Print this Article


ප්‍රවචන කීර්ති ශ්‍රී වනරතන ඉන්දෝභාස වංසාලංකාර ශාස්ත්‍රපති තල්අරඹේ සිරි සුදස්සී රූමස්සල නායක හාමුදුරුවන් වහන්සේ

ප්‍රවචන කීර්ති ශ්‍රී වනරතන ඉන්දෝභාස වංසාලංකාර ශාස්ත්‍රපති තල්අරඹේ සිරි සුදස්සී රූමස්සල නායක හාමුදුරුවන් වහන්සේ

ගාල්ල, රූමස්සල ශ්‍රී සමුද්‍රගිරි විහාරය, කතරගම පෙරගිරිගම බෞද්ධාශ්‍රමය හෙවත් රූමස්සල, පන්සලේ නිර්මාතෘවර දක්ෂිණ ලංකා තෛ‍්‍රනිකායික එක්සත් භික්ෂු බලමණ්ඩලයේ අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති තල්අරඹේ සිරි සුදස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අසූ පස් වන වියේ පසුවන අතර උන්වහන්සේ රට, ජාතිය, ආගම හා භාෂා ශාස්ත්‍රය වෙනුවෙන් අතිවිශාල මෙහෙවරක් ඉටු කරනු ලබන සංඝ නේතෘන් වහන්සේ නමකි.

උන්වහන්සේ මාතර, තල්අරඹේ සමරසිංහ පතිරගේ සාමෙල් උපාසක මහත්මාගේ සහ එම් ලුවිනෝනා මෑණියන්ගේ කනිටු පුත් ලෙස 1940 පෙබරවාරි මස 11 වැනි දින උපත ලබා ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා පුරාකෘත පුණ්‍ය මහිමයෙන් කොග්ගල, තලාතුඩුව විවේකාරාම සෙනසුනේ දී වයස දොළොස් වන වියේ දී 1955 මැයි 09 වැනි දින තත් සෙනසුන්හි කම්මට්ඨානාචාර්ය දොරපේ, ඉන්දෝභාස මාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස තල්අරඹේ සුදස්සී සාමණේර නමින් සසුන් කෙතට ඇතුළත් විය.

වැලිවත්ත විජයානන්ද පිරිවෙන, අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙන හා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය තුළින් මැනවින් ශබ්ද ශාස්ත්‍රාදිය ප්‍රගුණ කර විද්‍යොදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් හිමි කර ගත් සුදස්සී තරුණ යතිවරයන් වහන්සේ උගතමනා බණ දහම් ප්‍රගුණ කර විසි වයස් සම්පූර්ණ ව කොග්ගල, තලාතුඩුව උදකුක්ඛේප සීමා මාලකයේදී අධිසීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටා ශ්‍රී ලංකා මහා බෝධි සමාගමෙන් පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව දඹදිව ධර්මදූත සේවය සඳහා ශිෂ්‍යත්වයක් ලැබ සාංචිය මුල් කර ගනිමින් වසර තුනක් ධර්මදූත සේවයේ යෙදුණ සිරි සුදස්සී නාහිමියෝ 1974 මැයි පළමු වැනි දින රූමස්සල සමුද්‍රගිරි විහාරය විවිධ බාධක අබිබවා ආරම්භ කර රමණීය විහාරස්ථානයක් බවට පත් කළහ. සමුද්‍රගිරි විහාරය ආරම්භ කර මැයි මස පළමුවැනි දිනට පනස් වසරක් සම්පූර්ණ වීම, කතරගම පෙරගිරිගම බෞද්ධාශ්‍රමය හෙවත් රූමස්සල පන්සල ආරම්භ කරමින් කරනු ලබන මෙහෙවර ද අති විශාල ය.

තල්අරඹේ සිරි සුදස්සී නාහිමියන් අම්පාරේ ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙනේ අධ්‍යක්ෂ හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමි සමඟ ධර්මදූත මෙහෙවරෙහි යෙදුණු අතර තත් පිරිවෙනේ පරිවේණාචාර්ය නමක් ලෙස ද ක්‍රියා කළ අතර පරිවේණාධිපති ධුරය ද දරන ලදී.

ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය, රූමස්සල විපස්සනා භාවනා සමිතිය, පුණ්‍යවර්ධන දහම් පාසල ආදී පොදු සමාජ සංවිධාන ආරම්භ කරමින් සුදස්සී නාහිමියෝ කරනු ලබන පොදු සමාජ සත්කාර ක්‍රියාවන් අතිවිශාල ය.

2006 මාර්තු මස 01 වැනි දින සිරි උපරතන පිරිවෙන ආරම්භ කරමින් ධර්ම ශාස්ත්‍ර ප්‍රබෝධය ඇති කිරීමට ද සිරි සුදස්සී නාහිමි ගත් ප්‍රයත්නය සසුන් කෙත සරුසාර කරන්නට හේතු වී ඇත. උන්වහන්සේ ශිෂ්‍යයන් එකසිය පනහකට වැඩි සිසු පිරිසක් සසුනට එක් කළ අතර, උභය විහාරාධිපති ශාස්ත්‍රපති කෑගල්ලේ උදිත හිමි, නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී තලංගල්ලේ පදුම හිමියන් ඇතුළු ශිෂ්‍යවරයන් වහන්සේ සසුන් කෙත සෝභාසම්පන්න කරනු ලබති. රූමස්සල උපරතන පිරිවෙනේ වර්තමාන පරිවේණාධිපති හිමියන් වන්නේ ශාස්ත්‍රපති වරාපිටියේ සෝරත හිමියන් ය.

යටගල රාජමහා විහාරාධිපති ව වැඩ විසූ අතිගරු වත්තෙහේනේ ශ්‍රී රතනසාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් එම රාජමහා විහාරයට වැඩමවන ලද බෝධීන් වහන්සේ නමක් 1974 නොවැම්බර් දෙවැනි දින රූමස්සල සමුද්‍රගිරි විහාරයේ රෝපණය කරන ලද අතර, එම බෝ සමිඳුන් ප්‍රදේශයට මහත් වූ ආශීර්වාදයක් ගෙන දෙනු ලබයි.

පුරා වසර පනහක් සම්පූර්ණ වන රූමස්සල සමුද්‍රගිරි විහාරයට හා විහාරාධිපති තල්අරඹේ සිරි සුදස්සී නාහිමියන්ට දිගාසිරි පතා මෙම 31 වැනි දින ආශීර්වාද පූජාවක් පවත්වා මැයි පළමුවැනි දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රීමත් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය වැඩමවා සංඝගත දක්ෂිණාවක් සංවිධානය කර ඇත. අතිගරු තල්අරඹේ සිරි සුදස්සී නාහිමියන්ට චිරං ජයතු.