Print this Article


සිල් ගුණ සුපෝෂිත ධර්ම විනයධර හිපන්කන්දේ සද්ධාසිරි අනුනායක ස්වාමීන්ද්‍ර වහන්සේ

සිල් ගුණ සුපෝෂිත ධර්ම විනයධර හිපන්කන්දේ සද්ධාසිරි අනුනායක ස්වාමීන්ද්‍ර වහන්සේ

පින් පව් බැහැර කොට මාර්ග බ්‍රහ්මචර්යාව ඇති, නුවණින් දැන මෙලොව හැසිරේ නම් හෙතෙම භික්‍ෂු නම් වේ (සං.නි. ධ්, භික්‍ඛක සූත්‍රය). දෙව් මිනිසුන්ගේ පුදපූජා සත්කාරවලට පාත්‍ර වන්නේ ද එලෙස සීලයෙහි පිහිටා සිතත් ප්‍රඥාවත් වඩන භික්‍ෂුවයි. සඳුන් තවරලා සුවඳට වඩා සිල්වතුන්ගේ ගුණ සුවඳ දසත පැතිරෙන්නේ ඒ නිසා ය. අප්‍රමාණ තාරකා රාශිය අතර චන්ද්‍රයාගේ ආලෝකයට සමාන තාරකාවක් නැත්තා සේ සිල්වත් භික්‍ෂුව ලොව ම ආලෝකවත් කරයි.

ලාංකීය ජන සමාජය නිරතුරුව ම බැබළීමට පත් වූයේ ගුණනැණ දෙකින් පිරිපුන් සිල්වත් භික්‍ෂූන් වහන්සේ නිසා ය. වත්මන් ලාංකීය සඟ සසුන ආලෝකවත් කරන සංඝ පීතෘන්

වහන්සේලා රාශියක් වැඩ සිටින අතර මෙම මස 16 වන දිනට සිය දිවියෙහි හැටඅට වන වියට පා තබන අමරපුර සිරි සද්ධම්මවංස මහ නිකායේ අනුනායක ධුරන්දර හිපන්කන්දේ සද්ධාසිරි අනු නාහිමිපාණන් වහන්සේට හිමිවනුයේ ඉතා සුවිශේෂි තැනකි. එයට ප්‍රධානතම හේතුව නම් ඉහත කී සීලාදි ගුණ ධර්මයන්ගෙන් පෝෂිත ව සම්බුදු සසුනත්, ශ්‍රී ලාංකේය ජන සමාජයත්, බෞද්ධ අධ්‍යාපනයත් විෂයෙහි සිදු කර ඇති උදාරතර සේවාවය.

මීට වසර හැටඅටකට ඉහත දී දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ කරන්දෙණිය, හිපන්කන්ද නම් රමණීය ග්‍රාමයේ දී අප නාහිමිපාණෝ ජන්ම ලාභය ලැබූහ. ඒ 1957 මාර්තු 16 වැනි දා ය. සංසාරගත පුරුද්දත්, පන්සල කෙරෙහි තිබූ ඇල්මත් නිසා සිය කැමැත්තෙන් ම තම ගමේ පන්සල වූ වත්මන් හිපන්කන්ද ශ්‍රී පාද මහා විහාරස්ථානයේ නතර වූ මෙම කුඩා කුමරුවාණෝ වර්ෂ 1969 නොවැම්බර් මස 24 වැනි දින හිපන්කන්දේ සද්ධාසිරි යන නමින් උතුම් ප්‍රවෘජ්‍යාවට පත්වූහ.

මුන්වහන්සේගේ පැවිදි ආචාර්යවරයා වූයේ හිපන්කන්ද ශෛලනිවේසාරාමාධිපති පූජ්‍යපාද මාදම්පේ සද්ධාසෝම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. හෙරණ බණ දහම් හා පිරිවෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව අප නාහිමියෝ වර්ෂ 1980 ක් වූ ජුනි මස 27 වැනි දින බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව යාබද ස්වේජීන් නම් උදකුක්ඛෙප සීමා මාලකයේ දී උතුම් පාරිශුද්ධ වූ උසම්පදාවට පත් වූහ.

හිපන්කන්දේ සද්ධාසිරි අනුනාහිමිපාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට දායාද කළ බුද්ධ පුත්‍රයන් වහන්සේ ප්‍රමාණය දහසකට ආසන්න ය. උන්වහන්සේ බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට පිරිවෙන් ආයතන රාශියක් ආරම්භ කළහ. ඒ අතර හිපන්කන්ද ගා/විද්‍යා සමාධි මහ

පිරිවෙණ, සාලියපුර හ/විද්‍යා ප්‍රදීප මහ පිරිවෙණ, කතරගම මො/ශ්‍රී සද්ධාසෝම පිරිවෙණ, මහානාගපුර හ/විද්‍යා ගවේෂි පිරිවෙණ, බොරළුකැටිය ගා/ශ්‍රී දීපංකර ධර්මායතන පිරිවෙණ,

පන්නිපිටිය කො/ විද්‍යා සමාධි පිරිවෙණ, තුංකම ර/පඤ්ඤාලෝක ධර්මායතන පිරිවෙණ හා කිරින්ද හම්/ශ්‍රී ධම්මතිලක පිරිවෙණ ප්‍රධාන වේ.

මෙම පිරිවෙන් ආයතන ආරම්භ කිරීම හා පවත්වා ගෙන යෑම අප නාහිමිපාණන්ගේ දුර දක්නා නුවණ මනාව පිලිඹිබු කරන්නකි. උන්වහන්සේ එසේ සිදු කළේ තම ශිෂ්‍යය පුත්‍රයන් වහන්සේට පිරිපුන් අධ්‍යාපනයක් ලබාදී හොඳ උගත්, ධර්මධර, විනයධර භික්‍ෂූන් වහන්සේලා පිරිසක් ලොවට දායාද කිරීමට ය.

එමෙන් ම ප්‍රාචීන අංශය තුළ ඉගෙනුම ලබන විශාල පිරිසක් සිටින අතර මේ වන විට ලංකාව තුළ පමණක් නොව විදේශයන්හි ද සේවය කරන, ඉගෙනුම ලබන හා ධර්ම ප්‍රචාරය කරන පැවිදි ගිහි විශාල ශිෂ්‍ය පිරිසක් වේ.

අප නාහිමියන් විසින් විහාරස්ථාන රාශියක් ද ආරම්භ කරන ලදී. ඒ අතර, බොරළුකැටිය ශ්‍රී ආනන්දාරාම මහා විහාරය, පැලැන්වත්ත විද්‍යා සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ඌරගස්මංහන්දිය යටගල ශ්‍රී දක්‍ෂිණාරාමය, ඌරගස්මංහන්දිය ශ්‍රී බෝධිමළු විහාරය, බෝකුන්දර ධම්ම සමාධි විහාරය, කිරිමැටියාව ශ්‍රී මහින්දාරාමය, කොස්ගොඩ, නාපේ විද්‍යා සමාධි විජේසේකර බෞද්ධ මධ්‍යස්ථානය, අහුංගල්ල ශ්‍රී ගංගාතිලක විහාරය, නවදගල, ශ්‍රී බෝධිරාජාරාමය, අනුරාධපුර විද්‍යා සමාධි බෞද්ධ මධ්‍යස්ථානය ආදි විහාරස්ථාන තිහක් පමණ ලංකාව පුරාම පවති.

“පරත්ථං පටිපජ්ජථ” යන බුදු වදනට අනුව “ගමින් ගමට ගොස් සැමට සේවය කරමු” යන්න සිය දිවියේ තේමාව කර ගනිමින් ලංකාව පුරා පිරිවෙන් පන්සල් පමණක් නොව පෙර පාසල්, ප්‍රජා ශාලා, වගා ලිං, පාලම්, වැව්, මාවත්, වැසිකිලි ආදිය ඉදිකිරීම පමණක් නොව කාර්මික පුහුණු ආයතනයක් ද පවත්වා ගෙන ගියහ. එමෙන් ම සුනාමි, නියං, ගංවතුර ආදි ආපදා අවස්ථාවන්හි කළ සුභ සාධන මෙහෙවර මෙතෙකැයි කිව නොහැකි ය.

මෙකී ආගමික හා ශාසනික සේවාවන් නිසාම “ශ්‍රී සද්ධාසෝම වංසාලංකාර” ජනහිතකාරී විශ්ව කීර්ති ශ්‍රී ශාසන ශොභන ධම්මදස්සී” , “බුද්ධ ශාසන ජොති සාහිත්‍යචාර්ය” “ශාසන කීර්ති ශ්‍රී ලෝකත්ථචාරී” “සිරි සද්ධාසෝම වංසාලංකාර ජනහිතකාරී ශාසන කීර්ති ශ්‍රී” “පර්යාප්ති සේවා කීර්ති ශ්‍රී” ආදි ගෞරව නාමවලින් වරින් වර පිදුම් ලැබූ අතර මේ වනවිට ශ්‍රී ලංකා අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ අනුනායක නාහිමිපාණන් වහන්සේ නමක් ලෙසින් ලෝක ශාසනික සේවාවන් තුළ නිරත වෙමින් සිටිති.

මෙවැනි උත්තරීතර ගුණයන්ගෙන් ශෝභාවත් වූ ශාසනික, අධ්‍යාපනික, ජාතික හා සමාජමය වශයෙන් අමිල මෙහෙයක් මෙන් ම සිය ශාසනික කාර්යභාර්ය පූර්වාදර්ශ සපයමින් මැනවින් සිදු කළ අප ගුරු දෙව් නාහිමිපාණන්ගේ සිය දිවියේ හැටඅට වැනි ජන්ම දිනය සිහිපත් කරන මෙම අවස්ථාව තුළ දී උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය හා ශතවර්ෂාධික කාලයක් මේ සම්බුදු සසුනටත්, සකල ලෝ වැසි ජනතාවටත් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීමට ශක්තිය, ධෛර්ය, වසනාව දළදා සමිඳු පිහිටෙන් ලැබේවා'යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

එමෙන් ම අප ගුරුදේව් නාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන මහා ආශිර්වාද පින්කම අද සවස 6.00ට ඓතිහාසික රුවන්වැලි මහ සෑ මලුවේ දී සිදු කෙරෙන අතර නාහිමි අභිනන්දන ගීතය එළිදැක්වීම ද එදින සිදු කෙරේ.