Print this Article


උතුම් නිර්වාණය ස්පර්ශ කරන්නෝ අප්‍රමාදී වූවෝ ය

උතුම් නිර්වාණය ස්පර්ශ කරන්නෝ අප්‍රමාදී වූවෝ ය

“අප්පමාදො අමතපදං - පමාදො මච්චුනො පදං
අප්පමත්තා න මීයන්ති - යෙ පමත්තා යථා මතා”

“නො පමා බව නිවනට මඟ ය. පමා බව මරණයට මඟ ය. නො පමා වූවෝ නො මියෙති. පමා වූවෝ මළවුන් වැනි වෙති.”

“එතං විසෙසතො ඤත්වා - අප්පමාදමහි පණ්ඩිතා
අප්පමාදෙ පමොදන්ති - අරියානං ගොචරෙ රතා.”

“යමකු (ඉහත) කරුණු වෙසෙසින් දැන ආර්ය ගෝචර වූ නොපමා බවෙහි ඇලී නුවණැත්තෝ ව අතිශයින් සතුටු වෙති.”

“තෙ ඣායිනො සාතතිකා - නිච්චං දළ්හ පරක්කමා,
ඵුසන්තිධීරා නිබ්බාණං යොගක්ඛෙමං අනුත්තරං”

“කායික මානසික දැඩි වීර්යය නිතර ඇති, ධ්‍යාන වඩන සුලු වූ, ඒ නුවණැත්තෝ (කාම, භව, දිට්ඨි, අවිජ්ජා) චතුර්විධ යෝගයන්ගෙන් (එතෙර ව)නිර්භය වූ උතුම් නිර්වාණය ස්පර්ශ කරති.” ධම්මපද ගාථා අංක 21, 22, 23 (අප්පමාද වග්ගය 1, 2, 3)

“අප්‍රමාදය” යනු වර්තමානයෙහි පවත්නා සිහියෙන් වෙන් නො වී, සිහි ඇතිව කෙරෙන කායික වාචසික සුචරිත ධර්ම වෙත් නම් ඒ සියල්ල වෙති. ඒ අතර තථාගතයන් වහන්සේ අග්‍ර යැයි කියනු ලැබූ යම්කිසි කුසල ධර්මයෝ වෙත් නම්, ඒ සියලු කුසල ධර්මයෝ අප්‍රමාදය මුල් කොට ඇත්තෝ ය. අප්‍රමාදය පිහිට කොට ඇත්තාහ. අප්‍රමාදය ඔවුනට අග්‍ර යැයි කියනු ලැබේ. මෙයින් පෙනෙනුයේ සියලු ධර්මයන් අතුරෙහි අප්‍රමාදය ශ්‍රේෂ්ඨ බව ය.

මහණෙනි, ඇවිදින සත්ත්වයන්ගේ පාදයෝ හස්තියාගේ ඇත් පියවරෙහි යම් සේ ඇතුළත් වේ ද එමෙන් යම්කිසි කුසල ධර්මයෝ වෙත් නම්, අප්‍රමාදය මුල් කොට ඇත්තේ ය. කූටාගාර ශාලාවක සියලු පරාල එහි කැණිමඩල වෙත නැමී යම් සේ ප්‍රධාන වේ ද, මුල් සුවඳ අතුරෙහි කලුවැල් සුවඳ (අගිල්) යම් සේ ප්‍රධාන වේ ද, සාර (කඳ) සුවඳ අතුරෙහි රත්සඳුන් සුවඳ යම් සේ ප්‍රධාන වේ ද, පුෂ්ප ගන්ධයන් අතුරෙහි දෑ සමන් මල් සුවඳ යම් සේ ප්‍රධාන වේ ද, ලෝකයෙහි රජුන් අතුරෙහි සක්විති රජ තෙමේ යම් සේ ප්‍රධාන වේ ද, අහසෙහි සූර්ය තෙමේ සියලු අඳුරු දුරු කොට බබළමින් යම් සේ ප්‍රධාන වේ ද, සප්ත මහා ගංගාවන්ට මුහුද යම් සේ ප්‍රධාන වේ ද, සියලු කුසල ධර්මයන්ට අප්‍රමාදය ම ප්‍රධාන වේ.

“අමත” නම් පදයෙන් ඉපදීමක්, මරණයක්, විපරිනාමයක්, මෙහි නැත යන තේරුමක් දෙයි. සත්ත්වයාගේ සසර ඇවිදීම යම් ස්වභාව ධර්මයකට පැමිණ නවතාලුයේ නම්, ඒ නැවැත්ම සිදුකළ ධර්ම ශක්තිය නිවන යි.

මෙසේ වූ කල යම් පදයක් මේ නිවනට කරුණු වූයේ ද, නිවන් ලැබීමේ හේතුව වනුයේ ද එය “අමතපදං” නම් වේ. එනම් අප්‍රමාදය යි.

මෙවිට පමාදො යනු පමා බවයි. සිහියෙන් තොර බවයි. සිහි නැතිකමයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පස අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ගති ලක්ෂණ තුනට යටත් ව සිටියාහු ධර්මතා ය. මේවා යමෙක් නිත්‍ය, සුබ ආත්ම වශයෙන් ගත යුත්තක් සේ සිතට ගනී ද, හේ අවැඩට හේතු වෙයි. දිව්‍ය, බ්‍රහ්ම ලෝක සම්පත් වසාලයි. අපා දොර ඇරෙයි. සසර නැවත නැවැත ඉපැත්ම ගෙන දෙයි.

“එතං විසෙසතො ඤත්වා” යනු විශේෂ කොට ඉතා හොඳින් දත යුතු ය යන තේරුම දෙයි. එසේ දතයුත්තේ කුමක්ද? අප්‍රමාදය නිවනට මඟ බව ය. එය ද යම් පමණකින් නොව විශේෂයෙන් දත යුතු ය. මෙසේ නොපමාවෙහි පිහිටියාහු පණ්ඩිතයෝ ය. ‘අප්පමාදම්හි පණ්ඩිතා’, කිසිත් අකුසලයක නොයෙදෙන්නේ නම් හේ පණ්ඩිත ය.

තව ද මෙහි 3 වැනි ගාථාවේ එන “ඣායිනො” විශේෂ අරුත් ඇති පදයකි. ධ්‍යාන යනු වඩන්නා වූ තේරුම දෙයි. ධ්‍යාන නම් විතක්ක , විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන පංච ධර්ම එක්කොට ගැනීමයි. විතක්ක නම් කුසල ම ය චිත්ත චෛතසික ධර්මයන් අරමුණු කොට ගැනීමයි. විචාරය නම් ඒ අරමුණෙහි හැසිරීමයි. එම අරමුණු සහිත සිත පිනා යෑම පී‍්‍රතිය යි.

සුඛය නම්, පළමු තෙකරුණු පල ගැන්වීම තුළින් දැනෙන කායික සුවය යි. එසේ වූ කල්හි තම සිත අතීත හෝ අනාගත සිතිවිලි කෙරෙහි නොගොස් වර්තමාන අරමුණු කෙරෙහි ම එකඟ ව ප්‍රමාණවත් කාලයක් පවත්වා ගැනීම එකග්ගතාව යැයි. මෙසේ වූ විතර්කය චිත්ත, චෛතසික, අලසකම් නම් වූ ථීනමිද්ධය දවාලයි. විචාරය, තුනුරුවන ආදී අටතැන විචිකිච්ඡාව දවාලයි. පී‍්‍රතිය තොමෝ ව්‍යාපාදය (සිතේ සැඩ බව) දවයි. සුඛය තෙමේ උද්ධච්ච - කුක්කුච්චය (සිතේ නොසන්සුන්කම හා කුකුස) දවාලයි. ඒකග්ගතාව සිතේ කාමච්ඡන්දය නම් වූ කාමයන්හි ඇති කැමැත්ත (ආසාව) දවාලයි. මේ ධර්මතා පහ පංච නීවරණ නම් වේ. මේවා දවාලීම ධ්‍යාන නම් වේ. මේ දවාලීම කාල වශයෙන් තදංග වික්ඛම්භණ, සමුච්ඡේද, පටිපස්සද්ධි, නිස්සරණ යනුවෙන් පස් ආකාර වෙති.

චතුර්ථ ධ්‍යානය යමකු හට වේ නම්, දුකින් ම පිරි මෙලොව දී ලැබිය හැකි එක් සැප ස්වභාවයක් බව බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රයන්හි දේශනා කළ සේක. එය දෙව්ලොව සැපට ද වඩා වටින බව සූත්‍ර දේශනාවේ ඇත. “දිට්ඨධම්මික වේදනීය සුඛ” යනු මෙයයි. මෙසේ බොහෝ ධර්ම කරුණු මේ ගාථා තුන අළලා සඳහන් ව ඇත. මෙම ගාථා තුන දේශනා කිරීමට හේතු වූ අටුවා කථා කීපයක් අටුවාවේ ඇත. එකී කථා පෙළ උදේන රජුගේ උත්පත්ති කථාවෙන් ආරම්භ කරමි.

උදෙන රජුගේ උප්පත්ති කථාව

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ වැඩසිටිය දී මේ දේශනාව කළ සේක.

එකල දඹදිව අල්ලකප්ප රට අල්ලකප්ප රජු ද, වේඨකදීපකයෙහි වේඨකදීප රජු ද, රජකම් කළෝ ය. ඒ දෙදෙනා කුඩා කාලයෙහි එකම ගුරුකුලයක ශිල්ප උගත්හ. එහෙයින් වැඩිවිය පැමිණිය ද එකිනෙකා කෙරෙහි මහත් ස්නේහ ඇත්තෝ වූහ. කල්යාමේ දී මේ දෙදෙනා උපදින, ජරාවට යන, මැරෙන මිනිසුන් ගැන සිතා සසර කළකිරී රජකම් අඹුදරුවන්ට භාර දී තපස් රකින්නට හිමාලයට ගියෝ ය. එහිදී ද අපගේ අදහස් මුදුන් පමුණුවා ගන්නට නම් එක්තැන් ව කල් ගෙවීම සුදුසු නොවේ යැයි කතිකා කොට කඳු දෙකකට නැඟ පහනක් දල්වා තබා ගෙන තමන් ඇති නැති බව දත හැකි යැයි කතිකා කොට ගෙන එසේ කළහ. ටික දවසකට පසු වේඨකදීපක තවුස් කලුරිය කොට මහානුභාව සම්පන්න දිව්‍ය රාජයෙක් ව උපන. තමා ලත් මේ ඉසුරු කුමක් නිසා ලද්දේ දැයි ආපසු හැරී බලා හේතු දැක මඟියකුගේ වේසයෙන් අල්ලකප්ප තවුස් වෙත පැමිණ තොරතුරු විමසා පසුව තමා වේඨකදීපක තවුස් බවත්, කලුරිය කොට දෙව්ලොව ඉපිද මහත් යස ඉසුරු ඇති ව වෙසෙන බවත් කීවේ ය.

ඔබට තවුස්දම් රැකීමට යම් කරදර ඇද්දැයි අල්ලකප්ප තවුසාගෙන් ඇසූ විට අලි ඇතුන්ගෙන් කරදර ඇති බව කීය. ඉන්පසු හත්ථිකාන්ත මන්ත්‍රයක් හා හත්ථිකාන්ත වීණාවක් ද, වීණාවෙහි තත් තුනක් ද දක්වා මන්ත්‍රය තෙපරිදි කොට උගන්වා, ඇත්තු පලවා හරින හැටි ද, නායක ඇතා පිට නඟින අයුරු හා ඇතුන් විශාල වශයෙන් රැස් කරවන අයුරු ද කියා දී ඔබ වහන්සේට කැමැත්තක් කරන්න යැයි කියා වැඳ ගියේ ය. එතැන් සිට තවුස් තෙමේ අලි ඇතුන් ආ විට වීණා තත් ගසා මන්ත්‍රය කියා උන් පන්නා හැර සුව සේ වාසය කරන්නේ ය.

මෙකල කොසඹෑ නුවර “පරන්තප” නම් රජෙක් රාජ්‍ය කළේ ය. දිනෙක ඔහු ගැබ්බර සිය මෙහෙසිය හා උදෑසන හිරු රැස් විඳිමින් රජ මිදුලෙහි පහසු තැනක හුන්නේ ය. එවේලෙහි මෙහෙසිය රජුගේ ලක්ෂයක් වටිනා, රතු කම්බිලිය පොරවා, රජුගේ පේරැස් මුද්ද ගලවා තම ඇඟිල්ලෙහි බහාගෙන රජු ළඟ ම සල්ලාපයෙහි හුන්නා ය. මේ වේලෙහි අහසෙහි පියඹා යන ඇත්කඳ ලිහිණියෙක් රතු කම්බිලිය පොරවා හුන් මෙහෙසිය මස්වැදැල්ලකැ යි සිතා පියාපත් මහ හඬින් පහරමින් ළඟට ආයේ රජු බිය වී දුව ගොස් මාළිගාව තුළට වැදගත්තේ ය.

ගැබ්බරින් හා බියසුලු බැවින් යා ගත නො හැකි වූ මෙහෙසිය, ඇත්කඳලිහිණියා විසින් තම නියපඳුරෙහි රඳවා ගෙන අහසට නැංගේ ය.

මොහුට ඇතුන් පස් දෙනෙකුගේ පමණ ජවය ඇති හෙයින් කැමැති බරක් ඔසවා ගෙන යා හැකි ය. දේවිය බිය වී සිටි මුත් අහසෙහි දී කෑ ගැසුවහොත් ඌ බිය වී මා බිමට හෙළන්නේ ය. එහෙයින් තැනක ලැග මා කන්නට සූදානම් වුවහොත් එහි දී මොර දී පලවා හරිමි යි සිතා ඒ දුක ඉවසා සිටියා.

හිමාල වනයෙහි මණ්ඩපයක් සේ මඳක් උසට වැඩී ගිය නුග ගසක් විය. මේ ඇත්කඳලිහිණියා ගොදුරු ගිලින්නේ හැම විට ම මෙහි සිට ය. බිසව එතැනට උසුලා ගෙන ගොස් තබා සිරිත් පරිදි ආ මඟ බලන්නේ අත්පුරු ගසා බිසව මහ හඬින් මොර දෙන්නේ ලිහිණියා බියෙන් වහා පැන ගියේ ය. ඇඳිරි වැටිණි. මෙහෙසියට විලිරුදා ද හට ගැණින. සිවු දිගින් වැසි ද වසින්නට විය. කුඩා කල සිට දුකක් නො ලැබ සුව සේ වැඩුණු මැයට මුළු රැය ම නින්දක් නො වීය. පහන් විය. වැස්ස නැවතිණි. ගැබ්බරින් සැහැල්ලු වීම යන තෙකරුණු එකවිට ම සිදුවිය. එහෙයින් ම ඕතොමෝ උපන් පුතුට “උදේන” යයි නම් තැබූහ.

අල්ලකප්ප තවුසාගේ කුටිය ද මේ නුග ගස අසල ම විය. වැසි දිනවලට පලවැල සොයන්නට වනයට නොගොස්, පක්ෂීන් කා දැමූ සතුන්ගේ ඇට කැබිලි ගෙනවුත් තලා හොද්දක් සාදා බීම මොහුගේ සිරිතකි. තවුසා මෙදින ද නුග ගස මුලට ගියේ ගස උඩ දරු හඬෙක් ඇසිණි. තවුසා උඩ බලන්නේ අපහසුවෙන් ගස උඩ උන් මෙහෙසිය දැක කථා බස් කොට හඳුනා ගෙන මිනිස් දුවක් බව දැන ඇගේ අත නො අල්වා ම දෙදෙනා ගසින් බස්සා පන්සලට ගෙන ගොස් සිල් බිඳ නො ගෙන උපස්ථාන කළේ ය.

ටික දිනක් යද්දී මෙහෙසිය සිතන්නී ආ මඟක් ද, යන මඟක් නො දන්නා, තද බැඳීමකුත් නැති මා මේ තවුසා හැර ගියොත් දරුවා සමඟ මා වැනසෙතැයි සිතා තම සිරුරෙහි වැසිය යුතු - සැඟවිය යුතු තැන් පෙන්ව පෙන්වා හැඳ පොරවමින්, අත් පා මඬිමින්, කෙලි කවටකම් කරමින් තවුස් තෙමේ පොළඹවා ගෙන එක පැදුරේ වැතිර නිඳා අඹු සැමියන් සේ කල් ගෙවා ටික කලෙකින් ම තවුසාගේ සිල් බිඳ දැම්මා ය.

දවසක මේ තවුසා නැකත් තරු බලන්නේ කොසැඹෑ නුවර පරන්තප රජුගේ ජන්ම නක්ෂත්‍රයට අනුව දරුණු පීඩාවක් දැක, සොඳුර, පරන්තප රජු මළේය’යි කීය. එය ඇසූ ඕ තොමෝ ඇඬුවා ය. දීර්ඝ වශයෙන් දෙදෙනා කරුණු කතා කරමින් පරන්තප රජු තම ස්වාමියා බවත්, උදේන කුමරු රජ පුත් බවත්, ඔහුට හිමි රජය නො ලැබී යන හෙයින් දුක් වන බවත් දේවිය කීවා ය.

මෙහි දී තවුසා “සොඳුර කනස්සලු නොවන්න.” මම ඔබ පුතුට රාජ්‍ය ලබා දෙමි” යි කියා හත්ථිකාන්ත වීණාව හා එම මන්ත්‍රත් කුමරුට උගන්වා ඇතුන් විශාල ලෙස රැස් කරවා දේවිය ලවා හසුන්පතක් දී එය නො පිළිගතහොත් කම්බිලිය හා පේරස් මුද්ද ද පෙන්වා රාජ්‍ය ලබා ගන්න යැයි කුමරුට උපදෙස් දී පිටත් කළේ ය. ඔහු ද මඟ දිගට ගමින් ගමට යමින් තමා රජ කුමරු බව හඟවමින් සෙනඟ ද රැස් කරවා ගෙන රාජධානියට ගොස් කරුණු කියා පරන්තප රාජ්‍යයෙහි උදේන රජු ලෙසින් අභිෂේක ලැබීය.

මේ උදේන රජුගේ උත්පත්ති කථාවයි.

පළමු කී ධම්මපද ගාථා අංක 21, 22, 23 ට අදාළ තවත් අටුවා කතාවක් ඉතා කෙටියෙන් මෙසේ ය.

ඝෝෂක සිටුගේ උත්පත්ති කථාව

එක් අවදියක දඹදිව “අජිත” නම් රටක් වීය. එකල්හි එහි ඇති වූ දුර්භික්ෂයක් හේතු කොට ගෙන ජීවත්වන්නට ඇති අපහසුව නිසා “කොතුහලික” නම් ගෘහපතියා තම බිරිඳ “කාළි“ හා පුතු “කාපී” සමඟින් අත තිබූ මුදලුත් මඟ වියදම් පිණිස ගෙන මඟට බැස්සෝ ය. මඟ දිග් වූ හෙයින් අත තිබූ වියදම් අවසන් ව මහත් දුකින් ඉදිරියට යන්නේ සොඳුර අප දෙදෙනා නොමැරී ජීවත් වුවහොත් දරුවන් ලැබීම අසීරු නොවේ. මට නම් සාපිපාසාවෙන් තවදුරටත් මේ දරුවා ඔසවා ගෙන ගිය නොහැක. ඒ නිසා ‘මු මෙහි දමා යමු’යි කීය.

“පියෙකුගේ හදවතට වඩා මවකගේ හදවත සැබැවින් ම මොළොක් ය” යන කියමන සැබෑ වන්නා සේ, මෙහිදී “මා පන තිබෙන තුරු ඒ වැඩේ නම් කරනු නොහැකි ය” කියා වරින් වර “අප දෙදෙනා පුතු වඩාගෙන යමු” කාළී කීවා ය. ඔහු එය පිළිගත් නමුත් සා පිපාසා ආ විට පළමු සේ ම කී මුත් නැවැත බිරිඳ ගේ කීමට අවනත ව යන්නේ ඔහුගේ වාරයේ දී බිරිඳ මඟහරවා දරුවා අතරමග දමා ආහ. මවු තොමෝ හැරී බලන්නී පුතු නො දැක, පුතු කොහිදැයි විමසා තතු දැන හඬන්නී, නැවැත පුතු ගෙන ඒමේ දී අතින් අත මාරු වීම් හා දරුවාගේ සාපිපාසය නිසා පියාගේ කර මත ම දරුවා මළේ ය. කෙසේ මුත් පුතු හැර දැමීමේ පවින් මේ පියා භවයෙහි සත්වරක් ම හැර දැමුනේ ය. එහෙයින් පාප කර්ම කිසිවක් සුළු කොට නො සැලකිය යුතු ය.

අනතුරුව මළ පුතු හැරදැමූ මේ දෙපළ ඉදිරියට යන්නේ ගොපලු ගෙදරකට පැමිණියෝ ය. එදවස ගොනුන් පිළිබඳ මඟුලෙක් එහි විය.

පසේ බුදු කෙනකු නිතර මෙහි වළඳති. මෙදින ද කිරිබත් වැළඳ වූ පසේ බුදුරජාණන් වහන්සේ පිටත්ව ගිය පසු ගෙහිමියා එහි පැමිණි මේ දෙදෙනාගෙන් තොරතුරු විමසා කරුණා උපදවා ඔවුනට ද කිරිබත් හා ගිතෙල් ස්වල්පය බැගින් දුන්හ.

“හිමියනි, ඔබ ජීවත් වුවහොත් මා ද ජීවත් වූවා වැනි” යයි පවසමින් තමා කිරිබත් ස්වල්පයක් ගෙන ඉතිරි සියල්ල බිරිඳ සැමියාට ම දුන්නා ය. දින ගණනක් සාදුකින් පෙළුනු ඔහු ඉතිරි නො කොට සියල්ල කෑයේ ය.

මෙවෙලෙහි ගොපලු තෙමේ ද කිරිබත් ගිතෙල් කමින් ළඟ සිටි බැල්ලියට ද කිරිබත් ලොකු පිඬක් දෙනවා දුටු කොතුහලික

“අයියෝ මේ බැල්ලිය කෙතරම් වාසනාවන්ත ද? නිතර මෙබඳු රසවත් ආහාර ලබන්නේ යැයි සිතුයේ ය.” එදා රෑම කිරිබත් දිරවා ගත නොහී කොතුහලික කලුරිය කොට ගෙදර බැල්ලිය කුස පිළිසිඳ ගත්තේ ය. බිරිය සැමියාගේ සිරුර පුළුස්සා දමා එම ගෙදර ම වැඩපල කරමින් උපයාගත් දෙයින් පසේ බුදුරජුන්ට සංග්‍රහ කරමින් විසුවා ය. මෙවන් උතුමකු දැකීම වුව ද පින් ලැබෙතැයි සිතමින් එහි ම විසී ය.

බැල්ලිය ද පැටවා ප්‍රසූත කළ පසු ගොපලු තෙමේ පැටවාට විශේෂ කොට සලකමින් පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද ලෙන්ගතුව කටයුතු කළේ ය. උන්වහන්සේ ද ගෙදර වළඳන විට පැටවාට බත් පිඬක් දීමෙන් ස්නේහය වඩා සිටිය දී දිනක් උන්වහන්සේ තම සිවුර මසා ගැනීමට ඈත පෙදෙසකට අහසින් පිටත් ව යනු දුටු බලු පැටියා ඒ බලා සිට නොපෙනී යත් ම ලය පැලී මියගොස් මහත් සැප ඇති තව්තිසා දෙව්ලොව උපන.

පසේ බුදුරජ දවස උන්වහන්සේට ආරක්ෂාව පිණිස මහමඟ යද්දී මහත් හඬින් බිරූ හේතුවෙන් කටහඬ ශබ්ද ඇති දෙවියකු වූයේ ඒ පිනේ හේතුවෙනි. නමින් ඝෝෂක නම් විය.

දෙව්ලොව සතර කරුණකින් දෙවියන්ගේ චුත වීම සිදු වේ. පින් පිරිහීමෙන්, ආයු පිරිහීමෙන්, ආහාර පිරිහීමෙන් හා කිපීමෙන් ය. මෙහි ආහාර පිරිහීමෙන් යනු රති ක්‍රීඩායෙහි යෙදෙන දෙවිවරුන්ට සමහර විට ආහාර ගැනීම අතපසු වේ. මෙලොව මෙන් නොව දෙවිවරු නියමිත එක් වේලකුදු ආහාර නො ගත්තේ නම් ගලෙහි රත් වූ වෙඬරු පිඬක් සේ ඔවුන්ගේ ආත්මය වැනසේ යනුවෙන් අටුවාවන් හි සඳහන් වේ. බිඩ්ඩාපිදූෂික දෙවිවරු යනු ද මොවුහු ය.

කිපීම යනු දෙවිවරු අතර ද තරහව, ක්‍රෝධය, වෛරය පවතින බවත්, එසේ වූයේ ද චුත වීම සිදුවන බවත් සඳහන් වේ. ඔවුහු මනාපදූෂික දෙවිවරු නමින් ද හඳුන්වයි.

මේ ඝෝෂක දෙවියෝ රතියෙහි ඇලී ආහාර නොගැනීමෙන් දෙව්ලොවින් චුත ව අප බුදුරජාණන් වහන්සේ දවස කොසැඹෑ නුවර එක් වෙසඟනක කුස පිළිසිඳ පුත්‍රයෙක් ව ඉපදීමේ හේතුවෙන් කූඩයක දමා කුණු ගොඩකට දැමීය. වෙසඟනන් ගණිකා වෘත්තිය රකින බැවින් මෙසේ වීය.

එමෙන් ම පෙරදා තම දරුවා අතරමඟ දැම්මේ පවින් විපාක ලෙස මෙවන් ප්‍රවෘත්තියක් වූ බව සඳහන් ය. මෙය පළමු අවස්ථාව වන අතර, මේ දරුවා මෙසේ සත්වරක් ම විපාක වශයෙන් පහත සඳහන් අයුරු මරණයට ගොදුරු වූ මුත් ඒවායින් ගැලවුණේ ය. ඒ පසේ බුදු රජු කෙරෙහි එදා තිබූ පැහැදීම නිසා ය.

මේ දරුවා කුණු ගොඩක දැමූ මුත් පෙර පසේ බුදුරදුනට ආරක්ෂාව පිණිස බිරීමෙන් කළ ආදර සංග්‍රහ පරිදි බලු කපුටෝ එක්ව රැක ගත්හ. මේ අතර එක් මිනිසකු බලු කපුටෝ රැස්ව සිටිනු දැක ළං ව බලද්දී දරුවකු සිටින බව දැක ස්නේහය උපදවා ගෙදර ගෙන ගොස් රැක්කේ ය. මේ පෙදෙසෙහි සිටාණෝ මෙදින රාජ සේවයට යන්නේ නැකැත් තරු ගණින පෙරෙවි බමුණා මඟ දී හමුව දවසේ ශුභ අශුභ විමසන්නේ අද උපන් දරුවකු මෙ පෙදෙසෙහි වේ නම්, ඔහු කවදා හෝ මෙහි ප්‍රධාන සිටුවන්නේ යැයි කීහ. මෙහිදී සිටු බිරිඳ ද ගැබ් ගත්තී නමුදු තවමත් නො වැදූ බව දැන දාසියක කැඳවා දහසක් දී අද උපන් පිරිමි දරුවකු සොයා ගෙන එවයි කී විට දාසිය ගම පුරා ඇවිද ඉහත කී දරුවා හමුව අසුලා ගෙන ආ අයට දහසක් දී දරුවා ගෙන ආවා ය. සිටුතුමා දරුවා, දැක සතුටු වී මට දුවක ලැබුණේ නම් මොහුට ඇය පාවාදීමටත්, පුතකු වැදුවේ නම් මරා දැමීමටත් සිතා පෝෂණය කළේ ය. ධම්මපද ගාථා වර්ණනාවෙනි