පුර පෑළවිය සඳ - 06 කොටස
බඩල්ගම විපුලසිරි හිමි
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද,
සද්ධර්ම භාණක, අභිධර්ම භාණක
සිරි උපාලි ධර්මාශ්‍රමය , ආණමඩුව
මෙතෙක් කතාව
දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුවද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට
සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට
පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය.
පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ
සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනතව සාමණේරයන්ට
වැරදිපිට වැරදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි
හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. අද එතැන් සිට ය.
ඊටත් අමතරව කීයක් හරි ඉතිරි කරගත් පොඩි මුදලකුත් කාමරයේ තිබෙනවා වන්නටත් ඇත. කෙසේ
නමුත් ඒ කිසිවක් ම සිරිමල් මාමාට අද මතක නැත. තම පසමිතුරා පිටුදැකීමේ සතුට ඉහවහා
ගොස් ඇති බැවින් වන්නට පුලුවන.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උගන්වා ඇති පරිදි සතුරාට වුවත් පැතිරිය යුත්තේ මෛත්‍රී
කරුණාවයි. ලෝකය අපට ඕනෑ විදියට ම පවතින්නේ නැත. එහි මිනිසුන් ද අප කැමැති ආකාරයට ම
කටයුතු කරන්නේ ද නැත. මිනිසුන්ගේ ශරීර ද සිතිවිලි ද පැහැයෙන්, හැඩයෙන් හා ගුණයෙන්
එකිනෙකාට වෙනස් ය. විවිධාකාර ය.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපට ධර්මය දේශනා කොට ඇත්තේ මේ විෂම මිනිසුන් සහිත
ලෝකයෙහි මෛත්‍රී කරුණා පෙරදැරි ව , සම ව හැසිරීමට ය.
සිරිමල් මාමාගේ කාමරය වසා දැමිය යුතු යැයි සිතා එදෙසට පියනැඟූ නන්ද හිමියන්ට ඒ
තුළින් දැනුනේ මහා හඩු ගඳකි. තැන තැන දූවිලි ය. මකුළු දැල් ය. කාලෙකින් සුද්ධ
පවිත්‍ර කර නැති සෙයකි. ජනෙල් ද කලෙකින් විවර කර නැති සෙයකි.
කාමරය අඳුරු බැවින් ස්විචය දමන තෙක් නන්ද හිමියන්ට කිසිවක් හරිහැටි නොපෙනුනේ ය.
හිමියන් හදිසියේ ම දුටුවේ ඇඳෙන් පහළ බිම වැටී ඇති දෙළුම් ලෙල්ලකි. ඇඳ විට්ටමට එහා
පැත්තේ බිම , වීසි වී ඇති තවත් දෙළුම් ඇට කීපයකි.
‘ මේ මිනිහා නම් මහ පුදුම මිනිහෙක්’
සිදු වී ඇති කුමන්ත්‍රණය දැන් හිමියන්ට පැහැදිලි ය. හිමියන්ගේ සිත උත්සාහයෙන් යටපත්
කළ ද්වේශය පෙරටත් වඩා වැඩියෙන් මේ අරමුණ නිසා පැන නැඟිනි.
“ සිරිමල් මාමේ, .. ඔය කුටියෙ විතරක් නෙමෙයි.
ඔහේගෙ කාමරෙත් දෙළුම් ලෙලි. ලොකු හාමුදුරුවනේ මෙහෙටත් වඩින්නකො”
ඒ වචන ටික නම් පිටවුණේ අන් කවරදාටත් වඩා උච්ච ස්වරයෙනි.
දමිත සාමණේරයන්ගේ කුටියේ පිරිස සිටියේ සාමණේරයන්ට දියයුතු දඬුවම් පිළිබඳ ව සැලසුම්
හා අදහස් දක්වමිනි. එය කඩාකප්පල් වූයේ නන්ද හාමුදුරුවන්ගේ කෑ ගැසීම නිසා ය. නැතිනම්
ගස්බැඳ දිමිගොටු දැමීම සුදුසු යැයි සිරිමල් මාමා සිදුකළ යෝජනාව සභා සම්මත වීමට තව
මොහොතකින් ඉඩ තිබුණි.
දොර ඇරදමා තිබූ කාමරය දුටු සිරිමල් මාමාගේ අත ගියේ එක්වනම ඉනට ය.
යතුර නම් ඉනේ නැත. යතුර ඇත්තේ දොරේ ය. තමාට මොන අවසිහියක් වූවා දැයි සිරිමල් මාමාට
තමා ගැන ම තරහ ය.
“ මොකද නන්ද හාමුදුරුවෝ ?
මොකෙක්ද ? සර්පයෙක් ද?...’
ඒ බුද්ධි හිමියන් ය.
“ ඔව්. හැබැයි බඩගාන සර්පයෙක් නෙමෙයි , කකුල් දෙකේ නාකි හඩුගඳ ගහන සර්පයෙක් “
නන්ද හාමුදුරුවන් පවසන්නේ සිරිමල් මාමා දෙස බලා ඔරවාගෙන ය.
“ ලොකු හාමුදුරුවනේ , ආන්න බලන්න. දෙළුම් ලෙල්ල ඇඳ යට.
අන්න දෙළුම් ඇට, ඇඳට එහා පැත්තෙ.
මෙන්න ඇඳ උඩ දෙළුම් කපපු සිරිමල් මාමාගෙ පොඩි වක් පිහිය.”
සිරිමල් මාමාගේ උගුරත් වියැළිණි. ‘හපොයි’ දැන් සිදුව ඇත්තේ අනුන්ට කැපූ වලේ තමන්ට ම
වැටීමට ය. මෙසේ පපුව අතගගා සිට නම් බැරි ය. මොනවා හෝ නොකිව්වොත් කරපු වරදේ තරමට
පන්සලෙනුත් එළියට බහින්න වීමටත් පුලුවන.
මොනවා කියන්නට හැදුවත් වචන පටලැවෙන්නේ ය. මොනවා කිවයුතු දැයි සිතා ගන්නටවත් නොහැකි
ය.
“ නන්ද හාමුදුරුවෝ මොකද්ද කරන්නෙ... මයෙ කාමරෙ රිංගගෙන...”
සිරිමල් මමා වචන ඇදපැද ගොත ගසමින් කියයි.
ලොකු හාමුදුරුවෝ සිරිමල් මාමා දෙස බලා සිටින්නේ උත්තරයක් බලාපොරොත්තුව ය. ඒ මුහුණේ
බැබෑරුම් සැකයකි.
“ අන්න අර වසවර්තිය මාව අහුකොරන්ඩ, ඔව්ව ගෙනත් මයෙ කාමරේ දාන්න ඇති ලොකු
හාමුදුරුවනේ ..
මට ඕන්නම් අපේ රත්තරන් ලොකු හාමුදුරුවෝ නොදී ඉන්නවැයි.
මං ඉල්ලන් කනවනෙ...”
සිරිමල් මාමා කියන්නේ තතනමින් එහෙ මෙහෙ බලබලා ය. කලින් තිබූ එඩිය ඒ හඬේ දැන් නොමැත.
මීයන් කෑ ස්පීකරයක් සේ ය.
නන්ද හාමුදුරුවන්ට තාමත් තරහ ය. සිරිමල් මාමාගෙ චාටු කපටි බස් ඒ තරහ ගින්නට
භූමිතෙල් ඉසින්නාක් වැනි ය.
“ අනේ මේ,
සිරිමල් මාමේ, ... දමිත හාමුදුරුවෝ නෙමෙයි. ඔහෙයි මේකෙ කුමන්ත්‍රණකාරයා...
මෙතන වෙන කුමන්ත්‍රණ කාරයො කවුරුවත් නෑ.
තව මේක ඇද්දොත් මොනවයින් මොනවා අහුවෙයිද දන්නෙ නෑ ලොකු හාමුදුරුවනේ” ..
නන්ද හාමුදුරුවන්ගේ අන්තිම වාක්‍යය නම් සිරිමල් මාමාගේ පපුවට වැහිනැති හෙනයක් පාත්
වූ සෙයින් දැනිණි. බැරිවෙලාවත් කාමරය ඇද්දොත් නම් යන්නට වන්නේ හැරෙන තැපෑලෙන් මහ
පාරට ය. එතැනින් පොලිසියට වීමටත් බැරි ය. කල්දෙරම් බත් කෑමට නම් කිසිසේත් ම බැරි ය.
නානාගෙ කඩේට විකුණා සල්ලි කර ගන්නට සොරා ගෙන ගොඩගසා ඇති සබන්,පිටි ආදි පිරිකර ගොඩ
ඇත්තේ ඇඳුම් වැට යට ය. අහුවුනොත් නම් විනාශ ය.
“ අනේ... මයෙ ලොකු හාමුදුරුවනේ ...
මේ බලන්නකො නන්ද හාමුදුරුවෝ මට කතා කරන හැටි...”
ඇඳමත වූ හඩු සරම ගෙන පොඩිකරමින්, සිරිමල් මාමා කෑ ගසා හඬන්නට පටන් ගත්තේ ය.
කොයිතරම් කඳුළු පිසුවත්, ඒ ඇස්වල කඳුළු පොදක්වත් නොතිබිණි. මාමා ඇස් පොඩි කරන්නේ
කඳුලු ටිකක් ගන්නට සිතා ය. හිතූ තරමට ඒ වෑයමත් සාර්ථක නොවිණි.
බුද්ධි හාමුදුරුවන්ටත්, ඤාණ හාමුදුරුවන්ටත් හිනාව තදකරගත නොහැකි වූයේ හැඬුමේ තිබූ
කැතට ය.
කෙසේ හෝ සිරිමල් මාමා හදන්නේ ප්‍රශ්නය වෙනතක යවා ලොකු හාමුදුරුවන්ගේ අනුකම්පාව
ලබන්නට ය. අනුකම්පාව ලැබිය යුතු අසරණයා තාමත් කාර්යාල කාමරයේ දණ ගසාගෙන ය. ඒ
අහිංසකයා කෙරෙහි නූපන් කරුණාවක් මේ කුඩුකේඩුවාට කුමකට ද?
“ මෙතන දැන් බොරුවට අඬලා , ප්‍රශ්නෙ වහන්න එපා සිරිමල් මාමෙ...
මං ජීවිතේට දැකල නෑ ඔහේ වගේ අසත්පුරුෂයෙක්....”
නන්ද හාමුදුරුවන්ගේ හඬ තාමත් සැර ය.
“ හා හා... නන්ද .,
ඔහොමද වැඩිහිටියෙක්ට කතා කරන්නෙ ...”
ලොකු හාමුදුරුවෝ සැර කරන්නට වූයේ නන්ද හාමුදුරුවන්ට ය.
ගරු කළ යුතු වැඩිහිටියන් කියන්නෙ මේ වගේ කුඩුකේඩු කපටින්ට නොවේ යැයි කීමට සිතුණත්,
අසීමිත ගුරු ගෞරවය නිසා නන්ද හාමුදුරුවන් නිහඬ විය.
ලොකු හාමුදුරුවෝ යමක් කීමට නැවතත් මුව විවර කළත් ඉදිරි දෙසින් ඇසුනු වාහන හෝන් හඬ
නිසා එය වැළකිණි. |