Print this Article


ධර්මය මඟහැරෙන අවස්ථා

ධර්මය මඟහැරෙන අවස්ථා

බුදුරජාණන් වහන්සේ කෙනකුගේ ලොව පහළවීම ඉතාම දුර්ලභ කාරණයකි. එමෙන් ම මිනිසත් බව ලැබීම ද ඉතාම දුර්ලභ කාරණයකි. බුදුරජාණන් වහන්සේ කෙනකුගේ ධර්මය ලොව පවතින කාලයක, අඩුපාඩු නොමැති ව මිනිසත් බව ලබා, ඒ ධර්මය අසන්නට ලැබීම ඉතාම දුර්ලභ කාරණයකි. මෙම සියලු අවස්ථා සම්පූර්ණ වීම ‘ක්ෂණ සම්පත්තිය” ලෙස හඳුන්වයි.

එවැනි උතුම් ක්ෂණ සම්පත්තිය ලද මොහොතක වහ වහා කටයුතු කළ යුත්තේ එම ධර්මයට අනුව කටයුතු කොට සසරින් මිදීම සඳහා උත්සාහ කිරීම යි. මෙම අවස්ථාවේ දුර්ලභ බව පිළිබඳ “අක්ඛණ” සූත්‍රයෙහි (අං.නි.5) ඉතා හොඳින් පැහැදිලි කර දෙයි.

තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වී කෙලෙසුන්ගෙන් දුරු වීම පිණිස පිරිසුදු නිවන් මඟ දේශනා කරයි. ඒ අවස්ථාවේ දී සසර සරන සත්වයා ‘නිරයෙහි’ උපත ලබා ඇත්නම් ඔහුට ධර්මය අසන්නට නො ලැබේ. තමන් කරන ලද කර්මයන්ගේ විපාක වශයෙන් නිරි සත්වයාට කල්ප ගණන් නිරයෙහි දුක් විඳීමට සිදු වේ. එම දීර්ඝ කාලය තුළ බුදුරජාණන් වහන්සේ ද පිරිනිවන් පා ධර්මය ද ලෝකයෙන් අතුරුදහන් වූයේ නම්, එම මුළු කාලය ම නිරයේ තම කර්ම විපාක ගෙවන නිරිසත්වයාට උතුම් ක්ෂණ සම්පත්තිය අහිමි වූයේ වෙයි.

මෙය නිවන් අවබෝධය පිණිස බ්‍රහ්මචරිය වාසය මඟ හැරුණ එක් අවස්ථාවකි.

චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේගේ නුවණින් ම අවබෝධ කොට සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී පිරිසුදු නිවන් මඟ දේශනා කළත් සසර සරන සත්වයා “තිරිසන් යෝනියෙහි’ උපත ලබා ඇති නම්, එය ද ක්ෂණ සම්පත්තිය අහිමි වූ මොහොතකි. තණ්හාවේ ස්වභාවය නම් ඒ ඒ තැන ඇලීම යි. (තත්‍ර තත්‍රාභිනන්දනී) මේ නිසා තිරිසන් යෝනියෙහි උපන් සත්වයා එම උපතට ආශා කරයි. එයින් නිදහස් වීමක් පිළිබඳ දැනුමක් එම සත්වයන්ට නැත. නැවත නැවතත් තිරිසන් යෝනියෙහි ම උපත ලැබීම එහි ප්‍රතිඵලය යි. එබැවින් තිරිසන් යෝනියෙහි උපත ලැබීම ධර්මය අවබෝධයට බාධාවක් බව තේරුම් ගත හැකි ය.

අවිද්‍යාව, මුළුමනින් ම දුරු කොට විද්‍යාව උපදවා ගත් විජ්ජාචරණ සම්පන්න වූ සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වී සත්වයන්ට පිරිසුදු නිවන් මඟ දේශනා කරන මොහොතක, සසරේ ඉපදී මැරෙමින් යන සත්වයා පේ‍්‍රත විෂයයෙහි උපත ලබා ඇති නම්, එය ක්ෂණ සම්පත්තිය අහිමි වූ තුන්වැනි අවස්ථාව වේ.

පේ‍්‍රත විෂයයෙහි උපන් පේ‍්‍රතයන්ට කල්ප ගණන් දීර්ඝ ආයුෂ ඇති බව “පේතවත්ථු”වලින් හෙළි වේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ දෙනමක්, තුන්නමක් ලොව පහළ වී ධර්මය අතුරුදහන් වන තුරු ද සමහර පේ‍්‍රත කොටස් එකම පේ‍්‍රත ලෝකයේ ජීවත් වෙයි. ඔවුනට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමට අවස්ථාව නැත.

රාග, ද්වේශ, මෝහ මුළුමනින් ම දුරු වූ සුන්දර නිවනට පැමිණ වදාළ “සුගත” තථාගත සම්බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව පහළ වී පිරිසුදු නිවන් මඟ දේශනා කරන කාලයක, සසර සැරිසරන සත්වයා දීර්ඝ ආයුෂ ඇති දේව නිකායක උපත ලබා ඇති නම් එය ද ක්ෂණ සම්පත්තිය අහිමි වූ කාලයකි. නේවසඤ්ඤානාසඤ්ඤායතන දේව නිකායෙහි පරම ආයුෂ කල්ප අසූදහසකි. (80000) අසඤ්ඤ තලයෙහි පරම ආයුෂ ඊටත් වඩා වැඩි වේ. දීර්ඝ ආයුෂ ඇති දේව නිකායවල දෙවියන්ට ආයුෂ ක්ෂයවීම පිළිබඳ වැටහීමක් නැති බැවින් ඔවුනට අනිත්‍ය ධර්මතාව පිළිබඳ තේරුම් ගැනීම අපහසු බව කියැවේ.

එම නිසා ධර්මය අසන්නට ලැබුණත් ඒ ධර්මය අවබෝධ කිරීමට අවස්ථාව නො ලැබේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ කිහිප නමක් විටින් විට ලොව පහළ වී අසංඛ්‍ය ගණනින් මිනිසුන් නිවන් දකින විට, එබඳු දීර්ඝ ආයුෂ ඇති දේව නිකායවල දෙවියන් ධර්මය අවබෝධ නොකරම පසුව දුගතියෙහි ද උපත ලබයි.

අපගේ බෝසතාණන් වහන්සේ උපත ලැබූ බව අසා සුද්ධෝදන රජ මාලිගාවට පැමිණි ‘කාලදේවල’ ඍෂිවරයා මුලින් සිනහ වී පසුව කඳුළු සැලුවේ, මරණින් පසු තමන් ද එවැනි දීර්ඝ ආයුෂ ඇති දේවනිකායක උපත ලබා ධර්මයෙන් පිරිහෙන බව දැකීමෙන් පසුව බව සඳහන් වේ.

සියලු ලෝක අටම නුවණින් අවබෝධ කොට, සියලු ලෝකයන්ගෙන් නිදහස් වී වදාළ ලෝකවිදූ වූ සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී ධර්මය දේශනා කරන අතර, තෙරක් නොමැති ව භවයෙන් භවයට යන සත්වයා මේ මිනිස් ලෝකයෙහි ම ප්‍රත්‍යන්ත දේශයක උපත ලබයි.

ප්‍රත්‍යන්ත දේශය යනු භික්ඛු, භික්ඛුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසෙන් ද තොර වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නො ඇසෙන ඉතා දුර ප්‍රදේශ වේ. ම්ලේච්ඡ වූ ගෝත්‍රික ජනයා වාසය කරන ප්‍රදේශ මෙයින් අදහස් වේ. මිනිස් ලෝකයෙහි ම එවැනි තැනක උපත ලැබුණත් ධර්මය ඇසීමට හෝ පින් රැස් කර ගැනීමට පවා අවස්ථාව නො ලැබේ. ඔවුන් තවදුරටත් අකුසල් රැස් කර ගනිමින් දුගතියෙහි උපත ලබා සසර දීර්ඝ කර ගනී.

දමනය කළ හැකි සියලු දෙවි මිනිසුන් දමනය කොට, සසර කතරින් එතෙරවීම පිණිස ප්‍රතිපත්ති මාර්ගය වෙත යොමු කොට වදාළ “පුරිසදම්ම සාරථි’ වූ සම්බුදුරජාණන් වහන්සේ මේ මිනිස් ලොව පහළ වී පිරිසුදු නිවන් මඟ දේශනා කරන අතර, සසර සැරිසරන සත්වයා ද මේ මිනිස් ලොව උපත ලබයි. නමුත් ඔහු දන්දීමෙහි විපාක නැත. පින්කම්වල විපාක නැත. වත්පිළිවෙත් කිරීමෙහි විපාක නැත. හොඳ නරක ක්‍රියාවල (කර්ම) විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවට සැලකීමෙහි විපාක නැත. පියාට සැලකීමේ විපාක නැත. ඕපපාතික ව උපදින සත්වයන් නැත. මෙලොව පරලොව තමන්ගේ ඤාණයෙන් අවබෝධ කළ ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත යන දසවස්තුක මිච්ඡා දිට්ඨියෙන් යුතු පුද්ගලයෙක් වේ. අකිරියවාද, අහේතුකවාද ආදී වශයෙන් විවිධ දෘෂ්ටි මතවාද ඇති කර ගත් බොහෝ ශාස්තෘවරයෝ බුදුරජාණන් වහන්සේ පහළ වූ කල ද දඹදිව වාසය කළහ. ඔවුන් කිසිවකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අවබෝධ කිරීමට තබා ඒ ධර්මය ඇසීමට වත් කන් යොමු නො කළහ. මිච්ඡා දිට්ඨියෙන් යුතු පුද්ගලයාට නිරය හෝ තිරිසන් යෝනිය යන ගති දෙක උරුම වන බව බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළා. එබැවින් එබඳු මිච්ඡාදිට්ඨි ගත් සියලු දෙනා දුගතියෙහි උපත ලබා මේ සසර දීර්ඝ කර ගත් බව පැහැදිලි වේ. මෙම මිච්ඡාදිට්ඨික බව ධර්මය මඟහැරී යන හයවැනි අවස්ථාව ලෙස “අක්ඛණ” සූත්‍රයෙහි සඳහන් වේ.

මිනිසුන්ගේ මෙන් ම දෙවියන්ගේ ද ශාස්තෘන් වහන්සේ වන බැවින් “සත්ථා දේව මනුස්සානං” නම් වූ සම්බුදුරජාණන් වහන්සේ මේ මිනිස් ලොව පහළ වී පිරිසුදු නිවන් මඟ පැහැදිලි කොට දෙයි. සසර සැරිසරන සත්වයා මේ මිනිස් ලෝකයේ ම බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ප්‍රදේශයේ ම උපත ලබයි. නමුත් ඔහුට හොඳ නරක කිසිවක් තේරුම් ගත නො හැකි ය. ධර්මය අනුව පිළිපැදීමට නම් ධර්මය හොඳින් තේරුම් ගත හැකි නුවණක් තිබිය යුතු ය. එබඳු නුවණක් නැති මන්දබුද්ධික අයහට , බුදුරජාණන් වහන්සේගේ සමීපයේ සිටියත් කිසිදිනෙක ධර්මය අවබෝධ කළ නොහැකි ය.

මෙය ද ධර්මය මඟහැරී යන ක්ෂණ සම්පත්තිය අහිමි වූ අවස්ථාවක් ලෙස සූත්‍රයේ සඳහන් වේ.

ක්ෂණ සම්පත්තිය අහිමි වන අට වැනි අවස්ථාව ලෙස “අක්ඛණ” සූත්‍රයේ සඳහන් වන්නේ තථාගත සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ නොවන කාලය යි. බුදු කෙනකුන් ලොව පහළ වන්නේ ඉතාම කලාතුරකිනි.

ලෝකයේ බුද්ධ ශාසනයක් නැති කාල බොහෝ ය. කල්ප සියයක් වැනි දීර්ඝ කාලයකට ලෝකයේ පහළ වී ඇත්තේ බුදුරජාණන් වහන්සේ සත් නමක් පමණක් බව “මහාපදාන” සූත්‍රයෙහි (දීඝ.නි. - 2) සඳහන් වේ. කල්පයක් යනු ගණනින් කිව නොහැකි ඉතා දීර්ඝ කාලයක් බව අපි දනිමු. මේ නිසා බුදු කෙනකුන් ලොව පහළ වී බුද්ධ ශානයක් පවතින කාලය ඉතා කෙටි කලකි. බුදුසසුනක් නැති කලෙක කොතරම් බුද්ධිමත් අයෙක් ලෙස උපත ලැබුවත් අවබෝධය පිණිස හේතුවන ධර්මය නො ලැබෙන නිසා ඔහුට සසරින් මිදීම කළ නොහැක. මෙය ද ක්ෂණ සම්පත්තිය අහිමි වන අවස්ථාවකි.

සියල්ල දන්නා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, ක්ෂණ සම්පත්තිය අහිමි වන ඉහත සඳහන් අවස්ථා අට පමණි. මෙකල බුද්ධ ශාසනයක් පවතින ධර්මය ඇසෙන කාලවකවානුවකි. එබැවින් ධර්මය අවබෝධ කිරීම පිණිස පින් මද යැයි කියන ප්‍රකාශය පිළිගත නොහැක. ක්ෂණ සම්පත්තිය අහිමි වන එවැනි අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැත.

කළ යුත්තේ ධර්මය අසා පිළිගැනීම නොව ධර්මය අසා පිළිපැදීමයි. අසන ධර්මය පිළිපැදීමට නම් හොඳින් නුවණින් විමසා තේරුම් ගත යුතු ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය තමාගේ අත්දැකීමක් කර ගන්නේ කෙසේද යන කරුණු හොඳින් විමසා බැලිය යුතු ය. එයට අදාළව ධර්මය අසා තේරුම් ගැනීම එයට උපකාර වේ.

අසන ධර්මය ස්වාධීන ව නුවණින් විමසා බැලීමට සියලු දෙනාට අයිතියක් ඇත. “මහාපදේශ” දේශනාවන්ගෙන් එය මනාව ඔප්පු වේ. නමුත් ස්වාධීන විමසීම දෘෂ්ටිවල පටලැවීමට නොව, අනිත්‍ය දර්ශනය තම අත්දැකීමක් බවට පත්කර ගැනීමට බව මතක තබා ගත යුතු ය. එවන් උත්සාහයක් වීරියක් ඇති කර ගන්නේ නම්, අදට ද ධර්මය අවබෝධ කිරීමට බැරි විය නො හැක. සියල්ලෝ මේ සඳහා උත්සාහය වීර්ය ඇති කර ගනිත්වා!

(අංගුත්තර නිකාය - 5 අක්ඛණ සූත්‍රය ඇසුරිනි)