Print this Article


මිනිසත් බවින් පල නෙළමු

මිනිසත් බවින් පල නෙළමු

අපි සියලු දෙනා සත්‍ය වශයෙන්ම පුණ්‍යවන්තයෝ වන්නෙමු. ඒ ඇස, කන, නාසය, දිව සහිත ශරීරය මැනවින් පිහිටීම නිසා හෝ යමක් තේරුම් ගත හැකි මනසක් පිහිටීම නිසා නොව, මේ ෂඩ් ඉන්ද්‍රියෝ මැනවින් පිහිටා අනුත්තර වූ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය බෞද්ධයන් වීම නිසා ය.

මේ පුණ්‍යවන්තභාවය මැනවින් ෂඩ් ඉන්ද්‍රියන් පිහිටි මිනිසුන්ගෙන් උරුම වී ඇත්තේ කීයෙන් කී දෙනෙකුට ද කියා දන්නේ නම් තව තවත් සතුටු වන බව නො අනුමාන ය. අප සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර බෞද්ධයෝ නොසිටියෝ ය. එහෙයින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය දේශනා කළේ බෞද්ධයන්ට නොවේ. එසේනම් කාහට ද? අන්‍ය දෘෂ්ටීන් පිළිගත් මිථ්‍යාදෘෂ්ටික මිනිසුන් හට ය. ඒ අනුත්තර ධර්මය ඇසූ බොහෝ දෙනා පසුව බෞද්ධයෝ බවට පත්වූවෝ ය. මේ අනුව ඒ බුදුරජාණන් වහන්සේ ගිය මඟ යෑමට (නිවන් මඟ) ස්ථිරව තීන්දු කළ පුද්ගලයා බෞද්ධයෙක් වන්නේ ය. එනම් තෙරුවන් සරණ ගියෝ බෞද්ධයෝ ය. එනිසා අපිදු තෙරුවන් සරණ ගිය බෞද්ධයෝ දැයි නැවත සලකා බැලීම වටී.

සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේගේ ගිහි කල මුල් ගුරුවරයා සඤ්ජය ඇදුරු ය. අස්සජී මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් වූ උපතිස්ස තරුණයා තම යහළු කෝලිතහට ද එම ගාථාව ම කියද්දී ඔහුද ගිහි ව සිටයදී ම සෝතාපන්න විය. එම දෙදෙනා තමන් ලැබූ උතුම් ලාභය ගුරුවරයාට ද කියා

“මැණික් තිබියදී ගොමරිති පිරිමස්නා සේ නිස්සාර කටයුත්තක නියැළී සිටිතැයි පහදා දී බුදුරදුන් කරා ආව මැනවැ”යි කීහ.

“තෙපි යව මම නොයෙමි”. “ඇදුරුව විසූ මා අතවැසි වීම පමණ නම්, ආදියේ සැළක් ව (මහ හැළියක්) පියා පසුව සරළුවක් (හැන්දක්) වූවා වැන්න. එය මා ප්‍රසිද්ධ හුන් තරමට තරම් නොවෙ“ යි කීහ.

ආචාරීන් වහන්ස, සක්විති රජුගේ චක්‍රරත්නය පහළ වූ තැන පටන් ඒ සක්වළ ඇතුළත යටත් නොවන කිසිදු කෙනකුන් නැත්තා සේ, සර්වඥ නමැති සක්විත්තන්ගේ ධර්මචක්‍රය පැවැති තැන් පටන් අන් ශාස්තෘහු බොල් ය.

“දරුවෙනි, මෙලොව නුවණැත්තෝ බොහෝ වූ ද? නැතහොත් නුවණ මඳහු බොහෝ වූ දැයි විචාළේ ය. ආචාරිනී, නුවණ මඳ වූවෝ බොහෝ යැයි කී කල්හි, එලෙසිනු ද ඒ බොහෝ පිරිස් මට ය. ඒ නිසා ඔබ යව. මම නො යමි”යි කීවේ ය. පසුව බුදුරදුන් හමුවට ආ මේ දෙදෙනා ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලබා සඤ්ජය ඇදුරු පිළිබඳ තොරතුරු කියා සිටියහ.

“අසාරෙ සාරමතිනො - සාරෙ චාසාරදස්සිනො
තෙ සාරං නාධිගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගොචරා”

“සාරඤ්ච සාරතෝ ඤත්වා - අසාරඤ්ච අසාරතෝ
තෙ සාරං අධිගච්ඡන්ති - සම්මා සංකප්ප ගොචරා”

“අසාරය සාර වශයෙන් දකින - සාරයෙහි අසාරය දකින මිථ්‍යා සිතිවිලි ඇති අඥාන පුද්ගලයෝ සාරධර්ම නොලබත්.”

සාරය සාර සේ දැන, අසාරය අසාරය සේ දැන වෙසෙන යහපත් සිතිවිලි ඇති ප්‍රාඥයෝ සාරධර්ම ලබත්. (ධම්මපදය 11 - 12 ගාථා)

එවිට සඤ්ජය පිළිබඳ මෙසේ වදාළ බුදුරදුන් මෙලොව වසන බොහෝ ජනයා තමන්ගේ දැනීමේ වරද නිසා සාරධර්ම නොලබන අඥාන පුද්ගලයන් වන හෙයින්, අසාරය අසාරය වශයෙන් ද, සාරය සාරය වශයෙන් ද දැන යහපත් සිතිවිලි ඇති ප්‍රාඥයන් බවට පත්ව සියලු දුකින් මිදී රහත් භාවයට පත්වන අයුරු අපට දේශනා කළ සේක.

මේ බව නැවත සිතීමට කාලය එළඹ ඇත. පින්වත්නි, කෙනෙක් ඉපදීම නිසා ම තමන් කිසිසේත් කැමැති නැති මහලු භාවය නම් වූ ජරාවට යති. රෝග නම් බිජු දැමිය හැකි කැදැල්ලක් බඳු වූ ශරීරයක් ලැබ නිරතුරුව ලෙඩට ගොදුරු වෙති. තණ්හාව නමැති සැඩපහර ඇති නදියක් බඳු ව තණ්හාව ඉතිරි ව මරණය කරාම යති. මේ ජරා, ව්‍යාධි, මරණ සියලු දුක්ඛයෝ උපන් නිසාම හටගත්තෝ ය. මේ අසාර ධර්මතා අසාර වශයෙන් යම් දිනක අපි අවබෝධ කළෙමු ද එදාට අපි බුදුන් වහන්සේ ගිය මඟට පිළිපන්නෝ වෙමු.

පින්වත්නි, සෘද්ධි විෂය, බුද්ධ විෂය, කම්ම විෂය හා ලෝකය පිළිබඳ විෂය යමකුට සිතා අවසන් නොකළ හැකි සතර අචින්තෙය්‍ය විෂයයන් බව බුද්ධ දේශනාවකි. මේ අනුව මේ ලෝක ධාතුවේ ආරම්භය කවරකුහට හෝ සිතා අවසන් කරන්නට නොහැකි බව මෙයින් අදහස් වේ. ඛුද්දක නිකායට අයත් බුද්ධවංශපාළි හා චරියාපිටක පාළියෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේ තෙක් අටවිසි බුදු කෙනකුන් වහන්සේ පිළිබඳ ප්‍රවේණි විස්තර කථාව එහිලා සඳහන් ව ඇත.

බුදු කෙනකුන් ලොව පහළ වන්නේ ඉතා කලාතුරකින් බව ඇති සඳහනත්, අප ගෞතම බුදුරජාණන් දීපංකර බුදුන් වහන්සේ පාමුල ප්‍රාරම්භක නියත විවරණය ලැබ එතැන් සිට කාශ්‍යප බුදුරජු දක්වා වූ සූවිසි බුදුරජුන් හමුවේ විවරණ ලැබූ අයුරුත්, ඒ සඳහා සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් සමතිස් පෙරුම් දම් පිරූ කාලයත් සලකා ගතහොත් පමණක් මේ ලොවේ සත්ත්ව ප්‍රජාවගේ පැවැත්ම කො තරම් ඈතට යැවිය හැකි වේද? මෙපමණක් නොව ශාසනවංශ කථාවේ එන පරිදි දීපංකර බුදුරදුන්ට ද පෙරාතුව තණ්හංකර, මේධංකර හා සරණංකර බුදුවරයන් වහන්සේ ද, ඊටත් පෙරාතුව ලක්ෂ සංඛ්‍යාත බුදුවරු ද මේ ලෝක ධාතුව තුළ පහළ වී සිටි බවත් සඳහන් වීම අනුව මේ සත්ත්ව සන්තතියේ ආරම්භය කෙදිනක දැයි බුද්ධ විෂයට ද හසු නොවන කල අන් කවරෙක් හෝ කීමට සමත් වේ ද?

පින්වත්නි, අපේ ධර්මය අනුව මේ සත්ත්ව ප්‍රජාව යනු කවරෙක්ද? අන්‍ය කවරකු හෝ විය හැකි ද? මේ සත්ත්ව සංඛ්‍යාව තුළ අප නැත් ද? දීර්ඝ සසර පුරා සත්‍ය ලෙස අපිදු මෙහි සිටිමු.

චිත්ත සන්තතිය හෙවත් විඤ්ඤාණය අවසන් නොකළ, තණ්හාව ක්ෂය නොකළ ආස්‍රව (කෙලෙස්) ක්ෂය නොකළ (ආස්‍රවක්ෂය) හා අරහත්වයට පත් නොවූ සියලු සත්ත්වයෝ මේ කල්ප ලක්ෂ දසදහස් ගණන් පැරැණි ලෝකධාතුව තුළ මැරෙමින් ඉපදෙමින් නැවත නැවත මේ ලොව සැරිසරති. මේ තමා අප අසා තිබෙන දීර්ඝ වූ සංසාරය. අපිදු මේ සා දික් වූ සසර අනන්ත කාලයක් ජරාවට යමින් ව්‍යාධියට හා මරණයට පත්වෙමින් සැරිසරන්නෝ වෙමු. මෙසේම අනන්ත බුදුවරු මේ අනුව සසරේ දී අපට හමුවන්නට ඇත. නමුත් එයින් අපි පලයක් නොලැබූ බව දැන් දනිමු. දැනුදු අපට බුදුවරයෙක් හමුව ඇත. මුලින් සඳහන් වූ පරිදි බෞද්ධයන් ද වී සිටිමු. මෙවර ද ඒ ලැබී ඇති උතුම් භාග්‍යයෙන් ප්‍රයෝජනයක් නොගතහොත් අවුරුදු 80000ක් ආයුෂ ඇති මෛත්‍රී බුදුන්වහන්සේ අපට නැවත මේ සසර දී මුණගැසීමට කොපමණ කලක් නැවත සසරගත කිරීමට සිදුවේ දැයි යමෙක් නො සිතයි නම්, එතරම් මුළාවක්, මෝහයක් අවිද්‍යාවක් තවත් තිබේ ද?

එහෙයින් පින්වත්නි, මාර්ගඵල කෙළවර රහත් ව සසර අවසන් කිරීමට හැකියාව තිබියදී සසර සැරිසරන සත්ත්ව ප්‍රජාව කෙරෙහි අනුකම්පා කොට කරුණාවෙන් ම අප වෙනුවෙන් සසර ඉපදෙමින් පැමිණි ඒ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාළ ධර්මය අසා බහුශ්‍රැතව ශ්‍රද්ධාව උපදවා, ධර්මයේ හැසිරෙමින් සසරින් මිදීමට කටයුතු කොට කළගුණ සලකමු.

යමෙක් මෛත්‍රී බුදුන් දක්වා සසර විසීමට අනුශාසනා කරන්නේ නම්, සිතන්නේ නම් ඒ අප බුදුපියාණන්ට සිදුකරන මහත් අගෞරවයකි. මුළාවෙහි වැටීමකි. බුද්ධ වන්දනාව තිබියදී බෝධිසත්ව වන්දනාවට යෑමකි.

සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝධිසත්ත්වයකු තුළ තිබිය යුතු අභිනීහාර අෂ්ට ධර්මයන්ගෙන් ඒ ජීවිතයේ දී ම අරහත් බව ලැබීමට තරම් කුසල ශක්තිය තිබීම එකෙකි. මේ මහා භද්‍ර කල්පයට සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නුවර සුමේධ නම් බමුණෙක් ව වාසය කොට සියලු ශිල්ප ඉගෙන මවුපියන් අවෑමෙන් කෙළගණන් ධනය දන් දී පැවිදි ව ධ්‍යානාභිඥාවන් ලබා අහසින් පවා යා හැකි සුමේධ තවුසා ව සිටි අප මහා බෝධිසත්ත්වයන්ට තිබුණි. මේ දීපංකර බුදුරදුන් පහළව සිටි කල්හි ය. බුදුරදුන් වඩින මඟ සැකසීමට තමා භාර ගත් කොටස පිළියෙල කොට නිම කිරීමට පෙර වැඩි බුදුරදුන් හට මඩ නො පාගා මා පිටින් වඩින සේක්වා’යි මඩ මත වැතිර සිටියදී

“මොහු මහා සත්පුරුෂයෙකි. නිතර හමුවන මිනිසෙක් නොවේ.” ආදී වශයෙන් මොහු බුදු වන්නට පෙරුම් පුරන්නෙකි. අනාගතයෙහි “ගෞතම” නමින් බුදුවන්නේ මොහු යැයි දීපංකර බුදුරදුන් එදා වදාළේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේට ය.

එතැන් පටන් මංගල, සුමන, රේවත, සෝභිත.... කෝණාගමන, කාශ්‍යප යනාදී තෙවිසි බුදුරජාණන් වහන්සේ හමුයෙහි පිළිවෙළින් විජිතාවී සක්විති ව, සුරුඩී බමුණුව, අතුල නා රජ ව... පබ්බත රජ ව හා ජෝතිපාල මානවක ව (ම.නි. ඝටීකාර සූත්‍රය) විවරණය ලබමින් වෙස්සන්තර රජු ව සිට කෙළවර තුසිත දෙව්ලොව ඉපිද දෙවියන්ගේ ආරාධනයෙන් පස් මහා බැලුම් බලා දෙව්ලොවින් චුත ව මහමායා දේවීන් කුස පිළිසිඳ දසමස් ඇවෑමෙන් වෙසක් මස පුරපසළොස්වක පොහෝ දිනක ලුම්බිණි සල්වනේ මවු කුසින් බිහි වූවෝ අප මහා බෝසතාණෝ ය. මෙසේ බිහිව කෙමෙන් වැඩී, යසෝධරාවන් සමඟ දෙව් සිරි වැනි රජ සිරි විඳ, සතර පෙර නිමිති දැක, ඉපදීම නිසා මේ සියලු දුක් ඇති බව දැනී, පැවිදි ව සය අවුරුද්දක් වනයෙහි දුකින් මිදිය හැකි සත්‍ය සොයමින් ඇවිද අනේක දුක්විඳ සුජාතාව දුන් ක්ෂීර දානය වළඳා, සොත්ථිය බමුණා දුන් කුස තණ බෝ මුල එළා වජ්‍රාසනයක් සේ පළඟ බැඳ වැඩ හිඳ ත්‍රිවිද්‍යාවබෝධයෙන් වෙසක් මස පුර පසළොස්වක පොහෝදා සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ අප වෙනුවෙන් සසරෙහි දුක් විඳි අප බුදුරජාණන් වහන්සේ ය.

මෙසේ බෝ මැඩ ම සත් සතියක් ගෙවා සහම්පති මහා බ්‍රහ්මාරාධනාවෙන් කසීරට බලා යන්නේ, උපක ආජීවක සමඟ ද සාකච්ඡා කොට බරණැස ඉසිපතනයෙහි දී පස්වග තවුසන් හමුව දම්සක් පැවැත්ම කොට එහි රැස්ව සිටි අටළොස් කෙළක් දෙව් බඹුන්හට ද අමා පැන් පෙවුවෝ අප මහ බුදුරජාණන් වහන්සේ ය. යසකුල පුතුන් ප්‍රධාන යහළුවන් සිව් පනස් දෙනකුන් ද ඒහි භික්ෂුභාවයෙන් පැවිදි කොට හැට නමක් රහත්හු හැට මඟක යවා තමන් වහන්සේ ද, උරුවෙලට වැඩ උරුවෙලෙහි සිටි තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක්හු ජටිලයන් අරහත්වයට පත්කොට බිම්සර රජු පිදූ වේළුවනය පිළිගෙන රජු සෝතාපන්න කොට පියා එවූ කාÁදායි ප්‍රධාන දසදහසක් දූතයන් පැවිදි කොට අරහත්වයට පත්කොට බුදුවී වසරක් ගතවීමටත් පෙර විසිදහසකට අධික පිරිසක් අරහත්වයට පත්කොට සසර ගමනින් මුදා ගත්තේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය.

මෙසේ බුද්ධත්වයෙන් පසු පන්සාළිස් වසක් පුරා වැඩ සිටිමින් සුවාසු දහසක් ධර්මස්කන්ධයෝ දෙසමින් අනන්ත ගුණ පතුරුවමින් ධර්ම විනය දෙක ගුරුතන්හිලා එය පවත්නා තෙක් රහතුන්ගෙන් ලොව හිස් නොවන බව අනුශාසනා කොට කුසිනාරාවේ මල්ලව රජ දරුවන්ගේ සල් උයනෙහි සල් රුක් දෙකක් අතර වැඩ හිඳ වෙසක් මස පුර පසළොස්වක පොහෝ දිනක අනුපාදිසෙ පරිනිබ්බාණ ධාතුයෙන් පිරිනිවී වදාළේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයකට පෙරාතුව රහත් ව පිරිනිවීමට හැකියාව තිබූ අප වෙනුවෙන් සසර දුක් විඳි අපගේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය.

මෙවන් පුරුෂෝත්තමයකුගේ ශ්‍රාවක පිරිසක් වූ අපි ඒ අනුත්තර ශාස්තෘන් වහන්සේ අනුදැන වදාළ දහම් මඟ නො සොයන්නෙමු නම්, ලාභ සත්කාර හා මුළාවීම් මත සසර යන්නෙමු නම් අපි බෞද්ධයෝ දැයි නැවත සිතිය යුතු නොවෙමු ද? අපි ලෞකික සම්මා දිට්ඨියෙන් දස පුණ්‍ය ක්‍රියා හා දස කුසල් කොට මනුෂ්‍යත්වය රැක ගමු. ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් ආකාරවතී ශ්‍රද්ධාව වඩා මනුෂ්‍ය ධර්මයට වැඩි උසස් උත්තරීතර මනුෂ්‍ය පල ලබමු.