Print this Article


පෙර පිනෙන් අප ලද උතුම් දම් දිවයින

පෙර පිනෙන් අප ලද උතුම් දම් දිවයින

“ලෝකයේ ඉතා ම කාරුණික වූ ද, ගුණවත් වූ ද මනුෂ්‍ය ජාතිය නම් බුද්ධාගම අදහන සිංහල ජාතිය බව “ජර්මන් ජාතික පඬිවරයෙක් වූ පෝල් කේරස්තුමා කීවේ ය. “ලෝකයේ හොඳම මිනිසුන් සිංහලයන් බවත්, තමා සිංහල ජාතියේ උපදින්නට කැමැති බවත්, ‘බර්නාඩ් ෂෝ’ පඬිතුමා කීය.

“ලක්දිව තරම් උතුම් රටක් මුළු ලොවෙහි ම නැතැ”යි පෙර අපර දෙ දිගම මහා පඬිවරුන්ගේ මතය යි. රටක උතුම් බව මිනිය හැක්කේ එරට පිහිටීමත්, දේශගුණයත්, ආහාරපානාදියත්, වැවිලි කර්මාන්තත්, සෞඛ්‍යයත්, රට වැස්සන්ගේ ගති සිරිතුත්, අදහන ධර්මයත් යනාදි කරුණු එකක් පාසා විමර්ශනය කැර බැලීමෙනි.

එදා ලක්දිව අදටත් වඩා බොහෝ දුරට ම සමෘද්ධ වැ පැවැති නිසා එම නිගමනයට බසින්නට ඇත. බුදුරජාණන් වහන්සේ පවා තමන් වහන්සේගේ සසුන මෙරට බොහෝ කලක් පවත්නා බව ප්‍රකාශ කොට වදාළේ මෙරටට වඩා පතිරූප දේශයක් ලොව නැති බව දැකීමෙනි.

තාම්‍රපර්ණීද්වීප නම් වූ ශ්‍රී ලංකාව වනාහි චෛත්‍යමාලායෙන් අලංකෘත ය. කසාවතින් බබළයි. සොර බිය නැති හෙයින් කැමැති කැමැති තැනෙක්හි හිඳිනට ද, හෝනයට ද පිළිවන් ය. මෙහි සෘතු සැප, සෙනසුන් සැප, පුඟුල් සැප, බණ ඇසුම් සැප යන හැම සම්පත් ම සුලභ ය, යනු පෙර ලක්දිව ගැන දසත රැව් පිළිරැව් දුන් අයුරු’යි.

ලක්දිව රජය කළ හයවැනි බුවනෙකබා රජු දවස බුරුම රට සසුන පිරිහීගෙන යද්දී එරට රජය කළ රාමාධිපති රජතුමා ලක්දිවින් උපසම්පදාව ලබා සිය රටට එනු පිණිස මෙහෙයූ භික්ෂූන් අමතා ලක්දිව හඳුන්වා දුන්නේ මෙසේ ය.

“සීහලදීපෙ ච හන්තෙ පතිට්ඨානතො පට්ඨාය යාව අජ්ජතනා අච්චන්ත පරිසුද්ධො මහා විහාරවාසි සංඝ පරම්පරාභුතො භික්ඛු සංඝො පවත්තති.

යදි භන්තෙ තුම්හෙ සීහලදීපං ගන්ත්වා මහා විහාරවාසි සංඝ පරම්පරා භූතා සංඝතො පරිසුද්ධං ගරහ පරූපවාදමත්තවිරහිතං ගණං උච්චිනිත්වා සම්මා සම්බුද්ධ දෙහ සීතල කරණට්ඨාන භූතාය කල්‍යාණි ගංගාය සජ්ජිතායං උදකුක්ඛේප සීමායං උපසම්පදං සම්මා හරෙය්‍යාථ: තදුපසම්පදං සාසන බීජං කත්වා රොපෙත්වා ඉධ රාමඤ්ඤ දෙසෙ සද්ධා සම්පන්නානං උපසම්පදාපෙක්ඛානං කුල පුත්තානං උපසම්පදං කුරුං නිස්ඵජ්ජාපෙය්‍යාම.

තථා සති සාසානං ඉධ පරිසුද්ධං හුත්වා යාව පඤ්ච වස්ස සහස්ස පරිමාණ කාලපරියන්තංඨස්සති.

සීහලදීපං ගමනඤ්ච භන්තෙ තුම්හාකං මහප්ඵලං භවිස්සති මහානිසංසං, සීහලදීපං පත්තාහි භන්තෙ තුම්හෙ තත්ථ සිරි දාඨා ධාතුඤ්ච දක්ඛිණ සාඛාදයො බෝධිරුක්ඛෙ ච රතන චෙතියාදීනි චේතියානි ච සමන්තකූට පබ්බත මත්ථකෙ පතිතං භගවතො පාදවලඤ්ජ චේතියඤ්ච වන්දි තුං ච පූජිතුං ච ලච්ජෙය්‍යාථ.

තෙන භන්තෙ තුම්හාකං අනප්පක පුඤ්ඤාභිසන්දො වඩ්ඪිස්සති. තස්මා සීහලදීප ගමනාකං තුම්හාකං සන්තිකෙ වරං ආසිංසාමාති.”

ස්වාමීනි, සිංහල ද්වීපයෙහි වනාහි ශාසනය පිහිටි දා සිට අද දක්වා ම ඉතා ම පිරිසුදු මහා විහාර වංශික භික්ෂු සංඝයා වහන්සේ වැඩ වෙසෙන සේක.

ඉදින් නුඹ වහන්සේ සිංහල රටට වැඩම කොට මහා විහාර වංශික සංඝ පරම්පරාවෙන් ගර්හා පරෝපවාද මාත්‍රයකුදු නොලත් භික්ෂූන් තෝරා ගෙන සම්බුදුරජාණන් වහන්සේත් ජලස්නානය කොට ශ්‍රී දේහය ශීතල කර ගැනීමට උපකාර වූ කැලණි ගඟෙහි සාදන ලද සීමාවෙහි දී උපසම්පදාව ලැබ වඩනා සේක් නම්, ඒ පිරිසුදු උපසම්පදාව ශාසන බීජය කොටගෙන රාමඤ්ඤ රට වැසි සැදැහැති කුල පුතුන් උපසපන් කිරීමෙන් ශාසන බීජය වවන්නට හැකි ය. එසේ කළහොත් මේ රටෙහි ශාසන පිරිසුදුව පන්දහසක් අවුරුදු පවත්නේ ය.

තවද ස්වාමීනි, ලක්දිව ගමනින් නුඹ වහන්සේට මහත් ඵල වන්නේ ය. මහානිසංස වන්නේ ය. ස්වාමීනි, සිංහල රටට පැමිණි තමුන්නාන්සේහට එහි වැඩ සිටින දළදා වහන්සේත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ප්‍රධාන කොටැති බොහෝ බෝධීන් වහන්සේත්, රුවන්වැලි සෑය ඇතුළු නොයෙක් චෛත්‍යයනුත්, සමන්කුළු පව් මතුයෙහි පිහිටි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡන චෛත්‍යරාජයන් වහන්සේත් වැඳ පුදා ගැනීමේ භාග්‍යය ද ලැබෙන්නේ ය. ස්වාමීනි, එයින් තමුන්නාන්සේට අපමණ පින් සිදු වන්නේ ය. මෙසේ බුරුම රජුගේ මේ ලංකා වර්ණනයෙන් වඩාත් තුටු පහටු වූ ඒ දූත පිරිස මෙහි අවුත් පිරිසුදු උපසපුව ලැබ නැවතත් බුරුමයෙහි උපසපුව පිහිටු වූහ.

දෙවන රාජසිංහ රජු දවස විසි වසක් පමණ මෙහි විසූ රොබට් නොක්ස් මහතා සිංහලයන් ගැන මෙසේ කියා තිබේ.

“දඹදිව දී මා දුටු ඉතාම යහපත් මිනිස්සු සිංහලයෝ ය. ඔවුහු හැම මිනිසුනට ම වඩා භාග්‍ය සම්පන්න වෙති. මිහිරි කතා ඇති ආචාරශීලීහු ය. සිංහලයන්ගේ ගුණ දහම් සැකෙවින් වර්ණනා කරතහොත් මෙසේ ය. ඔවුන්ගේ ගමන් ලීලාව ද, හැසිරීම ද, ඉතා උදාර ය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්ෂණ බුද්ධියක් සිංහලයනට ඇත්තේ ය. මස් කෑමත්, මත් පැනත් අපි‍්‍රය කරති. කෝපයක් ඇති වුව ද වහා එය සංසිඳුවා ගෙන සමඟි වෙත්. පිරිසුදුව අඳිත්. ශිෂ්ට ලෙස ආහාර ගනිත්. වැඩි වේලා නො නිඳති. සිංහල ස්ත්‍රීහු ශාන්ත ය. ගමන් ලීලාව ඉතා සංවර ය. අරපරෙස්සමෙහි දක්ෂ ය. ස්වාමිපුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශයින් ම විශ්වාස කෙරෙත්. සිංහල ස්ත්‍රීහු කො තරම් මහේශාක්‍ය වුවත් කො තරම් දැසි දසුන් සිටිතත් ගේ දොර හැම කටයුතු ම සියතින් ම කරත්. සිංහලයෝ උදය - සවස දෙක්හි පිළිම වහන්සේ ඉදිරියේ මල් පූජා කරත්. නවගුණ වැල් ගෙන නිතර භාවනායෙහි යෙදෙත්. කවර සිංහලයකු වත් මා සිටි කාලයෙහි සොරකම් කළ බව අසන්නට නො ලැබිණ. පරහට උපකාර කරත්. ආගන්තුකයනට හොඳින් සත්කාර කරත්. සිංහලයන්ගේ මේ උතුම් ගුණ තිබෙන බව මම ප්‍රත්‍යක්ෂයෙන් දනිමි.

සිංහලයන් මෙන් ම ඔවුන්ගේ භාෂාව ද පොහොසත් ය. මටසිලුටු ය. සුමධුර ය. අලංකාර ය. සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහල ද්වීපයේ එක හිඟන්නෙක් වත් නැත. සිංහල ගොවිරාළ මඩ සෝදා කුඹුරෙන් ගොඩ ගත් විට, රජකමටත් සුදුසු ය. සිංහල ගොවිරාළ මහා ගුණවතෙකි.”

“ලෝකයේ ඉතා ම කාරුණික වූ ද, ගුණවත් වූ ද මනුෂ්‍ය ජාතිය නම් බුද්ධාගම අදහන සිංහල ජාතිය බව “ජර්මන් ජාතික පඬිවරයෙක් වූ පෝල් කේරස්තුමා කීවේ ය. “ලෝකයේ හොඳම මිනිසුන් සිංහලයන් බවත්, තමා සිංහල ජාතියේ උපදින්නට කැමැති බවත්, ‘බර්නාඩ් ෂෝ’ පඬිතුමා කීය.

මේ ඈ නොයෙක් ලෙසින් ලක්දිවත්, ලක්වැසියාත් නැණවතුන්ගේ සම්මානයට භාජනය වූයේ මෙරට වැලි ඇටය පවා බුද්ධ ශාසනය සතු කොට පෙරැ විසූ රජවරුන් නොයෙක් විට මුළු ලක් පොළොව ම බුදු සසුන් විසාහි පිදු බැවිනි. මෙරටැ භාෂාවත්, සාහිත්‍යයත්, කලා ශිල්පයත්, සංගීතයත්, සිරිත් විරිතුත් කොටින් ම කියතොත් මුළු සංස්කෘතියමත්, බුද්ධාගමයෙන් ම ඕහාසස ලැබ ඒ අනුව ම හැඩ ගැසුණු බවට වාද නැත.

“බුදු සසුනෙන් වෙන් ව සිංහල ජාතියක් නැතැ” යි ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා, ඇනී බෙසන් මැතිනිය වැන්නවුන් ප්‍රකාශ කළේ බොහෝ දුරට කරුණු සැලකීමෙනි. පෙර සිංහලයාගේ ගොයම් කවි අතර පවා

“ජාති මෙ සිංහල බුදු සමයෙන් පිට ගිය දා පිරිහෙයි බූපතිනේ” යි සඳහන් කොට තිබෙන්නේ සකාරණව ය.

බුද්ධාගම සිංහලයාගේ ජීවිතයෙන් වෙන් වූවක් නොවේ. වෙසෙසින් ම මිහිඳු මාහිමියන්ගේ පැමිණීමෙන් පසු මුළු ලක්වැසි සිංහලයන් ම බෞද්ධ වූයෙන් එදත් අදත් යන මේ දෑතුරෙහි වර්ෂ 2260ක් පමණ දීර්ඝ කාලයක සිට ජීවිතය පිළිබඳ හැම අවස්ථාවක දී ම බුද්ධාගමයට මුල් තැන ලැබිණි. ස්ත්‍රීන් පවා වී කොටද්දීත්, දර කඩද්දීත්, මල් නෙළද්දීත්, දරුවන් නළවද්දීත්, පලා නෙළද්දීත්, ගොයම් කරද්දීත් බුදු සමයානුකූල ගීයෙන් සැනැසෙමින් අනුනුදු සනසා ලූ බව නොයෙක් පුවත්වලින් පෙනේ. සෙසු අවස්ථා ගැන කියනු ම කිම? කුලදූන්ගේ මෙවැනි ගී ඇසූ සැට නමක් භික්ෂූන් රහත් වූ බව ද ඉතා ප්‍රසිද්ධ ය.

බණ දැනුම දෙලොව දියුණුවට ම අදාළ ය. රට වැසියා හැම ලෙසින් ම දියුණු කරන්නට සිතූ දැහැමි රජවරුන් ඒ නිසා ම බණ කීහ. අනුනුදු ලවා බණ කියැවූහ. පෙරැ ලක්වැස්සන් අදට වඩා අභ්‍යන්තර, බාහිර දෙකින් ම දියුණු වැ විසුයේ එහෙයිනි.

අද ලක්වැස්සන් අතරැ ඇතැමුන් තුළ නවීන දේ ගැන දැනුමක් තිබෙන්නා සේ පෙනෙතත් අභ්‍යන්තරික දියුණුවෙන් නම් ඉතා ම දුප්පත් ය. උසස් දියුණුව තබා ශිෂ්ටකමින් ද දින පතා පිරිහී ගෙන යන පරපුරක් උදා වේගෙන එන බව නුවණැති කාට වුවත් පෙනී යා යුතු ය.

පන්සල් අධ්‍යාපනය නිසා පැවැති ගිහි පැවිදි සැබැඳියාව වනසා දමා ගොඩනඟා තිබෙන මිෂනාරි අධ්‍යාපනය මෙරට සිංහල බෞද්ධ මුහුණුවර සහමුලින් ම වෙනස් කොට සංකර සමාජයක් ගොඩනඟන බව සක්සුදක් සේ පෙනෙන දෙයකි.

නොබෝ දා බුරුමයෙන් මෙහි අවුත් ටික දිනක් ගත කළ බුරුම ශාසන ඇමැති තැම්පත් ඌවිංතුමා ලක්වැසියා තමා සිතුවාට වඩා සංකර ගති සිරිතින් යුතු යැයි කීවා කාහටත් මතක ඇත. එය මේ බෞද්ධ රටට - ධර්ම ද්වීපයට මහත් මදිකමකි. අප රටවත්, අප ආගමවත්, අප සිරිත් විරිත්වත් රැකීමට මිෂනාරීනට හෝ ඒවා ගරු කරන්නවුනට හෝ ඕනෑකමක් නැත. ඔවුනට ඔවුන්ගේ අදහස් මුදුන්පත් කැර ගැනුමට ඒ සියල්ල වැනසී යන්නට සැලසීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුවයි. ඒ හැමෙකක් ම රැකිය යුත්තෝ ලක්වැසි බෞද්ධයෝ ය.

බෞද්ධයනට වහලක් සැලසෙන්නේ බණ ඉගෙන පිළිපැදීමෙන් ය.

ජාතික හා ආගමික හැඟීම් ඇති සමහර වැඩිහිටි ගිහි පින්වතුන් තුළ ද නුදුරු අතීතයට වඩා බණ ඉගෙනීමට කැමැත්තක් තිබෙන්නාක් මෙන් දක්නට ලැබීම මහත් සන්තෝෂයකි. ඔවුන් අතරැ සමහරුන් ක්‍රමානුකූල වැ බණ උගනිතත් සමහර කෙනෙක් ක්‍රමෝල්ලංඝනය කොටැ පිළිවෙළ ඉක්මවා බණ උගනිත්. ක්‍රමෝල්ලංඝනය කළ පින්වත්හු පළමු කොට ම අභිධර්මයට බසිති. එයින් ඔහුට “මම අභිධර්මය දනිමැ” යි හටගන්නා ආඩම්බරය හැර අභිධර්ම ඥානයක් ද නො ලැබේ.

යමෙක් එදිනෙදා ජීවිතයෙහි පිළිපැද්ද මනා දහම් කොටස් ඇතුළත් මංගල, පරාභව, සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, වසලාදි සූත්‍ර ධර්මවත් සවිස්තර වැ දැන, අභිධර්ම හැදෑරුව ද නිවරැද ය. සුචරිත මාත්‍රයක් ගැනවත් හැඟීමක් නැති, ගිහියනට අයත් යුතුකම් ගැන සැලකීමකුත් නැති, පින්වතුන් අභිධර්මය පමණක් යම්තම් කටගාගෙන දිගට ම නිවන් යන්නට බලාපොරොත්තුවීම කවදාවත් සිදු නොවන්නකි.

තථාගතයන් වහන්සේ දාන කථාදි පිළිවෙළ කථායෙන් පහන් සිත් ඇතියනට ම ගැඹුරු දහම් දෙසති. අනාථ පිණ්ඩික, විසාඛාදි ආර්ය ශ්‍රාවකයනට දෙසූ දහම් අතර පවා වැඩිපුර තිබෙන්නේ ලිහිලි දහම් ය. එබැවින් පිරිසුදු බෞද්ධ ජීවිතයක් ගෙවමින් මෙලොවත් සැනැසීමෙන් වැස, පරලොවත් දිනාගත හැකි දහම් මඟ පළමුකොට ඉගෙන ඒ අනුව පිළිපදිමින් නැවතත් මේ රට අන්වර්ථ වශයෙන් ම ධර්ම ද්වීපයක් කිරීමට බෞද්ධ පින්වත්හු උත්සාහ දරත්වා.

අමරපුර ධර්මරක්ෂිත මහා නිකායයෙහි මහානායක ධූරීණ ව වැඩ විසූ රාජකීය පණ්ඩිත විනය විශාරද, ධර්ම කීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංස අග්ගමහා පණ්ඩිත, ආචාර්ය පරමපූජනීය වැලිගම ඤාණරතන මහා නායක මහා ස්ථවිරයන් ලියූ ලිපියකිනි.