Print this Article


පුර පෑළවිය සඳ - 05 කොටස

පුර පෑළවිය සඳ - 05 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

මෙතෙක් කතාව
දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුවද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදකදී වුව එය විශාල කොට පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය. පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනතව සාමණේරයන්ට වැරදිපිට වැරදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි.

“ වටෙන් එන ප්‍රශ්නවලින් මුන්නාන්සෙ රකින්නත් ඕනේ, මුන්නාන්සෙගෙ වැරදිවලින් පන්සල රකින්නත් ඕනේ.”

බොහෝවිට ජලය ගලා බසින්නේ නියරෙහි මිටි තැනිනි. වරදක් කළා හෝ නොකළා හෝ දැන් බොහෝවිට වරදකරු වන්නේ දමිත සාමණේරයන් ය.

සියලු දෙනාම වටවී සැරවැර කරමින් හොයන්නට බලන්නට තරම් දෙළුම් ගෙඩියකට ඇති වටිනාකම කුමක්දැයි නන්ද හිමියන්ට නොතේරේ.

පුංචි සාමණේරයන් වහන්සේ කඳුලු පුරවාගෙන හිමි හිමීට කන් පෙත්ත අතගායි. එක්කන් එන්නට ඇත්තේ සිරිමල් මාමා විසිනි. තමන්ගේ තරම නොදන්නා සහ ගිහි පැවිදි වෙනස නොදන්නා ගිහියකු පන්සලක සිටිනවිට කර ගන්නේ මෙවැනි අකුසල් ම ය. ලොකු හාමුදුරුවෝත් මේවා පෙනි පෙනී නිහඬ ව සිටින්නේ කුමක් නිසා දැයි නන්ද හිමියන් නොදනී.

“ එක පාරයි මං අහන්නෙ.

කවුද දෙළුම් ගෙඩිය හොරා ගත්තේ?”

ලොකු හාමුදුරුවෝ අසන්නේ තර්ජනාත්මකව ය. අසරණ දමිත හිමියන්ට ඇඬෙයි.

“ අනේ ... ලොකු හාමුදුරුවනේ ..

මං ගත්තෙ නෑ ලොකු හාමුදුරුවනේ ..

අනේ නන්ද හාමුදුරුවනේ .. අනේ මං ඇත්තමයි කියන්නෙ..”

නන්ද හාමුදුරුවෝවත් තමා බේරාගනීවි දැයි සාමණේරයන් ඒ දෙසත් බලයි. පව්. නන්ද හාමුදුරුවන්ටත් දුක ය.

අහිංසක සා පැටවකු සෙයින් සාමණේරයන් බියපත් ය.

චෝදනාව බරපතළව ම එල්ල කරන්නේත් හේතු දක්වා වැරැදිකරු කරන්නට හදන්නේත් සිරිමල් මාමා ය. මොන සාංසාරික හතුරුකමක් දැයි දමිත හිමියන්ට නොතේරේ.

“ මොකද නැත්තෙ..

උන්නාන්සෙ , බොරු කියන්න එපා..

අපේ ලොකු හාමුදුරුවනේ මං මේ ඇස් දෙකෙන්ම දැක්ක දෙළුම් කකා ඉන්නවා මුන්නාන්සෙ “

සිරිමල් මාමා බොරු අතින් දමදමා කියයි. ඔහුට ඕනෑ කොහොම හරි මේ නඩුව දිනන්නටය. කොයියම්ම හරි විදියකින් මුන්නාන්සෙ පන්නා දුන්නොත් මුදලාලි මහත්තයා පොරොන්දු වූ පරිදි සලකනවා නියත ය. ඒවා කෙසේ වෙතත් ආ දා පටන් කුමන කරුමයක් දෝ මේ උන්නාන්සේ තමන්ට පේන්නම බැරිබවත් සිරිමල් මාමාට වැටහී තිබේ. පන්සලේ ඉන්නවා නම් දෙදෙනාගෙන් කෙනෙක් පමණි.

‘ මේ කොහෙවත් ඉන්න මුන් හින්දා, එදා ඉඳලා උන්නු මං කොහෙ යන්නද? හිතන් ඇති. මං සිරිමල් නෙමෙයි එහෙනම් ... ‘ තනියෙන් සිතමින් සිරිමල් මාමා දත්මිටි කන්නේ ය.

දෙළුම් ගෙඩියක නම් මහා ලොකු වටිනාකමක් නැති බව සැබෑ ය. නමුත් පැවිද්දකුට සොරකම් කිරීම නම් කිසිසේත් ම ගැළපෙන්නේ නැත. කළ වරද සඟවමින් බොරුකීම ඊටත් වඩා නපුරු ය. ඒ, එවැන්නා කවදාවත් නිවැරැදි ප්‍රතිපදාවකට යොමු නොවනා බැවිනි.

සිරිමල් මාමා නම් සහතික කොටම පවසන්නේ හැමදාම මේ සොරකම් කරන්නේ දමිත සාමණේරයන් ම ය කියායි. කෙතරම් විශ්වාසවන්ත පුද්ගලයකු කීවත් පරික්ෂා නොකොට තීන්දු තීරණ ගැනීම නම් නායකත්වයට නොගැළපෙන දෙයක් බව ලොකු හාමුදුරුවන්ගේ අදහසයි.

“ දැන් කොහෙ ඉඳන්ද මේ පොඩි නම ඕක කකා ඉන්නව දැක්කෙ ?”

ලොකු හාමුදුරුවෝ අසන්නේ සිරිමල් මාමාගෙනි.

“ වෙන කොහෙද අපේ ලොකු හාමුදුරුවනේ ... උන්නාන්සෙගෙ කුටියෙ ඇඳේ ඉඳන් කකා උන්නෙ...”

සිරිමල් මාමා දෙවරක් නොසිතා, නොපැකිල හරි අපූරුවට උත්තර දෙයි.

නමුත් නන්ද හාමුදුරුවන්ට නම් ඒ පිළිතුරු ගැන කිසිදු විශ්වාසයක් නැත. දවල් දාන වේලාවෙන් පසු පටන් දමිත පොඩිනම සිටියේ තමන් සමඟ පිරිසුදු කිරීමේ කටයුතුවල ම බව නන්ද හිමියන්ට විශ්වාස ය.

ඒ බව කියන්නටවත් බැරි තරමට ලොකු හාමුදුරුවෝ අද කිපී ඇත. අසන්නේ නැතිව මැදින් පැන කිසිවක් කීම ද සිරිතට නොගැළපෙන ක්‍රියාවකි. ගෞරවනීය ගුරු සිසු සබඳතාව පළුදු වන්නට ද හේතුවකි. එබැවින් තවදුරටත් අවස්ථාවක් ලැබෙන තෙක් ඉවසා සිටිය යුතු යැයි නන්ද හිමියන් සිතුවේ ය.

ලොකු හාමුදුරුන්ගේ නම් අදහස සාමණේරයන්ගේ කුටිය පරික්ෂා කොට බැලීමට ය. මේ හොරකම් කරන්නා අල්ලා නොගතහොත් වන්නේ තම සිතට සැනසිල්ලක් නැති වීම ය.

“ හ්ම්.., යමු බලන්න.

තමුන් ඔහොම්ම ම දනගහගෙන ඉන්න ඕනෙ. හෙල්ලෙන්නෙ නෑ මං එනකල්...”

දමිත සාමණේරයන්ගේ කුටියට යෑමට, ඔක්කෝටම කලින් ඉස්සර වූයේ සිරිමල් මාමා ය. සාමණේරයන්ගේ කුටිය ඇත්තේ දාන ශාලාවට කලින් ය. සිරිමල් මාමා නිදන්නේ ඊට පසු ඇති දාන ශාලාවට යාබද ඊළඟ කාමරයේ ය.

“ ඕන් අපේ ලොකු හාමුදුරුවනේ සාක්කි...

අපේ ලොකු හාමුදුරුවන්ට මයෙ වචනෙනෙ අවිස්සාස..

ඕන් මේසෙ උඩම තියෙන්නෙ ලෙලි ටික”

සිරිමල් මාමා කියන්නේ ඇත්ත ය. සාමණේරයන්ගේ පොත් මේසය උඩ දෙළුම් ලෙලි ය.

“ හම ගහන්න එපැයි මුන්දැව...” ලොකු හාමුදුරුවන්ගේ ඉවසීමේ සීමාව පැන්නේ ය.

සිරිමල් මාමාගෙ ඇස් බෝල සතුටින් දිලිසෙයි. හිතට දැනෙන්නෙ ජාත්‍යන්තර අපරාධ කාරයෙක් පොලිසියට අල්ලා දුන්නා වැනි උද්දාමයකි.

දැන් ඉතින් බඩුත් සමඟ ම සොරා හසුවී හමාර ය. දමිත හාමුදුරුවන් බේරා ගැනීමට පුංචිම හෝ හැකියාවක් තමාට නොමැති බව නන්ද හිමියන්ට සිතුනෙන් උන්වහන්සේ දාන ශාලාව වෙත නිහඬ ව පියමැන්නහ.

සාමණේරයන්ගේ අට හැවිරිදි සිතට දෙළුම් දුටු විට ආශාවක් උපදින්නට ඇත. එසේ නූපන්නා නම් එයම පුදුම ය. ඒ වයසේ අහිංසක දරුවන්ට කෑමබීම ගැන ඇත්තේ පුදුමාකාර ආශාවකි. පාසල් අවධියේ දී තමන් වහන්සේත් ඇතිපදම් කඩචෝරු කෑ හැටිත්, වෙල ළඟ ලැහැබේ අඹ හා ගඩාගෙඩි කෑ හැටිත්, හවස් වී ගෙදර ගොස් අම්මාගෙන් බැනුම් ඇසූ හැටිත් නන්ද හිමියන්ට සිහිවුණි.

වැඩිහිටි සමහරු දැන් හැසිරෙන්නේ තමන්ට කවදාකවත් ළමා කාලයක් කියා එකක් නොතිබූ ගාණටය.

ගිලන්පස බඳුනත්, බන්දේසියත් සේදූ නන්ද හාමුදුරුවෝ ඒවා නොබිඳෙන පරිදි තැම්පත් කරන්නට විය.

දමිත සාමණේරයන්ගේ කුටිය තුළ ගෝසාව ය. කතා කරන සියල්ලම හොඳීන් ඇසුනත්, නන්ද හාමුදුරුවන් වෙර දරන්නේ ඒ ශබ්ද නොඅසාම ඉන්නට ය. ඒ වචන හා හැසිරීම නම් හිමියන්ට දැන් හොඳටෝම අරුචි ය. අප්‍රසන්න ය.

විශේෂයෙන් ම සිරිමල් මාමා නමැති චරිතය ගැන දැනෙන්නේත් දැන් නම් මහා අප්‍රසාදයකි. සමහරු වයසින් වැඩිහිටියන් වෙද්දී මහ කුරිරු, කුඩුකේඩු මිනිසුන් බවට පත්වෙතැයි අසා තිබෙතත්, මෙතරම්ම කුඩුකේඩු පහත් මිනිසෙක් මින් පෙර තමා දැක ඇසුරු කර නැතැයි හිමියන්ට විශ්වාස ය.

නන්ද හිමියන් සිරිමල් මාමාගෙ කාමරය දෙස බැලුවේ අහම්බෙනි. කවදාවත් නැතිව අද සිරිමල් මාමාගෙ කාමරයේ දොර හැරදමා තිබේ.

‘ මොකද අද කවදාවත් නැතිව සිරිමල් මාමාගෙ කාමරය දොර ඇරලා දාලා..’

කිසිවිටෙක කිසිම හේතුවක් නිසා සිරිමල් මාමා කුටිය අගුළු නොදමා යන්නේ නම් නැත. දානය ඉතිරි නොවනදා රෑකට හැපීමට ඇති ක්‍රීම් ක්‍රැකර් බිස්කට් හා දාන කැවිලි පෙවිලි ටික අහුරා ඇත්තේ කාමරේ ලෑලි පට්ටමක් උඩ ය.

කලු පූසා දවසක් ඒ ටිකට වගකියා තිබුණි. එදා පටන් සිරිමල් මාමා කාමරයෙන් පිටවන්නේ දොරගුළු දමා යතුරත් ඉනේ ගසා ගෙනම ය.