[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු ගුණ ගයන අපේ පැරැණි චිත්‍රපට ගී

සම්බුදු ගුණ ගයන අපේ පැරැණි චිත්‍රපට ගී

අපගේ සිංහල ගීත සාහිත්‍යය තුළ විවිධ වර්ගයේ ගීත ප්‍රබන්ධයන් දැක ගත හැකි ය. පැරැණි නාඩගම් ගීත, පැරැණි නූර්ති ගීත, ටීටර් ගීත, ගුවන් විදුලි ගීත සහ ග්‍රැමෆෝන් ගීත ආදී වශයෙන් කලින් කලට එක් රැස්වූ ගීත අතරට අලුතෙන් ම පැමිණි ගීත වංශයක් වූයේ චිත්‍රපට ගීතයන් ය.

වර්තමානයේ දී මේ අතරට එක්වූ නවතම ගීත සංග්‍රහයක් වන්නේ රූපවාහිනී (සීඩී තැටි) ගීත ය.

ශ්‍රාවකයන්ට එතෙක් අසන්නට නුහුරුව තිබූ චිත්‍රපට ගීතයේ ආරම්භය සනිටුහන් වන්නේ ක්‍රි.ව. 1947දී ප්‍රථම වරට ප්‍රදර්ශනය කළ “කඩවුණ පොරොන්දුව චිත්‍රපටයේ ගීතයන් සමඟ ය. ඒ අනුව මේ දක්වා සිංහල චිත්‍රපට ගොන්නෙහි තැන්පත් ව ඇති ගීත ප්‍රමාණය අති විශාල ය.

1947 වර්ෂයේ දී ප්‍රථම වරට ප්‍රදර්ශනය කළ ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටය දෙබස්වලින් සහ ගීතයන්ගෙන් ද සමන්විත වූ බැවින් එම චිත්‍රපටය ශබ්ද සහිත වූ ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය ලෙස චිත්‍රපට වංශයේ හඳුන්වා ඇත්තේ ය. එතැන් පටන් මේ දක්වා තිරගත වූ සිංහල චිත්‍රපට සංඛ්‍යාව ද අති විශාල ය.

චිත්‍රපටයේ කතාවට සහ සිදුවීම්වලට අදාළව අපේ සිංහල චිත්‍රපටවලින් පේ‍්‍රම ගීත, විකට ගීත, සමූහ ගීත, දේශානුරාගි ගීත සහ ආගමික භක්ති ගීත ද, ශ්‍රාවකයන්ට අසන්නට ලැබිණ. චිත්‍රපටයක් ජනපි‍්‍රය වීමටත්, ජනතාව අතර එය ප්‍රසිද්ධ වීමටත් චිත්‍රපට ගීතය කොතරම් ඉවහල් වූයේ ද යන්න චිත්‍රපට ගීතයේ ව්‍යාප්තිය ගැන සොයා බැලීමේ දී අපට අවබෝධ වන්නේ ය. එසේ නම් අපේ පැරැණි සිංහල චිත්‍රපට ගීතය තුළ අසන්නට ලැබුණු බෞද්ධාගමික ගීත අතර බුදුන් වහන්සේ පිළිබඳ ලියවුණු, ගීත කිහිපයක් ගැන විමසීමක් කිරීම මෙහි අරමුණ ය.

වර්ෂ 1958 දී ප්‍රථම වරට තිරගත වූ “සල්ලි මල්ලි සල්ලි“ චිත්‍රපටයට ගීත හතක් (7) ඇතුළත් විය. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඉන්දීය ජාතික එම්.ආර්.එස්. මානි මහතා ය.

එහි ඇතුළත් වූ පහත දක්වන බොදු බැති ගීය චිත්‍රපටය නැරඹූ රසිකයනට අමතක විය නොහැකි ය.

සාධු පියේ භගවා බුදුරජුණෝ
සාධු පියේ භගවා
ශ්‍රී පා පද්මේ වඳිම් පේ‍්‍රමෙනා
මෝහෙ දුරු කරවා – සාධු පියේ භගවා
ලෝකෙට තිලකවූ ශ්‍රී සද්ධර්මේ
දසත ව්‍යාප්ති වේවා
ක්‍රෝධය මෝහය ලෝකෙන් දුරලා
සතට සෙත සෑදේවා
භීතිය ගෙන දෙන මේ සංසාරෙන්
ගොඩ වෙමි කවදා
සාධු පියේ භගවා
සීල සමාධි පුණ්‍ය ක්‍රියාවේ
මහිමෙන් ලෝ සැනසේවා
බුද්ධ ජයන්තියෙ මහිමේ බලයෙන් –
ජීවමානය වී
සාධු පියේ භගවා
ගෞතම බුදු වී ලෝ සත සැනසු
බුදු පියේ බලධාරි
නේත්‍ර ප්‍රදීපේ දෙවා වදාළේ
ඔබව ද තිලොවග ධාරි
සරණයි සරණයි බුද්ධං සරණයි
පිහිට ඒ සැමදා
සාධු පියේ භගවා

(චිත්‍රපටය – සල්ලි මල්ලි සල්ලි 1958) (ගායනය ලතා මොහිදින් බෙග් සහ පිරිස)

ලෝ වැස්සන්ට පියෙක් වූ බුදුන් වහන්සේ බුද්ධ රාජ්‍යයේ අභිෂේකය ලැබූ ලෝකෝත්තර නායකයාණන් වූ සේක. එනිසා උන්වහන්සේ බුදුරජුන් විය. පීතෘ භාවය ඉහළ තත්ත්වයකි. එනිසාම පිය තෙමේ ප්‍රධානියෙක් වන්නේ ය. බුදුන් වහන්සේ ද ඒ අයුරු ලෝකයට ප්‍රධානියෙක් වන්නේ ය. බුදුන් වහන්සේ භගවත් නමින් හැඳින්වේ. උන් වහන්සේ ධර්ම සමූහය බෙදා දැක්වීම නිසා ද, යහපත් වූ ගුණ සමූහය භජනය කරන බැවින් ද භගවත් නම් වන සේක. එමෙන්ම ඉතා සුන්දර වූ ධර්මයක් දේශනා කළ බැවින් ද ‘භගවා’ නමින් හඳුන්වා ඇත්තේ ය.

බුදුන් වහන්සේගේ ධර්මය ලෝකයට තිලකයක් බඳු වූ සේක. තිලකය තබන්නේ මුදුනෙහි ය. නළලෙහි තබන තිලකය ඉහළින් ම බබළන්නේ ය.ලෝකයේ සියලු පදාර්ථයන් අත්ලෙහි තැබූ නෙල්ලි ගෙඩියක් සේ දැන ගත්තා වූ උන්වහන්සේ ගේ ධර්මය යථාර්ථවාදී වූයේ ය.

“ගෞතම බුදුවී ලෝසත සැනසූ
බුදු පියේ බලධාරී
නේත්‍ර ප්‍රදීපේ දෙවා වදාළේ
ඔබව ද තිලොවග ධාරී.........”

අපගේ බුදුන් වහන්සේ ගොයුම්හු නැතහොත් ගෞතමයන් ලෙස හැඳින්වේ. එය තථාගතයන් වහන්සේගේ ගෝත්‍ර නාමය විය. උන් වහන්සේ ඒ අයුරු ගෞතම ගෝත්‍රයෙන් උපන් බැවින් ගෝතම නමින් හැඳින්වූහ.

බුදුන් වහන්සේ බලධාරි උතුමෙක් වූහ. උන් වහන්සේ උසස් වූ ඥාන බල දසයකින් ද (10) මහත් වූ කාය බල දසයකින් ද (10) යුක්ත වූහ. 1. ස්ථාන අස්ථාන දන්නා නුවණ (ඨානාඨාන ඥානය) 2. කර්ම විපාක දන්නා නුවණ (යථාභූත විපාක ඥානය) 3. සත්වයන්ගේ සියලු ගති ඇති සැටියෙන් දන්නා නුවණ (සබ්බත්ථ ගාමිණි පටිපදා ඥානය)– 4. සත්වයන්ගේ අනේක ලෝක ධාතු දන්නා නුවණ (අනෙක ධාතු නානා ලෝක ඥානය) 5. සත්වයන්ගේ නොයෙක් ආකාර මුක්තිකත්වය දන්නා නුවණ ( නානාධිමුක්තිකත්ව ඥානය) 6. ඉන්ද්‍රියයන්හි තියුණු බව, මෘදු බව දක්නා නුවණ (ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය)– 7. ධ්‍යානයන්ගේ ද සමාධින්ගේ ද, සමාපත්තින්ගේ ද කෙළෙසීම දක්නා නුවණ (ධ්‍යාන විමොක්ෂ සමාධි සමාපත්ති ඥානය) 8. පෙර විසූ තැන් සිහි කරන්නා වූ, නොයෙක් කල්පයන්හි විසු තැන් සිහි කළ හැකි නුවණ (පුබ්බේනිවාසානුස්සති ඥානය) 9. චුති උප්පත්ති දන්නා නුවණ, (චුති පටිසන්ධි ඥානය) 10. කෙලෙස් නැති කිරීමෙන්, කෙලෙස් රහිත වූ අරහත් ඵලය ප්‍රත්‍යක්ෂ කොට දන්නා නුවණ (ආසවක්ඛයා ඥානය ආදී ඥානයන්ගෙන් බුදුන් වහන්සේගේ නුවණ පොහොසත් වන සේක.

බුදුන් වහන්සේ දස බලධාරි උතුමෙක් ද වන සේක. තුන් ලෝකයට ම (දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම) ස්වකීය බලය විහිද වීමට සමර්ථ වූ බුදුන් වහන්සේ ඒ නිසාම තිලොවගධාරී නම් විය. චිත්‍රපටය සඳහා මෙම බුද්ධ භක්ති ගීතය රචනා කළේ ඒ.ජේ.ද . සොයිසා සූරින් ය.

බුදුන් වහන්සේ පිළිබඳ තවත් උසස් ම බුද්ධාභිවාදන ගීතයක් වර්ෂ 1962දී ප්‍රථම වරට තිරගත වූ රන්මුතු දූව චිත්‍රපටයෙන් අසන්නට ලැබිණ. රන්මුදු දූව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඉංගී‍්‍රසි ජාතික මයික් විල්සන් මහතා ය.

පාරමිතා බල පූජිත පූජිත
බුද්ධ දිවාකාරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක
ලොව බුද්ධ දිවාකරයාණෝ
සැනසෙමු පුද දි මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මූදේ
සනසා මුළු ලොව නිවන් ලබාදී
පුණ්‍ය මහෝදි ශාන්ති සමාධි
සනරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයාණෝ....
මාර පරාජය කළ මුනිඳුන්ගේ
කරුණා සීතල මෙත් දහරා
ගලා බසී තුන් ලෝ තලයේ
බුදු රැස් කැටි වී නැඟි ආලෝකේ
පිසයයි දුකැ’දුර මුළු තුන් ලෝකේ

(චිත්‍රපටය රන්මුතු දූව – 1962) (ගායනය - නාරද දිසාසේකර නන්දා මාලිනි සහ පිරිස)

බුදුන් වහන්සේ ලෝකයේ අන්ධකාර දුරු කරන දිවාකර වූ සූර්යයා ලෙස හඳුන්වා ඇත. ආලෝකය නැති තැන අන්ධකාරය පිරී ඇත. හිරු අවරට ගිය කල්හි ලෝකය අඳුරෙන් වැසී යන්නේ ය. බුදුන් වහන්සේ ලෝක සත්වයාගේ සංසාරයේ පැතිර පවත්නා මෝහාන්ධකාරය නැමැති අඳුර දුරු කරන බැවින් උන්වහන්සේ මෙහිදී දිවාකර ලෙස හැඳින්වේ. ලෝකයේ ප්‍රකෘති අඳුර සූර්යයාගෙන් දුරු වන්නා සේ බුදුන් වහන්සේගේ පහළ වීමෙන් ලෝක සත්වයන්ගේ නොදැනීම නැමැති මෝහය දුරු ව යන බව සත්‍යයකි.

පාරමිතාවන් පූර්ණ කළා වූ බල මහිමයෙන් නැතහොත් පෙරුම් දම් පිරූ ශක්තිය නිසා බෝධි සත්වයෝ බුද්ධත්වයට පත් වූහ. බුදු බව පතා පාරමිතාවන් සම්පූර්ණ කිරීම ලෙහෙසි පහසු නො වන්නේ ය. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වැනි මහා කාලයක් පුරා බෝධි සත්වයෝ දස පාරමිතාවන් පූර්ණය කෙළෝ ය. සංසාර ගමනේ දී පාරමිතා, උප පාරමිතා, පරමත්ත පාරමිතා යනුවෙන් තෙවැදෑරුම් වූ දාන, ශීල ආදී වූ දස පාරමිතාවන් සම්පූර්ණ කළ බුදුන් වහන්සේ දත යුතු සියල්ල අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් විය.

අති උතුම් වෙසක් පොහොය දිනයක බුද්ධත්වයට පත් වූ බෝධිසත්වයෝ මෝහාන්ධකාරය භග්න කරමින් ලෝකය ආලෝකයෙන් බබළවන ලදහ.

“සැනසෙමු පුද දි මුනි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මූදේ......”

බිය දුරු කර, ශාන්තිය ළඟා කර ගැනීම නුවණ ඇත්තන්ගේ බලාපොරොත්තුව වන්නේ ය. මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබියා වූ බුදුන් වහන්සේ ගේ ශී‍්‍ර පාද යුග්මය ආශ්චර්යවත් පාද යුගලක් වූයේ ය. “සුප්පතිට්ඨිත පාදනා” යන මහා පුරුෂ ලක්ෂණ එම පාද යුග්මයේ පිහිටා ඇත. වළගොඩැලි නොමැති බුදුන් වහන්සේගේ දෙපතුල් එක සමානව ම පොළොවෙහි වැදී යන අතර එම පාදයන්හි අටතුªරා සියක් (108) මංගල ලක්ෂණ සටහන් ව ඇත්තේ ය.

බුදුන් වහන්සේගේ දෙපතුලෙහි “ආයත පණ්හි” යන උතුම් ලක්ෂණ පිහිටා ඇති බව ද සඳහන් වේ. බුදුන් වහන්සේ නව අරහාදී ආදී ගුණයන්ගෙන් පොහොසත් වූහ. අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ, සුගත, ලෝකවිදු, අනුත්තර, පුරිසධම්ම සාරථි, සත්තා, භගවා ආදී මහා සාගරයක් වැනි බුදුරදුන්ගේ නව ගුණයක් ලෝකයට අසම සම වන්නේ ය. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග චතුරාර්ය සත්‍යයන් ස්වකීය ඥානයෙන් ම අවබෝධ කළ බුදුන් වහන්සේ ඒ උත්තම වූ ගුණාංගයන්ගෙන් ලෝකය සැනසූ සේක.

මෙම ගීතය චිත්‍රපටය සඳහා රචනා කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සූරීන්ය.

“උඩරට මැණිකේ” චිත්‍රපටය නිෂ්පාදනය කළේ කේ. ගුණරත්නම් මහතා ය. වර්ෂ 1963 දී පළමුවරට තිරගත වූ උඩරට මැණිකේ චිත්‍රපටයට බුදුන් වහන්සේ ගැන ප්‍රකාශ වන භාව පූර්ණ බෞද්ධ ගීතයක් ඇතුළත් විය. එම ගීතයෙන් බුදුන් වහන්සේගේ අසම සම වූ ගුණාංගයන් ප්‍රකාශ විය.

සුරනර පූජිත ලෝක විරාජිත
ශාන්ත තිලෝගුරු සෑසි පියා
බුදු සෑසි පියා
පාරමි පූජිත මාර පරාජිත
දස බලධාරි හිමි අපරාජිත
පා යුග වඳිනෙමි සාධු කියා
අපි සාධු කියා
සදහම් නමදිමු – සඟඝන පුදනෙමි
බැති ගඟ කිමිදෙමු – ගිලි ගිලි පිහිනමු

(චිත්‍රපටය – උඩරට මැණිකේ – 1963) ගායනය ලතා වල්පොල සහ පිරිස)

දෙව්ලොව දෙවියන්ගෙන් ද, මනු ලොව නරයන්ගෙන් ද, බ්‍රහ්ම ලොව බ්‍රහ්මයන්ගෙන් ද අග්‍රගණ්‍ය පූජාවට පාත්‍ර වූ බුදුන් වහන්සේ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ආදි වූ තුªන් ලෝකයට ම ගුරුවරයා වූ සේක.

“පාරමී පූජිත – මාර පරාජිත
දස බල ධාරිත – හිමි අපරාජිත.”

පෙර සසරෙහි සැරි සරන සමයෙහි බෝධි සත්වයන් වහන්සේ දස පාරමි ධර්මයන් පූර්ණ කළාහු ය. අවසානයේ දී සම්බුද්ධත්වයට පත් වූ බුදුන් වහන්සේ ලෝකයාගේ නොමඳ වූ පූජාවන්ට පාත්‍රවූ සේක. ඇසතු බෝධි වෘක්ෂ සෙවණේ දී පස්මරුන් පරාජය කළ ඒ ගෞතමයන් වහන්සේ පිදිය යුත්තන් අතර පූජාවට විශේෂ වූ ශාස්තෘවරයෙක් වූ සේක. මෘත්‍යමාර, ස්කන්ධමාර, ක්ලේශමාර, අභිසංස්කාර මාර, දේවපුත්‍ර මාර ආදී වූ පංච මාරයන් පරාජය කළා වූ බුදුන් වහන්සේ ලෞකික වූ සියල්ල සහ ලෝකෝත්තර වූ සියලු ධර්මයන් ස්වකීය ඥානයෙන් අවබෝධ කළා වූ බුදුවරයෙක් ම විය.

කය විසින් දැරිය හැකි ශරීර බලයෙන් ද, නුවණ විසින් ප්‍රකාශ වන ඥාන බලයෙන් ද, අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රය පිළිබඳ දැනීමක් ඇති භාග්‍යවතුන් වහන්සේ මහත් වූ පූජාවට පාත්‍ර වූ සේක. චිත්‍රපටය සඳහා මෙම බුද්ධාලම්භන ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර සූරීන් ය.

සංසාරයේ බිය දුක් ගිනි නිවූ
මෙත් සිසිලෙන් ලෝ සත සැනසූ
අජරාමර නිවනින් සුව සෑදු
තිලෝ පියා වඳිමු
ගුණ කරුණා ආකරයක් බඳු වු
ප්‍රඥාවේ සක්විති රජ වු
තුන් ලෝ තලයට තරුපති වූ
අපි තිලෝ පියා වඳිමු
මේ කතරින් තනිවම වෙන්වීලා
යා යුතු මඟ සතහට පෙන්වූ
නව අරහාදී ගුණ පිරුණා වූ
තිලෝ පියා වඳිමු

(චිත්‍රපටය – පටාචාරා – 1964) (ගායනය අමරදේවයන් සහ පිරිස)

සංසාරය නැතහොත් භවය අති භයංකර වූවකි. සත්‍යය අවබෝධ වන තෙක් භව ගමනේ කෙළවරක් නොපෙනේ. ‘සංසාරොඝා මහබ්භයා’ යනුවෙන් එය දක්වා ඇත්තේ ය. ක්ලේශයන් නිසා ගිනි ගෙන දැවෙන සංසාරයේ සරතැස නිවා මෛත්‍රී නැමැති සිසිලෙන් ලෝක සත්ත්වයා සැනසූ බුදුන් වහන්සේ දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය යන තුන් ලොවට ම පීතෘවරයෙක් වූ සේක.

නිවන අජරාමර ය. පරම සුවය ලැබෙන්නේ නිර්වාණයේ දී ය. සත්ත්වයා මාර්ග ඵලයන්හි පිහිටූවන්නා වූ තෛ‍්‍රලෝක ගුරු වූ බුදුන් වහන්සේට සමාන වන්නා වූ අන් කවර පුද්ගලයෙක්වත් ලෝකයේ නොමැත.

ආකරයක් යනු පිරුණු තැනකි. ස්වභාවයෙන් ම බුදුන් වහන්සේ කරුණා ගුණයට ආකරයක් බඳු විය. බුදුරදුන්ගේ කරුණා ගුණය සත් සමුදුර ජල කඳ, ඉක්මාව යන බව පත පොතේ සඳහන් වේ. කරුණා නිධාන වූ මෛත්‍රී ජලාශ වූ යනුවෙන් සඳහන් වන්නේ එබැවිනි.

සක්විති රජ මුළු පෘථිවියට ම බල පෙන්වන නරපතියෙක් වේ. ඒ අයුරු බුදුන් වහන්සේ ප්‍රඥාවට අධිපති වන්නේ ය. සම්මා සම්බුද්ධ වූ බුදුන් වහන්සේ සර්වඥතා ඥාන ගුණයෙන් අනූන ය. තරුපති වන්නේ අහසේ චන්ද්‍රයා ය. ඒ අනුව බුදුන් වහන්සේ තුන් ලෝ තලයට ම එළිය පෙනෙන තරුපති වැනි ය.

අන්‍යයකු ගේ කිසිදු මඟ පෙන්වීමක් නොමැති ව සත්‍යය සොයා දැන ගත්තා වූ බුදුන් වහන්සේ නව අරහාදී ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වූ උත්තමයෙක් වූහ. ඒ අයුරු තෛ‍්‍රයි ලෝක පීතෘ වූ බුදුන් වහන්සේ වන්දනා කරමු. මේ ආදී වශයෙන් සොයා බැලීමේ දී අපගේ පැරැණි සිංහල චිත්‍රපට ගීතය තුළ බුදුන් වහන්සේ පිළිබඳ අභිමානී ගීත රාශියක් ම ලියැවී ඇති බව දැකිය හැකි ය.

(ගීත පද උපුටා ගැනීම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිංහල චිත්‍රපට ගීතාවලිය ග්‍රන්ථයෙනි)

මැදින් අව අටවක

අප්‍රේල් 01 සඳුදා අ.භා. 09.07
අව අටවක ලබා 02 අඟහරුවාදා අ.භා. 08.05 ගෙවේ.
02 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]