අනුන් වසඟ කරවන ඇඳුම් විලාසිතා කාමභෝගියාගේ තේරීමකි
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
ආහාරපාන මෙන් ම ශිෂ්ටාචාරගත වූ සෑම මිනිසකුට ම ඇඳුම් අවශ්‍ය වේ.
ශරීර ඌෂ්ණත්වය සමබර ව පවත්වා ගැනීම හෝ ශරීරාවයවවලට සිදුවිය හැකි හානි වළක්වා
ගැනීමත් සිරුරේ රහස්‍ය ස්ථාන ආවරණය කර ගැනීමත්, ඇඳුම් ඇඳීමෙහි ප්‍රධාන අරමුණු වේ.
මෙම කරුණු සුවිශේෂී වුවත් වර්තමානය වන විට ඉහත අරමුණුවලට වඩා පුරුෂ පක්ෂයට මෙන් ම
විශේෂයෙන් ස්ත්‍රී පක්ෂයට ඇඳුම විලාසිතාවක් වේ. විලාසිතාව කෙතරම් සීමාන්තික වී ද
යත් සමාජය ඉදිරියේ නිරුවත් ව සිටීම ද එතරම් සැලකිය යුතු කරුණක් නොවන බවට ඇතැම්හු
පත්ව ඇත. එහෙයින් ම ලෝකයේ ඇතැම් රටවල ඇතැම් මිනිස්සු නිරුවත් ව වෙසෙති.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ද ඇඳුමට සංස්කෘතියක් නොමැති බවත්, ඕනෑම පුද්ගලයකුට
රිසි සේ කවර ස්ථානයක වුව ද ඇඳුම් පැළඳුම් ඇඳීමේ අයිතියක් ඇති බවත් පවසන වියත්හු
බොහෝ වෙති. එනිසා ම දළදා මාලිගාව වැනි පූජ්‍යස්ථාන හා අනෙකුත් වෙහෙර විහාර ආදියට
පිවිසීමේ දී ඇඳුම් භාවිතය පිළිබඳ නීතිරීති පණවා තිබීම ඔවහු දැඩි සේ හෙළා දකිති.
ඇඳුම් ඇඳීම සම්බන්ධයෙන් ආගමික සංස්කෘතියක් ලෝකයේ සෑම තැනක ම මෙන් ම සෑම කාලයක ම
පැවතුණි. හින්දු හා මුස්ලිම් වැනි ආගම්වල ඇඳුම සම්බන්ධයෙන් පවතින ආගමික නීතිරීති
අනුව ඔබට එය පහසුවෙන් සිතාගත හැකි ය. ඔවුහු ජාතියක් වශයෙන් ම එය උල්ලංඝනය නො කරති.
එහෙත් බුදුදහමෙහි පවතින ආගමික නිදහස වැරැදියට අර්ථකථනය කරමින් ඇතැම්හු බෞද්ධ පූජ්‍ය
ස්ථානවලට පිවිසීමේ දී මෙබඳු නීතිරීති පැවතීමේ යුක්තියක් නොමැති බව පෙන්වා දෙති.
සැබැවින් ම ඇඳුම් ඇඳීම සම්බන්ධයෙන් බුදුදහමේ කිසිම තැනක කිසිදු බාධකයක් පණවා නොමැත.
යම් නීතිරීති ඇත්නම් ඒ භික්ෂූන් වහන්සේගේ චීවර පරිභෝගය සම්බන්ධයෙන් පමණකි.
ගිහියන්ගේ ඇඳුම් භාවිතය සම්බන්ධ එවැනි දැඩි පැණවීම් නැත. එසේ නම් ගැටලුව පැන
නඟිනුයේ ගිහියන්ගේ ඇඳුම් භාවිතය සම්බන්ධයෙනි.
ගිහියකු වශයෙන් ඔබ කවර හෝ පූජ්‍ය ස්ථානයකට යන්නේ නම්, ඔබට කොට කලිසමක් බැනියමක් හෝ
යට ඇඳුමක් හෝ හැඳ අඩ කය නිරුවත් ව ඊට ප්‍රවේශ වීමට ලෝක නීතියෙන් අවසරයක් ඇතත් ධර්ම
නීතියෙන් අවසරයක් ඇද්ද?
ලෝකයේ සුසංවේදී පැවැත්ම ආරක්ෂා වන්නේ සුවිශේෂී කරුණු දෙකක් මත ය. ඒවා ලෝකපාලක ධර්ම
නමින් හැඳීන්වේ. එනම් පහත් දේ කිරීමට ඇති ලජ්ජාව හා බියයි. එහෙයින් ශිෂ්ට සම්පන්න
මිනිසා විසින් එයට ගරු කළ යුතු ය. අනෙක් අතින් පූජ්‍යස්ථානයට පිවිසෙන විට ඇඳුම්
පිළිබඳ, සීමාව පිළිබඳ විමතියක් ඇති පුද්ගලයන් තමන්ගෙන් ම ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත.
එනම්, ඔබ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට යන්නේ නම්, මංගල හෝ අවමංගල අවස්ථාවකට
සම්බන්ධ වන්නේ නම්, එසේත් නැතිනම් ජනාධිපති, අගමැති හෝ වෙනත් සම්භාව්‍ය පුද්ගලයකු
හමුවීමට යන්නේ නම් ඔබට කවර හෝ ඇඳුමක් හැඳ එහි යා හැකි ද? එසේ ගියහොත් ඔබගේ අපේක්ෂිත
කාර්යය ඉටු වන්නේ ද යන්නයි. කවරදාකවත් අඩ නිරුවත් ව හෝ නොගැළපෙන ඇඳුමක් හැඳ හෝ ඔබ
එහි නොයනු ඇත. එසේ නම් ආගමික ස්ථානයකට යාමේ දී ඔබගේ ඇඳුමේ විශේෂත්වයක් නොතිබිය හැකි
වන්නේ කෙසේ ද?
බෞද්ධ සාහිත්‍යය විමසීමේ දී පෙනී යන්නේ බෞද්ධ සංස්කෘතිය තුළ සුදු පැහැති වස්ත්‍රයට
විශේෂ තැනක් පැවති බව ය. එය ඕදාතවසන නමින් ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. සිත
පිරිසුදු සුදු වස්ත්‍රයක් මෙන් කර ගත යුතු බවට බුදුන් වහන්සේ උපදෙස් දී ඇත. එසේම
මානසික තත්වය ඉහළ නැංවීමට භාවනාව වැනි ක්‍රියාකාරකම් කෙරෙන ස්ථානයකට වඩාත් යෝග්‍ය
වන්නේ කාෂාව වස්ත්‍රය හෝ සුදු වස්ත්‍රය වේ. අරමුණු කෙරෙහි සිත අලවන, රාගාදිය වඩවන,
මංගල උත්සව ආදියට නිසි ඇඳුම් විලාසිතා ආගමික ස්ථානයකට හැඳීමේ වඩාත් යෝග්‍යභාවයක්
නැත.
විශාඛාව වැනි උසස් කාන්තාවන් මේලිය පළඳනාව වැනි අබරණ භාවිත කළ අතර, ඇයගේ ඇඳුම්
පැළදුම් ඇගයීමට ද ලක්ව ඇත. එබැවින් කවර හෝ ඇඳුමක් හැ¼දීමට බෞද්ධ කාන්තාවන්ට හෝ
පුරුෂයන්ට ආගමෙන් තහනමක් නැත. එහෙයින් නීති රීති අදාළ වන්නේ පූජ්‍යස්ථානයන්ට
ප්‍රවේශ වීමේ දී කෙරෙන ඇඳුම් විලාසිතාවන්ට පමණකි.
විවිධ වර්ණ හා විලාසිතාවන් යුතු ඇඳුම් කවර ස්ථානයක් සඳහා වුව ද හඳීන බෞද්ධයන් සඳහා
බුදුදහම සපයන උපදේශ කවරේද යන්න තේරුම් ගැනීම සඳහා ද බෞද්ධ ග්‍රන්ථවලින් උපදෙස්
සැපයේ. ඒවා තේරුම් ගත යුත්තේ මුල් බුදුසමය අනුව නොව සංස්කෘතික අධ්‍යයනයන් වශයෙනි.
එබඳු ඇදුම් හැඳීමේ යෝග්‍ය අයෝග්‍ය බව තීරණය කළ හැක්කේ ඒවායෙහි විලාසිතාව අනුව ය.
ඇඳුමකින් වැසිය යුතු අවයව පෙනෙන පරිදි ඇඳුම් පැළඳුම් පරිහරණය කිරීම බුදුදහමෙන්
අනුමත නො කරයි. පියයුරු, පෙකනිය ආදී අවයව ප්‍රදර්ශනය නොකළ යුතු බවටත්, පාදයේ බොලට
දක්වා දිගු ඇඳුමක් ඇඳීම සුදුසු බවටත්, පුරාතන ලංකාවේ කතුන්ට කාව්‍යශේඛරය නම්
ග්‍රන්ථයෙහි උපදෙස් සපයා ඇත්තේ මෙසේ ය.
පෙකනිය නො දක්වා -
සළු ඇඳ බොලට දක්වා
නොපා තන සක්වා -
සිනා නොමසෙන් දසන් දක්වා
මෙසේ හැඳීම් පැළඳීම් පිළිබඳ උපදෙස් සපයා ඇත්තේ එසේ නො කිරීමෙන් වන කායික, මානසික
හා සංස්කෘතිකමය හානි පිළිබඳ හඳුනාගෙන සිටි බැවිනි. ජොන්සන් හා වොක්මන් නම්
පර්යේෂකයන් දෙදෙනා විසින් කාන්තාවන් ලිංගික හිංසනවලට ලක්වීම කෙරෙහි ඇඳුම් බලපාන
ආකාරය පිළිබඳ 1992 වර්ෂයේ දී පර්යේෂණයක් මගින් තහවුරු කරන ලදී. ඒ අනුව අඳුරු වර්ණ
සහිත උඩුකය වසන ඇඳුම්, අත් රහිත බ්ලවුස්. දණහිස දක්වා නොවන කෙටි සාය, අඩි උස පාවහන්
ආදිය භාවිත කරන කාන්තාවන් ලිංගික හිංසනවලට ලක්වීමේ ප්‍රතිශතය අධික බව සනාථ විය.
ඉහත සඳහන් කරුණු අනුව පැහැදිලි වන්නේ මිනිසකු විසින් අඳීනු පළඳීනු ලබන ඇදුම්
ආයිත්තම් ඔහු හෝ ඇයගේ සාමාජික වටිනාකම උසස් හෝ පහත් බවට පත් කිරීමට තරම් බලපාන
බවයි.
තම ආධ්‍යාත්මික ජීවිතයේ දී භික්ෂුවක විසින් නිතරම ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කරුණු අතර
වස්ත්‍ර පරිභෝගය ද එකකි. එහිදී හුදෙක් ශරීරයේ සීත හා ඌෂ්ණය වැළැක්වීම පිණිස, මැසි
මදුරු සුළං අව්ව ගෝනුසු ආදීන්ගෙන් වන පහස මඟහරිනු සඳහා සහ විළිවසා ගැනීම සඳහා මම මේ
වස්ත්‍ර පරිහරණය කරමි’යි සිහිකළ යුතු යැයි දක්වයි.
අනෙක් අතින් දෛනික ජීවිතයේ තම වාසස්ථානයේ දී වස්ත්‍ර පරිභෝග කරනු ලබන ආකාරයට වඩා
විධිමත් ව හැඳ පෙරව බැහැරට යා යුතු බවට ද බුදුදහම නිර්දේශ කෙරේ. නිරුවත් ලෙස
සමාජගතවීම විනයට අනුව දුක්කටාපත්ති නම් වරදකි. එහිම අනවශ්‍ය පරිදි විලාසිතා කළ
ඇඳුම් ද තහනම් කොට ඇත. එබැවින් යම් කෙනෙක් අන්‍යයන් වසඟ කරවීමේ අරමුණින් සිදු කෙරෙන
ඇදුම් විලාසිතා සුදුසු වන්නේ කාමභෝගී ස්ත්‍රී පුරුෂයන්ට විනා ආධ්‍යාත්මික වටිනාකම්
සොයන්නන්ට නොවේ. ඇඳුම් පැළඳුම් රාශියක් ළඟ තබා ගැනීමේ ආශාව වැඩිදියුණු කර ගැනීම ද
මනුෂ්‍ය සමාජයට එතරම් හිතකර නොවේ. ඊට හේතුව මානසික සතුට අපේක්ෂා කරන පුද්ගලයකුට
අල්පේච්ඡතාව හා ලද දෙයින් සතුටු විය හැකිවීම සුවිශේෂී ලෙස උපකාර වන හෙයිනි. අනෙක්
අතින් සැහැල්ලු චාම් ඇඳුම් හැඳීම බුදුදහම අගය කරන බව කිව යුතු ය. කෙතරම් අගනා සහ
විලාසිතා සහිත ඇඳුමකින් ගත සැරසුව ද දෙතිසක් කුණපවලින් සෑදී ඇති අශුචි පිරවූ කළයක්
වැනි වූ සිරුරක් අප විසින් මිථ්‍යාවෙන් වසා ගැනීමට දරන තැතක් මෙහිදී සිදුවන බව අප
කිසිවිටෙකත් අමතක නොකළ යුතු ය.
කරුණු මෙසේ හෙයින් වස්ත්‍රාභරණ පරිහරණය කරන ස්ත්‍රියක වුව ද, පුරුෂයකු වුව ද තම
ජීවිතයේ ප්‍රධාන අවශ්‍යතාවක් වන ඇඳුම් පැළඳුම් පුළුල් අවබෝධයකින් සිදුකළ යුතු ය. එම
අවබෝධය ජීවිත ගැටලු රාශියක් අවම කර ගැනීමටත්, දිගුකාලීන සතුට රඳවා ගැනීමටත් ඉවහල්
වනු ඇත. |