Print this Article


බක් පුර පසළොස්වක පොහොය වරුණ

බක් පුර පසළොස්වක පොහොය වරුණ

මහා වංශයේ සඳහන් වන ආකාරයට මහාබලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජුට පාවාදෙනු ලැබී ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත් මුහුදු වැසි නාගයන් මෙන් මහා බලසම්පන්නයෝ වූහ. චූලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චූලෝදරගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑනා එනම්, චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පලඟ ය

සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් හෙබි මෙම බක් මාසය සියලු දෙනාටම සොම්නස් සුවය ගෙන දෙන ඉතාමත් සුන්දර මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක්ම විසිතුරු මලින් හා මනහර පලයන්ගෙන් පිරී ඉතිරී ගිය, නොයෙක් සියොත් කැලගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ, මඳින් මඳ හමන සිසිල් මඳ පවනින් හා නන් විසිතුරු පියුම් සුවඳින් ද, මනහර පියකරු පියුමෙන් ද ගැවසීගත් විල් පෙළින් සමූපේත වූ, බක් මාසය සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි.

ලක්වැසි බෞද්ධ ජනතාවට අමා සිසිල ලබා දෙන කුලුණුබර බුදුපියාණන් වහන්සේගේ මහා ගුණ කඳ සිහිපත් වන අසිරිමත් මාසයකි. ශ්‍රී ලංකා ධරණී තලය දෙවන වරටත් ශ්‍රී පාද පද්ම ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම්ගොත් දම්රදාණන්ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් නොයෙක් දෙනා නිවී සැනසී ගියේත් බක් මාසයේ ය.

හෙළදිව සිංහල වංශය ඇරඹෙන්නට පෙර මෙහි විසූ විශේෂ ජන කොටසක් වූ නාග ගෝත්‍රිකයන් නැවියන් ලෙස හඳුන්වා ගත් ජන කොටසකි. ප්‍රධාන වශයෙන් වෙළඳාම ජීවන වෘත්තිය කර ගෙන රුවල් නැව් මඟින් දේශ දේශාන්තරවලද වෙළඳාම් කර ගෙන ගිය පිරිසක් විය. නාග වන්දනාවේ ද යෙදුණ මෙම පිරිස එදා සිරිලක උතුරු පෙදෙස නාග දිවයින නොහොත් නාගදීපය මුල්කර ගෙන විසූහ. මොවුන්ගේ ජන ප්‍රධානීන් වූ චූලෝදර මහෝදර නම් නා රජුන් දෙදෙනා එකම පරපුරේ නෑයන් විය.

මහෝදර නා රජුගේ සොහොයුරියගේ පුතා වූයේ චූලෝදර ය. ඒ අනුව ඔහු මහෝදරට ඥාතිකමින් බෑණා විය. ඔහුගේ පියාවූයේ කන්වඩමන් පර්වතයේ විසූ නා රජු ය. සිය සහෝදරිය එම රජුට සරණපාවා දුන් සිය පියාණන් තමාට අයත් ව තිබූ මැණික් ඇල්ලූ වටිනා පුටුව ද දායාද වශයෙන් සිය දියණිය ට දුන්හ. පසුව මෙම පුටුවේ හිමිකාරයා වූයේ චූලෝදර ය. නමුත් තම පියාට අයත් වූ මෙම වටිනා ආසනය සිය බෑණනුවන් හට අයත්වීම නොඉවසූ මහෝදර වටින් විට මෙම පුටුවට තිබෙන අයිතිය සිය බෑණනුවන්ට පවසා තමාගේ උරුමය අනුව මෙය ආපසු ලබා ගන්නට කොපමණ වෑයම් කළත් චූලෝදර එය නොදුන් නිසා අවසානයේ දෙපිරිස අතර අරගලයක් සිදුකර තම අයිතිය දිනාගන්නට දෙදෙනා යුද්ධයට පිවිසියේ මෙම අසිරිමත් බක් මාසයේය.

බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මිණි පලඟක් පිළිබඳ ව ඇති වූ එම සටන අසන්නට ලැබිණ. උදේ සවස විසි හතර කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සිත පතුරවමින් ලෝ වැඩ පිණිස නෙත් හෙළූ භාග්‍යවතුන් වහන්සේ සිදු වන්නට යන මහා විපත, මහා සංග්‍රාමය වැළැක්වීම සඳහා දෙවන වරටත් ලංකාවට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය පිළිබඳ පුවත මහාවංශයේ සඳහන්ව ඇත්තේ මෙසේ ය.

මහාකාරුණිකො සත්ථා
සබ්බලෝකහිතෙ රතො
බෝධිතො පඤචමෙ වස්සේ
වසං ජේතවනේ ජිනො

මහොදරස්ස නාගස්ස
තථා වුලොදරස්ස ව
මාතුල භාගිනෙය්‍යානං
මණිපල්ලංක හේතු කං

දිස්වා සපාරිසජ්ජානං
සංගාමයං පච්චුපට්ඨිතං
සම්බුද්ධො චිත්තමාසස්ස
කාල්‍යපක්ඛේ උපොසථෙ

පාතොයෙච සමාදාය
පවරං පත්ත විවරං
අනුකම්පාය නාගානං
නාගදීප මුපාගම්

එළඹ හිටියා වූ යුද්ධය දැක බුදුරජාණන් වහන්සේ බක් මාසය අමාවක පොහෝ දින උදය කාලයෙහි ම පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක.

මහා වංශයේ සඳහන් වන ආකාරයට අනුව මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත් මුහුදු වැසි නාගයන් මෙන් මහා බලසම්පන්නයෝ වූහ. චූලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චූලෝදරගේ මව වන දියණියන්හට දුන්නේ ය. මාමා සහ බෑනා එනම්, චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පලඟය. බුදුරජාණන් වහන්සේගේ මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා ද කැඳවූ සේක. ඒ දෙවිරද තමාගේ භවනය වූ කිරිපලු රුක උදුරා තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලා ගෙන තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දිව්‍යරාජයා දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුක අධිගෘහිත දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂ්‍යයකු ව ඉපිද සිටියේ ය. එකල කිරිපලු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේ දැක උන්වහන්සේට පාත්‍ර පිරිසුදු කරන්නට කොළ කඩාදුණි. ඒ පින් බෙලෙන් මිනිස් තෙමේ දෙව්රම් වෙහෙර කිරිපලු රුකෙහි දෙවියකු ව උපන් බව වංශ කතාවල සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ බක් අවපසළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එම යුද බිමට වැද සිටි දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගණ අඳුරක් මැවූහ. නාගයන් බියෙන් හැකිළී සිටින විට ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දක්නට සැලැස්වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදු සිරිපා කමල් වැන්දාහ.

ලෝක නාථයන් වහන්සේ චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමඟි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සතර ආදීනව, මක්ඛ පලාසාදීන්ගේ ආදීන, කාකොලුක ජාතකය, ලටුතික ජාතකය, වට්ටක ජාතකය ද දේශනා කළ බව සමන්තකූට වර්ණනාවෙහි 575 ගාථාවෙහි සිට 582 තෙක් වන ගාථාවන්ගෙන් ප්‍රකාශ කොට තිබේ.

මේවායින් වෛර කිරීමෙහි ඇති පරිහානියත් සමඟිව සිටීමේ ඇති අභිවෘද්ධියත් විග්‍රහ කරමින් බුදුරජාණන් වහන්සේ අවවාද දුන්හ. යුද වැදී සිටි නා රජුන් දෙදෙනා ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයන්හි අපමණ පී‍්‍රතියට පත්ව යුද්ධයට හේතු වූ මිණි පලඟ තථාගතයන් වහන්සේට පිදූහ. අහසින් බැස මිණිපලඟෙහි වැඩ හුන් සම්බුදු බුදුපියාණන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිවා දානය වළඳා අවසානයේ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල්හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැඳුම් පිදුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණිපලඟ නාගයන්ට පවරාදී සැවැත්නුවර දෙව්රම් වෙහෙරට වැඩම කළහ.

එහිදී මහෝදර නා රජුගේ මයිලණුවන් වූ මණිඅක්ඛිත නාග රාජයා ස්වකීය රාජධානිය වූ කැලණියට ද වැඩම කරවන ලෙස බුදුරජාණන් වහන්සේට ඇරැයුම් කළ බව වංශ කතාවල සඳහන් වේ. එම ඇරියුම පිළිගත් අප ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනයේ දී සුමන සමන් දිව්‍ය රාජයාගේ ඉල්ලීම පරිදි සමනොල කන්දෙහි සිරිපා සටහන තැබූ බව මහා වංශය විස්තර කරයි.

ඒ අනුව පැහැදිලි වනුයේ බුදුරදුන්ගේ දෙවැනි ලංකා ගමනය නිසා තෙවැනි වරටත් උන්වහන්සේ් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවා ගැනීමට අවස්ථාව උදා වූ බවයි. බුදුරජාණන් වහන්සේ සමගියේ අවුරුදු තෑග්ග බක් පුර පසළොස්වක පොහෝදා හෙළයනට ලබා දී ඇති බව තවදුරටත් සඳහන් කළ හැකි ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි