වැරැදි නොකිරීම වගේම
වරදින් නැඟීසිටීමත් ශ්‍රේෂ්ඨයි
සිත, කය, වචනය යන තිදොරින් අප අතින් යහපත මෙන් ම අයහපත ද සිදු වෙනවා. භාග්‍යවතුන්
වහන්සේ ශ්‍රාවකයාට යහපත අයහපත සිදු වන ආකාරය වදාළේ තමන් වහන්සේ තුළින් ම ඇතිකර ගත්
සම්බුද්ධ ඥානය තුළින්.
උන්වහන්සේ පරිපූර්ණ වශයෙන් සසරේ ස්වභාවය අවබෝධ කර ගත්තා. සසරේ ගමන් කරද්දී තිදොරින්
ම අප සියලු දෙනා අතින් බොහෝ සේ වැරැදි සිදු වී තිබෙනවා. එසේ සිදුවන වැරැදි නිවැරැදි
කර ගෙන මේ ජීවිතයේ දී එයට මුහුණ දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ආර්ය ශ්‍රාවකයා
පමණයි. අනෙක් සියලුම දෙනාට ඉතිරි වන්නේ අතීතයේ දී තමා අතින් වැරැදි සිදුවුණා කියන
පසුතැවීම පමණයි.
මේ සසර ගමනේ ගමන් කරන අප කවුරුත් දුගති සුගති ලෝකවල මාරුවෙවී සසරට වැටුණු පිරිසක්
ලෙස බොහෝ දුර ගමනක් යනවා. සියලුම දෙනා මහගෙදර කර ගෙන සිටින්නේ සතර අපාය යි. සසරට
වැටුණු අපගේ ස්වභාවය වන්නේ වරදට නැමුණු බවයි. සසරේ පුරුදු ලෙස නැවත නැවත එකම වරද
වෙන්න පුලුවන්. සසරේ දෝෂයක් නිසා හෝ අසත්පුරුෂ ඇසුර නිසා බොහෝම ගුණ යහපත්, අවංක,
අහිංසකව ජීවත්වූ උදවියට සසර ගමන වරදිනවා. අසත්පුරුෂ ඇසුර නිසා බොහෝ විට බොහෝ දෙනාට
තමන්ගේ සිතට එකඟව තමාට සිතීමට පවා අකැමැති දේ කරන්නට සිදු වෙන්න පුලුවන්.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දේශනා කරන විට සිල්වතුන් පමණක් මුණ ගැසුණේ නැහැ.
උන්වහන්සේ ධර්මය වදාළේ පරිපූර්ණ අයට නොවේ. පරිපූර්ණත්වය උදෙසායි ධර්මය වදාළේ.
දිනක් භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයේ දහම් දෙසද්දී ගැට කපන්නෝ දෙදෙනෙක් මණ්ඩපය
අසලට ආවා. ඒ අය ආවේ දහම් අසන්නට හෝ ජීවිත අවබෝධය කරගත යුතුයි කියන අදහසින් නොවේ.
සොරකමටයි දම්සභා මණ්ඩපයට ආවේ. එදා භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ සිත දුටුවා. එක සොරකු
ධර්මය අසා
“මම අදින් පසුව කිසිකෙනකුගේ දෙයක් සොර සිතින් ගන්නේ නෑ කියලා සිතුවා. සත්පුරුෂ ඇසුර
නිසා ඔහු සුමඟට ආවා. එදා කිසි දෙයක් සොරකම් නො කර ගෙදර ගියා. ඔහු කය වෙහෙසා වැඩ
කරන්නට සිතා ගත්තා. ඔහුට සොරකම් කළ අතීතයක් තිබෙනවා. නමුත් ඔහු දිරිමත් වුණා. ඒ
අඩුපාඩුව හදා ගත්තා. තමන්ගේ වරද වරදක් ලෙස දුටුවා. වරද දැක එයින් නැඟී සිටිනවා
කියන්නේ උතුම් දෙයක්. ශ්‍රේෂ්ඨ දෙයක්. වරදක් කළ කෙනකුට නිවැරැදි වෙන්නටයි මේ ධර්මය
තිබෙන්නේ. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ අවස්ථාව දී තිබෙනවා.
අපට ධර්මයේ දී කියා දෙනවා වීර්යය, සිහිය, ප්‍රඥාව උපදවා ගත් පුද්ගලයාට නිවැරැදි
වෙන්න පුළුවන් බව. කෙනකුගේ ජීවිතයේ යම් වරදක් වන විට හෝ අඩුපාඩුවක් සිදු වූ විට හෝ
එයින් නැඟී සිටින්නට ඔහු ඇසුර කරන සමාජයත් යම් බාධාවක් වෙනවා. ඒ වගේම තමාගේ අඩුපාඩු
හදා ගන්නත් හොඳ මානසික ශක්තියක් තිබෙන්නට ඕනෑ. වීර්යයක් ඕනෑ. ඒ සියල්ල පින මතම
පිහිටි හැකියාවක්.
වරදින් මිදුන බොහෝ දෙනා අපට ධර්මයේ දී මුණ ගැසෙනවා. ඒ වගේ ශ්‍රාවිකාවක් තමා සිරිමා
කියන්නේ.
සිරිමා නගර සෝභිනියකි. ඉතා රූමත් සිරුරක් ඇයට ලැබී තිබුණේ පෙර කළ පිනක් නිසයි. ඒ
පින සමඟම ඇය කළ පවකුත් ඇයත් සමඟ සසර පුරා ආවා. ඒ නිසා ඇයට නගර සෝභිනියක් ලෙස
රැකියාව කරන්න සිදු වුණේ. ඇයගේ පහස පතාගෙන එදා බොහෝ සිටුවරු, මැති ඇමැතිවරු ආවා. ඇය
වෙනස් වුණේ ධර්මය අහලයි. එසේ වෙනස් වෙද්දී ඇගේ රූපයට බැඳුණූ සල්ලාලයන් කෙ තරම් ඇයට
බාධා කරන්න ඇද්ද? ජීවත්වන ආදායම් මාර්ගය වැසී යද්දී සිත සමඟ සටන් කරන්නට ඇයට කෙ
තරම් වීර්යයක්, ශක්තියක් වගේම ප්‍රඥාවක් අවශ්‍ය වන්නට ඇද්ද?. එතුමිය ධර්මය පුරුදු
කරන අතරතුර අඩු වයසින් මිය ගියා. නිදා පිබිදීයාමක් මෙන් තව්තිසා දෙව්ලොව උපන්නා.
දිනක් ඒ දේවතාවිය මුළු ජේතවනාරාමය ම බබළවමින් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නට
ආවා. එකත්පස ව හිඳගෙන මෙහෙම කිව්වා.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම දැන් ධර්මය පුරුදු කරමින් සිටින්නේ. උතුම් සමාධිය
තමයි මගේ කුසල යානාව වන්නේ. ස්වාමීනි, සමාධිය මත පිහිටලයි මම දහම් මාර්ගයේ අංග
වඩන්නේ” කියා පැවසුවා.
සුළු කලකට පෙර මිනිස් ලෝකයේ දී ඇය නගරසෝභිනියක්. සල්ලාලයන් පිරිවරා, මත්වතුර පානය
කරමින් සිටි තැනැත්තියක්. මිනිස් ලෝකයේ දී බොහෝ කාලයක් පන්සිල් රකින්නට ඇයට බැරි
වුණා. නමුත් කල්‍යාණ ඇසුර නිසාත්, පරිසරයෙන්, තමන්ගේ කෙලෙස්වලින්, අතීතය සිහිපත්
වීමෙන් ඉපදෙන දුක්ඛ දෝමනස්සයන් සියල්ල අමතක කොට ඇය බුදු සසුනේ සමාධිය වැඩුවා.
සමාධිය තුළ පිහිටලයි දහම් මඟ දියුණු කළේ. එහෙමනම් වරදකින් අත මිදෙනවා කියන දේ
ශ්‍රේෂ්ඨ දෙයක් නොවේ ද? ඒ වගේම වරදක් නො කර සිටිනවා කියන්නේත් ඒ වගේම ශ්‍රේෂ්ඨ
දෙයක්. මේ වගේ යුගයක පංචශීලය ආරක්ෂා කර ගෙන සිටීම කියන්නේ සසරේ පුණ්‍ය විපාකයක්.
එනිසා වරදක් නොකර සිටීම මෙන්ම වරදින් නැගී සිටීමත් යහපත් දෙයක් වගේම ශ්‍රේෂ්ඨ
දෙයක්. එනිසා අප අතින් අතීතයේ සිදු වූ වැරැදි අතපසුවීම් නැවත නැවත සිහි කරමින්
‘අපරාදේ මම ඒ දේ කළේ. මට එහෙම නොකර ඉන්නයි තිබුණේ’ යැයි සිතමින් පසුනොතැවී වරදින්
නැඟී සිට බුදුසසුනේ රැකවරණය ගැනීමට අප සියලු දෙනාට ශක්තිය ලැබේවා!
නයනා නිල්මිණී |