Print this Article


මානසික ආතතිය දුරු කරන ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක්

මානසික ආතතිය දුරු කරන ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක්

මනසේ ඇති ඵලදායී තත්ත්වයන් වර්ධනය කර ගැනීමේ ක්‍රමය භාවනාවයි. භාවනාව මඟින් සංවර්ධනය කරගත හැකි විවිධ ඵලදායී මානසික තත්ත්ව බොහෝ ඇත.

වඩාත් සැහැල්ලුවක් ඇති වීම ,ආතතිය අඩුවීම, වඩාත් අවධානය දීම, මඟහැරීම් අවම වීම, වඩාත් සංසුන් වීම, නිරන්තර මනස්තාපයෙන් නිදහස් වීම, අප ගැනත්, අපේ ජීවිත ගැනත් මනා අවබෝධයක් ඇති කර ගැනීම, අන් අය ගැනත් එබඳුම අවබෝධයක් ඇති කර ගැනීම, මෛත්‍රිය, කරුණාව වැනි බොහෝ ධනාත්මක මමෝභාවයන් ඇති කර ගැනීම ආදියයි.

අප බොහෝ දෙනෙකුට වඩාත් සංසුන්, වඩාත් පැහැදිලි සහ වඩාත් සතුටින් පිරි මනසක් අවශ්‍යයි. අප ආතතියෙන් හෝ ඍණාත්මක තත්ත්වයක සිටින්නේ නම්, එමඟින් අප නොසතුටට පත්වෙයි. එය අපේ සෞඛ්‍යයට නරක විදිහට බලපාන අතර අපේ ජීවන වෘත්තීන්, පවුල් ජීවිත සහ මිත්‍රතාවන් විනාශ කර දැමීමට එයට හැකි ය. ආතතියෙන් සහ ක්ෂණික කෝපයෙන් අප හෙම්බත් වී සිටී නම්, කිසිදු අතුරු ආබාධයකින් තොරව මනෝභාවාත්මක අඩුලුහුඩුකම් මැඬලන්න භාවනාව අපට හැකියාව ලබා දෙයි.

අපට භාවනාව පිළිබඳ යථාර්ථවාදී එළඹුමක් අවශ්‍යය. එය ධනාත්මක ප්‍රතිඵල ළඟා කර ගැනීමේ උපකරණයක් මිස ඕනෑම දෙයකට යොදා ගත හැකි ක්ෂණික විසඳුමක් නොවේ. එක හේතුවකින් කිසිදු ඵලයක් ළඟා කර ගත නොහැකි ය. එහෙත් හේතු සහ ප්‍රත්‍යය රාශියකින් හැකි ය. උදාහරණයක් වශයෙන්, අපට අධි-රුධිර පීඩනය ඇත්නම් භාවනාවෙන් අපට උපකාරයක් ලබා ගත හැකි ය. එහෙත් ආහාර රටාවේ හෝ ව්‍යායාමවල වෙනසක් සිදු නොවේ නම් භාවනාවෙන් ඒ සඳහා ගත හැකි කිසිවක් නැත.

භාවනා කළ හැකි ක්‍රම බොහෝ ගණනක් ඇත. ඒ සියල්ල අපේ මනස සංසුන් කර ගැනීමට උපකාර කරන නමුත් එය භාවනාවේ අවසාන ඵලය නොවේ. කෙසේ වෙතත්, වඩාත් ධනාත්මක තත්ත්වයන් ගොඩනඟමින්, සැබෑ ප්‍රගතියක් අත් කර ගැනීමට පෙර ඇත්තෙන්ම අපේ මානසික ආතතිය අවම කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, සමථ සහ විපස්සනා යන බෞද්ධ භාවනා ක්‍රම දෙකෙන් යම් එකකට යාමට පෙර, හුස්ම ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් අපි අපේ මනස සැහැල්ලු සහ නිහඬ කර ගමු.

බොහෝවිට “විශ්ලේෂණාත්මක” භාවනාව යැයි කියනු ලබන විපස්සනා භාවනාවේදී මෛත්‍රිය වැනි ධනාත්මක මානසික තත්ත්වයක් පියවරෙන් පියවර ඔප්නංවා ගැනීම පිණිස අපි තර්කණය භාවිත කරමු. එසේ නැතිනම්, යම් අවස්ථාවක් පිළිබඳ නිවැරැදි අවබෝධයකට එනම්, එහි අනිත්‍යතාව වැනි අවබෝධයකට, පැමිණීම පිණිස එම අවස්ථාව විශ්ලෙෂණය කිරීමට තර්කණය යොදා ගනිමු. එසේත් නැතිනම්, අපි සරලව ම ධනාත්මක ගුණධර්ම ඇති යම් දෙයක ප්‍රතිරූපයක්, එනම් බුදුන් වහන්සේගේ රූපය වැනි යමක්, මානසිකව ගොඩනඟාගෙන එය පැහැදිලි ව දැකීමට උත්සාහ කරමු.

බුදු දහමේ ප්‍රායෝගික හරය ගැබ්වී ඇත්තේ භාවනාවෙහි ය. භාවනාව යන වචනයේ මූලික අර්ථය වැඩීම යන්නයි. එනම් සිතේ වැඩීමයි. සිත යම් අරමුණක පිහිටුවා සංවර්ධනය කිරීම මෙහි කාර්යයි.

සමථ භාවනාව බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නට බොහෝ පෙරදි භාරතය හෙවත් ඉන්දියාවේත් ග්‍රීසියේත්, චීනයේත්, ඇතැම් බටහිර රටවලත් පැවතින.

ථෙරවාද ධර්මයේ දැක්වෙන පරිදි සියලු භාවනා ක්‍රම සමථ සහ විදර්ශනා වශයෙන් කොටස් දෙකකට බෙදේ. සමථ භාවනා මගින් කෙලෙස් යටපත් වන අතර, ධ්‍යාන නමින් හැඳීන්වෙන තහවුරු වූ සිත එකඟ බව ලබයි. කුසල සිතේ එකඟ බව මෙහි සමාධිය වේ. නමුත් විදර්ශනා භාවනාවෙන් කෙලෙසුන් යටපත්වීම ද, ස¼ිදීම ද, එයින් නිර්වාණය අවබෝධ කිරීම ද සිදුවේ. ඇතැමකුට භාවනා කිරීම දුෂ්කර දෙයක් වනු ඇත්තේ ඔවුන් භාවනාවේ දී අත්හැරීම සිදු කරන ආකාරය ඉගෙන නොමැති බැවිනි.

සීලයෙහි පිහිටා සිතත්, ප්‍රඥාවත් වැඩිය යුතු ය යන දේශනාව අනුව භාවනාවේ අඩිතාලම සීලයයි.

භාවනාවෙන් කෙරෙනුයේ සිත හා ප්‍රඥාව දියුණු කිරීමයි. සීලයෙන් භාවනාව ද, භාවනාවෙන් ප්‍රඥාව ද, ප්‍රඥාවෙන් සීලය ද දියුණු වේ. භාවනාව මානසික වශයෙන් පමණක් නොව, මානසික හේතුන් මත ඇතිවන කායික අපහසුතාවයන් සම්බන්ධයෙන් ද සහනයක් ලබා ගත හැකි ක්‍රමයක් ලෙස අනුගමනය කළ හැකි ය. තමන් කරන භාවනාව අන් හැම දෙයකට ම වඩා උසස් දෙය හැටියට සලකා ගෙන ඉතා ගෞරවයෙන්, ඉතා ආදරයෙන් ඕනෑකමින් එය කළ යුතු ය. අත්හදා බැලීමට කියා හෝ පින් සිදු කර ගැනීමට කියා හෝ සසරට පුරුදුවීමට ය කියා හෝ නොව අද අදම නිවන් දකින්නට භාවනා කරමි ය යන අදහසින් ම භාවනා කිරීම උතුම් දෙයකි.

භාවනාමය කුසලය වනාහී කුසලයන් අතුරෙන් අග්‍ර වූ කුසලයයි. දාන සීල දෙකින් ලැබෙන අනුසස් සියල්ල හා ඉන් නොලැබීය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත් ද භාවනාවෙන් ලැබිය හැකි ය. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍රධාන මාර්ගය ද භාවනාව ම ය. “චිත්තං සමෙතිති සමථො” සිත සන්සුන් කරන්නේ භාවනාවයි. සමථ භාවනාවට යොදා ගත හැකි අරමුණු හතළිහක් දක්වා තිබේ. එය කර්මස්ථාන හෙවත් කමටහන් යැයි කියනු ලැබේ. ඒවා නම්,

දස කසින(10),

දස අසුභ (10),

දස අනුස්සති (10),

බ්‍රහ්ම විහාර, (4),

චතුරාරුප්ප (4),

ආහරේ පටිකුල සඤ්ඤාව, සහ චතුධාතුවවත්තානය, යන අරමුණු හතළිස කර්මස්ථාන ලෙස හැඳීන්වේ.

විදර්ශනා භාවනා ක්‍රමය තුළ සප්ත විශුද්ධියක් දක්වා ඇත. (1.) ශීලය විශුද්ධිය, (2.) චිත්ත විශුද්ධිය, (3.) දෘෂ්ඨි විශුද්ධිය, (4.) කාංක්ෂා විතරණ විශුද්ධිය, (5.) මග්ගාමග්ග ඥාන දර්ශන විශුද්ධිය, (6.) ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්්ධිය සහ (7.) ඥාන දර්ශන විශුද්ධිය යනුවෙනි.

බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත්, ශාන්තියත් ලබා දෙන්නකි. තවද සතිපට්ඨාන සූත්‍රය භාවනාව සම්බන්ධ ව ඉතා වැදගත් සූත්‍රයකි. එහි භාවනා ක්‍රමය ජීවිතයට සම්බන්ධ ය. අප දිනපතා කරන පොදු වැඩවලටත්, සතුටුවීම් හා අසහනවලටත්, කතාවලටත්, සිතිවිලිවලටත්, බුද්ධිමය කාර්යවලටත් එය සම්බන්ධ ය.

බුදුදහමට අනුව භාවනා යන වචනයේ නියම තේරුම නම් සිත වැඩීම, නැත්නම් සිත දියුණු කිරීමයි. නිවැරැදි ශද්‍ර්ධාවේ පිහිටා සිත කිලිටි කරන කෙලෙස් ධර්මවලින් සිත මුදා ගෙන, පිරිසුදු කර, චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගෙන, හොඳ අධිෂ්ඨානයකින් යුතුව වීර්යය වඩා, ප්‍රඥාව ඇති කර ගැනීම තුළින් ධර්මාවබෝධයට පත්වීම බුදුදහමේ පෙන්වා දෙන භාවනාව වේ.