[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජීවිතයේ දියුණුව ධර්මානුකූල වන තරමටයි

ජීවිතයේ දියුණුව ධර්මානුකූල වන තරමටයි

ඉතා වටිනා ශ්‍රේෂ්ඨ දර්ශනයක් සහිත බෞද්ධ පරිසරයක් තුළ ජීවත්වෙන අපට එදා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්ම මාර්ගය තුළ මිනිසා බලාපොරොත්තු වන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික දියුණුවට අමතරව දෙලොව දියුණුවට හේතු සොයා බැලුවොත්, ස්පර්ශ කළහොත් මනාව තේරුම් ගැනීම අපහසු නොවේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මේ උතුම් මාර්ගය අනුව මිනිසාත් හදා රට හදන්න හැකි වේ

පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ සාරජ්ජං ධක්ඛන්තෝ හෝති...

අංගුත්තර නිකායේ උපාසක වර්ගයට අයත් සාරජ්ජ සූත්‍රයේ දැක්වෙන ඉතාම වැදගත් කරුණක් මෙහි විස්තර කෙරේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව “මහණෙනි යම් උපාසකයෙක් හෝ උපාසිකාවක් මා කියන මේ කරුණු පහ ආරක්ෂා කරන්නේ නැති නම්, කඩ කරන්නේ නම් ඒ පුද්ගලයා සාරද්‍ය බවට පත්වේ. බියට පත්වේ. එම කරුණු 5 නම්, පරපණ නැසීම, හොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, රහමෙර පානය නම් වේ. යමෙක් මේ කරුණු පහට බිය ව ඉන් මිදී කටයුතු කරන්නේ නම්, ඔහු විශාරද බවට පත් වේ. පි‍්‍ර‍්‍රයජනක වේ. මෙලොව පරලොව දෙලොව දිනනු ලබයි.

බුදුදහමට අනුව යහපත් චර්යාධර්ම පුද්ගලයකුගේ කායික, වාචික සංවරයට ප්‍රධාන කරුණකි.මනුස්ස ජීවිතය ගොඩනඟා ගන්න ශීලය නමැති අත්තිවාරම ශක්තිමත් විය යුතු ය. සංවරකම කියන්නේ හැදිච්චකමයි. කය වචනය හැදුවොත් ජීවිතය හැදුවා වෙයි. ඒ වගේමයි භාවනාව තුළින් සිත සංවර වේ. විමුක්ති මාර්ගයට පිවිසෙන පුද්ගලයා තුළ මූලික ව තිබිය යුතු කරුණ වන්නේ සිත, කය, වචනය සංවරයයි. එය මෙලොව පරලොව සුඛය පිණිසත්, ලෞකික ලෝකෝත්තර සැපය පිණිසත් හේතු වේ.

මිනිසාගේ දියුණුව මනින මිණුම් දණ්ඩ ආර්ථිකය යි යන අදහස අපේ මනස තුළ කිඳාබැස ගෙන තිබේ. ලෝකයේ දියුණුූ යැයි සම්මත රටවල ලෞකික දියුණුව බලාපොරොත්තුවෙන් වේගවත් ආර්ථික සංවර්ධනයක් ඔස්සේ විවිධ ක්‍රම භාවිත කරමින් විවෘත ව හා සංවෘත ව රට රටවල් යටපත් කරගෙන විවිධ ක්‍රම භාවිත කරයි. ඒවායේ ගොදුරු බවට දැන හෝ නොදැන හෝපුද්ගල වශයෙන් හෝ පිරිස් වශයෙන් හෝ හසුවී තිබේ.

ඉතා වටිනා ශ්‍රේෂ්ඨ දර්ශනයක් සහිත බෞද්ධ පරිසරයක් තුළ ජීවත් වෙන අපට එදා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්ම මාර්ගය තුළ මිනිසා බලාපොරොත්තු වන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික දියුණුවට අමතරව දෙලොව දියුණුවට හේතු සොයා බැලුවොත් ස්පර්ශ කළ හොත් මනාව තේරුම් ගැනීම අපහසු නොවේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මේ උතුම් මාර්ගය අනුව මිනිසාත් හදා රට හදන්න හැකි වේ. ඒ සඳහා මූලික අඩිතාලම හැටියට පංචශීල ප්‍රතිපදාව ප්‍රධාන වේ. කෙනෙකුගේ ජීවිතය නසා පීඩාවට පත්කර ධනය උපයන, දියුණුව ලබන ක්‍රමවේද ධර්මයේ උගන්වා නැත. කායික, මානසික පරිහානියට පත්වන රහමෙර පානයෙන් ජීවත්වීම බුදුදහම අනුමත නොකරයි. මිනිස් සමාජයට හිතකර වූ ආචාරශීලිව ගුණ දහමින් ජීවත්වීම අනුමත කර තිබේ.

බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම පෙන්වා දෙන්නේ මිනිසාගේ ජීවිතය මහා වටිනා එකක් ලෙස ය. මිනිසත් බව දුර්ලභ සම්පතකි. දෙවියකු වීමට වඩා මිනිසත් බව උතුම් යැයි පෙන්වා දෙන්නේ මිනිසාගේ ජීවිතය මහා වටිනා එකක් නිසා ය. මිනිසත් බව දුර්ලභ සම්පතකි. දෙවියකු වීමට වඩා මිනිසත් බව උතුම් යැයි පෙන්වාදී ඇත. මිනිස් ජීවිතයක් විනාශ කිරීම නීතියේ හැටියට අපරාධයකි. ධර්මයේ හැටියට මහා පාප කර්මයකි. අද සමාජය මොනතරම් පරිහානියට පත් වී ද කියා හිතනවා නම් මුදලට මිනිසකු මරණයට පත්කරන්න තරම් මුදල බලවත් වී තිබේ. මුදල නිසා මිනිසා තිරිසනකුට වඩා පහත් තත්ත්වයට ඇද වැටී ඇත. බලකාමය ඉදිරියේ වටිනා මනුස්ස ජීවිත මොනතරම් විනාශයට පත් කරනවා ද? මිනිසා ඇතුළු සියලු සත්වයන් දණ්ඩනයට මරණයට බියයි.

ඒ වගේම තමා සත්ව ඝාතනයෙන් වෙන් වී ජීවත්වෙන කෙනාට බයක් තැතිගැන්මක් නැත. මෙලොව පරලොව සැනසීම ලබන්න සත්ව ඝාතනයෙන් වෙන්වී මෛත්‍රිය, කරුණාව, සිත් තුළ තබා ගෙන ජීවත්වීම මොනතරම් සැනසිලිදායක වේ ද?

අන්සතු දේ පැහැර ගැනීම, හොරකම් කිරීම, විවිධ ආකාරයට බලපෑම් ඇති කරයි. සමහරු පුරුද්දට හොරකම් කරයි. දුගී දුප්පත්කම නිසා හොරකම් කරයි. මොන හේතුවක් වුව ද බුදු දහම හොරකම අනුමත නොකරයි. තමන්ගේ ජීවත්වීම අරමුණු කර ගෙන, අඩුපාඩුකම් පිරිමසා ගැනීම පිණිස වරදට පෙළඹේ. එය විශාල කරදරයකි. මහා පාප කර්මයකි.

එක මනුස්සයකු තම ශ්‍රමය මොනතරම් කැප කරනවා ද රට දියුණු කරන්න. එවැනි සම්පත් විනාශ කිරීම හොරකම් කිරීම, මෙලොව පරලොව දෙලොව ම පිරිහීමට, විනාශයට හේතුවන කරුණකි. මම මගේ ජීවිතය තුළ හොරකමින් තොරව, අනුන්සතු දේ පැහැර නොගෙන ජීවත් වුණා කියන “අනවජ්ජ සුඛය” සිතේ සැනසීම පිණිස හේතුවන ප්‍රධාන කරුණකි.

සමස්ත ලෝකය ම කාමයෙන් ඇලී ගැලී කටයුතු කරන්නේ, අලුත් අලුත් දේ, අලුත් අත්දැකීම් විඳින්නට පෙළඹෙමින් හා පොළඹවමින් සිටින බව පෙනේ. නැටුම් , ගැයුම්, වැයුම් මූලික කරගෙන විවිධ විලාසිතාවලට හුරුවෙමින් ආශ්වාදය ලබයි. අර්ධ නිරුවත් රංගන, ආලිංගන නැටුම් කොක්ටේල් පාටි හා අසභ්‍ය දර්ශන මඟින් වැරැදි ජීවන මාර්වල යෙදෙයි. එය සැප යැයි හඳුනා ගෙන ඒ මත්තේ කටයුතු කරයි. තමා කැමති දේ වැරැදි විදිහට භාවිත කිරීම නිසා ඉන්ද්‍රියයන් පිනවීමට ඇති ආශාව නිසා ඇතිවන්නා වූ උවදුරු ප්‍රමාණය මෙතෙකැයි කියා නිමක් නැත.

මානසික අසහනය නිසා පවුල් ජීවිත අවුල් කර ගනී. දරුවන්ට අම්මා අහිමි වේ. තාත්තා අහිමි වේ. භාර්යාවට ස්වාමියාත්, ස්වාමියාට භාර්යාවත් අහිමි වේ.

විවිධ රෝගාබාධ, මානසික පීඩනය, මුදල් නාස්තිය, සමාජ අපවාද හා හිරබන්ධනවලට ලක්වීම වැළැක්විය නොහැකි වේ. බුදුදහමට අනුව ජීවත්වෙන, ධර්මානුකූල ප්‍රතිපදාව මත ශික්ෂාකාමී ජීවිත ගතකරන පුද්ගලයාට උසස් දියුණුවක් ලද හැකි වේ. ගරු බුහුමනට පත්වේ. මෙලොව පරලොව දෙලොව දියුණුව ලැබීමට කාමයේ ආදීනව අවබෝධ කරගෙන ජීවත්වීම මොනතරම් ප්‍රශංසනීය ද?

මෛත්‍රිය කරුණාව වඩනවිට මහා පුදුම බලයක් තිබේ. ගෙදර දොරේ සමාජයේ ජීවත් වෙන කොට සත්‍යවාදී මිනිසකු වශයෙන් ජීවත් විය යුතු වේ. ස්වාමියා බිරිඳට බොරු කියනවා නම්, බිරිඳ ස්වාමියාට බොරු කියනවා නම්, දරුවන් මව්පියන්ට බොරු කියනවා නම් මොනතරම් පවුල් ජීවිතය ව්‍යාකූලද, පිරිහීමට පත්වේද? බොරු කියන කෙනාට කළ නොහැකි අපරාධයක් තිබේද? සමාජය තුළ බොරු කියන්නා අපහාසයට පත් වේ.

බුදුදහමේ උගන්වන්නේ “සච්චේන කිත්තිං පප්පෝති” ඇත්ත කියන කෙනාට සමාජයේ එඩිතර ව ජීවත්වෙන්න හැකි බවයි. සත්‍යවාදී පුද්ගලයා සමාජයේ ගරුබුහුමනට ලක් වේ. සමාජයේ පි‍්‍රයකරු පුද්ගලයෙක් වේ. විශ්වාසවන්ත චරිතයක් බවට පත්වේ. මෙලොව හා පරලොව අභිවෘද්ධිය යහපත පිණිස බොරුවෙන් තොරව ජීවත්වීම වැදගත් වේ.

සමස්ත ලෝකය ම විනාශ මුඛයට ඇද දමමින් දිනෙන් දින පරිහානියට පත්කරන මත්උවදුර අභාග්‍ය සම්පන්න කාරණාවකි. දැන හෝ නොදැන මානසික සතුට ලබන්න. මානසික පීඩනය විඳ දරාගන්න යැයි සිතා මත්පැනට හුරුවීම ශාරීරික විපත්, මානසික විපත්, සමාජ විපත් වශයෙන් බොහෝ කාරණාවලට මුහුණ දෙයි. බලන්න ගෙදරක විවාහ මඟුලට මත්පැන් නැතුවම බෑ. දරුවකු ලැබුණා ම සතුටු විඳින්න සමහර අයට මත්පැන් අවශ්‍යම වෙනවා.

දරුවා වැඩිවියට පැමිණුනා ම ඒකෙ සතුටට මත්පැන් ඕනෑ. පවුල් ප්‍රශ්න එනකොට දුක නැති කර ගන්න මත්පැන් ඕනෑ.

මළ ගෙදරක් වුණා ම දුක තුනී කර ගන්නේ මත්පැනින් නම්, මත්පැන් තමයි විසඳුම ප්‍රශ්නවලට යැයි සිතන්නේ නම් අපි අපේ සිතට මොනතරම් වංචාකාරයෝ ද, බොරුකාරයෝ ද? උඩුසිත රවටා ගෙන යටි සිතින් දොස් අහන තරම් පිරිහුණු ජීවිත ද ගත කරන්නේ. මම බිව්වට කාටවත් කරදරයක් නෑ. සල්ලි තියන තරමට මානසික දූෂණයට ලක් වෙලා. තමා දැන දැනම නිරෝගී ජීවිත රෝගී කරගන්නේ. වකුගඩු, අක්මා, පෙනහලු රෝගීන් බවට පත්වෙන්නේ. තමා කළ දෙයට අනුන් පවා දුක් විඳිය යුතු වේ. අංගවිකල මන්දබුද්ධික දරුවෝ බිහිවන ප්‍රධාන කාරණය මත්පැන් භාවිතය නොවේද? රටේ වෙන අපරාධවලට මුල මත්පැන් නොවේ ද? තමාගේ වටිනා චරිතය සමාජය ඉදිරියේ විනාශ කර ගන්නේ දැන දැනම නොවේද? මානසික විකෘති තත්ත්වයට පත්වෙලා තමා විනාශයට පත්වේ.

දියුණුව බලන් ඉද්දි භංග වෙන්නෙත්, පවුලේ සමගිය විනාශ වෙන්නේත්, ලෝකයාගේ අපවාදවලට ලක්වෙන්නෙත් සුරාව හේතුවෙනි.

පංචශීල ප්‍රතිපදාව දෙලොව අභිවෘද්ධිය, වාසනාව පිණිස හේතු වේ. පංච ශීල ප්‍රතිපදාව ලෝක පාලක ධර්මයකි. ආත්ම දමනය ඇති කරන, ප්‍රතිපත්ති මාලාවකි. කායික සුවය, මානසික සුව ලබා දෙන ඔසුවකි. සමාජයේත් තමාගේත් ආර්ථික සුරක්ෂිතතාව රකින, ආචාර ධර්ම රකින සංවරකම රකින, සදාතනික ප්‍රතිඵල ඇති ප්‍රතිපදාවක් ලෙස පෙන්වා දිය හැකි ය. ඒ වගේම මනුසත්බවේ වටිනාකම දියුණුව සලසන, මෙලොව පරලොව අභිවෘද්ධිය සැලසන උතුම් නිවන් සුවය පිණිස හේතුවන වටිනා ප්‍රතිපදාවක් ලෙස පෙන්වාදිය හැකි ය.

මැදින් අව අටවක

අප්‍රේල් 01 සඳුදා අ.භා. 09.07
අව අටවක ලබා 02 අඟහරුවාදා අ.භා. 08.05 ගෙවේ.
02 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල්  02

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]