Print this Article


ජීවන ගැටලු විසඳා ගන්නට සම්බුදු දහම පරිශීලනය කරන්න

ජීවන ගැටලු විසඳා ගන්නට සම්බුදු දහම පරිශීලනය කරන්න

ලෝකයේ ජීවත්වන සෑම සත්ත්වයෝ ම සැප කැමැත්තෝ වෙති. “සුඛ කාමනී භූතානි” යන බුදු වදනට අනුව ඒ බව තවදුරටත් පැහැදිලි වේ. අන් සියලු සත්වයෝ අභිබවා යමින් මිනිසා සැපය සොයා වෙහෙසේ. එහිදී ඉගෙනීම, වස්තු සම්පත් ලැබීම, විවාහ වීම, දරුවන් ලැබීම, දරුවන් හැදීම ආදී සියල්ලක් ම තුළින් බලාපොරාත්තු වන්නේ සැපය යි.

ජීවිතය දුක් සහිත යැයි පවසන බුදු දහම තුළ සැපයක් පවතී ද යන්න සම්ධන්ධයෙන් විවිධාර්ථයේ තර්ක - විතර්ක ඉදිරිපත් ව පවතී. එහෙත් බුද්ධ දේශනාව අධ්‍යයනයෙන් බුදු දහම සැපය ප්‍රතික්ෂේප නො කරන බව පෙනේ. ඒ අනුව බුදු සමය සැපය පහත ආකාරයෙන් වර්ගීකරණය කොට දක්වයි.

ගිහි සැප - පැවිදි සැප

මෙලොව සැප - පරලොව සැප

ලෞකික සැප - ලෝකෝත්තර සැප

කායික සැප - මානසික සැප

සාමිස සැප - නිරාමිස සැප යනුවෙනි.

ගෞරවාන්විත සැපය සතුට සදයි

ගිහියන් විසින් වින්දනය කරනු ලබන සැපය ගිහි සැප ලෙස හැඳීන්වේ. අඹුවන් රක්ෂා කරමින්, ගිහි ගෙදර වාසය කරමින් ගිහියා පසිඳුරන් පිනවීම හරහා සැපය ලබයි. ගිහි සැප ලබා ගැනීමට නම් පුද්ගලයාට තමා සතු ධනයක් තිබිය යුතු ය. ඒ අනුව බුදුරජාණන් වහන්සේත් ,අණන සූත්‍රය හරහා ගිහියකු සතුව පවතින සැප හතරක් ගැන පෙන්වා වදාළහ. එනම් අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ, අනවජ්ජ සුඛ යනුයි.

තමාට ධාර්මික වූ ධනයක් ඇතැයි යනුවෙන් පුද්ගලයා ලබන සැප “අත්ථි සුඛ” ලෙස හඳුන්වයි. පුද්ගලයා උපයන ධනය ධාර්මික වන්නේ කෙසේද? උට්ඨාන විරියාධි ගතෙහි බාහු බල පරිචිතේහි සේදාවක්කිත්තේන ධම්මේන ධම්මං ලද්දං භෝගේහි

නැඟී සිටි වීර්යයෙන් යුතුව, බාහු සොලවා, දහඩිය වගුරුවා, ධාර්මික ධන සම්පත් උපයන්නේ ද එම ධනය ධාර්මික වන්නේ ය. එසේම සත්ත්ව, විෂ, ආයුධ, මත්පැන්, මාංශ යන අදැහැමි වෙළඳාම්වලින් ඉවත් ව ධනය ඉපැයිය යුතු බව පෙන්වා දෙයි. තව ද තුලාකූඨ, මානකූඨ, කංසකූඨ, නිකති, උක්කෝටන යන වංචනික ක්‍රමවලින් ඉවත් ව ධන සම්පත් ඉපැයීමට බුදුදහම උපදෙස් ලබා දෙයි.

බුදුදහම අනුමත කරන දැහැමි රැකියාවන් මොනවා ද? රාජ්‍ය සේවය, කෘෂිකර්මාන්තය, වෙළඳාම, සත්ත්ව පාලනය හා වෙනත් ශිල්පීය කර්මාන්ත බුදුසමය අනුමත කරන දැහැමි රැකියාවන් ය. තමන් නිසාවත්, අනුන් නිසාවත්, තම අඹුදරුවන් නිසාවත් අධාර්මික ව සමෘද්ධිය නොලැබිය යුතු බවත්, එසේ නොමැති වීමෙන් සමාජ ගැටලු රාශියක් නිර්මාණය වන බවත්, ධර්මයෙන් සමෘද්ධිය ලැබිය යුතු බවත්, එවිට සාමකාමී සමාජ පරිසරයක් නිර්මාණය වන බවත්, එය ගැටලු විසදීමෙහිලා උපයෝගී වන බවත් සාක්ෂාත් වන්නේ ය.

එලෙස පුද්ගලයා ධාර්මික ව උපයා සපයා ගන්නා වූ ධනය පරිභෝග කිරීමෙන් ලබන්නා වූ සැපය” භෝග සුඛ” නම් වේ. ධනය වියදම් කළ යුත්තේ කෙසේ දැයි “සිඟාලෝවාද සූත්‍රයේ” පෙන්වා දෙයි.

ඒකේන භොගේ භුංජ්‍යෙය - ද්විහි කම්මං පයොජයෙ..” උපයාගත් ධනය කොටස් හතරකට බෙදා ඉන් එක් කොටසක් එදිනෙදා පරිභෝජනය පිණිස ද, කොටස් දෙකක් මතු අනාගතයේ ආදායම් ලබන කර්මාන්තය සඳහා ද යෙදවිය යුතු ය. තවද ඉතිරිය ආපදාපන්න අවස්ථාවක දී ගැනීමට තැන්පත් කළ යුතු ය.

මේ ආකාරයට පුද්ගලයා උපයාගත් ධනය පරිභෝග කිරීමෙන් භෝග සුඛය ලබයි. එවිට ඔහු තමා සතු දෙයින් සෑහීමට පත්වන අතර, අන් අයගේ භවභෝග සම්පත් සොරා ගැනීමට පෙළඹීමෙන් වළකී. එය හේතු පාදක කොටගෙන සමාජයේ ඇතිවීමට හැකි බොහෝ සමාජ දුරාචාරවලින් අනුබද්ධිත සමාජයක් ගොඩනඟා ගත හැකි ය.

ණය බරින් පීඩිතවීම මිනිසාට බොහෝ දුක් පීඩාවන් ඇති කරවන්නකි. එය පුද්ගලයාගේ මානසික සංතෘප්තිය කෙරෙහි ප්‍රබල බලපෑමක් කරනු ලබන සාධකයකි.

පුද්ගලයා කිසිවකුට හෝ ණය නැති වීමෙන් ලබන්නා වූ සතුට “අණන සුඛය” නම් වේ. “චතුත්තඤ්ච නිදාපෙය්‍යය – ආපදාසු භවිස්සති” යනුවෙන් බුදුදහමේ එන පරිදි උපයාගත් ධනයෙන් කොටසක් ආපදාපන්න අවස්ථාවක දී ගැනීමට තැන්පත් කර තැබිය යුත්තේ ඒ නිසා ය.

“ඉණ සූත්‍රයේ” සඳහන් ආකාරයට ණය වීම දුක් සහිත ය. ඒ බව, ණය ගැනීම නිසා පොළිය ගෙවීමට සිදු වේ. ණය සහ පොළිය ගෙවීමට නොහැකි වීම නිසා මුදල් හිමියා ණය හිමියා පසුපස නිතර ලුහුබඳී. පිරිස් ඉදිරියේ ණය ඉල්ලා සිටී. එවිට බොහෝ ලජ්ජාවන්ට ණය හිමි තැනැත්තා පත්වේ. ඇතැම් විට ණය නොගෙවීම හේතු පාදක කොට ගෙන ඔහුට විරුද්ධ ව ගනු ලබන නීතිමය පියවරවලට යටත්වීමට සිදු වේ. එසේ නම් ණය නොවී වාසය කිරීම පුද්ගලයාට සැප සහිත වන බව පෙනේ.

උක්ත ත්‍රිවිධ සුඛයන් හේතු කොට ගෙන තිදොරින් නිවැරැදි ක්‍රියා කරමින්, පස් පවින්, බැහැර ව, ගෞරවාන්විත ව, සමාජ යුතුකම් ඉටුකරමින් කායික හා මානසික සංවරයෙන් යුක්තව ජීවත් වීම මඟින් පුද්ගලයා ලබන සැපය “අනවජ්ජ සුඛය” ලෙස හැඳින්වේ.

නෙක්ඛම්ම ජීවිතයක්

“පබ්බජ්ජ සුඛය” හෙවත් “පැවිදි සැප” යනු කුමක් ද? “සබ්බදායං ගරාවාස” ගිහි ගෙයි වාසය හිරිහැර සහිත ය යනුවෙන් ගිහි ජීවිතයෙන් ඉවත්ව පැවිදි පිළිවෙත් විඳින්නා පැවිද්දා ලෙස හැඳින්වේ. පැවිද්ද “අබ්බෝකාසාය” අභ්‍යාවකාශය මෙන් නිදහස් තැනකි.

සර්ව දුක් නිරෝධායනය කිරීමේ අදිටනින් ගිහි ජීවිතයෙන් ඉවත් ව අනගාරිකත්වයට පත්ව, නෙක්ඛම්ම ජීවිතයක් ගත කරනු ලබන යෝගාවචර මුනිවරයා ලබනු ලබන සැපය “පැවිදි සැපය” වේ. ඒ අනුව අහසේ පියාසර කරන පක්ෂියකු මෙන් බැඳීම්වලින් තොරව බහුභාණ්ඩික නොවී පැවිද්දා වාසය කරනු ලබයි. එමඟින් ආධ්‍යාත්මික සුවයක් ලබයි.

දීඝජානු කෝලියගේ ඉල්ලීම

“දීඝජානු කෝලිය පුත්‍රයා’ බුදුරදුන් වෙත පැමිණ ප්‍රකාශ කරන්නේ,”භාග්‍යවතුන් වහන්ස, ගිහි කාමභෝගීන් වන අප මල්, ගඳ සුවඳ, විලවුන් දරමින්, අඹුදරුවන් පෝෂණය කරමින්, කර්මාන්ත කරමින්, පංචකාම සැප විඳිමින් සිටින අතර, අපහට මෙලොව පරලොව සැප පිණිස හේතුවන දහමක් දේශනා කරන සේක්වා” යනුවෙනි. එහිදී බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව සැප පිණිස හේතුවන දේශනාවක් වන “ව්‍යග්ඝපජ්ජ සූත්‍රය” වදාළහ. ඊට අනුව මෙලොව සැප පිණිස හේතු වන කාරණා හතරකි.

උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා හා සමජීවිකතා යනුයි.

උට්ඨාන සම්පදා යනු නැඟී සිටි වීර්යයෙන් යුක්ත ව ධන සම්පත් ඉපැයීමයි.

ආරක්ඛ සම්පදා යනු උපයා ගත් ධනය ගින්නෙන්, ජලයෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් ආදි උපද්‍රවවලින් රැක ගැනීමයි.

කල්‍යාණ මිත්තතා යනු උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්ඛායි, අනුකම්පක යන යහපත් කල්‍යාණ මිතුරු ඇසුරයි.

සමජීවිකතා යනු අයවැය සම ව දැනගෙන ධන සම්පත් පරිහරණය කිරීම යි. මෙහිදී තුලාවක ආකාරයෙන් අයවැය සම ව දැන පරිහරණය කළ යුතු වේ.

බුදුරජාණන් වහන්සේ පරලොව සැප පිණිස හේතු වන කාරණා හතරක් “ව්‍යග්ඝපජ්ජ සූත්‍රය”දේශනාව තුළ පෙන්වා දුන්හ. එනම්

ශ්‍රද්ධා සම්ප්‍රදා :– බුද්ධ, ධම්ම, සංඝය යන තුරුනුවන් කෙරෙහි ඇති පැහැදීම

සීල සම්පදා :– කය, වචනය දෙකෙහි සංවරභාවය

ත්‍යාග සම්පදා :– මසුරු බවින් තොරව පරිත්‍යාගශීලිත්වය

ප්‍රඥා සම්පදා – නුවනින් යුක්ත වීමයි.

මෙම සම්පත්තීන් හතර පරලොව සැප පිණිස හේතු වේ.

ලෞකික හා ලෝකෝත්තර සැප

චාතුර් මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවත්තිය නම් සදෙව් ලොවත්, මිනිස් ලොවත් සංඛ්‍යාත සප්ත කාම ස්වර්ගයේ දී විඳින සැපය “ලෞකික සැප” වේ. පංචේන්ද්‍රියන් පිනවීම තුළින් පුද්ගලයා ලබන්නේ ද ලෞකික සැපය යි.

ලෝකෝත්තර සැපය යනු අවිද්‍යාව පාදක කොට ගෙන තෘෂ්ණා දාසත්වයෙන් මිදී පස්කම් සැප සංඛ්‍යාත ලෞකික සැපයෙන් ඉවත් ව රාගාදි කෙලෙස් නැසූ, ඒ නිසාම කාම ලෝකයන්ගෙන් එතෙර වූ රහතන් වහන්සේ විඳින සැපය යි. ලොවෙන් එතෙරවීම යනු මෙහි අර්ථය යි. ඒ අනුව සියලු කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් ලෝකෝත්තර සැප විඳිය හැකි ය.

හිතේ සතුට

කායික සැප යනු කය පිනවීම ආශ්‍රය කොට ගෙන ලබන සැපය යි. මානසික සැපය යනු මනස පිනවීම ආශ්‍රය කොටගෙන ලබන සැපය යි.

තවදුරටත් මෙය පෙන්වා දෙන්නේ නම්, නිරෝගිමත් ශරීරයක් මුල් කොට ලබා ගන්නා සැප කායික සැප හා වන සෙනසුන්, රුක්මුල්, එළිමහන් ආදි තැන්වල වාසය කිරීමෙන් පැවිද්දා ලබන සැපය කායික සැපය යි. එමෙන්ම මනස මුල් කරගෙන ඇතිවන්නා වූ තෘප්තිය නම් වූ හිතේ සතුට හා අත්ථි සුඛය මුල් කරගෙන ගිහියාට ඇතිවන සතුට මානසික සැපය යි.

සාමිස සැප හා නිරාමිස සැප

සාමිස සැපය යනු පංචේන්ද්‍රියන් පිනවීම තුළින් පුද්ගලයා ලබන සැපය යි. ඇලීම, බැඳීම, සාමිස සැපය තුළ පවතී.

පංචේන්ද්‍රියන් පිනවීමෙන් ඉවත් ව නිස්සරණ හෙවත් අතහැර දැමීම තුළින් විඳින සැපය නිරාමිස සැපය යි. නිවන තුළින් එකී සැපය විඳිය හැකි ය. “නිබ්බාණං පරමං සුඛං” නිවන පරම සැප බව දැක්වීමෙන් එය පැහැදිලි ය.

මේ ආකාරයට සැපය පිළිබඳ බෞද්ධ විග්‍රහය ගෙනහැර දැක්විය හැකි ය. සසර දුක් සහිත යැයි බුදුසමය පෙන්වා දෙන නමුත් එයින් අදහස් වන්නේ බුදුසමය තුළ සැපය ප්‍රතික්ෂේප කොට පවතින බවක් නොවේ. සසර දුක් සහිත බව ලෝක යථාර්ථය යි. ත්‍රිලක්ෂණය හරහා එය පැහැදිලි වේ. එහෙත් පුද්ගලයාට සැපයක් නැතැයි ඉන් අදහස් නොවේ. ගිහියන් විසින් ලබන ජීවිතය සැපදායක වුවත් එය තාවකාලික ය. නමුත් සියලු කෙලෙස් දුරු කොට පුද්ගලයා ලබන නිවන් සැප පරම සැප වන්නේ ය.

මේ අයුරින් පුද්ගලයා සැපය අත්විඳින්නේ ද ඔහුට ජීවන ගමනේ එන බොහෝ ගැටලුකාරි තත්ත්වයන්ට සාර්ථක ව මුහුණ දෙමින් ඒවා ජය ගෙන සාර්ථක ජීවිතයකට උරුමකම් කිව හැකි බව යථෝක්ත කරුණූ ආශ්‍රයෙන් පසක් වන්නේ ය.