Print this Article


මිනිස්කම බබළවන මනුෂ්‍ය ධර්ම

මිනිස්කම බබළවන මනුෂ්‍ය ධර්ම

දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා “ගුණධර්ම සතක්” සමාදන් ව පිළිපදින පුද්ගලයාට තව්තිසා වැසි දෙවියන් “සත්පුරුෂයා” යි කියන බවත්, ඒ සප්තවත පදයන් හෙවත් ගුණදහම් පිළිපැදීමෙන් ශක්‍ර බවට පත්වන බවත් වදාරා ඒවා මෙසේ පැහැදිලි කර ඇත.

දිවි ඇතිතාක් මව්පියන් පෝෂණය කිරීම, කුල දෙටුවන් පිදීම, මොළොක් වචනයෙන් කතා කිරීම, කේළාම් බස් නොකීම, මසුරුමල පහකොට පරිත්‍යාගශීලීව දන්දීමෙහි නිරත වීම, සැම විටම සත්‍ය වචනය කීම, කෝපය උපන්නත් වහාම එය සංසිඳුවා ගෙන කිසිවෙකුටත් ක්‍රෝධ නොකිරීම යන කරුණු පහ මුළු ජීවිත කාලයෙහි ම පිළිපැදීම ශක්‍ර සම්පත් ලැබීමට හේතු වේ.

සැවැත්නුවර සිටි දරුවන් නැති සිටු පුත්‍රයකුගේ මරණය නිසා ඔහු සතු විශාල ධනස්කන්ධය රාජසන්තක වූ හෙයින් එය බාරගෙන ආපසු එන අතර කොසොල් රජතුමා ජේතවනාරාමයට පැමිණ බුදුරදුන්ට මේ බව පවසමින් “මේ සිටු ජීවත්ව සිටියදී අසූ ලක්ෂයක් රන් කහවනු හා අප්‍රමාණ මසුරන් ද ඇතිව සිටි නමුත් අනුභව කළේ කාඩි හොදි සහිත නිවුඩු හාලේ බත් ය. ඇන්දේ වැරහැලි ය. ගමන් කළේ කබල් රියකිනි”යි පැවසීය.

එවිට බුදුරජාණන් වහන්සේ අමනුෂ්‍යාධිගෘහිත රමණීය පොකුණක් මෙන් ළාමක අසත්ජනයාගේ වස්තුව ඔහුට හෝ අන් කෙනෙකුටත් වැඩක් නොවී පිරිහී යන බවත්, සත්පුරුෂ පින්වතුන්ගේ වස්තුව ගමක රටක තිබෙන සුපසන් සිහිල් දිය පිරුණු රමණීය පොකුණක් මෙන් බොහෝ දෙනාට ප්‍රයෝජනය පිණිස පවතින බවත්, සත්පුරුෂයා මහත් වස්තුවක් ලැබ තමාද සුඛිත කෙරෙන අතර, තම දෙමාපියන්, අඹුදරුවන්, දැසිදස් කම්කරුවන්, මිත්‍රයන් හා සහකාරයන් ද සුඛිත මුදිත කරන බවත්, මතු මත්තෙහි සුවගෙන දෙන පින් අත්පත්වනු සඳහා ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි දක්ෂිණ පිරිනමන බවත් වදාළහ.

එබඳු සත්පුරුෂයන්ගේ වස්තුව තමනුත් මනා කොට පරිභෝග කෙරෙන අතර, රජුන්, සොරුන් පැහැර නොගන්නා බවත් ගින්නෙන් ජලයෙන් හෝ අපි‍්‍රය දායාදයෙන් හෙවත් අකැමැති අයට උරුම වීමෙන් හෝ විනාශයට පත් නොවන බවත් වදාළහ. ප්‍රාණඝාත ආදී දස අකුසල් කරන්නා “අසත්පුරුෂයා හැටියටත් තමා ද ඒවා කරමින් අනුන් ද ඒ සඳහා පොළඹවන්නා, මෙහෙයවන්නා, සමාදන් කරවන්නා, අසත්පුරුෂයා හැටියටත් බුදුරජාණන් වහන්සේ වදාළහ. බුදු දහමට අනුව මනුෂ්‍ය ධර්ම ලෙස ප්‍රකාශ කර ඇත්තේ දස අකුසලයන්ගෙන් වැළකීම හෙවත් දස කුසල් කිරීම ය. ලෝකයෙහි සත්ත්වයන්ට අනුන්ගෙන් දුක් කරදර ගෙනදෙන කරුණු අතුරෙන් බරපතළ ම ඒවා නම්, දස අකුසල කර්මයෝ ය. පස් පව්ද ඊට ඇතුළත් ය. සෑම ආගමකම මේවා දුසිරිත් ලෙස දක්වා තිබෙන අතර, බුදු සමයෙහි ඒවා ශාස්ත්‍රීය ලෙස විවරණය කර ඇත්තේ ය. මේවා කරන්නාට මෙලොව වශයෙන් දුක් කරදර හා නින්දා අපහාස ද ලැබෙන සැටිත් පරලොව වශයෙන් අපාගතවීමට හේතුභූත වන සැටිත් බුදු දහමෙහි සඳහන් වේ. අසත්පුරුෂ ධර්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කරුණු සැකවින් මෙසේ ය.

සතුන් මැරීම, නුදුන් දේ ගැනීම, කාම මිථ්‍යාචාරය, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, සම්ඵප්‍රලාප දෙඩීම, දැඩි ලෝභය, ක්‍රෝධය, මිසදිටු බව යන පාප කර්මයන් එකකින් හෝ කිහිපයකින් හෝ යුක්තවීම අසත්පුරුෂ ලක්ෂණයයි.

තවද තෙරුවන් ගුණ විශ්වාස නොකිරීම (අශ්‍රද්ධාව) පව් කිරීමට ලජ්ජා නොවීම හා බිය නොවීම (හිරි ඔතප් නැති බව) නූගත්කම, කුසීත (කම්මැලි) බව සිහිමුළාව, මෝඩ බව යන කරුණු ද මිථ්‍යාදෘෂ්ටි, මිථ්‍යා සංකල්පනා ආදී වැරැදි මාර්ග ද යමෙකු තුළ පවතී නම්, ඔහු අසත්පුරුෂයකු බවට වදාළහ.

සත්පුරුෂ සේවනය

යටකී දුර්ගුණවලින් හා පාපකර්මයන්ගෙන් ද තොර වූ පුද්ගලයා සත්පුරුෂයා ය. එබඳු සත්පුරුෂ ගුණවත් පුද්ගලයන් ඇසුරු කිරීම සත්පුරුෂ සේවනයයි.

දිනක් දේවතාවෝ හය දෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ “සත්පුරුෂයන් සමඟ ආශ්‍රය කිරීමෙන් දියුණුවක් මිස පිරිහීමක් නොවන බවත්, ඒකාන්තයෙන් ම ප්‍රඥාව ලබන බවත්, ශෝකකාරණයන් මැද ශෝක නොකරන බවත්, ඥාතීන් මැද බබළන බවත්, සුගතියට යන බවත්, බොහෝ කල් සුව සේ වසන බවත් පිළිවෙළින් කියා, කාගේ කීම වඩා හොඳ කියමන ද? යි ඇසූහ.

එවිට බුදුරජාණන් වහන්සේ ඒ සියලු කියමන් හොඳ බවත්, සත්පුරුෂ සේවනය සියලු දුකින් මිදීමට හේතුවන බවත් වදාළ සේක.

පුරිසස්ස හි ජාතස්ස - කුඨාරි ජායතෙ මුඛෙ
යාය ජිඥති අත්තානං - බාලො දුබිභාසිතංභණං
උපන් දුදනහු මුවැ - කෙටේරිය උපදී රුදු
සිඳලයි එයින් තම හද - නපුරු බස් බෙණෙමින්

ඔබ සත්පුරුෂයෙක් ද, එසේ නම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ අසත්පුරුෂ ලක්ෂණ ඔබ තුළ නොතිබිය යුතු ය.

“ගචිජතඞ ස්ඛලංනං ක්වාපි - භවත්‍යෙව ප්‍රමාදතඞ
හයන්ති දුජිනාන් තත්‍ර - සමාදධති සජ්ජනාඞ
යන්නහුට කිසි තැත - පැකුළුම් වේ. පමාවෙනන් දුදනෝ
එ දැක හිනැහෙත් - සුදනෝ නගා සිටුවත්

ශ්‍රාවක ආදර්ශය

කෙනෙකුගෙන් කලින් උපකාරයක් නොලබා තිබුණත් ඔහුට උපකාරයක් අවශ්‍ය වූ විටක, නැතහොත් ඉල්ලූවිටක උපකාරයක් කරන්ට යමෙකුට හැකි නම් ඔහු දුර්ලභ ගුණයක් වූ “පුබ්බකාරී” ගුණයෙන් යුත් කෙනෙකි. එසේම සුළු හෝ උපකාර කලින් කර ඇති කෙනෙකුට ප්‍රත්‍යුපකාර කිරීම ද දුර්ලභ ගුණයකි. ප්‍රත්‍යුපකාර කිරීමට කළ උපකාරය මතක තිබිය යුත්තේ ය. එසේ මතක තිබීම කෘතඥයාගේ ලක්ෂණයයි.

දිනක් බුදු සස්නෙහි පැවිදි වීම පතා පැමිණ විහාරයේ වැඩපල කරමින් සිටි “රාධ” නමැති දුගී බ්‍රාහ්මණයා ඉතා මහලු බැවින් භික්ෂූන් වහන්සේ විසින් පැවිදි නොකර සිටි අතර, ඒ බව දැනගත් බුදුරජාණන් වහන්සේ ඔහුගේ හේතු සම්පත් දැක භික්ෂූන් අමතා “මොහු කළ උපකාරයක් සිහි කළ හැකි භික්ෂුවක් සිටිනවා දැයි ඇසූහ. එවිට සැරියුත් තෙරණුවෝ “තමන් පිඬු සිඟා වඩින විටක නිවසකින් ඔහුට දෙන්නට ගෙනා ආහාර කොටස තමන්ට දෙන්ට සැලසූ බව සිහිවෙතැයි පැවසූහ.

“එසේ නම් ඔහු මහණ නොකරන්නේ ඇයිදැයි විමසූ බුදුරජාණන් වහන්සේ ඔහු මහණ කරන්නට නියම කළහ. පසුව බවුන් වඩා රහත් වූ රාධ තෙරණුවෝ අගතනතුරු ද ලැබූහ. ගුරුවරුන් - දෙමාපියන් සමරා කළගුණ දැක් වූ භික්ෂු ශ්‍රාවකයන් මෙන්ම ගිහි ශ්‍රාවකයන් ද සම්බන්ධ කතා වස්තු රාශියකින් බෞද්ධ සාහිත්‍යය ශෝභමාන ව ඇත්තේ ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.