Print this Article


ලෝකයේ සැබෑ ස්වභාවය ශුන්‍යතාවයි

ලෝකයේ සැබෑ ස්වභාවය ශුන්‍යතාවයි

මානෙල්වත්ත, කැලණිය
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ,
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ,
(මනෝ උපදේශිකා)
ඩබ්. ඒ. ෂම්මි නදීෂානි

ලෝකවිදූ තථාගතයාණන් වහන්සේගේ දේශනාව වූයේ ධර්මය වනාහී එතෙර වීමට පහුරක් කොට ගැනීම මිස එය කර තබා ගෙන යන්නක් නොවන බව ය. සම්බුදු දහම ඝන අඳුරට ප්‍රදීපයක් බවත්, යටිකුරුව දක්නා ලෝක සත්‍ය උඩුකුරු කර පෙන්වීමක් බවත් ය.

එනම් දුක්ඛ නම් යථා ස්වභාවය සැප නම් තාවකාලික මායා පටලයෙන් වැසී ඇති බවත්, ඇතුළාන්තයට කිඳා බැස බැලීමේ දී අල්ලා ගත හැකි කිසිත් නැති බවත් ය. එබැවින් මෙලොව එකිනෙක මත පවතින සාපේක්ෂතාව මත යමක් හේතුවෙන් යමක් හටගනී. එනම් සියලු ධර්මතාවෝ සාපේක්ෂ වේ.

එනම් අවිද්‍යා පච්චයා සංඛාරා - සංඛාර පච්චයා විඤ්ඤාණ

විඤ්ඤාණ පච්චා සළායතන ආදී.... වශයෙන් එකකට එකක් හේතු ප්‍රත්‍යව සිදු වේ.

එවිට සිත්කළු රූපයෝ ය, ශබ්දයෝ ය, රසයෝ ය, ගන්ධයෝ ය, ස්පර්ශයෝ ය යන පංචකාම වස්තුන් කෙරෙහි රාගය පහළ වනු ඇත. එය සංයුක්ත නිකාය මාර සංයුත්තෙහි මානස සූත්‍රය තුළ දක්වනුයේ ගැලවීමට අපහසු මාරයාගේ දැලක් ලෙසිනි. මේ මාර දැලට පැටලී නොසිටින අයකු සොයා ගැනීම අසීරු ය.

මෙහි ඇති හිස් බව, අර්ථ ශූන්‍යත්වය අවබෝධ කර ගත් තථාගතයාණන් වහන්සේ මේ පංචකාම වස්තුන් කෙරෙහි වූ රාගය පහ කරන ලදහ.

මෝඝරාජ සූත්‍රය තුළ දී මෝඝ රාජ හට පවසන ලද්දේ ද ස්මෘතිමත් ව සක්කාය දිට්ඨිය දුරු කොට, මාර වසඟයෙන් වැසී ඇති ලෝකයේ ඇති ශූන්‍ය බව අවබෝධ කර ගන්නා ලෙස ය.

දෙවන සංගීතයෙන් පසු බිහි වූ නිකායන් අතරින් බිහි වූ චතුර්විධ සම්ප්‍රදායට අයත් වූ මාධ්‍යමික සම්ප්‍රදාය නිරන්තරයෙන් මෙම ශූන්‍යතාව පිළිබඳ කතා කළහ. එහිදී ප්‍රමුඛස්ථානය ගත් නාගර්ජුන පාදයෝ තම විශ්ෂිටතම කෘතිය වන මූල්‍ය මධ්‍යම කාරිකාව තුළ දී පරිච්ඡේද විසි හතක් පුරාවට පරීක්ෂා යටතේ තවදුරටත් විවර කර පෙන්වනුයේ ද මෙම ධර්ම හා පුද්ගලයා අතර වන ශූන්‍යතාව යි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පටිච්ච සමුප්පාද සංකල්පය වනාහී අපට මේ මායාවෙන් පිරි ලෝකයේ යථාවබෝධය ලබා දෙන සංකල්පයක් වන අතර, එයම තව තවත් සූක්ෂම ලෙසින් පරීක්ෂා කර බලා ඉදිරිපත් කරන ලද තවත් සංකල්පයක් ලෙස නාගර්ජුන පාදයන්ගේ ශූන්‍යතා සංකල්පය ද දැක්විය හැක. මේ සංකල්ප ද්විත්වය ම භාවිතයට ගෙන යෝගීන් හට භාවනාවක් ලෙස ද ශූන්‍යතාව මෙනෙහි කළ හැක. ඒ මානසික ඒකාග්‍රතාවයෙන් යුක්තව එකිනෙකට සාපේක්ෂ වූ ප්‍රපංචයන් දෙස විදර්ශනාගත ව බැලීමෙන් එහි වූ සුඤ්ඤතාව හෙවත් ශුන්‍යතාව වැටහෙනු ඇත.

නිදර්ශනයක් ලෙස පවුල් සංස්ථාව තුළ බැඳීම් සහිත ව සිටි පුද්ගලයා ආරණ්‍ය ගතවීමට සිතා සිය පවුලෙන් හා සමාජයෙන් වෙන්ව ආරණ්‍ය ගත වූ කල්හි ඔහු තම පංචකාම බන්ධනයන්ගෙන් අඩක් සුඤ්ඤ කරනු ලැබේ. ඉන්පසු ඔහුගේ ලෝකය ගොඩනැඟෙනුයේ ආරණ්‍ය හා ආශි‍්‍රත සීමිත පරිසරයට පමණි. යෝගී වන ඔහු බවුන් වඩා ආරණ්‍ය සංඥා, පෘථිවි සංඥා, ආකාස සංඥා ආදී.... වඩමින් ආශ්‍රයන් එකිනෙක ඉවත් කිරීම තුළින් ශුන්‍යතාව හෙවත් සුඤ්ඤතා පළ සමාපත්තියට පැමිණෙන්නේ ය.

මේ පිළිබඳ අපූරු විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකාය සුඤ්ඤත වග්ගයේ දී චුල්ලසුඤ්ඤතා සූත්‍රය තුළින් දක්වා ඇත. මූල්‍ය මධ්‍යම කාරිකාව ඔස්සේ ද්වාදශාංගය තුළින් ද නාගර්ජුන පාදයෝ වැඩිදුර ගෙනහැර පාන ලද්දේ ද බුදුරජාණන් වහන්සේ මෙසේ ගෙනහැර පාන ලද සුඤ්ඤතා සංකල්පයේ ම දිගුවකි. එනම් අවිද්‍යාව හේතු කොට ගෙන උපදනා සංඛාර අවිද්‍යාව නැසූ විට ශූන්‍ය වන බවත් ය. තවත් ලෙසකින් අවිද්‍යාවට සාපේක්ෂ ව සංඛාර (ක්ලේශ) හට ගන්නා බවත් ය.

මාධ්‍යමික සම්ප්‍රදාය ඉදිරිපත් කරන මෙම සංකල්පය අවබෝධයෙන් බැලූ කළ ඒ බුද්ධ දර්ශනයට විරුද්ධ වූවක් නොවේ. එය බුද්ධ දර්ශනයේ ම සංවර්ධිත අවස්ථාවක් ලෙස දැක්විය හැක.

බුදුන් ජීවමාන කාලයේ විසූ බාහිය දාරුචි ය වනාහි ඉතා සංක්ෂිප්ත ලෙසින් රූපාදියේ නො බැඳුණු කෙනෙක් වේ ද ඒ හේතුවෙන් තොප මෙලොව නූපදී පරලොව නූපදී, දෙලොව ම නූපදී ප්‍රකාශය තුළින් ම රූපයේ වූ සුඤ්ඤතාව වටහා ගත්තෙකි. ඒ මොහොතේ දී ම වස්සකු ඇන බාහියදාරුචීය මරණයට පත්විය. උපාදාන රහිත විඤ්ඤාණයෙන් යුත් හෙතෙම නිර්වාණගාමී විය. ඒ බව බාහිය දාරුචිය සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

සසර මහත් පින් ඇත්තෝ ඉතා සුළු කරුණක් දෙසූ පමණින් ද, මෙලොව යථා ස්වභාවය ශූන්‍යතාව අවබෝධ කර ගත්තෝ ය. එසේ වී නම් නාගාර්ජුන පාදයන්ගේ මේ ව්‍යායාමය ද අප අවබෝධයෙන් දකිනු විනා සර්පයකු වැරැදි ලෙස අල්ලා ගැනීමක් ලෙස නො ගත යුතු ය. මන්ද යමකු පටිච්ච සමුප්පාදය දකී ද, හෙතෙම ධර්මය හා බුදුන් දකී.

මෙසේ සම්බුද්ධ දේශනාව අවබෝධය තුළ පරීක්ෂාවට ලක් කිරීමක් කළ නාගර්ජුන පාදයන් යනු කවරෙක් දැයි ඔබට ගැටලුවක් ඇතිවනු ඇත. ක්‍රි.ව. වර්ෂ දෙවැනි සියවස තුළ දී පමණ ඉන්දියාවෙහි ප්‍රචළිත වූ මාධ්‍යමක නම් (මහායාන සම්ප්‍රදායට අයත්) දර්ශනයේ ආරම්භකයා වනුයේ නාගාර්ජුන පාදයෝ ය. ආර්ය දේව පාද, ශාන්ති රක්ෂිත, ඛුද්ධපාලිත, භාව විවේක ආදීන් හා කමල ශීල, ශාන්ති රක්ෂිත ආදී ආචාර්යවරු ද මෙ දර්ශනය පෝෂණයට දායක වූවෝ වෙති. පසුකාලීනව මෙම දර්ශනය චීනය හා ටිබෙටයට ද මධ්‍යආසියානු කලාපය පුරා ද ප්‍රකට විය. ටිබෙටය තුළ වර්තමානයේ ද ගෙ - ලුක් - පා නිකාය ලෙසත් මෙය ප්‍රකට ව පවතී. නාගර්ජුන පාදයෝ මූල මාධ්‍යමක කාරිකාව ඔස්සේ පහදා දීමට උත්සාහ කරනුයේ බුද්ධ දේශනාව තුළ ම අන්තර්ගත වූ සංකල්ප තුළ ඇති ශූන්‍යත්වය බවත් එම ග්‍රන්ථය පිළිබඳ මහාචාර්ය කලුපහණ මහතා ද වැඩිදුර විග්‍රහයන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව සලකා බලන කල

පළමු, දෙවන පරිච්ඡේදය තුළ විග්‍රහ වනුයේ - බුදු දහමේ එන මූලික සිද්ධාන්ත වන හට ගැනීම හා විනාශ වීමත් (උත්පාද, තිථි, භංගත්වයත්)

තෙවන, පහළොස්වන පරිච්ඡේද තුළ - ධර්ම හා එහි ශූන්‍යතාවයත්,

දහසය - විසි හයවන පරිච්ඡේද තුළ - පුද්ගලයා හා ශූන්‍යත්වයත්,

විසිහත්වන පරිච්ඡේදය තුළ - මේ සියල්ල කැටිකොට ගත් දෘෂ්ටි පරීක්ෂාව ලෙසත්, දැක්විය හැක.

බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රය පුරාවට පැහැදිලි කරනුයේ ද තමා හා ලෝකය තුළ බැසගත් මමත්වයෙන් සිටිනා තුරු සම්‍යයක් දෘෂ්ටිය ළඟා කර ගත නොහැකි බවත්, ලොව පවතින ධර්මතා තුළ ඇති සුඤ්ඤතාව අවබෝධය අපහසු වන බවත් ය.

ඒ බැවින් දෘෂ්ටීන් දුරැ කර ධර්මය තුළ යථාවබෝධය ලබාදීම උදෙසා නාගාර්ජුන පාදයෝ ග්‍රන්ථය තුළ බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට ඇත. මන්ද නාගාර්ජුන පාදයන්ගේ ද ආගමික පරමාර්ථය වූයේ එයම නිසාවෙනි. කර්ම හෝ සිව්පසය හෝ රැස් කිරීමක් නැත්තා වූ ආකාරය පිළිබඳ පිරිසිඳ දැනගත්තා වූ සුඤ්ඤත වූත්, අනිමිත්ත වූත්, නිවන අරමුණු වූත් රහතන් වහන්සේගේ ගමන් මඟ ආකාසේ පක්ෂීන් ගිය ගමන් මඟ මෙනි. බුදුරජාණන් වහන්සේගේ මෙම දේශනාව ඉතා සරලව උපමා ගතව සුඤ්ඤතාව අවබෝධ කරවීමට ගත් උපක්‍රමයකි. (ධම්මපදය - අරහත් වග්ගය)

යේ පරිඤ්ඤාත භෝජනා
සුඤ්ඤතෝ අන්මිත්තෝච
විමොක්ඛෝ යස්ස ගෝචරෝ
ආකාසේව සකුන්තානං
ගති තේසං දුරන්නයා.

(සූත්‍ර පිටකය හා තිලකරත්න අසංගගේ ශුන්‍යතා වාදයෙහි දර්ශනය හා චරණය යන කෘති ඇසුරින් රචනා කරන ලදී.)