Print this Article


සම්බුදු සසුනේ මඟ ඵල ලබන්නට නම් ...

සම්බුදු සසුනේ මඟ ඵල ලබන්නට නම් ...

බෞද්ධ පින්වන්තයකුගේ පරම බලාපොරොත්තුව බවට පත් වන්නේ ද, බෞද්ධ දර්ශනයේ මූලික අරමුණ වන්නේ ද උත්තම වූ නිර්වාණයයි. මේ සඳහා කළ යුතු ක්‍රියාදාමය බෞද්ධ දර්ශනයෙන් මූලිකව ම උගන්වයි. එසේ වන්නේ සංසාර දුක නැමැති වූ අඳුරෙන් මිදීමට ඇති එකම මඟ නිවන වන හෙයිනි.

අප බහ තෝරන අවදියේ පටන් ධර්ම දේශනා ශ්‍රවණය කරනු ලබනවා. මේ පින්වත් හැම කෙනකුම උපන්දා සිට මේ වන තුරාම හා සසර පුරාවට ම කොතෙකුත් ධර්ම දේශනා ශ්‍රවණය කර ඇත. නමුත් බොහෝ දෙනකුට අවම මාර්ග ඵලයක්වත් අවබෝධ කර ගැනීමට නොහැකිවී ඇත්තේ කුමක් නිසාද? යන්න පිළිබඳ සොය බැලිය යුතු ය. ඒ පිළිබඳ හරවත් දේශනාවක් අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ සඳහන් වේ. එම සූත්‍ර දේශනාව නමින් “ආවරණ සූත්‍රය” වන අතර, මෙම දේශනාවෙන් තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ කොපමණ දහම් ශ්‍රවණය කළත් නිවන අවබෝධ කර ගැනීමට නො හැකි වන්නේ කරුණු කිහිපයක් (කරුණු 6ක්) මුල් කොට ගෙන බවයි.

එහෙයින් එම කරුණු මොනවා ද යන්න අප මදක් විමසා බැලීම තුළින් අපට ද අප සතු අඩුපාඩු හඳුනාගෙන එය සකස්කර ගැනීමට මනා පිටුවහලක් වනු ඇත. ඒ මන්ද යත්,

“ඡාහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ
සුණන්තෝපි සද්ධම්මං අභබ්බෝ නියාමං
ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මන්තං
කතමේහි ඡාහි:”

මහණෙනි කරුණු හයකින් සමන්විත වූ තැනැත්තා සද්ධර්මය කොපමණ ඇසුවත් ධර්මය සත්‍යාවබෝධ වීමක් හෝ දහම් මඟට බැස ගැනීමක් හෝ හැකියාවක් නොමැත්තේ වෙයි. ඒ කරුණු සයකින් යුක්ත වන්නේ ය. එනම්

“කම්මාවරණතාය සමන්නාගතො හෝති
කිලේසාවරණතාය සමන්නාගතො හෝති
විපාකාවරණතාය සමන්නාගතො හෝති
අස්සද්ධෝ ච හෝති අච්ඡන්දිකෝ ච
දුප්පඤ්ඤෝ ච හෝතී තී”

මෙකී කරුණුවලින් යුක්ත වූ තාක් නිවන් ලැබීම හෝ මඟ ඵල ලැබීමක් නොලබන්නේ ය. නිවන අහුරනු ලබන්නේ ය. එම කරුණු සය නම්,

කර්මයෙන් ආවරණය වූ විට,
ක්ලේෂයෙන් ආවරණය වූ විට,
විපාකයෙන් ආවරණය වූ විට,
ශ්‍රද්ධා රහිත වූ විට,
කුසලයට අකැමැති වූ විට හා
ප්‍රඥාවෙන් තොර වූ විට ය.

ආනන්තරිය පාප කර්ම නිවන අහුරයි. ඔවුන් නිරයේ පැසෙමින් කළ අකුසල ක්‍රියාවන් විපාක විඳී. ධර්මය ශ්‍රවණය කළත් මිදීමක් නැත. පංචානන්තරිය පාප ක්‍රියා කවරේද යත්,

මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුහිමියන්ගේ ශරීරයේ ලේ සෙලවීම හා සංඝ භේදය යි.

ඉහත පාප ක්‍රියා කළ පුද්ගලයින්ට සසරෙන් ගොඩ ඒමක් නැත. සාසනයේ පෙන්වා දී වදාළ මහානිසංස පින්කම් අටෙන් වැඩිම ආනිසංස තිබෙන කඨින චීවර පූජාවක් හෝ පූජා සිය දහස් ගණනක් සිදු කළත් මෙම පාප ක්‍රියාවලින් මිදීමට නොහැක්කේ ය. එය විපාක විඳ අවසන් කළ යුතු ම ය.

මෙම කරුණට කදිම නිදසුනක් ශාසන ඉතිහාසයේ ම සඳහන් වේ. එනම් අප සැවොම දන්නා කරුණක් නම් අජාසත්ත රජු යනු පීතෘඝාතක අකුසල ක්‍රියාව සිදු කර ගත් කෙනෙකි. නරක ඇසුර නිසා ආනන්තරිය පාප කර්මය සිදු කර ගත් පුද්ගලයෙක් වූ මෙතුමා විශාල ලෙස තමා අතින් සිදු වූ වරදට පශ්චත්තාප වෙමින් සිටියේ ය.

දිනක් මැදියම් රැයේ තමා කළ අකුසල ක්‍රියාව පිළිබඳ සිතිමින් තමාගේ අමාත්‍යවරු කැඳවා සිත නිවා ගැනීමට හැකි ශාස්තෘවරයකු දන්වන්න යනුවෙන් පැවසීය. එහිදී බොහෝ අය විවිධ ශාස්තෘවරුන්ගේ නම් පවසන ලදී. මෙහි සිටි ජීවක වෛද්‍යවරයා පවසන ලද්දේ තමා විසින් පූජා කළ අඹ උයනේ භවත් ගෞතම බුදු හිමියන් වැඩ සිටින බවත්, අප ගොස් මුණගැහෙමු කියාත් ය.

මෙය ඇසූ රජු රාජ මාළිගාවේ පිරිස ද කැටුව පන්සියයක් කරත්ත පිරිවරා රාත්‍රියේ ම බුදු හිමි මුණ ගැසීමට ගියේ ය. එම ස්ථානයට ගිය රජු, බුදුහිමියන් පිරිවරා සිටින තරුණ භික්ෂූන් වහන්සේ දැක ඔවුන් කෘෂිකර්මාන්තයට හෝ අශ්ව පාලනයට හෝ යොමු කරන්නේ නම් විශාල ලාභයක් ගැනීමට හැකි බව අනවබෝධයෙන් බුදු හිමියන්ට පවසන ලදී. නිශ්ශබ්දව සිටි බුදු හිමියන් මෙතුමාට සාමඤ්ඤඵල සූත්‍ර දේශනාවෙන් ධර්මය දේශනා කරන ලදී. එය ඇසූ රජු බොහෝ සෙයින් පැහැදී නැවත පිටවී ගියේ ය. රජු ගිය පසු බුදු හිමියන් තමන්ගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ අමතා ප්‍රකාශ කරන ලද්දේ අද මෙම දේශනාවෙන් සෝවාන් ඵලය ලැබීමට නියමිත ව තිබූ මෙම තරුණ රජු එය නොලැබීමට හේතුව වූයේ ඔහුගේ පියා ඝාතනය කර සිදු කළා වූ ආනන්තරීය පාප කර්මය නිසා බව දේශනා කළහ.

මෙහිදි අපට පැහැදිලි වනුයේ මෙම පාප ක්‍රියා පහෙන් එකක් හෝ කළහොත් මොනතරම් විශාල අකුසලයක් ද යන වගයි. දෙවැනි කරුණ නම් විපාකාවරණය යි.

විපාකවලින් යුක්ත වූ විට නිවන ආවරණය වනු ඇත. මෙහිදී අදහස් කරන්නේ යම්කිසි අකුසල විපාක ලබමින් උත්පත්තිය ලැබූ අයට සත්‍යාවබෝධය සිදු කර ගැනීමට අපහසු බවයි. නිදසුනක් ලෙස ඇස් අන්ධ ව ඉපදුණු විට, බිහිරි ව හෝ ගොලුවී හෝ මන්ධ මානසික ව හෝ අංගවිකල ව හෝ ඉපදුණු විට දහම අවබෝධ කර ගැනීමට අපහසු වන්නේ ය. ඔවුන් තමන්ගේ කාය විකල්‍යතාව හේතුවෙන් නිතර මානසික පීඩනයෙන් පසුවන බැවින් ධර්මාවබෝධයට අපහසු වන්නේ ය. මීට අමතරව කර්ම විපාකයක් හේතුවෙන් සම්බන්ධ ධර්මය අසන්නට නොලැබෙන රටක උත්පත්තිය ලැබුවහොත් දහම මඟ හැරී යන්නේ ය.

තුන්වැනි කරුණ නම් කෙලෙස්වලින් යුතු වුවහොත් නිවන මඟහැරී යන බවයි. යම් කෙනකු ධර්මය ශ්‍රවණය කරන විට කෙලෙස් ඇවිස්සීම කළහොත් එනම් දිව්‍යලෝක, පිළිබඳ දේශකයන් වහන්සේ කියන විට එයට සිත අළවා ආශාවෙන් ක්‍රියා කරන විටත්, අපාය පිළිබඳ කියන විට කලකිරීමක් හෝ ද්වේශ සහගත සිතිවිලි හෝ ඇති කර ගතහොත් කෙලෙස් ඇවිස්සීම හේතුවෙන් සත්‍ය දහම වටහා ගැනීමට අපොහොසත් වන්නේ ය. නියත මිථ්‍යා දෘෂ්ටියෙන් යුතු වුවහොත් කිසි කලෙක දහම අවබෝධ කර ගැනීමට නොහැකි වන්නේ ය. දහම මඟ හැරෙන්නේ ය.

සිව්වැනි කරුණ නම් ශ්‍රද්ධාවෙන් තොරවීම ය. ශ්‍රද්ධාවක් නොමැති කිසිවකුටවත් දහම අසා සත්‍ය වටහා ගැනීමට නුපුළුවන් වන්නේ ය. ශ්‍රද්ධාව කොටස් දෙකකින් යුක්ත ය. ආකාරවතී ශ්‍රද්ධාව සහ අමූළිකා ශ්‍රද්ධාවයි. ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුතු වූවන් අමූලිකා ශ්‍රද්ධාවෙන් වෙන්විය යුතු ය. එය නියම අරුතකින් තොර වැටහීමක් වන නිසා ය. සත්‍ය දහම අවබෝධ කර ගැනීමට නම් ශ්‍රද්ධාව අනිවාර්ය කරුණකි. තථාගතයන් වහන්සේ කසීභාරද්වාජ සූත්‍රයේ දී දේශනා කරන්නේ සිත නැමැති කෙතේ ශ්‍රද්ධාව වපුරා ප්‍රඥාව නැමැති නඟුලෙන් සීසාන්න කියාත්, එවිට අමා මහ නිවන නැමැති අස්වැන්න නෙළා ගැනීමට හැකිවනු ඇති බවත් ය.

පස්වැනි කරුණු නම් කුසලයට ඇති අකැමැත්තයි. පිනට දහමට අකැමැති අය නිවන ලැබීමට නුසුදුස්සන් වන්නේ ය. කෙනෙකුට පින්කමකට හෝ යහපත් කටයුත්තකට අඩගැසූ විට එයට මඳක් කම්මැලි වන අතර, වෙනත් විනෝදජනක සාදවලට හෝ සංගීත වැඩසටහන්වලට අඩ ගැසූ විට එයට ඉතා කැමැත්තෙන් හා රුචිකත්වයෙන් සම්බන්ධ වන්නේ ය. එවැනි අකුසලකාමී දේවලට සිත් අළවා ගත් පුද්ගලයින්ට දහම අවබෝධ කර ගැනීමට නුපුලුවන් වන්නේ ය.

සයවැනි කරුණ නම් ප්‍රඥා රහිත බවයි. ප්‍රඥාවක් නොමැති පුද්ගලයින්ට ද නිවන මඟ හැරී යන්නේ ය. යකඩයක මල කඩා ඉවත් කරන්නා සේ ප්‍රඥා සිත දියුණු කර ගැනීමට ක්‍රියා කළ යුතු ය. බොහෝ දෙනකු තමන්ගේ කය පිරිසුදු කර ගැනීමට උනන්දු වූවාට සිත පිරිසුදු කර ගැනීමට වැඩි උනන්දුවක් නො දක්වන්නේ ය. එහෙයින් ඇඟ සෝදා කය පිරිසුදු කර ගන්නා සේ කෙලෙස් නමැති කසල ඉවත් කොට, සිත පිරිසුදු කොට ගෙන ප්‍රඥාවෙන් යුතුව ක්‍රියා කළ යුතු ය.

සෑම බුදුරජාණන් වහන්සේ නමකගේ ම අවසන් ප්‍රකාශය වූයේ නොපමාව කුසල් දහම්හි නියැළීමට යි. එහෙයින් අපට තවම සසරේ මාර්ගඵලයක් හෝ නොලැබීමට හේතුව මෙම කරුණු සයෙන් එකක් විය හැකි ය. එහෙයින් එම දහම් කරුණු අවබෝධ කර ගනිමින් ලොව්තුරා සත්‍ය දහම අවබෝධ කර ගෙන අප්‍රමාදී ව ධර්මයේ හැසිරීමට ක්‍රියා කළ යුතු ය.