Print this Article


සමාහිත සිතින් මේ මොහොත දකින්න

සමාහිත සිතින් මේ මොහොත දකින්න

අපි කවුරු කවුරුත් කැමැති සැනසිල්ලේ ජීවත් වීමටයි. සතුටින්, ඉන්නයි. මේ මානසික සංතෘෂ්ටිය, සැනසිල්ල සොයාගෙන යන ගමනේ ලෝක ධර්මතාවලට මුහුණපාන්නට වෙනවා. ලාභ - අලාභ, යස - අයස, නින්දා - ප්‍රශංසා, සැප - දුක්, ලෙස අද ලෝකය පුරා වගේ ම අපේ රටේත් ආර්ථික අපහසුතා ඇතිවී තිබෙනවා. බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙලා.

ධර්මානුකූල ව ජීවිතයක සැනසිල්ල සොයන ඔබත් මමත් කිසිවිටෙක හිත පීඩනයට පත් කර නොගත යුතුයි. ආර්ථික අපහසුතාවලින් අත්මිදෙන්න , ගැටලුවලට මුහුණ දෙන්න කියා, අපේ ජීවිතයේ මෙතෙක් පුරුදු – පුහුණු කරන ලද හොඳ පුරුදු, සත්පුරුෂකම්, මනුෂ්‍යකම්, අත්හරින්නට හොඳ නෑ. එසේ නම් ඒ අනුව ඉදිරියටත්, සිතත් – වචනත්, ක්‍රියාවනුත් පවත්වන්නේ කොහොමද?

මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම, උතුම් ම මනුෂ්‍ය රත්නය අප මහා කාරුණිකයාණන් වහන්සේ. උන්වහන්සේ ගේ මහා කරුණාව, ප්‍රඥාව අසමසම ගුණ සමුදායකින් යුතු වූ සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන හැම මොහොතක් පාසාම තමන් ද කරුණාවන්ත කෙනෙක් වෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත කෙනෙක් වෙනවා කියන අදහස සිත්හි පුරුදු කරන්නට ඕනෑ.

මනුෂ්‍යයන් ලෙස අපට කලින් කලට ලෝකයේ ඇතිවන විවිධාකාර අඩු වැඩිකම්, උස්පහත්කම් ආදී වශයෙන් බොහෝ සිදුවීම්වලට මුහුණපාන්නට සිදු වෙනවා. එක් අවස්ථාවක අරමුණු යහපත් ලෙස, අපි කැමැති පරිදි ඉටුවෙනවා. තවත් විටෙක එහෙම සිදුවෙන්නේ නැහැ. එහෙත් අපි ජීවිතයේ ගැටලුවල දී, දුෂ්කරතාවල දී මානසික ව පීඩා විඳිය යුතු ද?

සාමාන්‍යයෙන් වැටහෙන පරිදි පෘථග්ජන ලෝකයා සැපතට කැමැතියි. ඒ වගේම දුකට අකැමැතියි. මේ ලැබූ සැපය පෙර සසරේ පිනක් නිසා ලැබූ දෙයක් වෙන්නත් පුළුවනි. ඒ පසුබිම මෙලොව ජීවිතයේ උත්සාහය, ධෛර්ය, අධිෂ්ඨානය, නුවණින් යුක්තව කටයුතු කිරීමෙන් ලැබූ සැපතක් විය හැකියි.

එහෙත් ජීවිතයේ යථාර්ථය “හටගන්නා සේ ම සියල්ල නැතිව යෑමයි.” කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. ලෙඩදුක් ඉදිරියේ ඒ කතාව අපි හැමෝට ම පොදු බව පැහැදිලියි නේද? සැප විඳින්න. ඒත් තණ්හා මාන දිට්ඨියෙන් නම් එපා.

ඒ වගේම තමන් උසස් කොට අනික් අය පහත් කොට සලකන්න එපා. මම තමයි කියන හැඟීමෙන් සැපත් සමඟ දැඩිව ඇලෙන්න එපා. උපේක්ෂා සහගත ව සැප පරිහරණය කරන්න. ජීවිතයේ වෙනස්කම්වලට මුහුණ දෙන විට, ආර්ථික ගැටලු නැඟී එන විට බලාපොරොත්තු ඒ අනුව ම ඉටු නොවෙන විට හඬා වැළපීම් ඇති කර ගන්නා එපා. ධෛර්යයෙන් උත්සාහයෙන් මේවා ජීවිතයට අත්දැකීමක් ලෙස යොමු කර ගන්න අවශ්‍යයයි.

ඒ ගැටලුවලින් නිදහස් වෙන්න. සියයට සියක් නැති වෙයි, නමුත් ලද දෙයින් සතුටු වී උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන්, ධෛර්යයෙන් කටයුතු කරන්න. ජීවිතයේ ඕනෑම මොහොතක් අවසන් මොහොත විය හැකියි. අපි හැම මොහොතක්ම සැනසිල්ලේ සිටිය යුතුයි කියන අදහස සිත්හි දරා ගන්න.

ආර්ථික අපහසුතා මැද ජීවිතයේ කටයුතු කරන විට මේ ගැන සිතන්න. ඒ අත්‍යවශ්‍ය, අවශ්‍ය, අනවශ්‍ය යන වචන තුනයි. අත්‍යවශ්‍ය ම දේට ආහාර, බෙහෙත් වැනි දේ අන්තර්ගතයි. අවශ්‍යම දේ ඇඳුම් – පැළඳුම්, පවුල් ජීවිතය තුළ යුතුකම්, මව්පියන්, ස්වාමි – භාර්යා ආදී වශයෙන් පෙන්වා දිය හැකියි. දරුවන්ගේ අධ්‍යාපනය, රැකියාව, වෘත්තිය ව්‍යාපාර කටයුතු සිදුකර ගෙන යන විට කළ යුතු බොහෝ දේ කළ යුතුමයි.

අනවශ්‍යය යටතේ එක් කොටසක් පමණක් ගැන සිතමු. ඒ මත්වතුර, මත්ද්‍රව්‍ය, සමහර පුද්ගලයෙක් මත්වතුර කියන තැන කායිකව පීඩාවට වෙහෙසට පත්වෙනවා ය කියන තැනකට යොමු නොවුණත්, සතුට කියන වචනය ආරෝපණය කර ගෙන ඉහළ මිල ගණන් ඇතිව මත්වතුරට යොමුවෙන්න පුළුවන්. ඒ හැඟීම් පාලනය කර ගත යුතුයි. බැහැර කර ගත යුතුයි. එවැනි දෙයින් බැහැර ව ජීවිතය ගැන සිතන්නට ආරම්භ කරන්නේ නම්, අපි තුළම ඒ යහපත කියන අභිවෘද්ධිය කියන සංකල්පය ඇති කර ගන්නට පුළුවනි.

රටේ ලෝකයේ පීඩාව කියන තැනට පැමිණුනත් එක වහලක් යට තමන්ගේ පවුල තුළ සංතෘෂ්ටිය, සතුට කියන දේ ලබන්න පුළුවන්. අපේ රටේ සංස්කෘතිය අනුව ලුණුමිරිසුයි, බතුයි වුණත් ඔබට දිව්‍ය භෝජනයක් වගේ දැනෙන්නට පටන් ගනීවි.

කලින් කලට ලෝකයේ වගේම ජීවිතයේත් යහපත වගේ ම ගැටලුත් මතුවෙනවා.අපි පුරුදු කරන ලද ධර්ම මාර්ගය එනම්, “සියල්ල හටගත්තා වගේ ම නැති වෙනවා” කියන අවබෝධය තුළ සමාහිත හිතක් ඇති කර ගන්න පුළුවන් නම් ඔබ මේ මොහොතේ ජීවත් වෙනවා. හැම මොහොතක් ම සංතෘෂ්ටියෙන් ගත කරන ජීවිතයක් බවට පත්වෙනවා. මෙයයි ජීවිතය තුළින් අපි දැකිය යුත්තේ..