දීර්ඝායුෂ ලැබුණු පින්කමක්
අනුරාධපුර යුගයේ එක්තරා වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් සිල්ගුණදම් දියුණු කර ගෙන
ජීවත් වුණා. උන්වහන්සේට එක ගෝල සාමණේර නමක් සිටියා.
ගුරු ස්වාමින් වහන්සේට සමාධියට සම වැදී අනෙක් කෙනාගේ ආයුෂ බලන්නට පුළුවන්කම තිබුණා.
දවසක් හිතුවා තමන්ගේ සාමණේරයන් වහන්සේගේ ආයුෂ කෙ තරම් ද කියලා බලන්න.
දිනක් උන්වහන්සේ සමාධියට සමවැදිලා බැලුවා සාමණේරයන් වහන්සේගේ ආයුෂ දෙස. උන්වහන්සේ
දුටුවේ හිත කම්පා කරන දෙයක්. තමන්ගේ සාමණේරයන් වහන්සේට තව දින දෙකයි මිනිස් ලොව
ජීවත්වීමට ආයුෂ තිබුණේ.
ඉතින් මේ ගුරු ස්වාමීන් වහන්සේට සාමණේරයන් වහන්සේ ගැන විශාල දුකක් ඇති වුණා. ගුරු
ස්වාමීන් වහන්සේ දන්නවා මේ පොඩි නමට මවුපියන් ගොඩාක් ආදරෙයි කියලා. ඒ නිසා පොඩි නමට
මේ දවස් දෙකේ මවුපියන් දැක බලා ගන්නා අවස්ථාව දෙන්නට ඕනෑ යැයි සිතා, මෙහෙම කිව්වා.
“පොඩිනම, කාලයකින් අම්මවයි, තාත්තවයි දකින්නට බැරි වුණා නේ. ගෙදර ගිහිං අම්මටයි
තාත්තටයි ධර්මයෙන් සලකලා දවස් දෙක තුනක් ඉඳලා එන්නකෝ....” ‘එහෙමයි ස්වාමින් වහන්ස’
කියලා උන්වහන්සේ එය පිළිගත්තා.
ඒ කාලයේ වාහන තිබුණේත් නැහැනේ. පයින් තමයි යන්න තිබුණේ. සාමාණේරයන් වහන්සේට නිවසට
යන්න දවසකුත්, එන්න දවසකුත් ගතවෙනවා. ගුරු ස්වාමින් වහන්සේ සිතුවා පොඩි නම දවස්
දෙකකින් අපවත් වන නිසා තමන් විසින් කළ පින් අනුමෝදන් කරලා සසර ස්වභාවය සිහි කරමින්
කාලය ගත කළා. දින හතරක් පහක් ගියාට පස්සේ දිනක් ලොකු ස්වාමින් වහන්සේ මිදුල
අතුගාමින් සිටිද්දී පොඩි හාමුදුරුවෝ සිනාවෙවී විහාරය දෙසට වඩිනවා ගුරුහාමුදුරුවෝ
දැක්කා. උන්වහන්සේට මහා පුදුමයක් ඇති වුණා.
“කවරදාවත් මම සමාධියෙන් දුටු දෙයක් වැරැදිලා නැහැනේ. කොහොමද මෙහෙම වුණේ.” කියලා
උන්වහන්සේ පුදුම වුණා.
“මට කුමක් හෝ වැරද්දක් වුණාද” කියලා බලන්න නැවතත් සමාධියට සමවැඳී සාමණේරයන්
වහන්සේගේ ආයුෂ බැලුවා. එතකොට ගුරු හිමියන් දුටුවේ සාමණේරයන් වහන්සේට අවුරුදු 80
තෙක් ආයුෂ දීර්ඝ වෙලා කියලා. පුදුමයට පත් ගුරු ස්වාමින් වහන්සේ සාමණේරයන් වහන්සේ
වෙත ගොස් ඇහුවා.
“පොඩි නම කොහොමද අම්මා තාත්තා සනීපයෙන් ඉන්නවා ද? ඒ අයට ධර්මයෙන් අනුග්‍රහ කළා ද?
“එහෙමයි, අම්මා තාත්තා ධර්මයෙන් සතුටු කළා.”
“පොඩි නම ගෙදර යද්දී මොනවා හරි විශේෂ දෙයක් වුණාද?”
“අනේ ස්වාමින් වහන්ස, මට බොහොම සතුට ඇතිවන පිනක් කර ගන්නට ලැබුණා.”
“ඔබ මොකක්ද කර ගත්ත පින”
“ස්වාමින් වහන්ස, මම වැඩම කළ දිනයේ මහා වැස්සක් වැහැලා ගුරුපාරේ තිබුණ වළක වතුර
පිරිලා. ඒ වළට උඩින් තිබුණු ගසක දිමියන් ගේ ගොට්ටක් තිබිල. සුළඟට ඒ සතුන් දහස්
ගණනක් අර වතුරවලට වැටිලා ජීවිතයත්, මරණයත් සමඟ පොර බඳිමින් සිටියේ. ස්වාමීනි, මම
නිවසට යන එක නතර කරලා ඒ වළේ සිටි සියලුම දිමියන් මගේ දෑතින් ගොඩට ගත්තා. සියලුම
දෙනාගේ ජීවිත බේරුවා. ස්වාමීනි, ඒ පින ඔබ වහන්සේත් අනුමෝදන් වෙන්න” කියා කිව්වා.
ගුරු හාමුදුරුවන්ට කරුණු වැටහුණා.
එහෙම නම් අපට තේරෙනවා සමහර පින් තිබෙනවා. අකුසල් යටපත් කරලා පින ඉස්මතු කරන. ඒ
පොඩිනම සිත මෙහෙයවා කළ පින මේ ජීවිතයේ දී ම විපාක දුන් අයුරු කෙ තරම් සුන්දර ද? |