Print this Article


සංස්කෘතික වටිනාකම් රැක ගැනීමට කාලයයි

සංස්කෘතික වටිනාකම් රැක ගැනීමට කාලයයි

අලුත් අවුරුද්ද යනු ලොකු පොඩි කාහටත් සතුට ගෙනෙන කාලයකි. මෙම කාලයේ විශේෂයෙන් දරුවන් බලා සිටි‍න්නේ අලුත් අවුරුදු උත්සවවලට සහභාගී වී විනෝද වීමටයි. එමෙන් ම අසල්වාසී දරුවන් හෝ තම ඥාති දරුවන් සමග එක් ව ක්‍රීඩා කිරීමටයි. අප ජන සමාජය හා බැඳුන අවුරුදු ක්‍රීඩා ද බොහෝමයකි. ඒ අතර පංචි දැමීම, ඔන්චිලි පැදීම, රබං ගැසීම, චක්ගුඩු පැනීම වැනි දරුවන් නිතර ම කරන සෙල්ලම් රාශියකි.

මේ හැරුණු විට ගමේ ලොකු පොඩි හැම දෙනා එක් ව පවත්වන අවුරුදු උත්සවයේ දී අවුරුදු කුමාරයා තේරීම, අවුරුදු කුමරිය තේරීම, සැඟවුණ අමුත්තා සෙවීම, කොට්ටපොර ගැසීම, කඹ ඇදීම, ග්‍රීස් ගහේ නැගීම, තරගයට පොල් ගෑම, පොල් අතු වියීම, බාධක දීවීම, ජනකවි ගායනා තරග, අලියාට ඇස තැබීම, කණාමුට්ටි බිඳීම, ගම හරහා දිවීම, පාපැදි ධාවන තරග ආදී මෙකී නොකී බොහෝ තරග පවත්වා ගැහැණු පිරිමි භේදයකින් තොර ව, ලොකු පොඩි හැම දෙනා ම ඉතා සතුටින් එම කාලය ගෙවූ අතර, එම ක්‍රීඩා තුළින් තමාගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම මෙන් ම පොදු හැඟීම්, සාමූහිකත්වය, සමගිය යන ගුණාංග වර්ධනය විය.

එහෙත් වර්තමානය වන විට අ‍පේ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා වෙනුවට රාගය, කාමය ජනිත කරන ක්‍රීඩා මෙන් ම තවත් කෙනෙක් අපහසුතාවට පත් කරන මව්පියන් දරුවන් සමඟ එකට නැරැඹීමට පවා නොහැකි තරමේ පහත් තත්වයේ ක්‍රීඩා එක් කිරීම කනගාටුවට කරුණකි.

අපේ පැරැණි ජන ක්‍රීඩා තුළින් ආදරය,‍ ලෙන්ගතුකම, සතුට, විනෝදය, උපහාසය ජනිත විය. කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා හැම කෙනකුගේ ම කුමන හෝ දක්ෂතා, හැකියාවන් පෙන්වා ජයග්‍රහණය කිරීමට, තෑග්ගක් ලබා ගැනීමට එම ජන ක්‍රීඩා නිර්මාණය වී පැවතීම කොතරම් අගය කළ යුත්තක් ද?

එහෙත් අද වන විට අප තාක්ෂණයෙන් දියුණුවීමත් සමඟ ම කොතරම් දුරට පිරිහී ඇද්දයි සිතා බැලිය යුතු ය. එදා අවුරුද්දට ආච්චි සීයා බලන්න ගිය දරුවෝ ආච්චී සමඟ, සීයා සමඟ කතාබහ කරමින් සතුටින් කාලය ගෙවීය. දරුවන් එකතු වී සෙල්ලම් කරන දෙස බලා වැඩිහි‍ටියෝ සතුටු වුහ.

එහෙත් අද නෑදෑ ගෙදරක ගිය ද, තම නිවසේ සිටිය ද ජංගම දුරකථනයෙන් හෝ පරිගණකයෙන් තනිව ම ක්‍රිඩා කරමින් පැත්තකට වී සිටියි. අඩුම තරමේ කෑම ටිකක් කන්න, තේ ටිකක් බොන්න පවා ඇවිටිලි කිරීමට සිදුව ඇත. එදා හැම දෙනා සතුටින් අවුරුදු උත්සවයට සහභාගී විය. එහෙත් අද උත්සවයකට සහභාගී වන හැම දෙනා ම ජන මාධ්‍යවෙදීන් මෙන් ඒවා පටිගත කිරීමට පින්තූර ගැනීමට, උත්සාහ කරනවා මිස එහි සතුටක් විඳින බවක් නොපෙනේ. බොහෝ දැරුවන් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති බව පෙනේ. සමහර පරිගණක ක්‍රීඩා නිසා දරුවන් සියදිවි හානිකර ගත් අවස්ථා ද අපට දැක ගැනීමට හැකි විය. අනාගතයේ දී අපේ අලුත් අවුරුදු ක්‍රීඩා වෙනුවට පරිගණක ක්‍රීඩා එක් කිරිමට කටයුතු නොකරාවි ද යන්න අප හමුවේ ඇති ප්‍රශ්නයකි.