Print this Article


ලෙඩ රෝගවලින් බේරෙන එකම දිවඔසුව

ලෙඩ රෝගවලින් බේරෙන එකම දිවඔසුව

නීරෝගිකම උතුම් ම ලාභයයි. නිවන උතුම් ම සැපතයි. යනුවෙන් බුද්ධ දේශනාවෙහි සඳහන් ව ඇත. සියලු සත්ත්වයින්ගේ සසර ගමන හෙවත් සංසාර චක්‍රය විවරණය කෙරෙන පටිච්චසමුප්පාද ධර්මයේ දී ඉපදීම තිබෙන තාක් ලෙඩවීම හා මරණය පොදු බව පැහැදිලි කර ඇත. එනම් ඉපදීම පවතින තාක් වයස්ගත වීම, රෝගීවීම, මරණය යන ධර්මතාවයන් ද පවතින බව දේශනා කර ඇත.

ව්‍යාධි හා මරණ යන සංසිද්ධි සඳහා පුණ්‍ය ශක්තීන් ඍජුව හා වක්‍රව බලපාන බව මේ විවරණ ධර්මයන්ගෙන් ඉදිරිපත් කර ඇත. ජරා, ව්‍යාධි, මරණ ධර්මයන් නිරෝධය වන්නේ ඉපදීම නිරුද්ධ කිරීමෙනි. මෙම ධර්මයන්ගේ වටිනාම කොටස වන්නේ ඉපදීමේ ක්‍රියාවලිය නිරෝධය කිරීම නම් ඒ සඳහා නීරෝගි බව, ආයුෂ, වර්ණ, සැප, බල අත්‍යවශ්‍ය සාධක බවට පත්වෙන බවත් බුද්ධ දේශනාවෙහි ම සඳහන් කර ඇත. සැබෑ බෞද්ධයා රෝගී වුවත් රෝගීභාවය උපයෝගී කොට ගෙන ඉපදීම පවා නිරුද්ධ කර ගැනීමට හැකියාව ඇත්තෙක් වේ.

බුදුන් වහන්සේ ධර්මය කැඩපතකට උපමා කර ඇත. නීරෝගිකම කුසලයක ප්‍රතිඵලයක් ලෙසත්, රෝගීකම අකුසලයක ඵලයක් ලෙසත් ධර්මයේ දී පිළිගැනේ. බුද්ධ දර්ශනය තුළින් මෙය දකින්නා ඉපදීම නිරෝධය කිරීමේ මාර්ගයට අවතීර්ණ වූ අයකු ලෙස සැලකේ. මේ ධර්මතාවයන්හි දී මිනිස් හිත ප්‍රධාන සාධකයකි.

“මනෝ පුබ්බංගමා ධම්මා”

දේශනා පාඨය සියලුම ධර්මයෝ සිත පෙරටු කොට ගෙන පවතී ය යන්න පැහැදිලි කරයි. ලොව කිසිදු දෙයකට නොමැති බලයක් සිතට ඇත. මේ පුදුම බලවේගය නිසා සත්වයන් විසින් කරනු ලබන කුසල් අකුසල් ආදි සියලුම ක්‍රියාවලියක දී ම සිත ප්‍රධාන වෙයි. සිත පිළිබඳ අවබෝධය වැදගත් වන්නේ මෙ නිසා ය. සිත මුල් කර ගත් සතර ඍද්ධිපාද ධර්මයෝ වැඩීම නීරෝගිභාවයටත් , දිර්ඝායුෂයටත් දිව ඔසුවක් වේ.

බුද්ධ දේශනාවට අනුව මෙම ධර්මයන් සතර වැඩීමේ අරමුණ වන්නේ, නීරෝගි බව, දීර්ඝායුෂය, කෙරෙහි පුද්ගල කැමැත්ත ඇතිකර අවසානයේ සෝවාන් ඵල ආදි මගඵල අවබෝධය ඇති කරවීමයි. සතර ඍද්ධිපාද ධර්ම යනු

ඡන්ද, චිත්ත, වීර්ය, විමංසා ය.

ඡන්දය යනු කැමැත්තයි. එනම් දස කුසල් ධර්මයන් ජීවිතයේ වැඩීම සඳහා ඇතිකොට ගන්නා කැමැත්තයි.

දස කුසල් ධර්ම

කයෙන් කර ගන්නා වූ කුසල ධර්ම

සතුන් මැරීමෙන්, සතුන්ට හිංසා කිරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම

වචනයෙන් සිදුවන කුසල ධර්ම

බොරු කීමෙන් වැළකීම, පිසුණු වචන කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම, හිස්වචන කීමෙන් වැළකීම

මනසින් සිදුවන කුසල්

ලෝභ සිත් ඇති කර නොගැනීම (අලෝභය)

ද්වේශ සිත් ඇති කර නොගැනීම (අද්වේශය)

ධර්මයට පටහැණි ව නොසිතීම (අමෝහය)

ඉහත දස කුසල් ධර්මයන් වැඩීම තුළ පංච ශීලයෙන් ආරක්ෂාව සැලසෙයි. ලෝක සත්ත්වයාට බලවත් අකුසලයන් සිදු කර දෙන මනෝකර්මවල ලෝභය, ද්වේශ, මෝහ, අකුසල් මූලයන්ගෙන් ද ආරක්ෂා කර දෙයි.

සීලය ආරක්ෂා කිරීමට උපකාර වන සතර ඍද්ධිපාදයන්ගේ වටිනාකම ලැබෙන්නේ අලෝභ, අද්වේශ, අමෝහ, ධර්මයන් නුවණින් දකිනා විටයි.

වීර්යය

වීර්යය ඇති වන්නේ ඡන්දයේ හෙවත් කැමැත්තේ ඵලයක් වශයෙනි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ සම්මා දිට්ඨියේ අර්ථයන් ඔස්සේ ය.

චිත්තය

චිත්තය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට ඇතිකර ගන්නා අධිෂ්ඨාන චිත්තයයි. මෙම චිත්තය සැකසෙන්නේ මේ ජීවිතයේ සෝවාන් ඵලයට පත්වෙන බවට අධිෂ්ඨානය ඇති කර ගැනීමෙනි. මේ අධිෂ්ඨානය ඇති කර ගන්නේ මුලින් ම දස කුසල් ධර්මයන් කෙරෙහි කැමැත්ත ඇතිකොට, දෙවනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවේශ වීමෙනි.

සෝවාන් ආදි මඟඵල නිවන් මඟෙහි ප්‍රවිෂ්ටයයි.

විමංසාව

රෝගී වූ සංසාරයේ රෝගී බවෙනුත්, නීරෝගි බවෙනුත් මුදවන අර්ථයෙන් දේශිත ධර්මතාවකි. විනිවිද දැකීම හෙවත් විදර්ශනා නුවණින් දැකීම යන අර්ථය ගෙන දෙයි. අති දීර්ඝ බව ගමනේ ඇවිද යන අයෙක් ජීවිතයට එක්කර නොගත් එකම ධර්මතාව විදර්ශනාවයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි ඕනෑම අයෙක් අතීත භව ගමනේ දී මේ ලොව ඇති සෑම අග්‍ර සැපයක් ම ලබා ඇත. නොලැබූ එකම සැපත සෝවාන් ඵල අවබෝධය යි.

සතර ඍද්ධිපාද ධර්මයන්ගෙන් සමන්විත චිත්තයක් ඇති මිනිසකු තුළ මමත්වය, දැඩි බව හා සක්කාය දිට්ඨිය තුනී වේ. මෙම ධර්මයන් වැඩෙද්දී, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, බලි, තොවිල්, පඬුරු ගැට ගැසීම් හා පොල් ගැසීම් වැනි මිත්‍යා දාෂ්ටික අන්‍ය සීලවෘත ගිලිහී යයි.

බුදුන් වහන්සේ දේශිත ධර්මයත්, ඉහත ධර්මතාවයත්, සුරක්ෂිත ව පවත්වා ගෙන යන සංඝරත්නය කෙරෙහි විචිකිච්ඡාව බැහැර වෙයි.

මෙලෙස ක්‍රමක්‍රමයෙන් සතර ඍද්ධිපාද ධර්මයන් වැඩීම තුළින් සෝවාන් ඵල අරමුණු වන අතර තෙරුවන් සරණ අවබෝධයෙන් ම ජීවිතයට එකතු කර ගනී.

බුදුන් වහන්සේ දේශනා කරන ලද මෙම ධර්මතාවන් විදර්ශනාවට ගනිමින් ජීවිතයේ ඉපදීම, ලෙඩවීම, නීරෝගීබව, මහලු වීම හා මියයාම යන කාරණා නුවණින් හෙවත් අවබෝධයෙන් ම ගන්නා අයෙක් බුදුපියාණන් වහන්සේ සරණ යන්නේ ය.

එවැන්නකු තම ජීවිතය තුළින් ජාති, ජරා, ව්‍යාධි හා මරණ ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ගනියි.

මේ ජීවිතයේ ලැබූ ආයුෂයෙහි, වර්ණයෙහි, සැපයෙහි, රෝගී බවෙහි, නීරෝගි බවෙහි, ප්‍රතිඵලය අනිත්‍ය වශයෙන් නුවණින් දකියි. එහි නොඇලී, නොගැටී, අනිත්‍ය ධර්මතාව සරණ යයි.

මෙවැනි ධර්මතාවයන්ගෙන් පිරුණු ලෝකය අනිත්‍ය වශයෙන් අවබෝධයෙන් දකිමින් අචල ශ්‍රද්ධාවෙන් බුද්ධ රත්නය හා ධර්ම රත්නය සරණ යෑම තුළින් සාංසාරික නීරෝගිභාවය ඇති කර ගැනීමට උපකාරි වේ.

එසේම මෙම ධර්මතා තුළින් නිවන් මාර්ගය කිය දෙන වත්මන් උතුම් සංඝරත්නයත්, අතීතයේ වැඩ සිටි උතුම් ආර්යයන් වහන්සේත්, අරමුණූ කොට මහා සංඝරත්නයට සිව් පසයෙන් උපස්ථාන කිරීම සිදු කළ යුතු ය. එම ආර්ය මහා ගුණ කඳ තමන් තුළත් ඇති කර ගත යුතු ය.

මෙ මඟින් උතුම් සඟ සරණ යෑම සිදු වන අතර, සාංසාරික නීරෝගිකම ඇති කර ගැනීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ වන්නේ මෙලෙසිනි.

මෙසේ තුණුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව වැඩූ තැනැත්තා තුළ ආර්ය ශීලය වැඩෙයි. තිසරණය සරණ ගිය තැනැත්තා සමාදම් වන ශීලයේ ආනිසංශ විදර්ශනා නුවණින් දකිමින් මෙම සීලය ද, අනිත්‍ය ලකුණින් මෙනෙහි කරමින් විදර්ශනා කළ යුතු ය. ශීලයෙන් සපිරුණු ඔහු රෝගී බවින් අත්මිදීමේ දී ලබන කායික වේදනා ද අතීතයේ යමක ප්‍රතිඵලයත් අනිත්‍යත් නුවණින් දකියි.

මේ ආකාරයෙන් තිසරණ සරණ ගිය තැනැත්තා රෝගීභාවයට බිය නොවේ. නීරෝගිභාවය ද අනිත්‍ය ලෙස දකී. මරණයට බිය නොවේ. නිතර මරණානුස්මෘතිය වඩයි. වේදනාව සමඟ නොගැටේ. රූපයේ අනිත්‍ය බව වඩයි.

බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ කය ලෙඩ වුවත් සිත මේ ආකාරයෙන් තිසරණය මත පිහිටා නීරෝගි සිත් ඇතුව වෙසෙන ලෙසයි. අවබෝධයෙන්, තිසරණයට අචල ශ්‍රද්ධාවෙන්, සතුටින්, තෙරුවන් ගුණ දකිමින් ජීවිතය පවත්වාගෙන යා හැකි ය.

අකුසල් හේතුවෙන් සකස් වන රෝගි බවත්, කුසල් හේතුවෙන් සැකසෙන නීරෝගි බවත් අනිත්‍ය වශයෙන් අවබෝධ වූ තැන කෙනෙකුගේ කය ලෙඩ වුවත් සිත ලෙඩ නොවී පවත්වා ගෙන යා හැකි ය.

එනම් තෙරුවන් සරණ ගිය කෙනකුට රෝගී බවත්, නීරෝගී බවත් අනිත්‍ය වශයෙන් අවබෝධයට ගෙන ඇලෙන ගැටෙන ලෝකය ඉදිරියේ උපේක්ෂාවෙන් විසිය හැකි ය.

භව ගමනේ හැබෑම නීරෝගිබව ලබා නිර්වාණය නැමැති ගමනාන්තයට ළඟා විය හැකි ය. ඒ සඳහා තෙරුවන් කෙරෙහි ඇති අචල ශ්‍රද්ධාව මනා සේ උපකාරි වන බව බුදු වදනින් පැහැදිලි කර ඇත්තේ එලෙසිනි.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන හිමියන්ගේ ධර්ම දේශනාවක් අසුරින්