සසුන් කෙත බැබළවූ
දික්වැල්ලේ
ඤාණවංස නා හිමි
මාතර පළාතේ උප ප්‍රධාන සංඝනායක,
මාර/ විද්‍යාතිලක මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී
සීනිපැල්ලේ රතනවංස නා හිමි
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ බතීගම පුරවරයේ ඉතා සම්භාවනීය පරපුරක් වන ගෝණවලහේන
ඩී.එස්. වීරසිංහ මුදලාලි මහතා හා ඩී. නාවුරුන්නගේ නම් සැදැහැති දම්පතින්ට 1918 ජුනි
මස 30 දින උපන් කුල කුමරා බතීගම ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.
දීඝවාළුකාරාම විහාරාධිපති අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ මහා නායක දික්වැල්ලේ
සංඝතිලක මහා නායක මා හිමිපාණන් වහන්සේ ඇසුරෙන් මූලික බණ දහම් ඉගෙන ගෙන මහ නා
හිමියන්ගේ ආචාර්යත්වයෙන් මෙම පින්වත් දරුවා දික්වැල්ලේ ඤාණවංස නමින් 1931ජුනි මස 30
දින අති උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් විය.
අනතුරුව මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා අම්බලන්ගොඩ රන්දොඹේ ශිෂ්‍යාලංකාර පිරිවෙනට
ඇතුළත් ව රාජගුරු වැලිතර සිරි සුදස්සන මහානායක උප සංඝරාජයාණන් වහන්සේගේ පා සෙවනේ
වෙසෙමින් ධර්ම විනය ඇතුළු පැවිදි දිවියට ඇවැසි ශබ්ද ශාස්ත්‍රයන් ඉගෙන ගත් අතර,
ඤාණවංස හිමියන් නිසි වයස් එළඹීම නිසා 1937 ජුනි 12 වැනි දින බලපිටිය මාදුනදී මහා
මංගල සමුද්‍රාරාම උදකුක්ඛේප සීමා මාලකයේ දී දික්වැල්ලේ සංඝතිලක නාහිමියන්ගේ
ආචාර්යත්වයෙන් හා අතිගරු වැලිතර සිරි සුදස්සන මහානායක මාහිමිපාණන් වහන්සේගේ
උපාධ්‍යාත්වයෙන්ගේ සුපරිශුද්ධ උපසම්පත්තියට පත්වූහ.
ගාල්ල විද්‍යාලෝක මහ පිරිවෙනට ද, 1951 දී විද්‍යෝදය පිරිවෙනට ද ඇතුළත්ව විභාග උසස්ව
සමත්ව සිංහල සාහිත්‍යද්වරය යන ශාස්ත්‍රීය ග්‍රන්ථය රචනා කොට පිළිගන්වා රාජකීය
පණ්ඩිත උපාධිය දිනා ගැනීමට සමත් විය.
අනතුරුව තම ගුරු පරපුරට අයත් විහාරස්ථානයක් වූ රත්ගම මල්වැස්සගොඩ ශ්‍රී මණ්ඩලාරාම
පුරාණ විහාරස්ථානයේ නේවාසික ව වැඩ සිටිමින් එම විහාරස්ථානය දියුණු කරමින් තරුණ
පිරිස් විහාරස්ථානයට ළඟා කරමින් ඉංගී‍්‍රසි විෂය කෙරෙහි ඇල්මක් ඇති කළහ.
සිය ගුරු දේවයන් වහන්සේ 1961.11.29 දින අපවත් වූයෙන් දීඝවාළුකාරාම රාජමහා
විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන ගණයේ විහාරාධිපති ධුරයට පත් වූ උන්වහන්සේ එම
විහාරස්ථාන සියල්ලම රැක බලා ගනිමින් ඉදිරි පැවැත්මට අවශ්‍ය පරිසරය ද සකස් කර ඇත.
තම විහාරස්ථාන මුල් කරගෙන ජාතික ආගමික ශාසනික මෙහෙවර තමාට පමණක් කළ නොහැකි බව අවබෝධ
කරගත් අප නාහිමියෝ කුල දරුවන් පැවිදි කොට සාමණේරයන් වහන්සේ පුරුදු පුහුණු කිරීම
සඳහා 1963 ජනවාරි 01 වන දින මාර/ විද්‍යාතිලක මහ පිරිවෙනත් රත්ගම ශ්‍රී විද්‍යාඥාන
මූලික පිරිවෙනත්, ආරම්භ කළ අතර ඒ තුළින් දහස් ගණනක් පැවිදි කර යහපත් උගත් පිරිසක්
සමාජයට දායාද කර ඇත.
එසේම ප්‍රදේශයේ යහපත් දරුවන් පිරිසක් ඇති කරනු වස් 1964 ජනවාරි මස 01 වන දින සිරි
සංඝතිලක දහම් පාසල ආරම්භ කෙරිණි.
මෙම මෙහෙවර ඇගයීමට ලක් කරමින් අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සුධර්මාකාරක සභාව
මඟින් 1960 දී නිකායික කාරක සංඝ සභාවට පත් කරගත් අතර, ඒ තුළින් නිකායේ අභිවෘද්ධිය
පිණිස විශාල මෙහෙවරක් කළ අතර ඒ සඳහා විශේෂ ඇගයීමක් වශයෙන් 1984 අප්‍රේල් 16 වන දින
එම සංඝ සභාව මඟින් උන්වහන්සේ සිරි චූලපධුම සංඝතිලක වංසද්ධජ යන ගෞරව නාමය සහිත මාතර
හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ.
උන්වහන්සේගේ නිහතමානී ගුණයත් සසුනට කරන ලද උදාර මෙහෙවර අගය කළත් නිකාය මඟින් 1992
අප්‍රේල් මස 25 වැනි දින නිකායේ අනුනායක ධුරය පිරිනමන ලදි. 2005 අගෝස්තු 23 දින
අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත සිරි සද්ධම්මවංස පාල
ගණාචරිය සිරි සුදස්සන වංසාවතංස කොස්ගොඩ ජිනාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ දැඩි ලෙස
ගිලන්ව වැඩ සිටි බැවින් නිකායේ වැඩබලන මහානායක ධුරයට අප ඤාණවංස නා හිමියන් පත්
කරන්නට යෙදිණි. නා හිමිපාණන් වහන්සේ තමන්ගෙන් පසුවත් මෙම මෙහෙවර ඉදිරියට පවත්වා ගෙන
යාම පිණිස දක්ෂ පක්ෂ ශිෂ්‍ය පුත්‍රයන් රැසක් තනා ඇත.
අති විශාල ආගමික, සාමාජික, ශාසනික, අධ්‍යාපනික මහ මෙහෙවරක් කළ අප නාහිමියෝ 2007
අප්‍රේල් 02 බක් පෝදින අපවත් වූහ. නාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර 17ක් පිරීම
නිමිත්තෙන් අප්‍රේල් මස 01 වන දින සවස 6.00ට ශාස්ත්‍රවේදී කාව්‍ය ශ්‍රී අඹකොළවැවේ
බුද්ධික හිමිපාණන් වහන්සේ මෙහෙයවූ අටවිසි බුද්ධ පූජාව ද රාත්‍රී 7.00 ට අම්බලන්ගොඩ
රන්දොඹේ සංඝරාජ මහා විහාරාධිපති, ශික්ෂාලංකාර මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී අමරපුර
සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ශාස්ත්‍රපති කොස්ගොඩ සුභූති නා හිමිපාණන්
වහන්සේ පැවැත්වූ විශේෂ දහම් දෙසුම ද අප්‍රේල් 02 වන දින දහවල අමරපුර සිරි සද්ධම්ම
වංස මහා නිකායේ මහානායක සිරි සද්ධම්මවංස පාල ගණාචරිය මහෝපාධ්‍යාය අතිගරු අහුංගල්ලේ
සිරි සීල විසුද්ධි මහා නායක මාහිමි ඇතුළු සුධම්ම කාරක සභාව ඇතුළු ප්‍රදේශයේ මහා
සංඝරත්නව විෂයෙහි පිරිනැමෙන සපිරිකර සඟ සතු මහා දක්ෂිණාව ද වේ. |