සිතේ යථා ස්වභාවය අවබෝධ කරගෙන
සිත ආරක්ෂා කර ගන්න
ධම්මපදයේ චිත්තවග්ගය ඇසුරෙනි
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ සහාය කථිකාචාර්ය,
රාජකීය
පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී ,
පිංකන්දේ දමිතසාර හිමි
සූත්‍ර පිටකයේ ඛුද්දකනිකාය පර්යාපන්න දෙවන ග්‍රන්‍ථය ධම්මපදය යි. වග්ග විසිහයකින්
(26) කින් සහ ගාථා 423 කින් පරිමිත මෙම කෘතිය තරම් ථෙරවාද බෞද්ධ සමාජය තුළ ජනප්‍රිය
වූ වෙනත් ධර්ම ග්‍රන්‍ථයක් නැති තරම් ය.
ධර්ම කාරණාවන්හි විවිධත්‍වය, විචිත්‍රත්‍වය, මිනිසාගේ පොදු දුර්වලතා සාකච්ඡාව, සරල
බව සහ අට්ඨකථාව ඇසුරෙන් නිර්දිෂ්ට නිදාන කථාවන්හි ජනකාන්ත අත්දැකීම්වලින් සමුචිත
වීම එයට පාදක වූ බව සත්‍යයකි. එසේ ම ආචාර විද්‍යාත්මක වශයෙන් සමාජයක් සුචරිතවත්
ප්‍රතිපත්තියක පිහිටුවීමෙහිලා මෙයින් ලැබෙන්නේ නොමඳ පිටුබලයකි.
කාව්‍යාත්මක ස්වරූපයෙන් ගාථා මාධ්‍යයෙන් ප්‍රකාශිත මෙහි පවත්නා භාෂාත්මක සුලලිතභාවය
නිසා භික්‍ෂු සමාජය තුළ ද හෙරණ අවදියේ පටන් වනපොත් කොට ධර්මය සමාජගත කිරීමෙහිලා
හස්තසාර ග්‍රන්‍ථයක් වශයෙන් සම්භාවිත වූවක් ද වේ. තව ද ධම්මපදයේ චිත්තවග්ගය මිනිස්
මනසේ යථා ස්වභාවය, බුදුසමයාගත එළැඹුම පිළිඹිබු කරන ප්‍රමුඛ මූලාශ්‍රයකි.
ගාථා එකොළොසකින් (11) සහ අට්ඨකථාගත ව කථාවස්තු නවයකින් පරිමිත වූ එම වර්ගයේ භාවිත
පාරිභාෂික පදමාලාව තුළින් මතුකර ගත හැකි ධර්මාර්ථ පිළිබඳ විවරණය සිතේ ස්වරූපය වටහා
ගැනීමෙහිලා උපකාර වේ. එනිසා අට්ඨකථාගත විග්‍රහයන් ද ඇසුරු කොට එම පද විග්‍රහ කිරීම
මෙම ලිපියෙහි අරමුණ යි.
පුද්ගලයා යනු නාමරූප සමවායෙන් නිමැවුණු ජීවියෙකි. නාම යන්නෙන් මානසික
අද්‍රව්‍යාත්මක අංශයත්, රූප යන්නෙන් භෞතික අංශයත් නිරූපණය කෙරේ. නාම යන්න
පඤ්චස්කන්ධ විග්‍රහය තුළ වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්‍ධ චතුෂ්කය අර්ථවත්
වේ. එසේ ම එකී අභෞතික අංශය ම චිත්ත, චෙත, මනො, විඤ්ඤාණ, මානස, විඤ්ඤාණක්‍ඛන්‍ධ ආදී
පදවලින් විශේෂ කෙරේ. ධම්මපදයේ චිත්තවග්ගය තුළ මේ අතුරින් චිත්ත පදය දසවරක් (10) ද
චෙත සහ විඤ්ඤාණ යන්න එක්වර බැගින් ද යෙදී ඇති අතර මනො යන්න යෙදී නැත. සිත පිළිබඳ
පාලි ධර්ම ග්‍රන්‍ථාගත විවරණ කිහිපයක් තුළින් පැහැදිලි කර ගැනීම අවස්ථාවොචිත වේ.
පභස්සරමිදං භික්‍ඛවෙ චිත්තං -මහණෙනි, මෙම සිත ප්‍රභාෂ්වර ය. ආරම්මණවිජානනලක්‍ඛණං
චිත්තං-අරමුණු දැන ගැනීමේ ලක්‍ෂණය සිත යි.
චිත්තන්ති විසයවිජානනං - විෂයරූප දැනගැනීම සිත යි. සබ්බසංගාහකවසෙන පන චින්තෙතීති
චිත්තං- සියලු සංග්‍රාහක වශයෙන් සිතනුයේ සිත යි. අත්තසන්තානං වා චිනොතීතිපි චිත්තං-
ස්ව සන්තානය හෙවත් ජවනචිත්ත පරම්පරාව රැස්කරනුයේ සිත යි. විචිත්තකරණා චිත්තං අත්තනො
චිත්තතාය වා- විසිතුරු වූ චිත්තකර්ම කරණුයේ සිත යි. චිතං තායතීති වා චිත්තං -
කර්මක්ලේෂ විසින් රැස්කරණ ලද ආත්මභාවය රකිනුයේ සිත යි. ආදි වශයෙන් විවිධ අයුරින්
චිත්තය විභාග කොට ඇත. ධම්මපදයේ චිත්තවග්ග පර්යාපන්න පදමාලාව තුළින් ද සිත විග්‍රහ
වන අයුරු වෙන වෙන ම අධ්‍යයනය කිරීම ප්‍රස්තුත මාතෘකාවට බෙහෙවින් අදාළ වේ.
ඵන්‍දනං - චපලං
චිත්ත වග්ගයේ පළමු සහ දෙවැනි ගාථා මේඝිය තෙරුන් අරබයා දේශිත ය. එහි පළමු ගාථාවේ ම
සිතේ ස්වභාව සතරක් ප්‍රකාශිත ව ඇත. ඒ අතුරින් ඵන්‍දනං
(Agitating/ trembling/ wavering mind) යනු ඵන්‍දති, යනු සෙළවේ, දඟලයි, කම්පා වෙයි යන අරුත් සහිත
ක්‍රියාපදයෙන්
සිද්ධ නාමපදය යි. රූපාදී වූ ආරම්මණයන්හි ස්ථිර ව නොපවත්නා ගතිය මෙයින් අදහස් වේ.
ඉන්‍ද්‍රිය ගෝචර වන්නා වූ විෂය රූපයන්හි අරමුණෙන් අරමුණට කම්පිත වන ස්වභාවය ලක්‍ෂණය
යි. චපලං (fickle / unsteady mind) යනු ද එක ම ඉරියව්වක හිඳීමට අකැමැති එසේ නො
සිටින ගම්දරුවකුගේ ලක්‍ෂණය අනුව යෑමක් ලෙස සඳහන් වේ. එසේ ම දියෙන් ගොඩ දමන ලද
මාළුවකුගේ දැඟලීම යම්බඳු ද එසේ චලනයක් සිතෙහි පවතී. එහි චලිතය හඳුනාගත හැක්කේ සහ එය
බොහෝ සෙයින් සැළෙන්නේ ආධ්‍යාත්මික අරමුණකින් සිත එකඟ කිරීමට උත්සාහ ගැනීමේ දී ය.
මත්ස්‍යයා දියෙහි සිටින තාක් රිසි සේ හැසිරෙමින් සිටී. දැඟලීමක්, කම්පා වීමක් එහි
නැත. ජලයෙන් තොර වූ තැනෙක්හි ම උගේ චලනය වීම දැකගත හැකි ය. පඤ්චකාම සම්පත්හි ඇලී
වාසය කරනතාක් සිතෙහි කම්පිත වීම අවබෝධ නොවේ. විදර්ශනා කර්මස්ථානයක සිත පිහිටුවා ලූ
කල්හි එහි යථා ස්වරූපය මොනවට ප්‍රකාශ වේ. අස්සුතවන්තු සූත්‍රයෙහි6 සහ සුද්ධට්ඨක
සූත්‍රයෙහි7 එන මක්කටොපමාව මෙහිලා සමගාමී නිදසුනක් සපයයි.
දුරක්‍ඛං - දුන්නිවාරයං
ආරක්‍ෂා කිරීමට අපහසු බව දුරක්ඛං (hard to guard) යන්නෙන් අදහස් කෙරේ. සිත ආරක්‍ෂා
කළ යුත්තේ අකුසල අරමුණුවලිනි. ගොයම් කන ගවයන් මෙන් එකම සප්පාය අරමුණක පිහිටුවන්නට
නොහැකි බව අටුවාවෙහි කියයි.8 සිතේ ගතිය නම් පඤ්චෙන්‍ද්‍රියන් මගින් ගන්නා ආරම්මණයන්
අතුරින් ප්‍රිය වූ අරමුණෙහි ඇලීම සහ අප්‍රිය අරමුණෙහි ගැටීම යි. එසේ අරමුණු ලබා
ගනිමින් ප්‍රපඤ්ච ගොඩ නැඟීම එම ඉන්‍ද්‍රිය සංජානනයේ අවසාන ප්‍රතිඵලය යි.
අරමුණ ආපාථගත වූ විට සිතට ආරක්‍ෂකයෙක් යොදවා තුබුයේ නම් ඉදිරි පියවර තැබීම ව්‍යර්ථ
වන්නේ ය. එසේ කිරීම පෘථග්ජන මනසක් ඇත්තාට පහසුවෙන් කළ හැක්කක් නොවේ. වීර්යය,
ප්‍රඥාව සහ දැඩි අධිෂ්ඨානය පැවතිය යුතු ය. එහෙයින් මෙහිලා සිත, දුරක්ඛං යනුවෙන්
හැඳීන්විණි.
දුන්නිවාරයං (hard to curb) යනු වැළැක්වීමට අපහසු බවයි. විසභාග අරමුණු කෙරෙහි
යොමුවීමේ ප්‍රවණතාව වාරණය කිරීම දුෂ්කර කටයුත්තකි.10 අකුසලය සිදුකිරීමට බෙහෙවින්
පහසු ය. එය තමන්ට අහිත පිණිස, දුක් පිණිස පැවතිය ද පෘථග්ජන මනස අකුසලයට බර ව
ක්‍රියාකරයි.11 සිතෙහි පවත්නා ගතිය නිසාවෙනි. චිත්තගති යනු ඒවා ය.
දුන්නිග්ගහස්ස ලහුනො
සිතට නිග්‍රහ කිරීම දුක සේ කළ යුතුය, යනු දුන්නිග්ගහස්ස (hard
to hold back) අර්ථය
යි.
සිතෙහි උපන්නා වූ අසමාචාරී සිතිවිලි දුරු කරමින් සිත වෙනස් ස්වභාවයට පත්කිරීම අපහසු
කටයුත්තකි. නුවණින් කළ යුත්තකි. රෝගය නිවැරැදි ව හඳුනාගෙන නිසි ප්‍රතිකාරය කළ
යුතුවාක් මෙන් අකුසල සිතිවිලි බැහැර කිරීම අවබෝධයෙන් කළ යුත්තකි. නිග්‍රහ කිරීම
පවතින පාප සිතිවිල්ලට නිග්‍රහ කිරීම යි. යටපත් කිරීම යි. මේ පිළිබඳ අම්බලන්ගොඩ
ධම්මකුසල නාහිමියෝ මෙසේ අදහස් දක්වති.
“සිතට නිග්‍රහ කිරීම නම් පහසු නොවේ. එය නුවණින් යෙදී කළ යුතු ය. යම් විටෙක
සිත උඩඟු වී නම් එවිට ධම්මවිචය, විරිය, පීති, සම්බොජ්ඣංග නොවැඩිය යුතු ය.
මෙකී ධර්ම වැඩීමෙන් සිතේ උඩඟු බව සංසිඳ වන්නට නොහැක්කේ ය. උඩඟුබව
සංසිඳවන්නට නම් වැඩිය යුත්තේ පස්සද්ධි, සමාධි, උපෙක්‍ඛා යන සම්බොජ්ඣංග තුන ය. ...
එය පහසු වැඩක් නොවේ. ‘දුන්නිග්ගහස්ස’ යන්නෙන් වදාළෝ ඒ අපහසු බවට ය.” 13
ලහුනො (Flighty) යනු වහා වෙනස්වන සුළු බවයි. එක අරමුණක එක චිත්තයක් බොහෝ කාලයක්
පවත්වා ගැනීම දුෂ්කර කරුණකි. අනුපූර්ව ප්‍රතිපදාවක් ලෙස අනුක්‍රමයෙන් කුසල අරමුණක්
මඟින් එකඟ කිරීම භාවනා කර්මස්ථානවලින් සිදුවන කාර්යය යි. යමෙක් එසේ සිත එක්
සිතිවිල්ලක් කෙරෙහි දිගු කලක් පවත්වන්නේ නම්, එය චිත්තේකග්‍රතාව
(One pointedness) යි. එය ම සමාධි
(Concentration) නම් වේ. බුදුරජාණන් වහන්සේ මෙම වහා
වෙනස් වන සිත පිළිබඳ විග්‍රහ කිරීමට උපමාවකුදු දැක්වීම පහසු නොවන බව දක්වා තිබේ.
සමාහිතං චිත්තං, සමාදහං චිත්තං යනුවෙන් අවධාරණය වන්නේ ලහුපරිවත්තචිත්තයට විරුද්ධ
සිතයි. එනම් ක්‍ෂණයකින් නොවෙනස් ව පවත්නා ධ්‍යාන සිතයි. මෙහිදී ලහුනො යන්නෙන් අදහස්
කරන්නේ පෘථග්ජන මනසේ ස්වභාවය යි.
යත්‍ථකාමානිපාතිනො
පසිඳුරන් හරහා ලබා ගන්නා අරමුණු කෙරෙහි සත්ත්වයා කැමැති කැමැති අයුරින් වැටෙන නිසා
යත්‍ථකාමනිපාතින (alighting where it will) නම් වේ. සිතේ කැමැත්ත පරිදි ප්‍රිය
රූපාරම්මණයන්හි ඇලේ, අප්‍රිය රූපාරම්මණයන්හි ගැටේ. පුද්ගලයාගේ වඩා රුචිකත්‍වය ඇලීම
මෙන්ම ඇතමෙක්ට ගැටීම ද විය හැකි ය. එය පුද්ගලානුබද්ධ ය. පුද්ගල සාපේක්‍ෂ ය. එසේ
අරමුණවල නිපතනය වී එය තණ්හාවෙන් උපාදානය කර ප්‍රපඤ්ච ගොඩනඟයි. එය අරමුණු සංජානනයෙන්
පසුව ක්‍රියාත්මක වන පුළුල් ක්‍රියාවලියකි. ඒ ඒ තැන බැස ගැනීම යනුවෙන් මෙයින්
පෙන්වා දෙන්නේ පෘථග්ජන භූමිය තුළ පුද්ගලයාගේ මනසේ පැවැත්මයි.
සුදුද්දසං සුනිපුණං
සිත යනු අරූපී ධර්මයකි. එබැවින් එය මාංශ චක්‍ෂුව ආධාරයෙන් දැක ගත නොහැකි ය. සු යන
උපසර්ග පූර්වයෙන් යොදා එහි ඇති අතිශය දුෂ්කරභාවය අවධාරණය කොට සුදුද්දසං
(Sodifficult to detect) යනුවෙන් පැහැදිලි කර ඇත. ඉතා සූක්‍ෂම බවින් යුක්ත හෙයින්
සුනිපුණං (පරමසණ්හං)(Extremely subtle) නම් වේ. සිත සේ ම චිත්තජ හෙවත් චෛතසික ධර්ම
ද ඒවායෙහි ලක්‍ෂණ වෙන වෙන ම හඳුනා ගන්නට අපහසු ය. ඉතා සියුම් වෙනස්කම් ඒවා අතරෙහි
පවතී. එබැවින් සිත පෘථග්ජනයාට පහසුවෙන් ග්‍රහණය කළ නොහැක්කේ ය.
දූරංගමං
ධම්මපදයෙහි එන ඇතැම් ගාථා ත්‍රිපිටකයෙහි වෙනත් තැනෙක ද දක්නට හැකි නමුත් ඉහත පදයෙන්
ආරම්භ වන ගාථාව එසේ නොවේ. වචනාර්ථ වශයෙන් ගතහොත් දූරංගමං
(mind travels far) යනු
දුර ගමන් යන බවයි. එනම් සිත වූ කලි රූපකාය එක් ස්ථානයක පැවතියේ නමුත් සිතට බොහෝ දුර
ගොස් නැවත තමාගේ නිත්‍ය වාසස්ථානයට පැමිණීමේ හැකියාව ඇති බව යි. නමුත් මේ පිළිබඳ
විවරණය කරන අට්ඨකථාව සිතෙහි නැඟෙනහිර, බටහිර ආදී වශයෙන් නානා දිශාවන් කරා ගමන්
කිරීමට නොහැකි බවත්, ලොව ඕනෑම දුරක පවතින ආරම්මණ ක්‍ෂණික ව පිළිගැනීමට සිතට ශක්තිය
ඇති බවත් අවධාරණය කරයි.
එකචරං
තනිව හැසිරෙන බව එකචරං (live alone) යන්නෙන් අදහස් කෙරේ. එනම් එක් සිතක් ඉපිද
නිරුද්ධ වූ පසුව ම තව සිතක් උපදී. එනම් අරමුණු ගැනීමේ දී අරමුණු දෙකක් එකවිට
පිළිගැනීමේ ශක්තියක් සිතට නැත. දෙවන අරමුණක් ගනු ලබන්නේ නම්, එය තවත් සිතකිනි.
පුද්ගලයාගේ ඇසෙහි පවත්නා එක් කළු ඉංගිරියාවකින් එක් වස්තුවක් දෙස සහ අනෙකෙන් තවත්
වස්තුවක් නොබල හැක්කාක් මෙනි.
චිත්ත චෛතසිකයන්හි අන්‍යොන්‍ය සම්බන්‍ධතාව සහ එහි ලක්‍ෂණ කිහිපයක් ද මෙයින් දැක්විය
හැකි ය. අභිධර්මාර්ථ සංග්‍රහයට අනුව එකුප්පාද (arise together
with consciousness)
නිරොධ (cease together with consciousness) එකාලම්භන16
(have the same object and base as consciousness) යන ලක්‍ෂණ ත්‍රිත්වය සිත හා සිතිවිලි පිළිබඳ ස්වභාවලක්‍ෂණ
ය.
එය කර්ණිකාවක් බැන්දා සේ එක්ව ම පවතී.17
අසරීරං
සිත අයත් වන්නේ පඤ්චස්කන්‍ධ විභාගයෙහි නාම කොටසට ය. නාම අද්‍රව්‍යාත්මක ය. අභෞතික
ය. එහෙයින් සිතට වර්ණයක්, සටහනක්, ස්වරූපයක්, ත්‍රිමානබවක් දක්නට නැත.
එහෙයින් අසරීර (incorporeal) නම් වේ. එහෙයින් සිත පිළිබඳ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ,
නිගමනයන්වලට එළඹීම විද්‍යාගාරයන්හි විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ කළ නො හැක්කකි.
බුද්ධකාලීන වූ පායාසිරාජඤ්ඤයන් විසින් මෙම මනසෙහි ද්‍රව්‍යාත්මක බව පරීක්‍ෂා කළ
පුවතක් පායාසි සූත්‍රයේ සඳහන් වේ. එහිදී ජීවය යන පර්යාය නාමයෙන් ඔහු නිශ්චය කරන්නේ
සිතයි. පරීක්‍ෂණයට බඳුන් කරනුයේ එහි ද්‍රව්‍යාත්මක බවක් පවතී ද යන්නයි.
ගුහාසයං
සිත ස්වරූප වශයෙන් සටහනක් නැති නමුදු මෙම ශරීරය කේන්‍ද්‍ර කර ගනිමින් සිය පැවැත්ම
නිර්මාණය කර ගනියි. එහෙයින් ගුහාසයං (dwelling in the
cave/body) නම් වේ. මෙහි ගුහා
යනු හෘදයවස්තු රූප පර්යාය නාමයක් ලෙස අට්ඨකථාව පෙන්වා දෙයි. හෘදය වස්තුවේ ස්වභාවය
සහ චරිත හයට අනුරූපව හෘදය වස්තුවේ සැකැස්ම ද විග්‍රහ කොට ඇත. මේ පිළිබඳ ප්‍රකට
විද්වතකුගේ අදහස මෙසේ ය.
“මේ ගාථාවෙහි ගුහාසයං යනුවෙන් සිත පවතින තැන පිළිබඳ අර්ථකථනයක් කරයි.
බටහිර මනෝවිද්‍යාවට අනුව සිත පවත්නේ මොළය නැතහොත් ස්නායු ඇසුරු කොට බව ඇතැමුන්ගේ
මතයයි. බුදුදහම ඊට එකඟ නැත. හෘදය වස්තු රූපය ඇසුරු කොට ගෙන පවතින බව බෞද්ධ මතයයි.
හෘදය වස්තුවෙහි එක තැනක අඩපතක් පමණ ලේ ඇති බවත්, එම ලෝහිතය ආශ්‍රය කොට ගෙන චිත්තයේ
පැවැත්ම සිදුවන බවත් අට්ඨකථාකරුවෝ පැහැදිලි කරති. චිත්ත වග්ගයේ ද දක්වන්නේ එම
අදහසමයි.
මොළය ඇසුරු කොට සිත පවතීය යන විග්‍රහයට වඩා බෞද්ධ අර්ථකථනය නිත්‍ය බව අභිධර්මය
හදාළවුන්ට පෙනේ. නූතන මනෝවිද්‍යාව මනස පවත්නා ස්ථානය පිළිබඳ එකඟත්‍වයක් නැතත් එය
වහා වහා වෙනස් වන අවිච්ඡින්න (නොකැඩී පවතින) ප්‍රවාහයක් බව පිළිගනී.”
අනවට්ඨිතචිත්තං - අනවස්සුතචිත්තං
චිත්තය වූ කලි නිතර බැඳී හෝ ස්ථාවර ලෙසින් හෝ නොපවතී. එක ම අරමුණක එල්බගෙන එකාකාරීව
නොපවතී. ඨිත, අවට්ඨිත යනු සමනාර්ථයි. පවතී, පිහිටා සිටියි යනාර්ථය යි. න අවට්ඨිත -
අනවට්ඨිත (unsteady mind) යනු ප්‍රතිවිරුද්ධ අර්ථය යි. ධම්මපදට්ඨකථාවෙහි චිත්තහත්‍ථ
තෙරුන් සහ කුද්දාලපණ්ඩිතයන් හත්වරක් පැවිදි වූ, හයවරක් සිවුරු හළ චරිත දෙකකි. එක
අදිටනක දිගුකලක් සිත ක්‍රියාත්මක කළ නොහැකි වූ අන්‍දම එයින් ප්‍රත්‍යක්‍ෂ වේ.
ඒ අනුව සිත අසුපිට තැබූ කොමඩු ගෙඩියක් සේ ද, දහයියා ගොඩක සිටවූ කණුවක් සේ ද, කෙස්
නැති හිසෙක තැබූ කොළොම් (බක්මී) මලක් සේ ද ස්ථිර ව නොපිහිටන බව අවධාරිත ය. වස්සුත
නම් තෙත් වූ බවයි. අනවස්සුත (not sodden by lust) නම් නොතෙත් බවයි. රාගාදි ක්ලේෂ
ධර්මයන් අතරින් නොතෙත් සිතක් ඇති බව අනවස්සුත යන්නේ ගම්‍යමානාර්ථය යි.
නගරූපමං චිත්තං
චිත්ත දමනය අපේක්‍ෂා කරන පුද්ගලයා සිත නගරයක් සේ රැකගත යුතු බව සඳහන් වේ.
(fortifying like a well - fortified city) නගරයක ස්වරූපය නම්, නගරය මනාව ආරක්‍ෂා
කොට
ඇත්නම් සොර සතුරන්ගෙන් බාධා නොපැමිණේ. සොර සිතින් පැමිණි සතුරන් අපේක්‍ෂා භංගත්‍වයට
පත් වේ. එමෙන් විදර්ශනා ප්‍රඥාව සහිත සිත, කෙලෙස් සතුරන්ගෙන් ආරක්‍ෂිත ය. එම සිත
සුස්ථිර නගරයක් වැනි ය. විදර්ශනා ප්‍රඥාව උපදවා කෙලෙස්වලට යටත් නොවී පවත්නා සිතේ
ශක්තිමත් බව මොනවට ආරක්‍ෂා කරන ලද නගරයක් ම වේ. මෙහිදී පෙන්වා දෙන්නේ සිතේ ස්වරූපය
දැක්වීමක් නොව සිත සකස් කළ යුතු ආකාරයක් පෙන්වීමකි.
අපෙතවිඤ්ඤාණං
චිත්ත වග්ගයේ විඤ්ඤාණ යන්න සිතට පර්යාය ව යෙදෙන එකම ස්ථානය මෙයයි. මෙහි අපෙතවිඤ්ඤාණ
(bereft of consciousness) යන්නෙන් මළසිරුර අර්ථවත් වේ. පාලිය තුළ බොහෝ විට විඤ්ඤාණ
යන පදය යෙදෙන්නේ පුනර්භවය චුතිය වශයෙන් සංසාරගත චක්‍රය විග්‍රහ කිරීමේ දී ය. සිත
සත්ත්ව සිරුරෙන් ඉවත් ව ගිය පසු රූපයට නැතහොත් ශරීරයට කිසිදු බලයක් නැත. වනාන්තරයේ
දර සඳහා වත් නොගත හැකි, දිරාගිය දර කැබැල්ලකට උපමා කරන්නේ එහෙයිනි. මෙයින් සිතේ
ශක්තිය කෙබඳු දැයි වටහා ගත හැකි ය. විඤ්ඤාණ ශක්තිය පවතින තෙක් පමණක් සත්ත්වයාගේ
සංසිද්ධි සියල්ල ක්‍රියාත්මක වේ.
මිච්ඡාපණිහිත චිත්තං - සම්මාපණිහිත චිත්තං
වැරැදි ලෙස පිහිටුවන ලද්ද මිච්ඡාපණිහිත යි. (wrongly directed
mind) වැරැදියට
පිහිටුවන ලද්දේ දස අකුසලයන්හි ය. කායකර්ම-වචීකර්ම-මනොකර්මයන්හි දූෂිත වූ චිත්තය
තමාට මෙන්ම අන්‍යයන්ට ද අහිත පිණිස, දුක් පිණිස පවතී. එයින් ලැබෙන විපාක මෙලොව
මෙන්ම පරලොව ද විඳීන්නට සිදු වේ. එය සොරකු හෝ බද්ධ වෛරකාරයකු එවැනි ම කෙනකු වෙත කරන
ක්‍රියාවකට වඩා විපතක් වරදවා තැබූ සිත උරුම කර දේ. එසේම එහි විරුද්ධාර්ථය නංවන
නිවැරැදි ලෙස පිහිටුවන ලද්ද සම්මාපණිහිත යි. (rightly
directed mind) දස කුසලයන්හි
පිහිටවූ සිත මව්පියන් තමන්ට කරන ලද උපකාරයන්ට වඩා ශාන්තියක් ලබා දෙන බව සඳහන් වේ.
එබැවින් සිත යන්න දමනය කරන ලද්දක් (දන්තචිත්තං) ආරක්‍ෂා කරන ලද්දක් (ගුත්තචිත්තං)
කර ගැනීම මහත් ප්‍රතිඵල දායක වේ.
සමාලෝචනය
උක්ත සමස්ත මූලාශ්‍රයාගත පාලි පදමාලාව තුළින් සිත පිළිබඳ තථාගත දර්ශනය කෙබඳු දැයි
තහවුරු වේ. රූපීමය වූ හෝ ද්‍රව්‍යාත්මක වූ සත්තාවක් පමණක් පිළිගන්නා භෞතිකවාදීන්ගේ
එකඟතාව ප්‍රබල ව අභියෝගයට ලක්වන්නේ බුදුසමයෙන් ඉදිරිපත් කරන මෙකී මනස පිළිබඳ
විග්‍රහයේ සාධනීය බව නිසාවෙනි.
එසේ ම බුදුදහමේ ආධ්‍යාත්මික අරමුණ කරා හඹා යන යෝගියාට සිය මනසේ යථා ස්වභාවය දැන දැක
ඉදිරියට ගමන් කරන්නට ධම්මපදයේ චිත්තවග්ගයෙන් සැපයෙන පිටුබලය අනාවරණය වේ.
සිතෙහි පවත්නා අසංවර බව නිසා පුද්ගලයාට ලැබෙන ආදීනව සහ සංවරභාවයෙන් ලැබෙන ආනිසංස ද
චිත්තවග්ගයෙහි අන්තර්ගත වේ. විවිධ උපමා භාවිතයෙන් ශ්‍රාවකයා වෙත යථාර්ථය මතු කරන්නට
බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞෂල්‍යය අනර්ඝ ය. මිනිසාගේ සම්පූර්ණ සාංසාරික
ක්‍රියාකාරිත්‍වය සිදුවන්නේ සිතේ බලයෙන් හෝ දුර්වලබවින් ගොඩනැඟෙන කර්ම
සිද්ධාන්තයෙන් බව ද මෙයින් අවධාරණය කොට ඇත. සමස්තයක් ලෙස සිත විග්‍රහ කිරීම සහ වටහා
ගෙන ඊට අනුරූපව ක්‍රියා කිරීම අතිශය දුෂ්කර කාර්යයක් බව ද පැහැදිලි වේ. |