අලුත් අවුරුද්දේ හරය දැන අවුරුදු සමරමු
ඌවේ සියම් මහා නිකායේ මහා ලේඛකාධිකාරි,
වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති,
කැප්පෙටිපොල,
පාලුගම, ශී‍්‍ර සුභද්‍රාරාම මහා විහාරාධිපති,
ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
වසරක් ගෙවී වසරක් ලබන නිමේෂය අලුත් අවුරුද්ද සේ අපි ප්‍රීතිමත් ව සමරමු. ස්වභාව
ධර්මයේ ක්‍රියාකාරිත්වය මත හිරු රාශියෙන් රාශියට ගොස් අවසන් රාශිය වන මීන රාශියෙන්
මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අවුරුදු උදාව සේ සලකමු. එම අවුරුද්ද අලුත්
අවුරුද්දක් සේ සලකන පෙරදිග වැසියෝ මහත් වූ ප්‍රීතියෙන් අවුරුද්ද සමරති.
සිංහලයනට එය සිංහල අලුත් අවුරුද්ද වන අතර, හින්දූනට හින්දු අලුත් අවුරුද්දයි. ගමේ
අයුරින් ආසියාතිකයෝ එය තම තමන්ගේ අවුරුද්ද කර ගනිති. ගමේ හිරු ගමන සමඟ ස්වභාව ධර්මය
තුළ සිදුවන වෙනස අවුරුද්ද වශයෙන් වඩාත් සමීප වන්නේ ලාංකිකයන්ටයි. මන්ද මේ හිරු ගමනේ
සංධිස්ථානය සිදුවන විට හිරු මුදුන් වන්නේ ශ්‍රී ලංකාවටයි.
එමෙන් ම රාවන පුරා වෘත්තයට යන විට සිංහලයනට හිරු හා ඇති සම්බන්ධතාව වඩාත් තහවුරු
වෙයි. කෘෂිකාර්මික ජීවන රටාවක ජීවත්වන ලාංකිකයනට හිරු විශේෂයෙන් බලපායි.
සශ්‍රීකත්වය සඳහා හිරු සෘජු සාධකයකි.
අවුරුද්ද මංගල්‍යයක් වන්නේ අපගේ දෛනික කටයුතු සුභ වූ මුහුර්තයන්ට අනුව සිදු
කිරීමයි. ලිපගිනි මෙළවීම,ආහර පිසීම, ආහර අනුභවය, ගනුදෙනු කිරීම, හිස තෙල් ගෑම,
ස්නානය මේ සියල්ල සුභ වූ වේලාවට කරති. සියලු කටයුතු, සියලු රටවැසියා එකවිට කරන විට
ඒ තුළින් ගොඩ නැඟෙන එකමුතුකම, සංහිදියාව කොතෙක් ද යන්න වචනවලට පෙරලිය නොහැක.
වැඩිහිටියන්ට වැඳීම් පිදීම් ගරු සත්කාර දැක්වීම, විනෝදාත්මක කෙළි සෙල්ලම් ආදියෙන්
යුක්තව ගත කරති. ආගමානුකූලව ද මෙය අපට මංගල්‍යයක් කර ගත හැකි ය.
නව අවුරුද්දක් යනු තිබුණ තත්ත්වයේ වෙනසයි. වෙනස් වීම යනු සාම්ප්‍රදායික බවින්
මිදීමයි.ගමේ සාම්ප්‍රදායික බවින් මිදීමට වෙර දැරීම උසස් තත්ත්වයට පත්වීමට වෙර
දරන්නන්ගේ පැතුමකි.
වෙනස් වූවොත් උසස් වෙති. සිද්ධාර්ථ කුමරු සතර පෙර නිමිති දැක මා මහලු වෙයි. මාත්
ලෙඩ වෙයි, මාත් මැරෙයි යැයි නොසීතී ය. ඔහු සිතන්නේ මෙම සාම්ප්‍රදායික තත්ත්වය වෙනස්
කරන්නටයි. ඒ නිසා අපට බුදුවරයකු හමු වෙයි. එදා අර්හත්වයට පත් වූ හැම දෙනාමත් ඒ
අයුරින් වෙනස් වූ අයයි. අවුරුද්ද මේ වෙනස ඇති කර ගන්නට ඉතා හොඳ අවස්ථාවයි.
ජීවිතයට වෙනසක් එක් කර ගන්නට කාල කළමණාකරණය ඉතා වැදගත් වේ. සුභ නැකතට සියල්ල
ඇරඹීමෙන් අපට දෙන ඔවදන නම් කළ යුතු සියල්ල කළ යුතු නිසි වේලාවට කළ යුතුයි යන්නයි.
උදාර වු මිනිසුන් කාල කළමණාකරයෙන් කටයුතු කර ඇත. බුදුරජාණන් වහන්සේ ද පෙර බත් කිස,
පසු බත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස ආදි වශයෙන්
කාලසටහනකට අනුව කටයුතු කළහ. ජීවන උදාරත්වයට පත් වන්නට කාල කළමණාකරණයකින් යුතු ව
කටයුතු කළ යුතුයි. නව ජීවනයක්, සැබෑ වෙනසක් ඇති කර ගන්නට කාල කළමණාකරණය අවුරුදු
උදාවෙන් ම අපට කියාපායි.
අවුරුද්ද මංගල්‍යයකි. මංගල යනු දියුණුවයි. දිවියට දියුණුවේ කරුණු ඈඳා ගැනීම තුළින්
ජීවිතයට එකතු කළ වෙනස වඩාත් උදාරත්වයට පත් කර ගත හැකි ය. අවුරුද්දේ චර්යාවන් තුළ මේ
දියුණුවේ කරුණු දැක්ක හැකි වෙයි. දියුණුවේ මං පෙත් දක්වන කරුණු රාශියක් මංගල
සූත්‍රය තුළ දක්නට වෙයි.
බාලයන් ඇසුරු නොකිරීම, පඩිවරුන් ඇසුර, පිදිය යුත්තන් පිදීම, යහපත් පරිසරයක විසීම,
සිත දමනය කර ගැනීම, ශිල්ප ශාස්ත්‍ර දැනීම, නීතිගරුක වීම, යහපත් වචන, මව්පියන්ට
සැලකීම, අඹු දරුවන්ට සැලකීම, නිරවුල් ක්‍රියාවල නිරතවීම, දීම, දහම්හි හැසිරීම,
ඤාතීන්ට සැලකීම, නිවැරැදි ක්‍රියාවල යෙදීම, පවින් වැළකීම, මත්පැනින් වැළකීම, ධර්මයේ
නොපමා වීම,ගරු කළ යුත්තන්ට ගරු කිරීම, නිහතමානි වීම, ලද දෙයින් සතුටු වීම, කළගුණ
සැලකීම, දහම් ඇසීම, ඉවසීම, සුවච බව, ශ්‍රමණයන් දැකීම, දහම් සාකච්ඡා පැවැත්වීම, අටලෝ
දහමෙහි කම්පා නොවීම මේ ආදී වශයෙන් ලෞකික වූ ජීවිතය දියුණු කර ගත හැකි කරුණු රාශියක්
මංගල සූත්‍රයේ දැක්වෙයි.
අලුත් අවුරුද්දේ චර්යා ධර්ම තුළ මේ කරුණු බොහෝමයක් ඉටු වන බව අපට දක්නට
ලැබෙයි.වැඩිහිටියන්ට, මව්පියන්ට, අඹු දරුවන්ට තෑගි බෝග දීම, වැඳීම් පිදීම්, ගරු
සත්කාර සම්මාන දැක්වීම, අලුත් අවුරුද්ද තුළ දක්නට තිබේ. පිදිය යුත්තන් පිදීම, ගරු
කළ යුත්තන්ට ගරු කිරීම, මව්පියන්ට සැලකීම, අඹු දරුවන්ට සැලකීම,ඤාතීන්ට සංග්‍රහ
කිරීම ආදී වූ මංගල කරුණු මේ චර්යාවන් තුළින් ඉටුවේ. කැවිලි පෙවිලි ගෙන නෑගම් යාමෙන්
දානය නම් වු මංගල්‍යය සිදු වෙයි.
අවුරුදු සිරිත් හා කෙළි සෙල්ලම් තුළ දක්නට ලැබෙන්නේ එකමුතුකම, සමගිය, සංහිදියාව
වැනි ගුණයන් ය. අවුරුදු ක්‍රීඩා තුළ නීරෝගි කයක්, නීරෝගී මනසක් ගොඩනඟයි. ඔළිඳ කෙළි
ය. පංච කෙළිය වැනි දේ තුළින් විනෝදය, සාමුහික බව මෙන් ම, මානසික නීරෝගිකම ගොඩනඟයි.
ඔංචිලි පැඳීම, ග්‍රීස් ගසේ නැඟීම, ගම හරහා දීවීම, ගුඩු පැනීම වැනි කෙළි සෙල්ලම්
තුළින් කායික ජවය ප්‍රකට කරන බැවින් කායික නීරෝගිකම ප්‍රකට කරයි.
නීරෝගිකම උතුම් ලාභයකි. ආරෝග්‍ය පරමා ලාභා යනු බුදු වදනයි. එම බුදු වදන ප්‍රකට වන
අයුරින් මේ කෙළි සෙල්ලම් කෙරෙයි. ඒ සමඟම, එකමුතුකම, කැපවීම, ඉවසීම වැනි ගුණාංග
රාශියක් දක්වයි. ඉවසීම මංගල කාරණයකි. හිසතෙල් ගෑමේ චාරිත්‍රයෙන් ද නීරෝගිකමෙහි
වටිනාකම කියයි.
අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ හිරු දෙවි පිදීමෙන් යැයි පැරැන්නෝ විශ්වාස කරති. මෙම
පිදීම තුළ ද මංගලයක් වෙයි. අස්වනු නෙළා අටුකොටු පුරවා ගෙන පළමුව කරනුයේ බුද්ධ භෝගය
වශයෙන් බුද්ධ පූජා පැවැත්වීමයි. ඉන් අනතුරුව වැව් තාවුල්ලේ, වෙල් එළියේ දේව දානය
දෙයි, අනතුරුව මව්පිය, ගුරුවර වැඩිහිටියන්ට භෝග කොටසක් දෙයි. ගමේ සියලු චාරිත්‍ර
තුළ ඇත්තේ කතඤ්ඤුතා නැතහොත් කෘතවේදිත්වයයි.
සිංහලයාගේ සුවිශේෂි ගුණාංගයකි කෘතවේදිත්වය. ඔහු මුළු මහත් ලෝකයට ම කෘතවේදී වෙයි.
තමන්ට හොඳ අස්වැන්නක් ලැබීමට හිරු, ජලය, මහපොළව වැනි මේ ස්වභාවධර්මයේ සියලු සාධක
උපකාරි වූ නිසා මේ ස්වභාව ධර්මයට කෘතවේදිත්වය දක්වයි. තමන්ට උපකාරි වූ මනුෂ්‍යයන්ට
පමණක් නොව සතා සිව්පාවට කෘතවේදිත්වය දක්වයි. ළිඳ සමඟ ගනුදෙනුව, ලිප මෙළවීම මේ ආදි
සියල්ල කෘතවේදිත්වය උදෙසාම කරන චාරිත්‍ර වේ. මේ තුළින් කෘතඥතාව නම් වූ මංගල කරුණ
වාඩාත් ඔපවත් වන බව පැහැදිලි ය.
බටහිර විජාතික දැනුමෙන් හිස් පුරවා, හිස් මිනිසුන් මෙය හුදෙක් විනෝදාත්මක
සැණකෙළියක් බවට පත් කොට ගෙන හැසිරෙන බවක් දක්නට ලැබේ. ඔවුන් මේ අවුරුද්දේ වටිනාකම
දකින්නේ හිස්වන මත්පැන් බෝතල් තුළිනි. එහෙත් හරවත් දේශීය චින්තනයෙන් යුක්ත වූවෝ
අවුරුද්ද එසේ නො සමරති. මත්පැන් බී මත් නොවෙති. රණ්ඩු සරුවල් නොකරති. සූදුවේ
නොයෙදෙති. ඒවා පිරිහෙන මිනිසුන්ගේ කටයුතු වේ.
බටහිර විජාතික චින්තනයෙන් යුතු, තමන් විදග්ද යැයි, ප්‍රබුද්ධ යැයි සිතන තව පිරිසක්
අවුරුද්ද අරුත්සුන් දෙයක් යැයි පවසා මේ නැකැත්, මේ චාරිත්‍ර ප්‍රතික්ෂේප කරමින්
කටයුතු කරති. ඔවුන් උත්සාහ කරනුයේ මේ සුන්දර සංස්කෘතිය විනාශ කොට සංස්කෘතියක්
නොමැති ජන කොටසක් බවට අප පත් කර ලීමටයි. ඒ උදවිය මේ සඳහා බණ භාවනාව, වන්දනා ගමන්
ආදිය සංවිධානය කරමින් අපගේ ජනයා මේ සංස්කෘතික මංගල්‍යයෙන් ඈත් කරලීමට වෙහෙසෙති.
සම්මා දිට්ඨිය අවශ්‍ය වන්නේ මෙතැන දී ය.
මෙම සංස්කෘතික මංගල්‍යය තුළින් අපගේ ලෞකික දියුණුව ඇති කරයි. ලෞකික දියුණුව ඇති
පුද්ගලයා තම ජීවියට ලෝකෝත්තර දියුණුව ළඟා කර ගනියි. එහෙයින් සුදනනි, අලුත්
අවුරුද්දේ හරය දැන අවුරුද්ද නිසි අයුරින් සමරමු.
සැම වෙත සුභ අලුත් අවුරුද්දක් වේවා. |