Print this Article


 විරූපි බව කර්ම විපාකයක් ද?

 විරූපි බව කර්ම විපාකයක් ද?

ලෝකයේ උපදින මිනිසුන් විවිධ හා විෂම ව උපදිති. අන්ධ, ගොළු, බිහිරි,කොර ආදී වශයෙන් ද සුදු කළු, රූපී, අරූපී පොහොසත්, දුප්පත්, කුලවත් ආදී විෂමතා ද මේ ලෝක ධාතුව තුළ හටගන්නන් අතර පවතී. හේතුඵලවාදී දහමක් තුළ ජීවත් වන අපට මිනිස් විෂමතාවයට ද හේතුවක් තිබෙන අයුරු තහවුරු වේ.

බුද්ධ දේශනය අනුව කර්මය ප්‍රධාන වශයෙන් සත්වයාගේ විපර්යාසවලට බලපාන්නකි. ඒ අනුව විමසීමේ දී අ:නි: නිබ්බේධික (පරියාය) සූත්‍රය, ම:නි: අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය, ම:නි: සාල්‍යෙයක සූත්‍රය, ම:නි: වේරඤ්ජක සූත්‍රය,ම:නි: කුක්කරවතිය සූත්‍රය, ම:නි: දේව දූත සූත්‍රය ම:නි: චුල්ලකම්ම විභංග සූත්‍රය ආදි සූත්‍ර තුළින් ඒ පිළිබඳ කරුණු අනාවරණය වේ. චුල්ලකම්ම සූත්‍රයට අනුව සුභ මානවකයාට දේශනා කරන්නේ.

“කම්මස්සකා මානව සත්තා, කම්ම යොනි, කම්ම බන්ධු, කම්ම පටිසරණා, කම්මං සත්තේ විභජති, යදීදං හීනප්පනීතතායාති.”

“සුභ මානවකය, සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහු ය. කර්මයෙන් හට ගන්නාහු ය. කර්මය දායාද කොට ඇත්තාහු ය. කර්මය හේතු කොට ඇත්තාහු ය. කර්මය සත්වයා උස් පහත් වශයෙන් බෙදන්නේ ය. ආදි වශයෙනි.

කම්ම විෂය අචින්ත්‍ය ලෙස දක්වා ඇත්තේ ද එහි තිබෙන බැරෑරුම්කම හේතුවෙනි. අන් සාධකවලට වඩා කර්මය ම බොහෝ දේ පිණිස ඍජුව ම බලපායි. බුදුරජාණන් වහන්සේ අ:නි: අක්කෝසක වග්ගයට අයත් දසධම්ම සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත්තේ ද කර්මය සියලු අංශයන්ට ම බලපවත්වන බවයි. එහි සඳහන් පරිදි

“කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො, යං කම්මං, කරිස්සාමි කල්‍යාණිං වා පාපකං වා තස්ස දායාදො භවිස්සසාමිති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” යනුවෙන් පැවිද්දකු විසින් නිරන්තරයෙන් මෙනෙහි කළ යුත්තක් ලෙස කර්ම බලවේගය පිළිබඳ දක්වා ඇත. පැවිද්දා මෙසේ කර්මය පිළිබඳ මෙනෙහි කළ යුතු ය.

මම කර්මය උරුම කොට ඇත්තෙමි යැයි ද, මම කර්මය දායාද කොට ඇත්තෙමි යැයි ද, මම කර්මයෙන් උපන්නෙමි යැයි ද, මම කර්මය ඤාති කොට ඇත්තෙමි යැයි ද, මම කර්මය පිළිසරණ කොට ඇත්තෙමි යැයි ද යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරම් ද, එය උරුම කොට ඇත්තෙමි යැයි ද පැවිද්දා විසින් නිතර නිතර සිහි කළ යුතු ය.

මේ ආදී වශයෙන් බලන කල්හි කර්මයෙන් බාහිරව අපට කිසිවක් ගැන නො සිතිය හැකි තරමට ම කර්මය විවිධ ගොස් විසිරී පැතිරී සත්වයාට බලපානු ඇත. සත්වයන් විරූපීව උපදින්නේ ද කර්මය ම හේතු කොට ගෙන බව පැහැදිලි වේ. මෙහිදී විශේෂයෙන් මානව සත්වයා පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ. කෙනෙක් පි‍්‍රයජනක ව පහළ වන්නේ නම්, එය කාටත් සතුට වඩවන්නකි. නමුදු මිනිස් සමාජයේ සමහර දෙනෙක් විරූපි ව, අපි‍්‍රය සහගත ව, අවලස්සන ව උපදී. සමහර දෙනෙක් උපතින්ම ද, සමහර දෙනෙක් ඉපදි කාලයාගේ ඇවෑමෙන් ද අවලස්සන වනු ඇත. ඇත්තෙන් ම එය විරූප වන්නන්ගේ මානසික අසහනයට හේතුවක් ද වේ.

බාහිර වශයෙන් රැකී රක්ෂා, ධන සම්පත් කුමන විදිහට සම්පූර්ණ වුව ද එවැනි විරූපි පුද්ගලයින් තම විරූපී ස්වභාවය මත මානසික අසහනයකින් පෙළෙනු ඇත. ඔවුන් වැඩිපුරම ශරීරය ගැන, රූප සම්පත්තිය ගැන සිතමින් විවිධ ආලේපන ද භාවිත කරති. එයට හේතුව එය සමාජ ප්‍රශ්නයක් වීම ය. එසේ අවලස්සන වීමට හේතුව පෙර කර්ම බලවේගයක් හේතුවෙන් යැයි සිතා අවලස්සන ව හෝ ලද මේ මිනිසත් බවෙන් එම කර්ම බලවේගයන් පිළිබඳ අවධානය යොමු කොට තම අඩුපාඩු සකස් කොට ගෙන ජීවිතයට මුහුණ දෙන්නෝ ඉතා විරල ය.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේගේ චර්යාමය පැවැත්ම පිළිබඳ දේශනා කිරීමේ දී විනය ශික්ෂාපද සමූහයක් දේශනා කළහ. ඒ අතර ආසවට්ඨානීය ධම්ම තුළින් අපේක්ෂිත කරුණු දහයක් පිළිබඳ දේශනා කොට ඇත. එම කරුණු දහය අතර වැදගත් කරුණු දෙකක් වශයෙන්

අප්පසන්නානං පසාදාය ( නො පැහැදුණුවන්ගේ පැහැදීම ඇතිවීම පිණිස)

පසන්නානං භි්‍යයෝභාවාය ( පැහැදුණු අයගේ පැහැදීම තවත් වැඩිදියුණු වීම පිණිස)

යන කරුණු දෙක දැක්වීමට පුළුවන. එහිදී පැහැදීම යනු ප්‍රසාදය යි. එහිදි චර්යාමය පැත්ත සේ ම තව කෙනකුට දැකීමෙන් ම ප්‍රසාදය, ආකර්ෂණය ඇතිවීම පිළිබඳ අදහසක් මතුවීමේ සංකල්පය ද ව්‍යංගයෙන් නමුදු ඉස්මතු කොට ඇත.

බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ භවනයට ඇතුළත් වූ බව දැනගත් ආලවක යක්ෂයා දත්මිටි කාගෙන දැඩි තරහෙන් බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන අදහසින් පැමිණුන අවස්ථාවේ දී බුදුරදුන් දැකීමෙන් ම ඔහුගේ තරහ මදක් හෝ අඩුවීමක් සිදු විය. ආලවක යක්ෂයාට එම අවස්ථාවේ දී දැක ගන්නට ලැබෙන්නේ විරූපී, අවලස්සන, රෞද්‍ර කෙනෙක් නම්, ඔහු තුළ පැවති වෛරය තව තවත් වැඩිවන්නට තිබුණි. නමුදු කෙනකු තුළ තිබෙන පි‍්‍රයශීලි බව, ලස්සන බව, සිත් ඇද ගැනීමේ රූප සම්පත්තිය කාටත් සිත් පුබුදු කරවන්නකි.

ගිහි පැවිදි දෙ පක්ෂය තුළ ම කර්ම ශක්තිය කරපින්නා ගෙන විත් විරූපී ලක්ෂණයෙන් යුත් අය සිටිති. ඔවුන් මේ ආත්මයේවත් තම තමන්ගේ අඩුපාඩු ගැන සිතා ධර්මානුකූල ව හෝ වෙනසක් ඇති කර ගන්නේ නම් ඊළඟ භවය තුළ හෝ එම තත්ත්වය මඟ හරවා ගැනීමට පුළුවන් කමක් ඇත.

මෙලෙස එකම මිනිස් කොට්ඨාශයක් වූ සත්වයා අතර කලු සුදු, ලස්සන අවලස්සන වීමට හේතු පිළිබඳ විමසීමේ දී ධර්මානුකූල ව, පැහැදිලි වන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කුහකකම, මාන්නය වැනි අකුසල් සිතිවිලි බහුල වශයෙන් පවත්වා ගෙන යෑම බව පැහැදිලි වේ. සමහරුන්ගේ සිත කැකෑරෙන වෛර සිතිවිලි සදාකාලික ව පවතී. එම හේතුව නිසා ඔවුන් අනුනට නිතර නින්දා කරති. අනුන් කපා දැමීමට, අනුන් විනාශ කිරීමට වල කපති. කුහකකමින් අනුන්ගේ තෘප්තිය විනාශ කරති. තමනට ලබා ගත නොහැකි දෙයක් අනුන් ලබා ඇති බව දැනීමෙන් ඔවුනට විරුද්ධව යටි උගුල් අටවති. ලෝකයාට තමන් සිල්වත් බව පෙන්වමින්, අනුන් පිළිබඳ හැකි වැරැදි සමාජගත කරමින් ඔවුන්ගේ ආත්ම ගෞරවය විනාශ කරති.

මෙවැනි සමාජගත ප්‍රශ්න සමුදායක් තුළ හිඳිමින් මොහොතක් ගානේ සිත අපිරිසුදු කර ගැනීමෙන් ඔවුන්ගේ සිතේ පවතින එම කලු ස්වභාවයත්, ශරීරය පුරා දිවගොස් ශරීරය ම අවලස්සන වන බවත් වැඩිදුරටත් පැහැදිලි වේ.

“මානවකය මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යම් තැනැත්තෙක් හෝ ක්‍රෝධ කරන්නේ වේ ද, බලවත් සිත් තැවුලෙන් පෙළේ ද, සුළු වරදක් පෙන්වා දුන් විට කිපෙයි ද, තරහා උපදවා ද, කෝපය, ද්වේෂය, නො සතුටු බව ප්‍රකාශ කරයි ද, හෙතෙමේ ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු මනුෂ්‍යාත්ම භාවයට පැමිණේ ද, යම් තැනැක්හි උපදී ද, විරූප වෙයි. දුර්වර්ණ වෙයි.

විවිධ යක්ෂ, රාක්ෂ, මනුෂ්‍ය කතා පිළිබඳ විමසීමේ දී ඒ බව මනාව පිළිබිඹු වේ. දේවදත්ත හිමියෝ භවයෙන් භවයට වෛර කරමින් බෝධිසත්වයන් විනාශ කිරීමට විවිධ උපක්‍රම යෙදූහ. නමුදු බෝධිසත්වයන්ගේ ඇති පුණ්‍ය මහිමය නිසා කිසිදු ආත්මයක බෝධිසත්වයන්ට කරදරයක් කිරීමට නොහැකි විය.

ජාතක පොත් වහන්සේ තුළ එන සේරිවානිජ ජාතකයේ බෝධිසත්වයෝ එක් ආත්මයක වෙළෙන්දෙක් ව ඉපිද සිටි කල, දේවදත්තයන් ද එම ආත්මයේ චොර වෙළෙන්දෙක් ව ඉඳ බෝධි සත්වයන්ට වෛර බැඳි කතා පුවතක් ඉන් ගම්‍යමාන වේ. පළමුවෙන් ම බෝධිසත්වයන්ට වෛර බැඳීමට ආරම්භ කළ ආත්මය එම ආත්මය යි. ඉන්පසු සෑම භවයක් ම විවිධ චරිත හරහා බෝධිසත්වයන්ට වෛර කොට අවසාන ආත්මය තුළ බුදුරජාණන් වහන්සේට දේවදත්ත හිමි වශයෙන් ඉඳ ගලක් පෙරළා බුදුරදුන්ගේ ශ්‍රී දේහයේ ලේ සොලවා අවසානයේ මිය ගොස් අවීචි මහා නරකාදියෙහි ඉපදුණහ.

වෛරය, ක්‍රෝධය, කුමන හේතුවකටවත් ළඟා කර ගත යුතු සිතිවිල්ලක් නොවේ. එය අකුසල සිතිවිල්ලකි. ඒ වෙනුවට මෛත්‍රිය ප්‍රගුණ කොට එතුළින් ලෝක සත්වයාට ම ආශිර්වාදයක් කොට මෙලොව දිවිය ලස්සන කර ගැනීමටත්, පරලොව දුක් නැති කර ගැනීමටත්, නිවනින් සැනසීමටත් අධිෂ්ඨාන කර ගනිමු.