Print this Article


වාසනාවේ දොර ඇරෙන නිවැරැදි ම යතුර තෝරා ගන්න

වාසනාවේ දොර ඇරෙන නිවැරැදි ම යතුර තෝරා ගන්න

සම්බුදු දහම මෙලොව පරලොව සුව සලසා ගැනීමත්, එමඟින් නිවන සඳහා වන මඟ හෙළිපෙහෙලි කිරීමත් යන ලෞකික හා ලෝකෝත්තර යන දෙඅංශය කෙරෙහි ම අවධානය යොමු කළ දහමකි.

නිර්වාණය පිණිස වන වැඩ පිළිවෙලෙහි මූලික පියවර වර්තමාන ජීවිතය බැවින් මෙලොව දිවියේ සතුට, යහපත් පැවැත්ම හා හොඳ හිත පවත්වා ගැනීම කෙරෙහි බුදු දහම මහෝපකාරී වේ. යහපත් ජීවිතයක් ගත කරන්නා මෙලොවත් පරලොවත් සතුටු වන බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමයි.

මෙලොව ජීවිතයේ සතුට කෙරෙහි තමන් ජීවත්වන නිවසේ යහ පැවැත්ම ඉතා වැදගත් ය.

මිනිසාගේ ජීවන පැවැත්ම පිළිබඳ ඉතා ගැඹුරින් අවබෝධ කොටගෙන ධර්මය දෙසූ බුදුරජාණන් වහන්සේ නිවසක සතුට හා සැනසුම උදාකර ගත හැකි ආකාරය ඉතා පැහැදිලි ව දේශනා කළ සේක. නිවසක ස්වාමි, භාර්යාවන් විසින් ඔවුනොවුන් වෙත විශ්වාසවන්ත ව හා භක්තිමත් ව කටයුතු කිරීම මඟින් ගෘහ ජීවිතය අර්ථ සම්පන්න වන බව බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවන්හි දේශනා කළ සේක. සමාජ චාරිත්‍රයක් වශයෙන් නීතියෙන් එකතු වන ස්ත්‍රියකට හා පුරුෂයකුට වඩා හදවතින් නැඟෙන සෙනෙහසේ බැම්මෙන් බැඳී සමාන අදහස් සහිත ව ජීවත්වන නිවසකට සිරියාව කැන්දන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ස්වාමියා හා භාර්යාව විසින් සිය ගෘහය තුළ දී ඔවුනොවුන් විසින් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් මඟින් එම ගෘහ ජීවිතය අර්ථ සම්පන්න වන ආකාරය සිඟාලෝවාද සූත්‍රයේ දී පැහැදිලි කෙරෙයි.

සිඟාලෝවාද සූත්‍රයේ දී බිරිඳ විෂයයෙහි ස්වාමියකු තුළ පැවතිය යුතු ආකාරය කරුණු පහකින් විස්තර වේ.

ගරු කරන්න

ගරු කිරීම කියන්නේ ඇයට නිවසේ අදාළ ගරුත්වය ලබා දීමට කටයුතු කිරීමයි. දියණියක ලෙස තම මවත්, පියාත් හැරදමා විවාහ ජීවිතයට එළඹෙන තැනැත්තිය තමාට මව්පියන්ගෙන් මෙතෙක් ලැබුණු ආදර කරුණාව ඉන් අනතුරුව බලාපොරොත්තු වන්නේ සිය ස්වාමියාගෙනි. ඇයට වචනයෙන් මෙන් ම හැසිරීමෙන් ද අදාළ ගරුත්වය ලබා දීම ස්වාමියාගේ යුතුකමයි. ඇය ස්වාමියාගේ කීකරු බිරිඳ නැතිනම් භාර්යාව වුව ද ඇයට ද අදාළ ආත්ම ගරුත්වයක් ඇති බව තරයේ මතක තබාගත යුතු ය.

අවමන් කරන්න එපා

ස්වකීය භාර්යාවට ගරු සරු දැක්වීම මෙන්ම අවමන් නොකිරීමට ද වග බලා ගත යුතු ය. ඇය නිවසේ සියලු කටයුතු ඉටුකරමින් යටහත් පහත්ව ගනුදෙනු කරනුයේ ස්වාමියා කෙරෙහි ඇති සෙනෙහස නිසාවෙන් මිස ඇයගේ දුර්වලකමන් නිසා නොවන බව වටහා ගත යුතු ය. ඇය ද මනුෂ්‍යයකු බැවින් ඇය අතින් ද අතපසු වීමෙන් හෝ වැරැදි අඩුපාඩු සිදුවිය හැකි ය. එවන් මොහොතක ඇය වෙත පරුෂ වචන පැවසීම හෝ කායික පීඩාවන්ට ලක් නොකළ යුතු ය. එය ස්වාමි පුුරුෂයකු වශයෙන් නොකළ යුත්තකි. ඇතැම් තැනක ඇය විසින් ගෙන එන ලද දායාදයන්හි ප්‍රමාණය පිළිබඳ අවතක්සේරුවට ලක් කරති. එය ද නොකළ යුත්තකි.

තම දරුවන් ඉදිරියේ නිවසක ප්‍රශ්න, මවට තලා පෙලා හිංසා කිරීම නො කරන්න. යම් යම් අඩුපාඩුකම් නොගැලපීම් ඇත්නම් ඒවා සුහදව සාකච්ඡා කිරීමෙන් නිවැරැදි කර ගන්නවා විනා ඇයට විවිධ වූ කායික හා මානසික පීඩාවන්ට ලක් කරන්නෙක් නොවිය යුතු යි.

දුක සැප සමව දරන්න

පුරුෂයකු කාන්තාවක සරණපාවා ගන්නේ සිය දුක, සැප දෙකෙහි ම නොසැලී එකට ගමන් කිරීමට ය. එමෙන් ම ඔහුගේ කායික හා මානසික අවශ්‍යතාවන් ද ඇය විසින් සපුරා දීම ස්වාමියාගේ ජීවිතය තෘප්තිමත් වීමට බලපායි. තෘප්තිමත් පුරුෂයකු වෙනත් කාන්තාවන් සොයා යෑමට ඇති ඉඩකඩ සීමිත ය. එසේ වෙතත් කෙතරම් යහපත් භාර්යාවක සිටිය ද පරදාර සේවනයෙහි ලොල් පුරුෂයෝ ද සිටිති.

කාම මිථ්‍යාචාරයෙහි නියැළෙමින් පරදාර සේවනයෙහි නියැළෙන ගිහියා වසලයකු බවත් ධර්මයෙහි පෙන්වා දෙයි. ස්වාමි භාර්යාවන් තුළ සැබෑ ප්‍රේමයක් ඇතත්නම් එය රාගය නිසා බිඳහෙලිය නොහැකි ය. එය සංසාරගත ව පැවත එන බැඳීමකින් යුක්ත ය. එවන් වූ ස්වාමි - භාර්යාවන් සසර නැවත නැවත හමුවන ආකාරය බුදු සිරිතේ එන නකුල මාතා, නකුල පිතා කතා පුවතෙන් පැහැදිලි වේ.

පාලනය බාරදීම

‘මැටි යොදා සකස් කර ගත් සැකිල්ලකට අතු සෙවිලි කිරීමෙන් පමණක් නිවසක් නොවන බවත්, කාන්තාවක වාසය කරන ගෙය පමණක් නිවස යන වචනයට යෝග්‍ය බවත් පැරැණි පඬිවරුන් පවසා ඇත. එනිසා නිවසක සංවිධාන කටයුතු විෂයයෙහි ගෘහණියකගේ ප්‍රධානත්වය පිළිගැනීමට සමාජයේ කුමන වූ තරාතිරමක නියැළෙන පුරුෂයකු වුව ද සූදානම් විය යුතු ය. සමාජයේ යම් උසස් තත්ත්වයන්ට පත් පුරුෂයෙක් වේ නම් ඔහු පිටුපස කාන්තාවක් සිට ඇති බව සුපැහැදිලි කරුණකි. බෝසතාණන් වහන්සේ පාරමිතා පූර්ණයේ දී ඇයගෙන් සැපයුණු පිටුබලය චන්දකිණ්ණර ජාතකය ආදියේ දී මැනවින් පැහැදිලි වේ.

අරපිරිමැස්ම

දූ දරුවන්ගේ කටයුතු මෙන් ම ගේ දොර කටයුතු වඩාත් අරපිරිමැස්මෙන් කිරීමේ හැකියාවක් සහජයෙන් ම කාන්තාව සතු වන බව අප පිළිගත යුතු ය. ස්වාමියා නිවසට ගෙනවුත් දෙන යමක් පිළියෙළ කර තමන්ට මෙන් ම දරුවන්ට පිසදෙන කුස්සි අම්මා කෙනකුගේ මට්ටමට භාර්යාව පිළිබඳ කල්පනා නොකළ යුතු ය. නිවසේ සිදු කරන කටයුතුවල දී ඇය ප්‍රධානත්වයක් දරන, එමෙන් ම වගකීමක් සහිත අයකු බව මොහොතකට හෝ අමතක නො කළ යුතු ය. කෙතරම් උසස්, වැදගත් කරුණක දී වුව ද ස්වාමියා භාර්යාවත් දෙදෙනා ම සාකච්ඡා කොට එම කටයුත්ත සිදු කිරීමෙන් යහපතක් මිස අයහපතක් නොවන්නේ ය.

වස්ත්‍රාභරණ පිළියෙළ කර දීම

යහපත් ස්වාමිපුරුෂයකු වශයෙන් බිරිඳගේ මානසිකත්වය හැඳින ඇයට අවශ්‍ය අලංකාර ආභරණ ඇඳුම්, පැළඳුම් ගෙනදීමට කටයුතු කළ යුතු ය. කාන්තාවක ලෙස ඇය සමාජයේ සෙසු කාන්තාවන් ඉදිරියේ දෙවැනි වීමට හෝ ලජ්ජා වීමට අකැමැති ය. ඉල්ලීමක් කළත් නොකළත් ඇයට අවශ්‍ය දේ ලබා දීම ස්වාමියාගේ යුතුකමකි.

මෙසේ සිය භාර්යාව කෙරෙහි ස්වාමියා විසින් යුතුකම් පහකින් සංග්‍රහ කළයුතු, අතර භාර්යාව විසින් ද ස්වාමියා කෙරෙහි යුතුකම් පහකින් ද සංග්‍රහ කළ යුතු බව බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී “සිඟාල” ගෘහපති පුත්‍රයාට පැහැදිලි කොට වදාළ සේක.

වාසනාවෙන් අවාසනාවට

නිවසක කටයුතු සංවිධානය මත ම නිවසක සෞභාග්‍යය හෝ අභාග්‍යය සැලසෙන්නේ ය. ඒ වගේම නිවසක පිරිසුදු බව දකින විට ම එම නිවස ශි‍්‍රයාකාන්තාව පැමිණෙන බව ජනප්‍රවාදයේ එන මතයකි. ස්වාමියා මෙන් ම දරුවන්ට උදෑසන නිවසින් පිටට යන විට අවශ්‍ය ආහාරපානාදිය සකස් කොට දීමෙන් මෙන් ම ඔවුනට ආසිරි පතා නිවසින් පිටත් කිරීම ඉතා ම යහපත් ය.

ආදරණීය, සකසුරුවම් නිවසක් හිමි කාන්තාවක වීම තරම් කාන්තාවකට තවත් සැපතක් ඇතැයි නොසිතිය යුතු ය.

ඔබ විවාහ ජීවිතයකට එළැඹීමත් සමඟ ස්වාමියාගේ මවුපියන්ගේ ද සියලු කටයුතු සොයා බැලීමෙන් අනලස් ව කළ යුතු ය. තමන්ගේ මවට, පියාට සේ ම ස්වාමියාගේ මව ද පියා ද ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම ඉතා වැදගත් ය.

තම භාර්යාව වෙනුවෙන් ම සිය ජීවිතය කැපකොට සිටින ස්වාමිපුරුෂයා දෙවියකු කොට සැලකීමට භාර්යාවක් තරයේ ඉටාගත යුතු ය. එවන් ස්වාමිපුරුෂයාට රහසේ කළ හැකි දෙයක් භාර්යාවකට නොතිබිය හැකි ය. නොතිබිය යුතු ය.

ඒ වගේ ම ස්වාමි පුරුෂයා උපයන සියලු ධනය නිකරුණේ විය පැහැදම් කරන ස්ත්‍රිය නිවසක දියුණුව වළකන්නීය. ස්වාමියා වෙහෙසවී උපයන ධනය ඉතා අරපිරිමැස්මෙන් යුක්තව භාවිත කොට ගේ දොර කටයුතු සිදුකිරීම හා අනාගතය සඳහා යම් ප්‍රමාණයක් ඉතිරි කිරීමත් ඉතා වැදගත් ය.

යම් නිවසක භාර්යාවක් ගේ දොර කටයුතු අතපසුවීමත්, තමාගේ ස්වාමියාටත්, දරුවන්ටත් ඉටුවිය යුතු යුතුකම් මඟහැරීමටත් ඉඩ ඇත. එවන් කාන්තාවක නිවසට එනම් ගෘහය මූ දේවිය අරක්ගත් සොහොන් බිමක් වැනි ය. ඒ වගේ ම බිරිඳක්, මවක් වශයෙන් තමාට අයත් ගේ දොර සියලු කටයුත්තෙහි දක්ෂ විය යුතු ය.

වාසනාවේ දොරටුව

සිඟාලෝවාද සූත්‍රයේ අඩංගු ස්වාමි භාර්යා යුතුකම් සැපවත් පවුල් ජීවිතයකට අගනා උපදේශයන් ය. එහෙත් අසීමිත ආශාවන් හා අසංවිධාන පැවැත්ම නිසා ගෘහයක සුව සහනය සදහට ම වැනසී යා හැකි ය. ඒ නිසා ස්වාමි භාර්යාවන් වශයෙන් එකිනෙකාට විශ්වාසවන්ත ව ජීවත්වීම ඉතාම වැදගත් ය. එවන් විශ්වාසවන්ත, සමසීල, සමචාග, සමප්‍රඥාවන්ගෙන් සමන්විත දෙපළක් මුළු මහත් සමාජයට ම ආලෝකයකි. එවන් ගෘහයක් දෙවඟනක හා දිව්‍ය පුත්‍රයකු ජීවත්වන විමානයක් වැනි ය. එවන් මවක් හා පියෙක් ලබන දරුවෝ ද ඉතා යහපත් ය.