Print this Article


පහන් සිතක කවි

සංසාර ගමන

ඉපිද මියැදෙන
තෙරක් නොපෙනෙන
සසර සයුරක
ගවේෂණ චාරිකා.....

කාම භව විභව
තෘෂ්ණාවට ම දාසයන් වී
හමුවීම වෙන්වීම පමණක් ම පවතින
සසරක ගවේෂණ චාරිකා.....

සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන්
සමථයෙන් විදර්ශනාවෙන්
පොහොණි වී
නසමු රාග දෝස, මෝහ
සංසාර ගමනේ නොතිර
ඉම සොයා.....

****

නමදිමු සිරිපා

විහඟුන්ගේ ගී නාද පැතිරේ ය තුරු මුදුනේ
හද සෝක සංකා ද දුරු වේ ය යන ගමනේ
මුනි රාජ වාම පාද තැබුවේ ය කඳු මුදුනේ
දෙව් රාජ වැඩ ඉන්නෙ සිරි පාද රැඳි විමනේ

****

පමා නොවෙමු

මරණය දෙසට ගමනේ යන ජීවිතය
ජීවිතෙ දෙසට ගමනේ එන මරණය ද
මෙ දෙකින් සත්‍ය වන්නේ නිති කවරක් ද
විමසා බලනු සකියනි සැම මොහොතක ම

මරණය ජීවිතය එක කාසියෙ දෙපැති
වාගෙයි වෙනස් නොම වෙයි ඉර හඳ ලෙසිනි
එක පාරේ එකට අත්වැල් බැඳ නිතිනි
ගමන් කරති ජීවිත සහ මරණ නිති

අල්ලා ගෙන දැඩිව වෙහෙසී හති දමමින්
තණ්හාවෙන් ජීවිතෙ ගැල් පදවමින්
යන කෙටි ගමන යා යුත්තේ සැහැල්ලුවෙන්
බැව් නොසිතන දනන් ලොව තුළ පොකුරු පිටින්

මිනිසත් බව ලැබුවෙ පෙර කළ පින් හින්දයි
“සසර දුක් ගමන නවතනු” බුදු වදනයි
දුකෙන් මිදෙන මඟ ඔස්සේ යා යුතුමයි
අප්‍රමාදි වෙනු මිනිසුනි දිවිය කෙටියි

****

අපූරු රටාවකට
තෙල් ගාලා
හිස පීරූ අම්මා

පලා මිට ගෙන
තාලයකට ලිය.. ලියා..
බත් පත දුන් අම්මා..
මහලු මඩමෙහි
දරුවන් ගැන
සිතමින්... සුසුම්ලන
අම්මා..
නුඹට බත් පත
පිළියෙල කළ
නිරය ගැන කියා
භය කරමින්
පව් වැළකූ අම්මා