හාත්පසම රැකවරණය දෙන අංගුලිමාල පිරිතේ තේජස
පිරිත කියන්නේ කුමක්ද යන්න අටුවාචාරීන් වහන්සේ අරුත් ගන්වා තිබෙන්නේ හාත්පස ආරක්ෂාව
රැකවරණය සදනවා කියන අදහස යි. පිරිත බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාළ දහම් කොටසක්.
ඒ දහම් කොටස්වලින් අපට ආරක්ෂාව, රැකවරණය ආකාර කිහිපයකින් සැලසෙනවා.
පිරිතේ ආනුභාවය සත්‍යයක් ලෙස අපි මුලින් ම තේරුම්ගත යුතු වෙනවා. බුද්ධ දේශනාවේ
තිබෙන්නේ සත්‍ය පමණ යි. හිස් වචන, ප්‍රලාප, බොරු, මිථ්‍යා මත එහි සඳහන් ව නැහැ.
එනිසා ම පිරිතේ එන සත්‍ය වචනය, සත්‍ය බලය ලෝකයට සංවේදී වුණා. ඒ තුළ තිබෙනවා සත්‍ය
ක්‍රියාවේ බලයක්. මෛත්‍රියක්. සත්‍යයේ තේජස මේ පිරිත තුළ තිබෙන බව මූලධර්මවල සඳහන්
ව තිබෙනවා.
එනිසා නිතර නිතර පිරිත් සජ්ඣායනා කිරීමෙන් ශ්‍රාවකයාට පුදුමාකාර ආරක්ෂාවක්,
රැකවරණයක්, සැනසීමක්, සෙතක්, පිහිටක් සැලසෙනවා. අතීතයේ සිටි අපේ මුතුන් මිත්තෝ එසේ
පිරිත තුළින් පිහිට, ආරක්ෂාව සලසා ගෙන තිබෙනවා. පිරිත තුළින් සිව්වනක් පිරිසට ම
ආරක්ෂාව සැලසෙන බව භාග්‍යවතුªන් වහන්සේ ආටානාටික පිරිත අනුමත කිරීමෙන් පැහැදිලි කොට
වදාළා.
ඒ වගේම වර්තමානයට වඩා අතීතයේ ජීවත් වූ බෞද්ධයා අහිංසාවාදී ලෙස හැම කටයුත්තක දී ම
පිරිත පිහිට කොට ගෙන තිබෙනවා. ලෙඩකට දුකකට, ගොවිතැනට, ගමනක් යන විට, දරුවාගේ
අධ්‍යාපන කටයුතුවල දී, විවාහ ආදී කටයුතුවල දී පවා පිරිත සජ්ඣායනා කොට ආශිර්වාද ලබා
ගෙන තිබෙනවා. එලෙසම තමාට ඇතිවන දුක් වේදනා, බිය, තැති ගැනීම් ඇතිවන සෑම තැනක දී ම
පිරිත තුළින් සුවපත් භාවය ලබා ගෙන තිබෙන බව පොතපත තුළින් පවා අපි දන්නවා.
අද අපි කතා කරන්නේ අංගුලිමාල පිරිතෙන් සෙතක් ශාන්තියක් සලසා ගත හැක්කේ කෙසේද?
කියායි. අංගුලිමාල පිරිත ගැන මිථ්‍යා මත ද සමාජය තුළ නැතුවා ම නොවෙයි. එම පිරිතේ
අර්ථය තේරුම් ගැනීමේ කිසියම් අඩුවක් තිබෙන බවත් පැහැදිලියි.
අංගුලිමාල පිරිත සිංහල අර්ථවලින් තේරුම් ගතහොත් එහි තිබෙන්නේ සම්පූර්ණයෙන් ම සත්‍ය
ක්‍රියාවක්.
අංගුලිමාල තෙරණුවන්ගේ ගිහි කල නම අහිංසක. ඔහු ඉපදුණ දිනයේ මුළු රජ මැදුරේත්,
නගරයේත් තිබෙන ආයුධ දිලිසුණා. අතීතයේ සිදුකළ මහා පුණ්‍ය බලයක් ද සහිතවයි අහිංසක
කුමරු මනුලොව ඉපදුණේ. රජතුමාගේ පඬිවරු කියා සිටියා රජතුමනි, ඊයේ මේ නගරයේ ඉපදුණ
බිළින්දෙක් නිසයි මෙසේ වුණේ. ඔහු තරුණ කාලයේ මහා දාමරිකයෙක් වෙනවා කියා. ඒ අනුව
පෙරදා උපන් කුමරා කවුදැයි සොයා බලද්දී ගග්ග නම් රජුගේ පුරෝහිතයාට දාව මන්තානි නම්
බැමිණිය පුතකු බිහිකර තිබුණා. පඬිවරුන්ගේ ඒ වචනය නිසාම ඔහුට අහිංසක ලෙස නම තැබුවා.
අහිංසක කුමරු හොඳින් ශිල්පය හැදෑරුවා. නමුත් එක්තරා පාපී පිරිසක් නිසා අහිංසක
කුමරුට අංගුලිමාල වෙන්න සිදු වුණා. එහෙත් ඔහුගේ පෙර කළ පින නො නැසී පැවතුණා. මව මරා
ආනන්තරීය පාප කර්මයක් සිදු කර ගන්නට යන අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ මහා වනයට
වැඩම කර අංගුලිමාල බේරා ගත්තා. අංගුලිමාල බුදු සසුනේ පැවිදි වුණා. නමුත් උන්වහන්සේ
සිදු කර ගත් අකුසලය සුළු වශයෙන් විපාක දුන්නා. ඒ තෙරුන් පිණ්ඩපාතය සඳහා නගරයට
වඩිද්දී මිනිසුන් ගසකට ගල්, මුගුරු ගැසුවත් එය ස්වාමීන් වහන්සේගේ හිසට වැදුණා. ලේ
පෙරාගෙන, සිවුරු ඉරාගෙන, පාත්‍රය බිඳගෙන ජේතවනාරාමයට වැඩියා.
භාග්‍යවතුන් වහන්සේ වදාළා, “ඉවසන්න, විපාකය ඵල නොදී ගෙවී යාමක් නැහැ” කියා.
මිනිසුන් උන්වහන්සේට බොහෝ නින්දා අපහාස කළා. පිඬුසිඟා වඩිද්දී මේ අපගේ අම්මා,
තාත්තා, සහෝදරයා මරපු ශ්‍රමණයා කියා බැණ වැදී එළවා ගත්තා. දානය නොදී සිටියා. ඒ සෑම
අවස්ථාවක දී ම උන්වහන්සේ ඉවසුවා. තමා කළ වැරැදිවලට තිබෙන දඬුවම දරා ගත්තා. මේ බව
මජ්ක්‍ධිම නිකායේ අට්ඨකතාවේ අංගුලිමාල සූත්‍රය තුළ පැහැදිලි ව සඳහන් වෙනවා.
උන්වහන්සේ ඉතා දුෂ්කරවයි ජීවිතය ගත කළේ. අංගුලිමාල තෙරණුවෝ භාවනාවට වාඩි වුණාම
සිහිපත් වුණා තමන් මිනිසුන් මරපු හැටි, දරුවෝ කෑ ගසන හැටි, වැඩිහිටියන් ජීවිත දානය
ඉල්ලා හඬා වැටෙන හැටි, ජීවිතය රැක දෙන්න කියලා මිනිසුන් නගපු විලාපය උන්වහන්සේගේ
සිතේ දෝංකාරය දුන්නා. මිනිසුන් කෙරෙහි බලවත් අනුකම්පාවක් ඒ සිතේ ඉපදුණා.
භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා මත සිත ටික ටික දමනය වුණා. පසුතැවීම දුරු වුණා. කළ
අකුසල් අමතක කළා. ලැබී තිබෙන පුණ්‍ය නිධානයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කළා.
දිනක් උන්වහන්සේ පිණ්ඩපාතයට නගරයට වැඩම කළ දිනක එක් ගර්භනී මවක් දරු ප්‍රසූතිය කර
ගත නොහැකි ව, දරුගැබ සිරවී වේදනාවෙන් කෑ ගසන හඬ උන්වහන්සේට ඇසුණා. සංවේගයට පත්වුණා.
ඒ සිතේ කරුණාව ඉපදුණා. වහාම පිණ්ඩපාතය නවතා භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කළා.
“ස්වාමීනි, එක් මවකගේ දරුගැබ සිර වී ප්‍රසූත වේදනාවෙන් විලාප දෙනවා. අපට ඇයට පිහිට
වීමට නො හැකි ද?” කියා ඇසුවා. බුදුරජාණන් වහන්සේ වදාළා.
“අංගුලිමාල, ඔබ ඒ මව වෙනුවෙන් සත්‍යක්‍රියාවක් කරන්න.”
“ස්වාමීනි, එසේ කරන්නේ කෙසේද?
“අංගුලිමාල, ඔබ ඉපදුන දිනයේ පටන් කිසිදු සතකුගේ ප්‍රාණයට හානියක් කළේ නැහැ. ඒ
සත්‍යානුභාවයෙන් මැය සුවපත් වේවා” කියා ඒ මව වෙත ගොස් කියන්න.
“අනේ භාග්‍යවතුන් වහන්ස, මේ දෑත්වල කො තරම් නම් ලේ තැවරී තිබෙනවා ද? මගේ දෑතේ නිතරම
ආයුධයක් තිබුණා. මම කොහොමද එහෙම සත්‍යක්‍රියාවක් කරන්නේ?”
“එසේ නම් අංගුලිමාල ඔබ මෙසේ සත්‍යක්‍රියාවක් කරන්න. “මම චීවරයක් දරාගෙන ආර්ය ජාතියේ
උපන් දා පටන් දැන දැන කිසිදු ප්‍රාණියකුගේ ජීවිතයක් තොර කළ බව මම නො දනිමි. ඒ
සත්‍යානුභාවයෙන් මැය සුවපත් වේවා. කුසේ සිටින දරුවා සුවසේ බිහිවේවා. යැයි කියා
සත්‍යක්‍රියාවක් කරන්න යැයි වදාළා.
අංගුලිමාල තෙරණුවෝ වහාම ඇය වෙත ගියා. ගර්භනී මව අසල දී මෙසේ වදාළා.
පරිත්තං යං භණන්තස්ස
නිසින්නට්ඨානධොවනං
උදකම්පි විනාසේති
සබ්බමේව පරිස්සයං
සොත්ථිනා ගබ්භවුට්ඨානං
යංච සාධේතිතංඛණේ
ථේරස්සංගුලිමාලස්ස
ලෝකනාථේන භාසිතං
කප්පට්ඨායි මහා තේජං
පරිත්තං තං භණාමහේ
යථෝහං භගිනි, අරියාය ජාතියා ජාතෝ නාභිජානාම්, සඤ්ච පාණං ජීවිතා වෝරෝපේතා, තේන
සච්චේන සොත්ථි තේ හෝතු සොත්ථි ගබ්භස්සාති.
ඒ අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩ හිඳ යම් පිරිතක් දෙසා වදාළ තැනක් වේ ද එම තැන සේදූ
දිය පවා සියලු පීඩා දුරු කර දමන්නේ ය. ගර්භනී මාතාවක් යම් දුකකින් පෙළෙයි නම්, ඒ
දුක සැණෙකින් බැහැර වී සුවපත් ව නැඟිටින්නේ ය. ලෝකනාථ වූ භාග්‍යවත් බුදුරජාණන්
වහන්සේ විසින් කල්පයක් බල පවතින මහා තේජසින් යුතු ව ආඥා කොට අංගුලිමාල මහරහතන්
වහන්සේ විසින් වදාරණ ලද ඒ අංගුලිමාල පිරිත අපි දැන් කියන්නෙමු.
පින්වත් නැඟණියෙනි, යම් දිනෙක මම උතුම් නිවනට පමුණුවන මාර්ගඵලලාභී ආර්ය ජාතියේ උපත
ලැබුවෙම් ද? එදා සිට දැන දැන ප්‍රාණියකු ජීවිතයක් තොර කළ බවක් නො දනිමි. මේ
සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! දරු ගැබට සෙත් වේවා!
පුදුමයකි, ඒ සත්‍යක්‍රියාව අවසන් වනවාත් සමඟම ඇගේ කුසේ සිටි දරුවා මෙලොවට බිහි
වුණා. මවත්, දරුවාත් සුවපත් වුණා.
මේ සිදුවීම නගරය පුරා, රට පුරා වේගයෙන් ප්‍රසිද්ධ වුණා. අංගුලිමාල තෙරණුවෝ කළ සත්‍ය
ක්‍රියාවෙන් මවකගේ සහ දරුවකුගේ ජීවිතය බේරුණා කියලා ප්‍රසිද්ධ වුණා. එතැන් පටන්
මිනිසුන් අංගුලිමාල තෙරණුවෝ කෙරෙහි තිබූ වෛරය ටිකෙන් ටික අඩු කර ගත්තා. ගල්මුල්
ගැසීම, නින්දා කිරීම, අපහාස කිරීම නතර වුණා. අනෙක් භික්ෂූන් වහන්සේට මෙන් අංගුලිමාල
තෙරණුවන්ට ද මිනිසුන් ආදරය කළා. දන්පැන් පූජා කළා.
මේ සිදුවීමෙන් පසුව සෑම ගැබිනි මවකට ම ඒ සිදුවීම සිදු වූ ස්ථානය සෝදා ඒ ජලය බීමට
දීමෙන් දරුවා සුව සේ බිහිවන බව ඔවුන් තරයේ විශ්වාස කළා. එතැනට රැගෙන යාමට නොහැකි
මව්වරුන්ට ඒ ස්ථානය සෝදා ජලය ගෙන ගොස් හිසට වත්කළ සැණින් දරුවා සුව සේ බිහි වුණා. ඒ
සත්‍ය ක්‍රියාවේ එතරම් බලයක් පිහිටා තිබුණා. එය බලසම්පන්න සත්‍ය ක්‍රියාවක් වුණා.
තථාගතයන් වහන්සේගේ උපදෙස් පරිදි අංගුලිමාල තෙරණුවෝ ඒ පිරිත වදාළ බවයි සඳහන් වන්නේ.
එනිසා අංගුලිමාල පිරිතේ තිබෙන සත්‍යානුභාවය ඔබ ශ්‍රද්ධාවෙන් පිළිගන්න. ඒ ගැන දැඩි
විශ්වාසයක් තබන්න. ශ්‍රද්ධාවෙන් එය සජ්ඣායනා කරන්න. එසේ නො වුණොත් එයින් පිහිටක්
බලාපොරොත්තු වෙන්නත් බැහැ. පිරිත කියන්නේ හාත්පස රැකවරණය සදන දෙයක්. එනිසා අප ඒ
පිරිතේ අර්ථ වටහා ගෙන සජ්ඣායනා කිරීමෙන් එහි උපරිම ඵලය නෙළා ගන්නට අවස්ථාවක්
තිබෙනවා.
ඒ වගේම අපේ සමාජයේ තවත් තිබෙන මතයක් තමයි අංගුලිමාල පිරිත ගැබිනි මව්වරුන්ට කියන
පිරිතක් කියලා. නමුත් එහි නිවැරැදිතාවක් නැහැ. අපේ මුතුන් මිත්තෝ අංගුලිමාල පිරිතට
කිව්වේ මහා පිරිත කියලයි. වර්තමානයේ මහා පිරිත ලෙස මංගල සූත්‍රය, රතන සූත්‍රය,
කරණීයමෙත්ත සූත්‍රය ලෙස හැඳින්වූවත් අතීතයේ මහ පිරිත කියන වචනයෙන් අංගුලිමාල පිරිත
හැඳින්වූවා. මෙතරම් මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිත හැම දෙයකට ම සුදුසුයි කියන දේ
මජ්ක්‍ධිම නිකායේ අට්ඨකතාවේ සඳහන් වෙනවා. බොහෝම ශ්‍රද්ධාවෙන් පිරිත භාවිත කිරීමෙන්
අදටත් එහි ප්‍රයෝජන ගන්නට පුළුවන්කම තිබෙනවා. අංගුලිමාල පිරිතෙන් කියැවෙන සත්‍ය
ක්‍රියාව ලෝකයේ කල්පයක් පුරාවට පවතිනවා. උවදුරු දුරු කර ගැනීම පිණිසත්, ලෙඩදුක්
දුරුවීම පිණිසත්, මානසික සුවය පිණිසත් මහානුභාව අංගුලිමාල පිරිතේ ආනුභාවය ඔබත්
අත්විඳින්න.
අංගුලිමාල තෙරුන් වහන්සේ රහත් වූ පසුව වැඩිපුර ම කාලය ගත කළේ මහා වනයේ භාවනානුයෝගිව
යි.
එනිසා අපත් වරදින් අත මිදෙන්නටත්, කුසලයේ සිත පිහිටුවා ගන්නටත් ඒකාන්තයෙන් ම මේ
දුක්ඛිත සසරින් එතෙර වීමටත් අංගුලිමාල මහරහතන් වහන්සේට වන්දනා කරමු.
- නයනා නිල්මිණී |