රට්ඨපාල කුමාරයා ගිහිගෙය
හැර ගිය හැටි
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
දඹදිව කුරුරට චුල්ලකොට්ඨිත කියල නියම්ගමක් තිබුණා. මේ ගමේ ජීවත් වුණා මහා ධන
කුවේරයෙක්. ඔහුට හිටියේ එකම එක පුතයි. මේ පුතා රටට දුර්භික්ෂයක් එන හැම අවස්ථාවක ම
තමන්ගේ ධනය වියදම් කර රටත්, ජනතාවත් බේරා ගන්නවා. මේ නිසා හැමෝම කුමාරයාට කිව්වා
රට්ඨපාල කුමාරයා කියලා.
මේ තරුණයා යහපත් කටයුතුවලට බොහොම කැමැතියි. මෙහෙම කාලය ගෙවී ගෙන යනවිට දවසක්
බුදුරජාණන් වහන්සේ කොට්ඨිත කියන මේ පින්වන්ත ගමට වැඩම කළා. ගම්වැසියන්ගේ ආරාධනාව මත
ධර්ම දේශනාවක් ද පවත්වන්නට යෙදුණා. රට්ඨපාල කුමාරයාටත් හිතුණා බුදුරජාණන්
වහන්සේගෙන් ධර්මය අහන්න.
බණ ශාලාවට ගිහින් ධර්මය ශ්‍රවණය කළා. ගිහි ජීවිතයේ ඇති දුකත්, පැවිද්දේ ඇති
සැහැල්ලුවත් අවබෝධ කර ගත්තා. ධර්ම දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ
දොහොත් මුදුන් දී වන්දනා කර ගෞරව දැක්වූවා. ඊටපස්සේ බුදුරජාණන් වහන්සේට කියනවා.
‘ස්වාමිනි, ඔබ වහන්සේ විසින් දේශිත ධර්මය අනුව බ්‍රහ්මචර්යාව ගිහි ජීවිතයේ ඉඳිමින්
රකින්න බෑ. මම පැවිදි වෙන්න කැමැතියි, මා පැවිදි කරන්න’යි ඉල්ලා සිටියා.
ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ.
‘පින්වත්, රට්ඨපාල, මම ඔබ පැවිදි කරන්නම්. ඔබගේ මව්පියන්ගේ අවසරය අරගෙන එන්න’යි
කියා සිටියා.
රට්ඨපාල තරුණයා ගෙදර ගිහින් තමන්ට පැවිදි වීමට අවශ්‍ය බව මවටත්, පියාටත් කිව්වා;
අවසර ඉල්ලා සිටියා.
‘පුතේ, ඔයා අපට ඉන්න එකම දරුවා. ගෙදර සැප සම්පත්වලින්, ධනයෙන් කිසිදු අග හිඟකමක්
ඇත්තේ නැහැ. ගිහි ජීවිතයේ සිට පින් කරන්න. පින් කරන්න පැවිදි වෙන්න ම ඕන නෑනේ. අනික
පුතේ, ඔයා අපේ ඇස් දෙකට පේන්න නැති ව අපට මොහොතක්වත් ජීවත් වෙන්න බැහැ. ඔයා අපිව
අතහැරලා පැවිදි වුණොත් අපි ජීවන් වන්නේ කොහොමද? ඒ නිසා හොඳින් කම්සුව විඳිමින් සුව
සේ ජීවත් වෙන්න’යි කියමින් පැවිද්දට අවසර දුන්නේ නෑ.
රට්ඨපාල තරුණයා කල්පනා කරනවා මට මේ සම්පත්වලින් වැඩක් ඇත්තේ නෑ. පැවිද්ද කොහොම හරි
ගන්න ඕනෑ’යි නැවතත් තීරණය කර දෙවන වතාවටත්, තෙවන වතාවටත් පැවිද්ද ඉල්ලා සිටියා. ඒ
හැම වතාවක ම මව්පියෝ ප්‍රතික්ෂේප කළා. තරුණයා පැවිද්දට ඇති බලවත් කැමැත්ත නිසා
තීරණය කළා. ‘පැවිදි වෙන්න ඉඩ දෙන්නේ නැත්නම් නිරාහාර ව සිට මරණයට පත්වීම හොදයි”යි
කියලා.
ඒ අනුව ගෙදර බිම ඇතිරිල්ලක් දාගෙන නිදාගත්තා. දවසක් ගත වුණා. දවස් දෙකක් ගත වුණා.
මව්පියන් කල්පනා කළා බඩගිනි වුණහම කෑම කයි කියලා. ඒත් එහෙම වුණේ නෑ.
බිරින්දෑවරුන්ලවාත්, මිතුරන්ලවාත් අදහස වෙනස් කිරීමට අවස්ථා තුන බැඟින් උත්සාහ
ගත්තත් ඒ සියල්ලමත් ප්‍රයෝජනයක් නැති වුණා. මව්පියන් අවසානයේ දී තීරණය කළා.
‘කමක් නෑ අපි අවසර දෙමු. දරුවා පැවිදි වෙලා හිටියොත් අපට දැක ගන්න හරි පුළුවන්.
අවසර නොදුන්නොත් සත්‍ය වශයෙන් ම මේ දරුවා මිය යනවා’යි තීරණය කරලා පැවිද්දට අවසර
දුන්නා.
කුමාරයා සතුටින් නැඟී සිටියා. කෑම කෑවා. නීරෝගී වූවා. බුදුරජාණන් වහන්සේ වෙතින්
පැවිද්ද හා උපසම්පදාව ලැබුවා. පැවිදි බව ලබපු දවසේ සිට මහත් සේ වීර්ය කළා රහත්
වෙන්න. එහෙත් උන්වහන්සේට අවුරුදු දොළහක් යනතුරු රහත් බව ලබා ගන්න නම් බැරිවුණා.
දොළොස් අවුරුද්දකට පස්සේ දවසක සව් කෙලෙසුන් නසා රහත් භාවය ලැබුවා.
ඊටපසු දවසක, බුදුරජාණන් වහන්සේ වෙත එළැඹිලා චුල්ල කොට්ඨිත නගරයට ගොස් මව්පියන් බලා
එන්නට අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ රට්ඨපාල තෙරුන්ගේ සිත පරීක්ෂා කර රහත් බවට
පැමිණි බව හඳුනාගෙන අවසර ලබා දුන්නා. තෙරුන් වහන්සේ කුරු රට සෝරව්‍ය රජුගේ උයනට
වැඩම කර ගමන් වෙහෙස නිවාගෙන පසු දින උදෑසනින් ම ගෙපිළි වලින් තමන්ගේ මව්පියන්ගේ
නිවෙස් බලා පිණ්ඩපාතයේ වැඩම කළා. මෙහෙම වැඩම කරන කොට තමන්ගේ පියතුමා කොණ්ඩයේ අවුල්
හරිමින්, පීරමින් ගෙයි මැද දොරටුව සමීපයේ ඉඳගෙන ඉන්නවා දැක්කා.
දොළොස් අවුරුද්දකට පස්සේ මව්පියන් දකින්න එන නිසා පියාට තමන්ගේ පුතා අඳුනා ගන්න
බැරි වුණා. පැවිද්දකුගේ බණක් නිසා තමන්ට එකම පුතා නැති වුණා’යි පැවිදි පාර්ශ්වය
කෙරෙහි උරණවෙලයි මේ පියතුමා හිටියේ. රට්ඨපාල තෙරුන් දුටු විටම ‘මේ මුඩු මහණෝ නිසා
අපට හිටිය එකම පුතා පැවිදි වුණා.’යි අක්‍රෝෂ කළා. දැකීම පවා ප්‍රතික්ෂේප කළා.
තෙරුන් වහන්සේ ඒ බව හඳුනාගෙන අනෙක් ගෙවල්වලට පිළිවෙලින් පිණ්ඩපාතයේ වැඩම කළා.
ගිහි කල තමාගේ ගෙදර වැඩ කරන දාසියකගේ නිවසකටත් වැඩම කළා. ඇය රාත්‍රියේ සකස් කළ
පිට්ටු ආහාරයක් පිළුණු වුණු නිසා විසි කරන්න ගෙමිදුලට පැමිණියා. තෙරුන් වහන්සේ ඒ බව
හඳුනාගෙන ‘නැඟණිය, ඔය පිළුණු ආහාර විසි කරන්න නම් හදන්නේ මගේ පාත්‍රයට බෙදන්න’යි
ඉල්ලා සිටියා.
දාසිය ඒ ආහාර බෙදන ගමන් තෙරුන් වහන්සේගේ අත් පා ලකුණුවලින් රට්ඨපාල කුමාරයා පැමිණි
බව හඳුනා ගත්තා. ඉක්මනින්ම සිටු මාලිගයට දුවගොස් සිටු තුමාටත්, දේවියටත් ඔවුන්ගේ
පුතා රට්ඨපාල තෙරුන් පැමිණි බවත්, පිණ්ඩපාතයේ යෙදෙමින් සිටින බවත් කියා සිටියා.
තෙරුන් වහන්සේ පිළුණු පිට්ටු සහිත පාත්‍රය අරගෙන තාප්පයක් අයිනේ වැඩහිඳිමින් වළඳන්න
පටන් ගත්තා. පියතුමා වහාම එතැනට ගොස්
‘දරුව, අපේ නිවසේ කෑම ඇතිවෙන්න තියන බව නො දන්නේ ද? මේ පිළුණු පිට්ටු වළඳන්නේ ඇයි?
දැන්’ගෙදරට යමු’යි ආරාධනා කළා. එයට පිළිතුරු දෙමින් රට්ඨපාල තෙරුන් කියනවා
‘පියතුමනි, අපට ගෙවල් කොයින් ද? අපට ගෙවල් කියා දෙයක් ඇත්තේ නෑ. මම ඔබගේ ගෙදරට වැඩම
කළා. ඒත් දානයක් තබා හොඳ කතාවක්වත් ලැබුණේ නෑ. අපට ලැබුණේ ඇනුම් බැණුම් විතරයි.’යි
කිව්වා.
එය අහගෙන හිටිය පියතුමා සිදුවුණු දෙයට සමාව අරගෙන නැවතත් ගෙදරට වැඩම කරන ලෙස ආරාධනා
කළා. ඒ අවස්ථාවේ දී තෙරුන් වහන්සේ කියනවා ‘පියාණෙනි, දැන් මගේ කුස පිරිලා
තියෙන්නේ’යි කියලා.
එහෙනම් ස්වාමිනි, හෙට දින දානයට වැඩම කරන්න’යි ආරාධනා කළා. රට්ඨපාල තෙරුන් එය ඉවසා
සිටියා.
පියතුමා දාන කටයුතු සූදානම් කළා. ප්‍රණීත ආහාර පාන සැකසුවා. ඒ විතරක් නෙවෙයි.
තෙරුන් වහන්සේ ගිහි බවට පත් කරවන අදහසින් ගිහි කල බිරින්දෑවරුන් දිව්‍යාංගනාවන් සේ
සරසවා නිවසට ගෙන්වා ගත්තා. රත්රන් හා රිදී ගෙන්වා ගෙන විශාල ගොඩවල් දෙකක් කරවලා
කලාලවලින් වසා දැමුවා. තෙරුන් වහන්සේ නිවසට වැඩම කළායින් පස්සේ ‘රත්රන් හා රිදී
ගොඩවලින් වසා තිබුණු වැසුම් ඉවත් කර ඒවා දර්ශනය කර
‘දරුව, මේවා අයිති ඔබට යි. ඔය සිවුර ඉවත් කර, ගිහි ව සිට පින් කරන්න. සැප
විඳින්න’යි පැවසුවා.
‘පියාණෙනි, මට ඔබ ආදරෙයි නම්, මගේ සැපය සලකනවා නම් මේ ධනය කරත්තවල පටවා ගෙන ගොස් ගඟ
මැදට මේ දැන්ම විසි කර දමන්න. මේවා තබාගෙන හිටියොත්, පියාණෙනි, ඔබට තැවෙන්නත්, ශෝක
වෙන්නත්, හඬන්නත්, වැළපෙන්නත් සිදුවෙනවා’යි කියා සිටියා. මේ කතා අහගෙන හිටිය
පියතුමා හිතනවා.
‘මම මේ ඔක්කොම කළේ පුතාව ගෙදර නතර කර ගන්න. මුමුණා නිශ්ශබ්දව සිට ගෙයි ඇතුළට ගොස්
කාමරවල නවතා සිටි පෙර කල බිරින්දෑවරුන් අමතා
‘තොපගේ සැමියා ඇවිත් ඉන්නේ. පුළුවන් අයුරකින් සිවුරු හරවා ගනිවු’යැයි කියා සිටියා.
ඒ ස්ත්‍රීන් තෙරුන් වහන්සේගේ පාමුල වැටී ‘හිමියනි, පැවිදි වී ඔබ ලබන්න හිතන
අප්සරාවන් මොනවාගේ ද?’අපව තනි කරන්න එපා’යි ඉල්ලා සිටියා.
ඒ අවස්ථාවේ ‘නැඟණියනි, මම පැවිදි වූයේ අප්සරාවන් ලබන බලාපොරොත්තුවකින් නොවේ’යි
කියමින් පෙර බිරින්දෑවරුන් තමන්ගේ නැඟණිය හෝ මිතුරියන් සේ හෝ සලකමින් බැහැර කළා.
‘දෙන දානයක් වේ නම් එය දී අප පිටත් කරන්න’යි පියතුමාට පවසා සිටියා. ප්‍රණීත භෝජන
වළඳා අවසානයේ ශරීරයේ පැවැත්මක් නැති බවත්, ශරීරය වස්ත්‍රවලින් තොර වූ විට අමු මස්
ගොඩක් බවත්, ශරීරය, කෙස්, නෙත් සරසා ගැනීම, මෝඩයින්ගේ මුළාවට හේතුවන බවත් පවසමින්
ධර්ම දේශනා පැවැත් වූ බව මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ රට්ඨපාල සූත්‍රයේ
සඳහන් වෙනවා.
පැවිද්ද ලැබිය යුත්තේ කෙලෙස් නැති කර ගැනීමේ අරමුණින් ම බව මේ කතා පුවත අපට හොඳින්
පැහැදිලි කර දෙනවා. |