Print this Article


සසරේ කළ පින මෝරා ආ හැටි

සසරේ කළ පින මෝරා ආ හැටි

(ධම්මික ස්ථවිර කතාව)

“න අත්තහෙතු න පරස්ස හේතු
න පුත්තම්වෙජ න ධනං න රට්ඨං
න ඉචෙඡය්‍ය අධමෙමන සමිද්ධිමත්තනො
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා”

නුවණැත්තා තමාගේ සුවපහසුව සඳහාවත් පවු නො කෙරේ. එසේම අනුන්ගේ සුවපහසු සඳහා පවු නො කෙරේ. නො දැහැමින් පුතකු ලබනු කැමැති නොවේ. නො දැහැමින් ධනය ලබනු කැමැති නොවේ. නො දැහැමින් රජය ලබනු කැමැති නො වේ. නො දැහැමින් තමාගේ ඉසුරුබව (යසසින් - සැපතින් වන දියුණුව) කැමැති නො වේ. (නො පතන්නේ ය) මෙසේ වූ ඒ තැනැත්තා සිල්වතෙක් නුවණැතියෙක් දැහැමියෙක් වේ.

භාග්‍යවත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර (දෙව් බඹුන් රාත්‍රී කාලයෙහි හාත්පස ඒකාලෝක කරමින් නිරත මේ වෙහෙරෙහි හැසුරුණු බැවින් හා දෙවියන් නිතර පැමිණීමෙන් සිත් ඇලෙන තැනක් වූ බැවින් අනේපිඬු සිටුතුමා සාදා පූජා කළ සැවැත්නුවර ජේතවනාරාමයට “දෙව්රම් වෙහෙර” යනුවෙන් ද නම් කෙරේ) වැඩ වසන සමයක සැවැත්නුවර විසු එක් උපාසකයෙක් අවංකව ම ධාර්මික ව හැසිරීම නිසා “ධම්මික උපාසක” යන නමින් ම ප්‍රසිද්ධ ව විසූහ.

දැහැමෙන් සෙමෙන් තම බිරිඳත් සමඟ සිය ගෙදර වාසය කරන්නේ ඔහුගේ සිත පැවිද්ද සඳහා ම නිතර නම්‍ය විය. දිනක් සිය බිරිඳ සමඟ සැහැල්ලුවෙන් සුහද ව කථාබස් කරමින් සිටින විටෙක තමාගේ සිතෙහි බලවත් වී ඇති මේ අදහස බිරිඳට කීය.

“සොඳුර මා මහණ වන්නට යන්නෙමියි” කීවේ ය. එය ඇසූ බිරිඳ

“හිමියෙනි ටිකක් පමා වෙන්න. ඔබට දාව දරුවකු මා කුස පිළිසිඳ ගෙන ඇත. ඒ දරුවා බිහිවන තුරු නො සිට ඔබ මහණ වුවහොත් මටවන්නේ බලවත් නිගාවකි. එහෙයින් දරුවා බිහිවුණු කළ පැවිදි වුව මැනැවැ”යි සැනසූහ.

උපාසක තෙමේ ද ඒ අදහස පිළිගෙන දරුවා බිහිව පයින් ඇවිදි යන කාලය තෙක් සිට නැවැත බිරිඳ අමතා පැවිද්ද සිහිගැන්විය. එවිට ඇය “ස්වාමීනි, දරුවා තව ටිකක් වයසට යනතුරු නවතින්නට යැයි” කී විට මට මැයගෙන් අවසර ලැබ යෑම නම් නොවන්නකි'යි සිතා තමා දුකෙන් එගොඩවීම අරමුණූ කොට ගෙන ගොස් පැවිද්ද ලැබීය.

ධම්මික නම් වූ මේ මහණහු භාවනාවට ම සිත යොමු කළේ කමටහන් ලබා ගෙන වීර්ය හා ප්‍රඥාව යොදා තමාගේ පැවිදි කිස නිම කළේ ය. අරහත් ඵල සාක්ෂාත් කළේ ය. ඒ වන විට තම පුතු ද වයස් මෝරා ඇතැයි දැන සැවැත්නුවරට වැඩම කොට පුතා හමුව ඔහුට දෙසු ධර්මය අසා සසරට කලකිරුනේ පුතු ද පැවිද්ද ලැබීය. වැඩි දවස් නොයාම ඔහු ද අරහත් ඵලයට පත් වූයේ ය. මේ සියලු කාරණා සිතට ගත් ධම්මික උපාසකගේ ගිහි කල්හි වූ බිරින්දෑ ද,

“යම් කෙනෙකුන් නිසා මම මේ ගෙයි විසුවේ වෙම් ද, ඒ දෙදෙනා ම ගෙයින් පිටව ගොස් පැවිදි ව වෙසෙත්. මටත් දැන් මේ ගෙයින් වැඩෙක් නැත. මමත් පැවිදි වෙමි'යි සිතා එතුමියද ගේ හැරගොස් මෙහෙණි අරමක පැවිදි ව මහණදම් කොට කල් නොයවා ම අරහත්වයට පත්වූවාය.

දිනක් දම් සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූහු, ඇවැත්නි, බලන්න ධම්මික උපාසක තෙම තමන් දහමෙහි හැසිරීම නිසා ගොස් පැවිදි ව රහත් විය. එනිසා ම තම පුතුටත්, බිරිඳටත් පිහිටක් වී යයි කතාවක් ඇති කළහ.

එහි වැඩි බුදුරජාණන් වහන්සේ ඇවැත්නි, ඔබලා කුමන කතාවක සිටියේ දැයි විමසූ විට ධම්මික තෙරුන් වහන්සේ මාතෘකා කොට යැයි වදාළ විට භාග්‍යවතුන් වහන්සේ ඉහත ගාථාව මුල්කොට ගෙන දෙසූ ධර්මය අසා බොහෝදෙනා සෝවාන් මගඵලදායි සාක්ෂාත් කළාහු ය.