෂතා ද පෙන්වන්නාහ. විවිධ හැඩතලවලින් අක්ෂර කලාව ලිවිමට හැකියාවක් ඇති උන්වහන්සේ පුංචි කාලයේ අත් අකුරු සඳහා සමස්ත ලංකා තරගවලට ද පෙනී සිට ජයග්‍රහණ ලබා ඇත. විචිත්‍ර ලෙසත්, සුමිහිරි ලෙසත් කාව්‍යධර්ම දේශනා, ධර්ම දේශනා, බෝධිපූජා, පිරිත් දේශනා ආදී ආගමික කටයුතු කරති. කවි, සින්දු, නිසදැස් ලිවීමට ද උන්වහන්සේ සහජයෙන් ම දක්ෂ භික්ෂුවකි.

ධර්ම දානයක් වශයෙන් පුවත්පත් ලිපි ලිවීම ද ගුරු වෘත්තියට අමතරව සිදු කරති. ලිහිල් බසින් ධර්ම ලිපි, ශාස්ත්‍රීය ලිපි, සමාජ ප්‍රශ්න ආදී ලිපි විවිධ පුවත්පත් සඳහා ලබා දෙති.

මධ්‍යම රාත්‍රී කාලයේ පවා උන්වහන්සේ ලෝක සත්වයා උදෙසා දහම් පණිවුඩය බෙදා දෙනු වස් ලියන අයුරු ඉතා පැහැදිලි ය. නිදා ගැනීමට පුංචි කාලයක් කැප කරන උන්වහන්සේ රට, ජාතිය, ආගම වෙනුවෙන් නිහඬ සේවාවක් සිදු කරන භික්ෂුවක් බව අප පවසන්නේ ඉතා අඩම්බරයෙනි.

බුදුසරණ ඇතුළු තවත් පුවත්පත් හා සඟරා ගණනාවකට ලිපි ලියා එම ලිපි ලේඛන මාධ්‍යයෙන් ප්‍රකට කරන ලේඛක ස්වාමීන් වහන්සේ නමකි. එම මහඟු ශාසනික සේවාව අගයනු වස් ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමෙන් උන්වහන්සේට ‘ප්‍රවචන කීර්ති ශ්‍රී ලේඛන ශාස්ත්‍රි’ යන ගෞරව සම්මාන උපාධියක් ද පිරි නැමූහ.

නිරතුරුව ම මෙත් සිතින් කටයුතු කරන උන්වහන්සේ සෑම දෙනකුට ම පි‍්‍රයශීලී අයුරින් කාගේත් සිත් දිනා ගනිමින් පැවිදි ප්‍රව්‍රජ්‍යාව පවත්වා ගෙන යන්නාහ. දානය නම් වූ උතුම් ගුණාංගය වර්ධනය කිරීමත් උන්වහන්සේගේ ජීවිතයේ එක් අංගයක් වී ඇත.

ආධ්‍යාත්මික සුවය ම උතුම් බව දැන එය ලැබීමට උත්සාහවත් වන්නේ “සන්තුට්ඨි පරමං ධනං” යන බුදු වදනට අනුව ය. උන්වහන්සේ විවිධ රටවලට ද වැඩම කොට බෞද්ධ දායක පින්වතුන්ගේ ආගමික, සාමාජික, සංස්කෘතික කටයුතුවලට ද දායක වන්නාහ. උන්වහන්සේ ජයග්‍රහණයන් තුළ දී ඒ පිළිබඳ උදම් නොවී මැදහත් සිතින් ඒවා විඳ ගන්නා අයුරු ඉතා අගනේ ය. එවැනි එක් අවස්ථාවක් පිළිබඳ උන්වහන්සේගේ ම සිතට නැඟුන සංකල්පනාවක් පද්‍යයෙන් දක්වා ඇති අයුරු ඉතා මනරම් ය.

දශක පහක් පසු කරමින් පැමිණ සොඳ
විල්ලුද පලස් නොව මහ කටු අකුල් මැද
අටලෝ දහම සම සිතකින් ම විඳ
තුනුරුවනට පුදමි මා ලද ජයනාද

උන්වහන්සේ පන්සලට, පිරිවෙනට පමණක් නොව මුළුමහත් දිවයිනට ම අඳුර දුරලන පහනක් සේ ගුණ නුවණින් පිරිපුන් සඟරුවනකි. උන්වහන්සේ පිළිබඳ මෙසේ අර්ථකථනය කිරීම උචිත යැයි මට සිතේ.

“ගලගෙදර නමින් ගම්, නගර තවත් බොහෝ ඇත. රතනවංස නමින් ගිහි, පැවිදි පිරිස් ද බොහෝ වෙති. නමුදු ගලගෙදර රතනවංස යනු උන්වහන්සේ පමණ ම ය.”

ගලගෙදර රතනවංස ස්වාමීන් වහන්සේට 2024.05.08 වන දිනට පනස් වසරක් පිරීම නිමිති කොටගෙන අප පිරිවෙන් විහාරස්ථානයේ පින්කම් මාලාවක් පැවැත්වේ. තව බොහෝ කාලයක් ශාසනික සේවාවක් සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් හා දෙව් රැකවරණින් උන්වහන්සේට නිදුක් නීරෝගි සුවයත්, චිර ජීවනයත් ලැබේවා'යි ප්‍රාර්ථනා කර සිටිමු.