Print this Article


වධ වේදනා දෙන අයටත් මෙත් වඩන්න යහපත් විසඳුමක් නොඅනුමානයි

කකචුපම සූත්‍රය ඇසුරෙනි:

වධ වේදනා දෙන අයටත් මෙත් වඩන්න යහපත් විසඳුමක් නොඅනුමානයි

භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන කල්හි ආයුෂ්මත් මොලියඵග්ගුණ තෙරණුවෝ වේලාව නොසලකා භික්ෂුණීන් හා එක්ව (කතාබහ කරමින්) කල් ගෙවති. යම් භික්ෂුවක් ආයුෂ්මත් මොලියඵග්ගුණ තෙරුන් ඉදිරියේ ඒ භික්ෂුණීන්ගේ අගුණ කියා නම්, එවිට ආයුෂ්මත් මොලියඵග්ගුණ තෙරණුවෝ කිපී කලහ කරති.

එසේ ම යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ ආයුෂ්මත් මොලියඵග්ගුණ තෙරුන්ගේ අගුණ කීයේ නම්, ඒ භික්ෂුණීහු එසේ කී භික්ෂුවට විරුද්ධ ව නැඟී එති. එක්තරා භික්ෂු නමක් භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත්, සකසා වැඳ මෙ පුවත සැල කළේ ය.

ඒ ඇසූ භාග්‍යවතුන් වහන්සේ එක් භික්ෂුවක් යවා මොලියඵග්ගුණ භික්ෂුව ගෙන්වා ගත් සේක.

මොලියඵග්ගුණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් සකසා වැඳ එකත් පස්හි හුන්හ. එකත් පස්හි හුන් මොලියඵග්ගුණ තෙරුන් වේලාව ගැන නො සලකා භික්ෂුණීන් සමඟ එක්ව වෙසෙන බවටත්, යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන්ගේ අගුණ කියන විට මොලියඵග්ගුණ භික්ෂුව ඊට කිපී කලහ පවා කරන බවටත්, යම්කිසි භික්ෂුවක් ඒ භික්ෂුණීන් ඉදිරියේ මොලියඵග්ගුණ භික්ෂුවගේ අගුණ කීයේ නම් ඒ භික්ෂුණීන් කිපී ප්‍රතිචෝදනා නඟන බවටත්, ඇති තොරතුරු සැබෑ දැයි භාග්‍යවතුන් වහන්සේ විමසූ සේක.

එග්ගුණ තෙරුණුවෝ එය ඇත්තක් බව ප්‍රකාශ කළහ. එග්ගුණ භික්ෂුව ගිහි ගෙයින් නික්ම සැදැහැ සිතින් පැවිදි වූවෙක් නොවන්නේ දැයි භාග්‍යවතුන් වහන්සේ විමසූ විට

‘එසේය ස්වාමීනි, මම සැදැහැ සිතින් පැවිදි වූවෙක්මි’ යි එග්ගුණ තෙරණුවෝ පිළිතුරු දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ:–එග්ගුණය, සැදැහැ සිතින් සසුන් වන්නේ නම්, වේලාව ගැන නොතකා භික්ෂුණීන් සමඟ එක්ව විසීම නුසුදුසු ය. ඒ භික්ෂුණීන්ගේ අගුණ කියන විට තමාගේ පස්කම් ගුණ ඇසුරින් පහළ වන්නා වූ තෘෂ්ණා සහගත වූ හෝ ද්වේශ සහගත වූ හෝ අදහස් දුරු කළ යුතු ය. එවන් අවස්ථාවක දී

“මගේ සිත වෙනස් නො වේවා. මම ළාමක වචන නො කියන්නෙමි. මම හිතානුකම්පා ඇත්තකු වන්නෙමි. මෛත්‍රී සහගත වූ සිතැත්තෙමි. ද්වේශ සහගත සිත් නැත්තෙක් වන්නෙමි”යි හික්මිය යුතු ය.

එග්ගුණය, එහෙයින් යම් කිසිවෙක් ඒ භික්ෂුණීන් හට හෝ තමාට හෝ අතින් හෝ ගල් කැටයකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයකින් හෝ පහර දෙන්නේ නම්, තම සිතේ පස්කම් ගුණ ඇසුරින් පහළ වන්නා වූ තෘෂ්ණා සහගත වූ හෝ, ද්වේශ සහගත වූ හෝ අදහස් දුරු කරන්න. එග්ගුණය, එවන් අවස්ථාවන්හි

“මාගේ සිත වෙනස් නො වේවා. මම ළාමක වචන ද ප්‍රකාශ නො කරන්නෙමි. මම හිතානුකම්පා ඇත්තෙක් වන්නෙමි. මෛත්‍රී සහගත වූ සිත් ඇත්තෙක් වන්නෙමි. ද්වේෂ සහගත වූ සිත් නැත්තෙක් වන්නෙමි’ යි හික්මිය යුතු ය.

භාග්‍යවතුන් වහන්සේ විසින් එග්ගුණ තෙරුන්ට මෙතරම් අවවාද දෙන ලදුවත්, භික්ෂුණීන් හා එක් ව විසීමෙන් දුරු වන්නෙමි'යි චින්තා මාත්‍රයකුදු පහළ නො කොට, භාග්‍යවතුන් වහන්සේට පවා පටහැනිව ම සිටියේ ය. එග්ගුණ තෙරුන්ගේ මේ අකීකරු ගති දුටු භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රථම බෝධියෙහි විසූ සුවච භික්ෂූන් සඳහන් කරමින් භික්ෂූන් අමතා (බුද්ධත්වයෙන් විසි වසක් තුළ වූ) ප්‍රථම බෝධිය නමින් හැඳින්වෙන කාලයෙහි විසූ භික්ෂූන් කොතරම් දුරට මගේ සිත දිනාගෙන විසුවාහු ද යත්, මහණෙනි, නීරෝගිත්වයට ද, නිදුක් බවට ද, සැහැල්ලු බවට ද, ශරීර ශක්තියට ද, පහසු විහරණයට ද හේතු වන්නා වූ පෙරවරුවෙහි වැළැඳිය යුතු වූ ඒකාසන භෝජනය පමණක් මම වැළඳීමි.

එකී අනුසස් ඇති එකාසන භෝජනය වළඳන්නැ යි දැනුම් දුන් පමණින් ම ඔවහු එසේ කළාහු ය. මහණෙනි, ඒ භික්ෂූන් හට අනුශාසනා කිරීම ( නැවත නැවත කීම) අවශ්‍ය නො වීය. ඔවුනට සිහිපත් කිරීම පමණක් ම ප්‍රමාණවත් විය.

එය තව දුරටත් පැහැදිලි කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, සතර මං සන්ධිස්ථානයක් ඇති සම බිමෙක ගමන් අරඹන්නට සූදානම් කොට ඇති හික්මුණු අසුන් යෙදූ රථයක නැඟගත් දක්ෂ රථාචාර්යයෙක් වමතින් රැහැනත්, දකුණතින් කෙවිටත් ගෙන, තමන් කැමැති ගමනක් සඳහා අසු මෙහෙයවීම පමණක් කළ විට, ඒ අසු තමන් කැමති තැනට රිය ගෙන යන්නාක් මෙන් ම, එ කල භික්ෂුන් හට මා විසින් කළ යුතුව තිබුණේ සිහිපත් කිරීම පමණක් ම ය. එහෙයින් අකුසල් දුරු කර, නැවත නැවත කුසල් දහම්හි යෙදීමෙන් මේ ශාසනයෙහි වැඩිදියුණු වන්නාහු ය.” (අභිවෘද්ධියට පැමිණෙන්නාහු ය)

ගමක හෝ නියම් ගමක හෝ නුදුරෙහි පිහිටි මහ සල් වනයක, සල්ගස් මත ගන පිළිල හටගෙන තිබේ නම්, එය දුටු සල් වනයේ දියුණුව කැමැත්ත, වූ නැණවත් පුරුෂයෙක් සල් වනයට පිවිස, ඕජා ගලා බස්නා වූ ළපටි සල් අතු සැස ඉවත් කොට සල් වනය හොඳට පිරිසුදු කොට මනාව වැවෙන්නා වූ සල් පැළ සාත්තු කිරීමෙන් පෝෂණය කරයි නම්, එම සල් වනය වැඩිදියුණු වන්නාක් මෙන් යමෙක් අකුසල් දුරු කොට කුසල් දහම්හි නැවත නැවත යෙදී වෙසෙත් නම්, ශාසනයෙහි වැඩිදියුණු වන බව වදාළහ.

මහණෙනි, අතීත සිද්ධියක් කියමි. මේ සැවැත්නුවර ම වේදේහිකා නම් ගෘහණියක් විසුවා ය. ඈ වරද ඉවසනසුලු ය. උඩඟු නැත. සන්සුන් ගති පැවතුම් ඇත්තීය යන කීර්තියෙන් ප්‍රසිද්ධ වූවා ය.

ඇයට කාලි නමැති දාසියක් සිටියා ය. ඈ වැඩපළ කිරීමට දක්ෂ ය. නොකම්මැළි ය. කටයුතු සංවිධානයට මනා පළපුරුද්දක් තිබිණ. “වේදේහිකා නම් වූ මාගේ ස්වාමි දුව (ආර්යාව) වරද ඉවසනසුලු ය. උඩඟු නැත. සන්සුන් ගති පැවතුම් ඇත්තී ය යන බවට කීර්තියක් පැතිර පවත්නේ ය. කෙසේද? මා හොඳින් වැඩපළ කරන නිසා කෝපය පහළ නොකරන්නී දැයි මම ස්වාමි දුව පරීක්ෂා කොට බලන්නෙමි නම් මැනවැයි කාලි දාසියට සිතිණ.

මෙසේ සිතූ කාලිය දවල් වී අවදි වූවා ය. එවිට වේදේහිකා ගෘහපතිය, එම්බල කාලී’යි ඇමතුවෙන් ‘කිම ආර්යාවෙනි’යි විචාළාය’. තී කුමක් නිසා දවල් වී නැඟිට්ටෙහි දැයි විමසුවා ය. ‘ආර්යාවෙනි කිසිත් නොමැතැ’යි ඇගේ පිළිතුර විය. “එම්බල කාලකණ්ණි දාසිය කිසිත් ආපදාවක් නැත්නම්, තී දවල් වී අවදි වූවා කිමදැ’යි කෝපයෙන් අසා මුහුණ හකුළුවා රවා බැලුවා ය.

එයින් කාලිය හොඳින් තේරුම් ගත් කරුණ නම්, තමන් මැනවින් කටයුතු කරන නිසා ම තම ස්වාමි දුව ස්ව සන්තානයෙහි පවත්නා කෝපය පහළ නොකරන්නී ය. ඇය තුළ කෝපය නැත්තේ නොවේ. එබැවින් තවදුරටත් ස්වාමි දුව විමසන්නෙමි සිතා පෙර දිනටත් වැඩි කල් නිදා අවදි වූවා ය. එයින් නොසතුටු වූ,

වේදේහිකා ස්වාමි දුව,

‘එම්බල කාලිය,’

කාලී- ‘කිම ආර්යාවනී,’

වේදේහිකා -

‘තී අද කුමක් නිසා දවල් වන තුරු නිදා ගත්තා ද?’

කාලී -

‘ආර්යාවනි, කිසිවක් නිසා නොවේ.’

වේදේහිකා -

‘එම්බල පවිටු දාසිය, කිසි හේතුවක් නැතිව දවල් වී නැඟිට්ටා දැයි, කිපී නොසරුප් බස් පැවසුවා ය.

කාලි දාසිය තම ස්වාමි දුව ගැන පෙර සේ ම සිතා තවදුරටත් විමසනු පිණිස පෙර දිනටත් වඩා වැඩිපුර නිදා දවල් වී අවදි වූවා ය. එය දුටු වේදේහිකාවන් හා කාලියත් අතර පෙර සේ වචන හුවමාරු වී කෝපාවිෂ්ට වූ වේදේහිකාව කාලියගේ හිසට දොර පොල්ලෙන් පහර දී හිස පැළුවා ය. එයින් දැඩි සේ දොම්නසට පත් කාලිය හිසෙන් වැගිරෙන ලෙයින් තෙත් වූ සිරුර ඇතිව, කඳුළු වගුරුවමින් අසල්වැසියනට හඬ ගා

“අනුන්ගේ වරද ඉවසනවා යයි ප්‍රකට වී සිටින මාගේ ස්වාමි දුව ඉවසන හැටි බලන්න, උඩඟු නැති ස්වාමි දුවගේ නිහතමානීත්වය බලන්න, සන්සුන් ගති පැවතුම් ඇති ස්වාමි දුවගේ සන්සුන් ගතිපැවතුම්වල හැටි බලන්න. සියලු වැඩ සොයා බලා කරන්නා වූ එකම දාසිය වන මා දවල් වී අවදි වූවා යැයි කෝපාවිෂ්ට වී දොර පොල්ලෙන් ගසා මගේ හිස පොඩිකර තිබෙන හැටි බලන්නැයි කීවා ය.

ඉන්පසු “වේදේහිකාව චණ්ඩ ය. නොහික්මුණු තැනැත්තියකි. නොසන්සුන් තැනැත්තියකැ”යි අපකීර්තිය පැතිර ගියේ ය.

එමෙන් ම මහණෙනි යම් කිසි භික්ෂුවක් තමන් නුරුස්සන වචන නො ඇසෙන තුරු ඉවසීම, යටහත් පහත් පැවැත්ම, සන්සුන් ගති ඇති බව යන මේවා ඇති ව වාසය කොට තමන් නුරුස්නා වචනයක් ඇසුණු විට නො ඉවසා නම්, යටත් පහත් ගති පැවතුම් නැත්නම්, නොසන්සුන් වේ නම්, මහණෙනි, ඒ භික්ෂුව ඉවසන්නකු කියා මම නො කියමි.

එසේ ම මහණෙනි, යම්කිසි භික්ෂුවක් සිවුරු ආහාර, සෙනසුන් හා ගිලන්පස බෙහෙත් පිරිකර ලබන අදහසින් සුවච වේ නම්, ඔහු සුවචයෙකැයි මම නො කියමි. ඔහු සුවචයෙකැයි මා නො කියන්නේ ඒ භික්ෂුව සිවුරු ආදිය ලැබීම පරමාර්ථ වශයෙන් සලකා, සුවච ව වෙසෙන හෙයිනි.

මහණෙනි, යම්කිසි භික්ෂුවක් ධර්මය ම ගරු තන්හි තබා ගෙන, ධර්මය ම සලකමින්, ධර්මය ම පුදමින් සුවච වේ නම්, එසේ හික්මෙන්නට මම අනුශාසනා කරමි. මහණෙනි අන් අය,

1. සුදුසු කාලයෙහි හෝ නුසුදුසු කාලයෙහි,

2.විද්‍යමාන වූ සත්‍ය වචනයකින් හෝ අවිද්‍යමාන වූ අසත්‍ය වචනයකින්

3.මෘදු වචනයෙන් හෝ රළු පරුෂ වචනයෙන්,

4.අර්ථ සහිත වචනයෙන් හෝ අනර්ථ සහිත වචනයෙන්,

5. මෙත් සිතින් හෝ ද්වේෂ සහගත සිතින්.

යන මෙකී පස් අයුරෙන් කවරාකාරයෙකින් හෝ කියනු ලබන වචන ඇසෙන විට,

1.අප අපේ මෙත් සිත වෙනස් කරන්නේ නැත.

2.අප පහත් වචන කියන්නේ නැත.

3. හිතානුකම්පාවෙන් මෙත් සිත් සහගත ව ම වාසය කරනවා ය.

4. ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරුවනවා ය.

5. ඒ මෛත්‍රී සිත ම මුළු ලෝ වැසි සත්ත්වයන් කෙරෙහි පතුරුවා වාසය කරනවාය යි හික්මිය යුතු ය.

“මහණෙනි, යම් කිසිවෙක් උදැල්ලක් සහ කූඩයක් ගෙනවුත්,

“මම මේ පොළොව නොපොළවක් කරන්නෙමි යන අදහසින් නොපොළොවක් වේවා, නොපොළවක් වේවා, යි කියමින් පොළොව හාරා විසුරු වන්නේ නම්, ඒ ඒ තැන කාරා දමන්නේ නම්, ඒ ඒ තැන මුත්‍රා කරන්නේ නම්, මහණෙනි එ පමණකින් ඔහුට පොළොව, නොපොළොවක් කිරීමට හැකි යයි ඔබ සිතන්නහුදැ’යි භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කළ සේක. එයට පිළිතුරු දුන් භික්ෂූහු “නැත භාග්‍යවතුන් වහන්ස, අපි එසේ නොසිතන්නෙමු. මේ මහා පොළොව නොපොළවක් කිරීමට නොපිළිවන් යැයි අපි ප්‍රකාශ කරන්නෙමු”යි පිළිතුරු දුන්හ.

මහණෙනි, කුමක් කළත් පොළොව නොපොළොවක් නොවන්නා සේ ම, මහණෙනි පෙර කී පස් අයුරින් කවරාකාරයෙකින් වුවත් අනුන් කියන වචන අසා, අප අපේ මහ පොළොව හා සමාන මෙත් සිත වෙනස් කරන්නේ නැත. පහත් වචන කියන්නේ නැත. හිතානුකම්පාවෙන් මෙත්සිත් සහගත ව වෙසෙනවා ය. ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරුවනවා ය. ඒ මෙත් සිත මුළු ලෝ වැසි සත්ත්වයන් කෙරෙහි පතුරුවා වාසය කරනවා යැයි ඉටාගෙන හික්මිය යුතු ය.

මෙහි කැණීමා දී මොන දෙයක් කළත් පොළොව නොපොළොවක් කිරීමට නොහැක්කාක් මෙන් ම, පෙර කී පස් අකාර වචනවලින් කවර වචනයක් කීවත් මෙත් සිත පුරුදු කරන්නා වූ තැනැත්තා තම මෙත් සිත වෙනස් කර නොගන්නා බව දේශනා කළ සේක.

මහණෙනි, යම් කිසිවෙක් ලාකඩ දියර හෝ කසාවන් සායමක් හෝ නිල්වන් සායමක් හෝ මඳටවන් සායමක් හෝ රැගෙන අවුත්, ‘මම මේ අහසෙහි රූප අඳින්නෙමි’යි කියා නම්, එය ඔහුට කළ හැකි වැඩක් දැයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න කළ සේක. එයට පිළිතුරු දුන් භික්ෂූන් වහන්සේ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අහස අරූපී ධර්මයක් බැවින් ඇසට හමු නොවන්නේ ය. එහෙයින් අහසෙහි රූප ඇඳීමට තැත් කරන්නහුට දැනෙන වෙහෙස මිස කිසිවකුට කෙසේවත් කළ නොහැකි වැඩෙකැයි කීහ.

මහණෙනි, එමෙන් ම පෙර කී පස් අයුරින් කවරාකාරයෙකින් හෝ අනුන් කියන වචන අසා අප අපේ අහස හා සමාන වූ මෙත් සිත වෙනස් කර ගන්නේ නැත. අප පහත් වචන කියන්නෙන් නැත. හිතානුකම්පා ඇති ව අහස හා සම වූ මෙත් සිත් සහගත ව වෙසෙනවා ය. ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරුවනවා ය, ඒ මෙත් සිත ම මුළු ලෝ වැසි සත්ත්වයන් කෙරෙහි පතුරුවා වෙසෙනවා යැයි හික්මිය යුතු ය. (මෙහි මෙත් සිත අහස මෙනි) කවරාකාර වචනයෙකින් වත් මෙත් සිත වෙනස් නොකළ හැකි වීම අහස වර්ණවත් කිරීමට නොපිළිවන් වීම මෙනි.

මහණෙනි, යම්කිසිවෙක් දැල්වෙන ගිනිසුලක් ගෙනවුත් එයින් ගංගා නදිය රත් කරන්නෙමි'යි කියනවා නම්, එය ඔහුට කළ හැකි වැඩක් දැයි භාග්‍යවතුන් වහන්සේ ඇසූ විට,

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ගංගා නදිය ඉතා ගැඹුරු ය. මෙ පමණකැයි පමණක් නැත. එය රත් කරනු පිණිස සැරසෙන්නහුට ඇති වන්නා වූ වෙහෙස මිස, එය කිසි සේත් නොකළ හැකි වැඩෙකි. මහණෙනි, පෙර කී පස් අයුරින් කවරාකාරයෙකින් හෝ අනුන් කියන වචන අසා අපි අපේ ගංගා නදිය හා සම මෙත් සිත මුළු සත්ත්ව ලෝකයා කෙරෙහි ම පතුරුවා වෙසෙන්නෙමු යි හික්මිය යුතු ය.

(මහණෙනි හොඳින් මදින ලද්දා වූ, ඉඹුල් පුළුන් සේ සියුම් වූ, සර සර, බර බර යන ශබ්ද නැත්තා වූ, බළල් සම් පසුම්බුවක් යම්කිසි කෙනෙක් ලීයකින් හෝ කැබිලිත්තෙකින් හෝ සර සර යන ශබ්ද ඇත්තක්, බර බර යන ශබ්ද ඇත්තක් කරන්නෙමි'යි කියා නමි. එය ඔහුට කළ හැකි වැඩෙකැයි සිතන්නාහු දැයි ඇසූ විට

භාග්‍යවතුන් වහන්ස, එය ඔහුට වෙහෙස ඇතිවීම මිස, කිසිසේත්ම කළ නොහැක්කකැ'යි පිළිතුරු දුන් පසු භාග්‍යවතුන් වහනසේ

මහණෙනි, එසේම පෙර කී පස් අයුරින් කවරාකාරයෙකින් වුවත්, අනුන් කියන වචන අසා අප අපේ මෘදු වූ බළල් සම් පසුම්බිය හා සම මෙත් සිත වෙනස් කර ගන්නේ නැත. අප පහත් වචන කියන්නේ නැත. හිතානුකම්පා ඇතිව මෘදු වූ බළල් සම් පසුම්බිය හා සම වූ මෙත් සිත් ඇතිව වෙසෙනවා ය. ඒ මෙත් සිත ම මුළු ලෝ වැසි සත්ත්වයන් කෙරෙහි ම පතුරුවා වෙසෙනවා යැයි හික්මිය යුතු ය. (මෙහි මෙත් සිත කොයි ලෙසකින් වත් හඬ නැංවිය නොහැකි වූ මෘදු වූ බළල් සම් පසුම්බියක් මෙන් කවරාකාර වචනයකින් වත් වෙනස් නොවන්නක් විය යුතු බව වදාළ සේක.)

මහණෙනි, පහත් හැසුරුම් ඇති සොරුන් දෙ කොනැ, දඬු පොලු සවි කළ කියතකින් යම්කිසි කෙනකුගේ ශරීරාංගයක් කපන කල්හිදු සිය සිරුර කපන්නා වූ සොරුන් කෙරෙහි තම සිත දූෂිත කර ගනී නම් , ඔහු මගේ අනුශාසනා පරිදි පිළිපදින්නෙක් නොවේ. එවන් අවස්ථායෙහි දු, අප අපේ මෙත් සිත වෙනස් කර ගන්නේ නැත. අප පහත් වචන කියන්නේ නැත. හිතානුකම්පා ඇති ව සම මෙත් සිතින් වෙසෙනවා ය. ඒ මෙත් සිත ම මුළු ලෝ වැසි සත්ත්වයන් කෙරෙහි පතුරවා වෙසෙනවා යැයි හික්මියැ යුතු ය.

මහණෙනි, මේ කකචූපමෝවාද ධර්මය නිතර මෙනෙහි කරන්නකුට ඉවසිය නොහැක්කා වූ අල්ප සාවද්‍ය හෝ මහා සාවද්‍ය හෝ වචන තිබේ දැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලදින්. ඒ භික්ෂූහු, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ කකචූපමෝවාද ධර්ම නිතර මෙනෙහි කරනවා නම්, නො ඉවසිය හැක්කා වූ මොනම වචනයක්වත් නැතැයි පිළිතුරු දුන්හ.

එසේ නම් මහණෙනි, කකචූපමෝවාදය නිතර මෙනෙහි කරන්න.

එසේ නිතර මෙනෙහි කිරීම බොහෝ කාලයක් හිත වැඩ පිණිස වන්නේ යයි භාග්‍යවතුන් වහන්සේ මේ කකචූපම සූත්‍රය වදාළ සේක්. සතුටු වූ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ඒ දේශනාව මැනවැයි පිළිගත්තාහු ය.

සූත්‍ර සාරාංශය

මොලියඵග්ගුණ තෙරුන්ගේ අකීකරු බව, බුද්ධත්වයෙන් ප්‍රථම විසිවස තුළ භික්ෂු පිරිසට අනුශාසනා කිරීම පවා අනවශ්‍ය වූ බව, තමාට වේදනා පමුණුවන අය කෙරේ පවා මෛත්‍රිය දැක්විය යුතු බව, කාලි දාසියගේ මනා සේවය නිසා ම ඇගේ ස්වාමි දූ යහපත් කීර්තියක් ලැබීම සහ ඉවසිය යුතු අවස්ථාව පැමිණි කල්හි නොඉවසීම නිසා අපකීර්තියට භාජනය වීම මෙහි සාරාංශයයි.

සංක්ෂිප්ත ති‍්‍රපිටක ග්‍රන්ථ (2)
සිංහල මැදුම් සඟිය – 1
මූල පණ්ණාසකයෙනි