Print this Article


බුදුදහමේ විග්‍රහ වන සත්පුරුෂයා හා අසත්පුරුෂය

බුදුදහමේ විග්‍රහ වන සත්පුරුෂයා හා අසත්පුරුෂයා

අසත්පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් වේ නම්, එය තමාගෙන් ඇසුවත් නොකියයි. නො අසාම කීමක් කෙසේ ද ? තමාගෙන් ප්‍රශ්න නඟමින් අසන විට පිරිහෙළා වසා අඩුකොට සැකෙවින් අනුන්ගේ ගුණයක් කියයි. මෙබඳු තැනැත්තා අසත්පුරුෂයා යයි දත යුතුයි

“මාතා පෙත්තිහරං ජන්තු –
කුලෙ ජෙට්ඨාපවායිනං
සණ්හං සඛීලසමිභාසං –
පෙසුණෙය්‍යප්පහායිනං
මච්ජෙර විනයෙ යුත්තං –
සච්චං කෝධාහිභුං තරං
තං වෙ දේවා තාවතිංසා –
ආහු සප්පුරිසො ඉති”

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් හොඳ මිනිසා සහ නරක මිනිසා හඳුන්වා ඇත්තේ සත්පුරුෂ හා අසත්පුරුෂ නාමයෙනි. ඔවුන් හඳුනා ගන්නා ආකාරය ද යථාර්ථවත් ලෙස දේශනා කර ඇත.

ස්ත්‍රී පුරුෂ කවුරු හෝ වේවා එම ලක්ෂණවලින් යුක්ත නම් ඔවුන් සත්පුරුෂයන් හා අසත්පුරුෂයන් ලෙස සැලකිය යුතු ය. පළමු කොට අසත්පුරුෂයාගේ ස්වභාවය ගතිපැවතුම් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ එම ලක්ෂණවලින් තොරවූ ගතිපැවතුම් ඇත්තා සත්පුරුෂයා ලෙස වදාළහ.

මහණෙනි, කරුණු හතරකින් යුත් තැනැත්තා අසත්පුරුෂයා යැයි දත යුතු ය. කවර සතරකින් ද යත් මේ ලෝකයෙහි අසත්පුරුෂයා අනුන්ගේ යම් අගුණයක් වේ නම්, එය අනුන් විසින් තමාගෙන් නො අසන ලද වුව ද එළිදරව් කරයි. ඇසුවාම කීම ගැන කවර කතාද? තමාගෙන් ඇසූ විට ද තව තවත් ප්‍රශ්න අසන්නට සලසා, නොපිරිහෙළා නොනවත්වා පරිපූර්ණ කොට විස්තර වශයෙන් අනුන්ගේ නුගුණ කියයි. මෙබඳු තැනැත්තන් අසත්පුරුෂයා යයි දත යුතු ය.

“තවද මහණෙනි, අසත්පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් වේ නම්, එය තමාගෙන් ඇසුවත් නොකියයි. නො අසාම කීමක් කෙසේ ද තමාගෙන් ප්‍රශ්න නඟමින් අසන විට පිරිහෙළා වසා අඩුකොට සැකෙවින් අනුන්ගේ ගුණයක් කියයි. මෙබඳු තැනැත්තා අසත්පුරුෂයා යයි දත යුතුයි.

තවද මහණෙනි, අසත්පුරුෂයා තමාගේ යම් ගුණයක් වේ නම්, එය අනුන් විසින් අසන ලදුවත් හෙළි නොකරයි. නොඇසූ විට හෙළි කිරීමක් කෙසේ වේද? ප්‍රශ්න නඟා ඇසුවාම පිරිහෙලා වසා අඩුකොට සැකෙවින් තම නුගුණ කියයි. මොහු අසත්පුරුෂයායි දත යුතුයි.

තවද මහණෙනි, අසත්පුරුෂයා තමාගේ යම් ගුණයක් වේ ද, එය අනුන් විසින් නොඅසන ලදුවම ප්‍රකාශ කරයි. ඇසූ විට කීම ගැන කවර කතාද? ප්‍රශ්න නඟමින් අසන විට නොපිරිහෙළා නොවසා වැඩි කොට විස්තර වශයෙන් තමාගේ ගුණය කියයි. මොහු අසත්පුරුෂයායි.

“යො නින්දියං පසංසති – තං වා නින්දති යො පසංසියෙ
විචිනාති මුඛෙන සො කලිං – කලිනා නෙත සුඛංක වින්දත

යනුවෙන් “යමෙක් නින්දා කළ යුත්තාට ප්‍රශංසා කෙරේ ද, ප්‍රශංසා කළ යුත්තාට නින්දා කෙරේද ඔහු මුඛයෙන් අපරාධයක් (වරදක්) රැස් කරයි. ඒ වරදින් ඔහු සැපයක් නොවිඳියි, කියාද වදාළහ. මෙබඳු කතා ඇත්තා ගුණ ඇති – නැණවතුන්ගේ දොස් කියන අයෙකු බවද වදාළහ.

බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂයාට වෙනත් අසත්පුරුෂයකු දැක “මොහු අසත්පුරුෂයෙකැයි කියා හෝ සත්පුරුෂයෙකු දැක”මොහු සත්පුරුෂයෙකැ”යි කියා හෝ හඳුනාගත නොහැකි බවත්, සත්පුරුෂයාට අසත්පුරුෂයා හා සත්පුරුෂයා හඳුනාගත හැකි බවත් වදාළහ.

සත්පුරුෂ ලක්ෂණ

සත්පුරුෂයා අනුන්ගේ අගුණය වෙන කෙනකුන් ඇසුවත් නොකියයි. ප්‍රශ්න නඟමින් ඇසුවොත් පිරිහෙළා අඩුකොට කියයි.

අනුන්ගේ ගුණය වෙන කෙනෙකුන් නොඇසුවත් කියයි. ප්‍රශ්න නඟමින් අසන විට නොපිරිහෙළා අඩු නොකොට කියයි. තමන්ගේ අගුණය අනුන්, නොඇසුවත් කියයි. ප්‍රශ්න නඟමින් අසන විට නොපිරිහෙළා අඩු නොකොට කියයි.

තමන්ගේ ගුණය අනුන් ඇසුවත් නොකියයි. ප්‍රශ්න නඟමින් අසන විට පිරිහෙළා අඩුකොට කියයි. තවද බුදුරදුන් වර්ණනා කළ යුත්තාට ගුණ කීමත්, නින්දා කළ යුත්තාට නින්දා කිරීමත් සත්පුරුෂ ලක්ෂණ බව වදාරා ඇත.

තමන් ඇසුරු කරන කිසියම් පුද්ගලයකු තුළ යටකී අසත්පුරුෂ ලක්ෂණ ඇතැයි වැටහේ නම්, ඔහු අත්හැරීමත්, තමා තුළ සත්පුරුෂ ලක්ෂණ පුරුදු පුහුණු කර ගැනීමත් බෞද්ධ ආකල්පයයි.

දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා,

“තෙවලා ඵසා භික්ඛවේ සප්පුරිසභූමි යදිදං කතඤ්ඤධුතා කතවේදිතා”

මහණෙනි යම් මේ කළගුණ දැනීමත්, කළගුණ ප්‍රකාශ කිරීමත් වේ ද එය සත්පුරුෂ භූමියයි වදාළහ. භූමි යනු යමෙකු හෝ යමක් හෝ පිහිටා තිබෙන තැනයි. සත්පුරුෂයෙකු කෙරෙහි කළගුණ සැලකීමේ ගුණය ඇත. එහෙයින් ඔහු තුළ සියලු ගුණ පිහිටිය හැකි ය. යමෙකු කළගුණ දන්නේ නම්, ඔහු සත්පුරුෂයකු වන බවත්, සත්පුරුෂකම මැනීමේ මිනුම් දණ්ඩ හෙවත් කෝදුව කෘතඥතාව බවත් මෙයින් දේශිත ය. ලෝකයෙහි දුර්ලභ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් “කෘතඤ පුද්ගලයා ද” කෙනකු බව වදාරන ලදි.

බුදුරජාණන් වහන්සේගේ ආදර්ශය

හේතුඵල ධර්මය යථාර්ථයෙන් අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ මිනිස් ගුණ වගාවේ උතුම්ම ගුණය නම් තමාගේ යහපතට උපකාර වූ හේතුවූ අයට සැලකීම බව වදාළහ.

බුදු වීමට අතිශයින් ම උපකාර වූයේ “ඇසතු” වෘක්ෂයයි. එය ප්‍රථම පාරිභෝගික වස්තුව මෙන් ද සැලකිය හැකි ය. සතියක් ඒ දෙස ඇසිපිය නොහෙළා භාවනානුයෝගී ව බලා සිටීමෙන් හෙවත් අනිමිසලෝචන පූජාවෙන් බුහුමන් කිරීමෙන් ගුණ වගාවේ ප්‍රථම ආදර්ශය දැක්වූ සේක. අනුගාමික ශ්‍රාවක ජනයාගෙන් ද මෙම බෝධි වෘක්ෂයට පුද පූජා ලැබීමට මෙම ආදර්ශය හේතුවන බව ද දුටු සේක.

එය අවුරුදු දෙදහස් ගණනක් මුළුල්ලෙහි සාර්ථක වී ඇති බව එදා මෙන්ම අදද සිදු වන බෝධි පූජාවලින් ඔප්පු වන්නේ ය.

බුදුරදුන් දෙව්ලොව වැඩමවා මාතෘ දිව්‍ය රාජයන්ට අබිදම් දෙසීම හා කිඹුල්වත්පුරට වැඩමවා සුද්ධෝදන රජු ආදීන්ට දහම් දෙසා මාර්ගඵලලාභීන් කිරීම ආදිය කෘතවේදීත්වයේ නිදසුන් ලෙස සැලකිය හැකි ය. බොහෝ ජාතක කතාවලට අනුව බෝසත් කල්හි මවුපියන් පෝෂණය කිරීම ආදී වශයෙන් පුරන ලද ගුණ දහම් කෘතගුණ සැලකීම් වශයෙන් සිදු කර ඇත්තේ ය. සාම ජාතකයද මෙයට විසිතුරු නිදසුනකි.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.