Print this Article


දිවි මඟ සරසන යහ ගුණ මල්දම

දිවි මඟ සරසන යහ ගුණ මල්දම

තමන්ගෙන් තමාටත්, තමාගෙන් අන්‍යන්ටත් ඉටු විය යුතු සියලුම යුතුකම් හා වගකීම් ඉටුකිරීමේ හැකියාව සක්කෝ ගුණය යනුවෙන් හැඳින්වේ. පරමාර්ථය තුළ තමා කියා ගත යුතු පුද්ගලයෙක් හෝ සත්වයෙක් නො මැත්තේ ය.

නමුත් සම්මුතිය තුළ අනන්ත අප්‍රමාණ අතීත සංසාරයේ සිටම පවත්වා ගෙන එන මෙම නව පරම්පරාව, සිත් හා සිතිවිලි පරම්පරාව සතර අපා දුක්ඛයන්ගෙන් මුදවාලීම තමන් විසින් කළ යුත්තකි. එම කාර්යය පිටස්තර බාහිර බලවේගයකට හෝ දෙව්යකුට හෝ බ්‍රහ්මයකුට හෝ යම්කිසි බාහිර පුද්ගලයකුට කිසිසේත් ම සිදුකළ හැක්කක් නොවන්නේ ය.

එමෙන්ම සක්කෝ ගුණය තුළ අදහස් වන අනිත් අදහස වන්නේ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් පරිදි මව්පියන්ගෙන් දරුවන්ටත්, දරුවන්ගෙන් මව්පියන්ටත්, ගුරුවරුන්ගෙන් ශිෂ්‍යයන්ටත්, ශිෂ්‍යයන්ගෙන් ගුරුවරුන්ටත්, ස්වාමියාගෙන් භාර්යාවටත්, භාර්යාවගෙන් ස්වාමියාටත්, ස්වාමියාගෙන් සේවකයාටත්, ගිහියාගෙන් පැවිදි භික්ෂූන් වහන්සේටත් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් මනා ලෙස ඉටුකිරීමට ඇති හැකියාව යි. ලෝභය, ද්වේශය හා මෝහය ආදි කෙලෙස් සිතිවිලිවලින් මුදවාලීමට, ඉවත් කර ගැනීමට හොඳ හැකියාවක් ඇතිව තමන්ගෙන් තමාටත් ඉටුවිය යුතුකම් හා වගකීම් ඉටුකිරීමට මනා හැකියාවක් ඇතිකර ගනිමින් ඇති හැකියාව සක්කෝ ගුණය වශයෙන් හැඳින්විය හැක.

ඇද නැති තැන

අවංක වීම යනුවෙන් හඳුන්වන්නේ ඇද නැති ස්වභාවය යි. නැතහොත් ඍජු ස්වභාවය යි. මනුෂ්‍යයින් අගතිකාමී වන නැතහොත් තම ඍජු බව නැති කර ගන්නා කාරණා හතරක් පවතියි. ඡන්දය, ද්වේශය, භය, මෝහය වශයෙනි.

අවනත වෙන්න

තමන්ට මෙලොව හා පරලොව යහපත පෙන්වා දෙන කවරකුට වුවත් අවනත වීම, කීකරුවීම, සුවච ගුණය යනුවෙන් හැඳින්වේ. වත් පොහොසත්කම්, උගත්කම්, නිර්භීතකම්, කුලය, වැඩිහිටිකම, රැකියා තනතුරු, බලය ආදිය පවතින පුද්ගලයකුගේ යම් අඩුපාඩුවක් යම් අයකු විසින් පෙන්වා දුනහොත් එම පුද්ගලයා සමඟ අමනාපවීම, එම පුද්ගලයාට බැණ වැදීම, පහරදීම. කවර හෝ ආකාරයකින් එම පුද්ගලයා කායික හෝ මානසික දුක්ඛ වේදනාවන්ට පැමිණවීම ආදිය අද වැනි සමාජයක දක්නට ලැබේ. එවන් පුද්ගලයන් ආධ්‍යාත්මික වශයෙන් මොහොතින් මොහොත, දිනෙන් දින පරිහානියට පත්වෙයි. වරදෙන්, පාපකාරි ස්වභාවයෙන් මිදීමට කටයුතු කර සතර අපා දුක්ඛයන්ගෙන් මිදීමට කටයුතු කරන්නේ නම් එය තමන්ට ම කර ගන්නා යහපතකි.

සිත රළු වුණොත්

කායික ව හා වාචික ව ගොරෝසු, රළු පැවතුම් වෙනුවට මෘදු ගති පැවතුම් ඇති බව මුදු ගුණය යනුවෙන් හැඳින්වේ. කය මූලික කර ගෙන සිදු කරන අකුසල් වන ප්‍රාණඝාතය,සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යනාදියෙන් ද, වචනය මූලික කර ගෙන සිදුවන අකුසල් වන බොරුකීම, කේලාම්කීම, පරුෂවචන කීම, හිස්වචන කීම මඟින් ද සිත රළු බවට හා ගොරෝසු බවට පත්වෙයි. එවැනි ආකාරයෙන් කයින් හා වචනයෙන් සිදුවන අකුසල කර්මයන්ගෙන් ඉවත් ව කායික හා වාචික ක්‍රියාවන් කුසලය වැඩෙන ආකාරයට පවත්වා ගනිමින් සිත, මෘදු බවට හා සුමට බවට පත්කර ගැනීම මුදුගුණය යනුවෙන් හැඳින්වේ. ඒ කුමක් නිසා ද යත් අකුසලය තුළ නැතහොත් ලෝභය, ද්වේෂය හා මෝහය තුළ සිත පැවතීමෙන් සිදුවන්නේ සිත රළු බවට හා ගොරෝසු බවට පත් කිරීම නිසාත්, කුසලය තුළ නැතහෙත් අලෝභය, නොඇලීම. අදෝසය නොගැටීම හා අමෝහය අවබෝධය තුළ සිත පැවතීමෙන් සිදුවන්නේ මුදු බවට හා සුමට බවට පත්වීමත් නිසා ය.

බොරු වටිනාකම් එපා

තම ජීවිතයට කිසිසේත්ම නැති බොරු වටිනාකම් ලබා දෙමින්, ආඩම්බර බවට පත්වී ඔබ විසින් ම කළ යුත්තේ සතර අපායේ උත්පත්තිය ලබා, අනන්ත අප්‍රමාණ කාලයක් එක් එක් අපායෙන් අපායට මාරු වෙවී අනන්තත අප්‍රමාණ ලෙස කායික හා මානසික දුක්ඛවේදනාවන් විඳීමට මඟ පාද ගැනීම ද? එසේ නැතහොත් ඇස, කන, නාසය, දිව ශරීරය සහ මනසේ ද, ඒවාට ස්පර්ශ වන සම්බන්ධ වන රූප ශබ්ද, ගන්ධ, රස, පහස සහ සිතට දැනෙන අරමුණුවල ද පවතින යථා ස්වභාවය වන අනිත්‍යය, දුක්ඛ, අනාත්ම ස්වභාවය ඒ ආකාරයෙන් ම අවබෝධය කර ගනිමින් අනන්ත වූ ද, අප්‍රමාණ වූ ද, සතර අපා දුක්ඛයන්ගෙන්, අත්මිඳීම සඳහා කටයුතු කිරීම ද?

අනාගත අපේක්ෂා

පුද්ගලයන් තුළ අනාගත අපේක්ෂාවන් පවත්වා ගත යුතු ය. නමුත් එම අපේක්ෂාවන් ළඟා කර ගැනීම සඳහා වර්තමානය තුළ කටයුතු කිරීම හැර අනාගත අපේක්ෂා ඉලක්ක ගැන දැඩි ඇලීමක් නොපැවැතිය යුතු ය. අනාගත අපේක්ෂාවන් සාර්ථක වන්නේ හෝ අසාර්ථක වන්නේ හෝ තමාගේ උගත්කමේ, උත්සාහයේ සහ නිපුණතාවයේ ප්‍රතිඵලයක් ලෙසින් ම පමණක් නොව ‘අතීතයේ සිදු කළ කුසල කර්මයන්ගේ සහ අකුසල කර්මයන්ගේ විපාකයන් ලබාදීමට ද අනුකූලව බව ඔබ විශ්වාස කළ යුතු ය.

ලැබුණු දෙයින් සෑහෙන්න

කෑම බීම, ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් යනාදියෙන් කොතෙක් ලැබුණ ද ඒවායේ කුමක් හෝ අඩුපාඩු දකිමින් සෑහීමකට පත් නොවී අතෘප්තිකර මානසික ස්වභාවයෙන් මිදී තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යාමට පවතින අත්‍යවශ්‍යම දේ පවතී නම් එයින් සෑහීමකට පත්වීම හා තෘප්තිමත් භාවයට පත්වීම සුහර ගුණය යි.

වර්තමානයේ සිත පිහිටුවමු

ඔබ හට යම් දවසක් තුළ සිදු කිරීමට වැඩකටයුතු රාශියක් පවතින විට හෝ දවසක් තුළ සිදු කර අවසන් කළ නොහැකි නමුත් එම දවස තුළ සිදුකර අවසන් යැයි සිතන යම් කාර්යයන් හෝ ක්ෂේත්‍රයන් කීපයක් පැවතීම හේතු කර ගෙන වැඩ කටයුතු හා කාර්යයන් සිදු කරන විට අමතක වීම, බැරිවීම, දෝෂයන්, හදිසි අනතුරු, වැරැදි සිදුවීම් බහුල වෙයි. අප්පකිච්චෝ ගුණයට අදාළ සුවිශේෂී අර්ථය තුළ සමස්තයක් ලෙස සලකා බැලීමේ දී වර්තමාන මොහොතේ සිත පිහිටුවා ගෙන සිටින්නා වූ කුසල අරමුණ හැර අනෙකුත් සියලුම අතීත සහ අනාගත දැකීම් සහ හඳුනා ගැනීම්වලින් මනස හිස් කර ගැනීම අප්පකිච්චෝ ගුණය යි.

බාහිර ආටෝපය එපා

බාහිර ආටෝපයන්ගෙන් තොරව චාම් ගතිපැවතුම්වලින් යුක්තවීම සල්ලහුකවුත්ති ගුණය යනුවෙන් හඳුන්වයි. තමන් තුළ නොමැති ගුණයක් හෝ සත්‍ය වශයෙන් ම තමා තුළ ඇති ගුණයන් වුව ද අන්‍යයන්ට ප්‍රකාශ කරමින්, අන්‍යයන්ට අඟවමින් තම ජීවිතයට බොරු වටිනාකම් ගෞරවයන් ලැබ වරපසාද යනාදිය ඇති කර ගැනීමට යම් අයකු කටයුතු කිරීම සල්ලහුකවුත්ති ගුණය එම පුද්ගලයාගෙන් ඉවත් වීමට කාරණයකි.