Print this Article


සිතේ උපන් වෛරය යළි යළි මතකයට නඟනවා ද? වෛරය නම් නිමා නොව

(ථුල්ලතිස්ස ස්ථවිරයන්ගේ කතා වස්තුව)

සිතේ උපන් වෛරය යළි යළි මතකයට නඟනවා ද? වෛරය නම් නිමා නොවේ

“තිස්ස එසේ කරන්නට එපා. වරද ඔබ අතේ ම ය. කමා කරවා ගන්න” යයි වදාළ විට ද මට නම් ඒ කරනු නොහැකි යයි කී විට, එහි සිටි භික්ෂූන් වහන්සේ “ස්වාමීනි මොහු නොහික්මුනු එකෙක, තථාගතයන් වහන්සේ ඉදිරිපිට මෙසේ කෙතරම් හැඩි දැඩිකම දක්වන මොහු කෙබන්දෙක්දැයි කී කල්හි, මහණෙනි, මොහු දැන් පමණක් නොව පෙරත් නොහික්මුනෙකැ’ යි ථුල්ලතිස්ස හිමිගේ යටගියාව මෙසේ වදාළ සේක.

අද ඔබ මේ කියවන්නේ ඛුද්දක නිකායට අයත් ධම්මපද පාලියේ අඩංගු 423ක් වූ ගාථාවන්ගෙන් 3 - 4 ගාථා දෙකෙහි අර්ථ හා 301 ක් වූ ධම්මපද අටුවා කතාවන්ගෙන් 3වන කතා වස්තුව ය. මෙම ගාථා දෙක ම.නි. 3 - උපක්කිලේස සූත්‍රයේ ද ඇත.

අසුවලා මට බැන්නේ ය. (සිය කුලයෙන්, රැකියාවෙන් පහත් කොට හෝ මවුපියන්ට නිඟා කොට හෝ පරුෂ වචන කීයේ ය.)

අසුවලා මට පහර දුන්නේ ය. අත් පා - දඬු - මුඟුරු - ආයුධ ඈ දැයෙන් පහර දුනි

අසුවලා මා දිනා ගත්තේ ය. බොරු සාක්කි දීමෙන් හෝ එකිනෙක කිරීමෙන් හෝ මා පරදවා දිනුයේ ය

අසුවලා මා සතු දෙය පැහැර ගත්තේ ය.

රන්, රිදී, ඉඩකඩම්, මිල මුදල් ඈ දැය පැහැර ගත්තේ ය ය’යි යම් කෙනෙක් (ගිහි, පැවිදි) ඒ බැණුම්, ගැහුම්, දිනුම්, පැහැරගැනුම් ආදිය නිසා උපන් වෛරය නැවත නැවැත සිතත් ද ඔවුන්ගේ ඒ වෛරය නොසන්සිඳෙන්නේ ය. (පහ නොවන්නේ ය) නැවැත නැවැත සිත්හි නොබඳිද් ද ඒ වෛරය සංසිඳෙන්නේ ය. (අත් හැරෙන්නේ ය)

අරූපී වස්තුවක් වුවත් සිත විරූප බවට පත්කරනුයේ වෛරයයි. ඇස්, කන්, නාස් ආදී වූ සැවැදෑරුම් දොරටු අතරෙහි යම්කිසි දොරටුවකට සිත් නොගන්නා යම්කිසි රූප, ශබ්දා දී වූ අරමුණක් හමු වූ විට සිතෙහි හටගන්නා වෙනස් බව, රළු බව, අරමුණ හා ගැටීම වෛරයයි. මෙය ඉපදෙනුයේ අරමුණ සිත හා එකට ගැටීමෙනි. දසකරුණක් හේතු කොට මෙහි ඉපැත්ම සිදුවෙන බව ධර්මයේ සඳහන් වේ. නවවිධ ආඝාත (වෛර) වස්තුවට අස්ථාන ක්‍රෝධ හේතුව ද එක් කිරීමෙන් මෙය දසවිධ වෙති.

අසුවලා මට පෙර නපුරක් කළේ ය. දැනුත් එසේ ම කරයි. මතුත් එසේම කරන්නේ ය.

මාගේ හිතවතාට පෙර නපුරක් කෙළේ ය. දැනුත් එසේ ම කරයි. මතුවත් එසේ ම කරන්නේ ය.

මාගේ සතුරාට පෙර උදව් කළේ ය. දැනුත් එසේම කරයි. මතුත් කරන්නේ ය.

අත් පා ආදිය ගසක මුලක හැපීම, හිරු රැස් අඩු වැඩි වීම, වැසි ඇති නැති වීම ආදී අස්ථාන ක්‍රෝධ හේතුව ද යනුවෙනි.

මේ වෛරය සත්ත්ව සන්තානය කෙලෙසන බැවින් ක්ලේශ යයි ද, අර්හත් මාර්ග ඥානය අවුරණ බැවින් නීවරණ යි ද, වර්තමාන, අනාගත ආත්ම භාවය හා නාම රූප ධර්ම එකට ගැට ගසන බැවින් ග්‍රන්ථ (ගැට) යැයි ද, අරමුණක් ලැබුණු විට ඉපදෙන බැවින් අනුශය යි ද, සසර දුකින් නිදහස් ව යා නොදී සත්ත්වයා සසර බැඳ තබන බැවින් සංයෝජනයි ද, ශරීරය දවාලන බැවින් අග්ගි න යි ද, වදාරණ ලද සේක. අනාගාමී මාර්ගයෙන් මෙය සම්පූර්ණ සිඳලවන්නේ ය.

මෙතැන් සිට අපි ධම්ම පදයේ එන ගාථා දෙක බුදුරජාණන් වහන්සේ කිනම් කරුණක් අරභයා දේශනා කළේ දැයි දැන ගනිමු. පාරිලෙය්‍ය වනයට වැඩීමට පෙර ද දේශනා කළ සේක.

නිදාන කතාව - ථුල්ලතිස්ස හිමියෝ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පියා වූ සුද්ධෝදන රජුගේ නැගණියගේ පුත්‍රයෙකි. ඔහු පැවිදි වූයේ වයස මෝරා යාමෙන් පසු ය. ඒවගේ ම සමීප ඥාතීත්වය නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලැබෙන සියලු සත්කාර ගෙන ගොස් වළඳන්නේ ටික දිනකින් ම තරබාරු සිරුරක් ඇත්තේ විය.

එනිසාම හොඳට පෙනුමට පඬු පෙවූ සිවුරු පොරවාගෙන ආගන්තුක භික්ෂූන් වහන්සේ පැමිණෙන උපස්ථාන ශාලායෙහි නිතර හැසිරෙයි. පෙනුමෙන් “මහා ස්ථවිර” නමකැයි සිතන බැහැරින් වඩින ස්වාමීන් වහන්සේ “ඔබ වහන්සේ කොතෙක් වස් ඇත්තහු දැ’යි අසන විට නිහඬව සිටියි. ඒ අයට නිසි වැඳුම්, පිදුම් ආදී වත් ද නොකරයි. දිනක් එක් තරුණ භික්ෂු නමක් ඔහු ළඟට ගොස් වස් කොතෙක් දැයි පෙරැත්ත කර ඇසූ විට “මට ඇති වසෙක් නැත.

මම මහණ වූයේ මහලු වෙලා’ ය යි කීවිට, මෙතෙක් මහතෙරුන් දැකත් කිසිත් සැලකිල්ලක් නොදක්වා, වස් අසන විට නිහඬව සිට මසින් වැඩුනු ගොනෙකු සේ හැසිරෙතැයි දොස් පැවරීය.

එවිට ථුල්ලතිස්ස හිමියෝ රාජාභිමානය උපදවා “ඔබ කවුරුන් හමුවීමට ආවහු දැ”යි විචාරා බුදුරජාණන් වහන්සේ හමුවීමට ආවේ යයි කී විට “මා කවුරු කියලයි සිතුවෙහු ද? තොප මුලින් කපාහරිමි’යි නොසතුටු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ වෙත ගියේ ය.

“ඇයි තිස්ස, (මොහුගේ නම තිස්ස නමුත් වැළඳීම් බහුලව කොට තර වූ හෙයින් බොහෝ අය හැඳින්වූයේ ථුල්ලතිස්ස නමින් ය.) නොසතුටු සිතින් මෙහි ආයෙහි දැ’යි බුදුරජාණන් වහන්සේ විචාළ සේක. අවට සිටි අනෙකුත් භික්ෂූන් වහන්සේ ද මොහු යම් කලබලයක් කරන්නේ යැ යි ඔහු කැටිවම ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙකට වී හුන්හ.

“ස්වාමිනී, මට මේ උන්නාන්සේලා ආක්‍රෝශ කළ”යි කීයේ ය. “තිස්ස ඔබ ඒ වේලේහි කොතැනක හුන්නෙහි දැයි විචාළ සේක. “ස්වාමීනි, උවටැන් හලෙහි හුන්නෙමි’ යි කීය.

ඔබ මේ නමලාගේ පැමිණීම දක්නා ලද්දේ ද”? එසේ ය දක්නා ලදී” ඔබ එවිට උන් තැනින් නැඟිට ගොස් පා සිවුරු ගෙන වස් විචාළෙහි ද? පා දෝනා පැන් ආදිය තැබූයෙහි ද? අසුන් පැනවූයෙහි ද? බුදුරජාණන් වහන්සේ විචාළ සේක. “කිසිවක් නොකළෙමි”යි කීය. “තිස්ස ඔබ එසේ කිසිවක් නොකොට ම පන්සල මැද හිඳීම වරදක් ය. එහෙයින් උන්වහන්සේ කමා කරගනු ව යි වදාළ විට,

“ස්වාමිනි මට එය කළ නොහැකි ය. උන්වහන්සේලාම මට බැන්නේ ය. වරදකාරයෝ මොවුහු ම ය කීයේ ය.

“තිස්ස එසේ කරන්නට එපා. වරද ඔබ අතේ ම ය. කමා කරවා ගන්න” යයි වදාළ විට ද මට නම් ඒ කරනු නොහැකි යයි කී විට, එහි සිටි භික්ෂූන් වහන්සේ “ස්වාමීනි මොහු නොහික්මුනු එකෙක, තථාගතයන් වහන්සේ ඉදිරිපිට මෙසේ නම් කෙතරම් හැඩි දැඩිකම දක්වන මොහු කෙබන්දෙක්දැයි කී කල්හි,

මහණෙනි, මොහු දැන් පමණක් නොව පෙරත් නොහික්මුනෙකැ’ යි ථුල්ලතිස්ස හිමිගේ යටගියාව මෙසේ වදාළ සේක.

අතීත කතාව - පෙර බරණැස් නුවර බරණැස් රජුන් සමයෙහි දේවල නම් තවුසෙක් එහි විසීය. අටමසක් හිමාලයෙහි විසූ ඔහු සාරමසක් ලුණු ඇඹුල් මුසු ආහාර ගන්නට සිතා නගරයට විත් නුවර දොර සිටි ළමයින්ගෙන් විමසා එසේ පැමිණෙන තපසුන් වසන කුඹල් හලක් හඳුනාගත්හ.

වළංකරුගේ අවසරයෙන් එහි රාත්‍රිය ගතකළේ ය. මේ සමඟින් නාරද නම් තවුසෙක් ද පැමිණ කුඹල්කරුගෙන් අවසර පැතූහ.

“ස්වාමීනි, දැන් එහි තවුසෙක් වෙසේ. එකට වසන්නට කැමති නම් වරදක් නැතැ’යි කීයේ ය. දේවල තවුසාගෙන් අවසර ලත් නාරද තවුසා ද රෑ බෝ වන විට නින්දට ගියහ.

නින්දට පෙර දේවල නිදන තැනත්, දොරකඩත් බලා සිත තබාගෙන නාරද තවුසා නිදි ගත්තේ ය. නමුත් ටික වේලාවකින් දේවල දොරකඩ මැද හරහට නිදා ගත්තේ ය. නාරද මහ රෑ නැඟිට පිටතට යාමට ගියවිට දේවල ගේ ජටාව පෑගුනේ ය. මාගේ ජටාව පෑගුවේ කවුදැ යි මහ හඬින් කෑගැසී ය.

“ගුරු දේවය, මමයි” නාරද බැගෑ හඬින් කීය. හොර තවුස තෝ වනයෙහි සිට මෙහි ආයේ මගේ ජටාව පාගන්න දැයි කෝපයෙන් ඇසූ විට තවුසාණෙනි, ඔබ මෙහි නිදන බව මම නොදනිමි. මට කමා වන්නැ”යි කියමින් ම පිටතට ආහ.

මේ අතර මොහු පිටව යද්දී මා ගැන නොසලකා මා පාගා ගෙන ගිය හෙයින් ආපසු එන විට ද එසේම වන්නේ යැයි සිතා දේවල හිස අනෙක් අතට දමා නිදි ගත්තේ ය. නාරද ද කලින් වූ වැරදීම සිතමින් ඇතුළට ආයේ අනෙක් පසින් ය. එවිට දේවලගේ බෙල්ලම පෑගුනේ ය. දැඩි කෝපයට පත් දේවල

“තෝ මහ යකෙක් ය, තට මම ශාප කරමියි ගුගුලේ ය. “වහන්ස, දැනුදු මා අත වරදක් නැතැ’යි කරුණු පහදා කීය.

“හොර තවුස, තට මගෙන් සමාවක් නැත. තට ශාප කරමි’යි කියා “හෙට හිරු උදාවත් සමඟ ම තගේ හිස සත්කඩකට පැළේවා” යි ශාප කළේ ය. නාරද තවුස් ද මා අත වරදක් නැතැ යි කියද්දීත් ඔබ කළ ශාපය අනුව “වරද යමකු අත වේ නම් ඔහුගේ හිස පැළේවා’යි මම ශාප කරමි යි කීය.

අතීත කල්ප සතළිසක් ද, අනාගත කල්ප සතළිසක් ද සිහි කිරීමට සමත් නාරද තවුසා මහත් අනුභාව ඇත්තෙකි. එහෙයින් කවරකු හට ශාපය වේ දැයි බලන්නේ දේවලට බව දැන ඔහු කෙරෙහි හටගත් අනුකම්පාවෙන් තම සෘද්ධි බලයෙන් අරුණ නැඟීම වළකාලීය.

නුවර වැසියෝ රජ ගෙට ගොස් “දේවයන් වහන්ස, අරුණ නොනඟින බව පෙනේ. ඔය ඔබ වහන්සේගේ හෝ රජයේ වරදක් ද? කියනු මැනව, අපට කිසි වැඩක් කර ගත නොහැකි” යි අරගල කළහ. මෙවිට රජ තමා අත හෝ රජයෙහි වරදක් නොවන බව දැන, කරුණු සොයා යන්නේ, ඉහත තවුසන් විසූ කුඹල්හල වෙත ගොස් කරුණු විචාරීය. නාරද තවුස් කරුණු පැහැදිලි කොට

“දේවල මා කමා කරවතොත් අන්තරායක් නොවේ යයි“ කීය. ඔබ වහන්සේ දෙපළගේ අරගලයෙන් පෙළෙන්නේ රට වැසියන් ය. එහෙයින් නාරද කමා කරවා ගන්නා ලෙස රජු දේවලට කීය.

මගේ ජටාවත් බෙල්ලත් පෑගුවේ ඔහු ය. වරද ඔහු අත ය. මට කමාව ගත නොහැකි යැයි කීය.

ස්වාමීනි, “රට වැසියා ගැන කරුණාවෙන් කමා කරන්නැයි’ ඉල්ලීය. දේවල එකඟ නොවීය. රජු මෙවිට සිය පිරිස ලවා දේවල බෙල්ලෙන් අල්වා නාරද තවුසාගේ පාමුල ඔබා දැමීය. එවිට නාරද තවුසා ඇදුර නැඟිටින්න. මම ඔබට කමා කරමි. එහෙත් මහරජු වෙත හැරුණු නාරද තවුසා මහරජ, මෙතෙමේ සිතේ කැමැත්තෙන් මෙය නොකළ හෙයින් ශාපයෙන් නොමිදෙන්නේ ය. එහෙයින් මොහු විලට ගෙන ගොස් බෙල්ල තෙක් දියට බස්වා හිසේ මැටි පිඩක් තබන්නට යැයි කීය. රජු එසේ කළේ ය.

නාරද තවුස් දේවල හට කියන්නේ මා සෘද්ධිය හරින විටම හිරු නැඟෙයි. ඒත් සමඟම ඔබ දිය යටින් සිට හිස ඔසවන්න. එවිට මැටිකඩ සත්කඩකට පැළී යයි. එය එසේ කළේ ශාපය ද ගෙවී, හිරු රැස් ද නැඟී ආයේ ය. මේ පුවත එසේ ගෙනහැර දක්වා මහණෙනි, එදා රජු මේ ආනන්ද ය. දේවලයා මේ ථුල්ලතිස්ස බවත් නාරද වූයේ මමැයි දේශනා කළ සේක.

ථුල්ලතිස්ස එදා හැඩි දැඩි ය. අකීකරු ය. කියන දේ ඒ හැටියට කරන්නෙක් නොවේ යැයි වදාරා පළමු කී ගාථා දෙක දේශනා කළ සේක. දේශනාව ඇසූ බොහෝ භික්ෂූහු සෝවාන් ඵලයට පත්වූයේ ථුල්ලතිස්ස තෙරුන් ද කීකරු වූයේ ය. මහජනයාට ද වැඩ සැලසුණි.