Print this Article


එකම වරද තමන් කළත් අනුත් කළත් සසඳා බලන්න එපා

එකම වරද තමන් කළත් අනුත් කළත් සසඳා බලන්න එපා

ආනන්ද මහ රහතන් වහන්සේ පළමු සංගායනාව අවස්ථාවේ දී මෙහෙම අපූරු කථා පුවතක් මහා සංඝයා ඉදිරියේ ප්‍රකාශ කළා.

දවසක් මට අහන්න ලැබුණා භික්ෂූන් වහන්සේ නමකගේත් දෙවියකුගේත් දෙබසක්. බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන මිනිස් වාසයෙන් බැහැර වෙලා හුදකලාව භාවනා කිරීමට කැමැති වුණු එක්තරා භික්ෂුවක් කොසොල් රටේ මහා වනයකට ගිහින් භාවනා කරන්න පටන් ගත්තා. පිණ්ඩපාතය ගන්න අසල තිබුණු ගමකට හැමදාම ගොඩ වුණා.

හැමදාම දහවල් කාලයේ කරන පුරුද්දක් තිබුණා. ඒ තමයි පිණ්ඩපාතයේ ගිහින් ඇවිත් වෙහෙස නිවා ගන්න පිණ්ඩපාතය වළඳන්න පෙර මුහුණ කට සෝදා ගන්න ඇළකට, දොළකට, පොකුණකට එහෙමත් නැත්නම් වැවකට හෝ ගඟකට හෝ බහින එක. පෙර පුරුද්ද නිසා ම දවසක් ලස්සන නෙළුම් මල් පිපිලා තිබුණු විලකට බැස්සා. එතකොට දකින්න ලැබුණා ඉතාම ලස්සනට පිපිලා තියෙන නෙළුම් මල් ගොඩක්. සමහර නෙළුම් මල් මීමැස්සන්ගෙන් පිරී ගිහින් තිබුණා. මේ තරුණ භික්ෂුවට හිතුණා නිකමට වගේ එක් නෙළුම් මලක සුවඳ කොයි වගේද කියලා ඉඹලා බලන්න. අහල පහළ කවුරුත් නැති නිසා එක් නෙළුම් මලක් අරගෙන ඉම්බා. මේ විල ළඟ විශාල ගහකට අරක් ගත් දේවතාවෙක් මෙය දැකලා භික්ෂුව කෙරෙහි අනුකම්පාවක් උපදවා ගත්තා. උන්වහන්සේට යහපතක් කරන්න ඕන කියන සිතිවිල්ල ඇති ව ළඟට ම ගිහින්

‘ස්වාමිනි, ඔබ වහන්සේට ඔය වතුරේ තියන නෙළුම් මල කවුරුත් පූජා කළේ නෑ. අනුන් විසින් නො දුන් දෙයක් නිසා ඔබ ඒ මල සිඹීමෙන් කළේ සොරකමක්. ඔබ නෙළුම් මලේ සුවද හොරකම් කළා, ඔබ සුවඳ සොරෙක්’යි කිව්වා.

ඒ කථාව අහපු මේ තරුණ භික්ෂුව කියනවා ‘පින්වත, මම හොරෙක් නොවෙයි, ඉතින් මම ඒ මල කැඩුවේවත් නෑ. විලේම වෙනත් තැනකට අරගෙන ගියේත් නෑ. මම සුවඳ විත්දෙත් දුර ඉදලා. කොහොමද ඔබ මට හොරෙක් කියලා චෝදනා කරන්නේ’යි කියලා විලෙන් ගොඩට ඇවිත් පිණ්ඩපාතය වැළඳුවා. මේ සිදුවීම වෙලා ටික වේලාවක් යන කොට එතැනට ආවා මේ මහා වනාන්තරයේ එහේ මෙහේ ඇවිදිමින් වනපල නෙළා ගෙන ඒවගේ ම සතුන් දඩයම් කර ගෙන ආහාර හොයා ගන්නා වැද්දෙක්. මේ වැද්දා විලට බැහැලා ඇති පමණ නාලා, තිබුණුතාක් නෙළුම් මලුත්, නෙළුම් අලත් කඩාගෙන විල හොඳටම බොර කරලා යන්න ගියා. ඒ දිහා බලා ගෙන හිටිය තරුණ භික්ෂුව තමන්ට නින්දා කළ භූමාටු දෙවියා අමතලා කියනවා.

‘තොප මා අහම්බෙන් මෙන් මලක් සිඹිනවා දැකලා මට නින්දා කළා. ඒ විතරක් නොවෙයි, පරිභව කළා. වැදිපුරුෂයා ඇවිත් විලේ ඇති පමණ නෑවා. විල බොර කරලා දැම්මා. මල් හා අල ගලවා ගත්තා. ඒත් ඔබ නිශ්ශබ්ද ව හිටියා. තොපගේ ක්‍රියාකලාපය ඉතාම වැරැදියි’යි චෝදනා කළා.

දෙවියන් ඒ කථාව අහගෙන ඉදලා පිළිතුරු දෙමින් මෙහෙම කියනවා. ‘පින්වත් ස්වාමිනි, මම මේ කියන දේ වටහා ගන්න. මම ඔබ වහන්සේට නපුරක් කළේ නෑ. නින්දා කළේ නෑ. පරිභව කළේ නෑ. ස්වාමිනි, ඒ වැදි පුරුෂයා පාපී තැනැත්තෙක්. ඔහු හැමදාම කරන්නේ පව්කම්මයි. ඔහුට අවවාද දීලා වැඩක් නෑ. අනික ඔහු අවවාද ලබන්න සුදුස්සෙකුත් නෙවෙයි. ඔබ වහන්සේ සිල්වතෙක්, ඔබ වහන්සේ භික්ෂුවක්, ඔබ වහන්සේ අවවාද ලබන්න සුදුසු කෙනෙක්. ඔබ වහන්සේට අවවාද දීම ප්‍රයෝජනවත්. ඔබ වහන්සේ සුදුපාට රෙද්දක් වගේ. ස්වාමිනි සුදුපාට රෙදිකඩක මද වූ හෝ කිළුටක් ගෑවුණත් ඒක හොඳට ම කැපිලා පේනවා. ඔබ වහන්සේගේ සීලයේ පොඩි හෝ දොසක් තිබුණොත් ඒක වහා කැපිලා පේනවා. ස්වාමිනි, එම දෝෂ නැති කර ගැනීම සිල් රකින අයටමයි වැදගත් වෙන්නේ. කෙලෙස් ටිකෙන් ටික ඇති වෙන්න පුළුවන් ඔබ වහන්සේ කළ ක්‍රියාවෙන්. ඒ නිසා සීල ගුණය තවත් පුරන්න.

විල කිළිටි කළ ඒ වැදි පුරුෂයා කිළිටි රෙදිකඩක් වගේ. පව් කරන්නාගේ චරිතය එහෙම තමයි. ඔහුට අවවාද දීලා වැඩක් නෑ. කිළුටු රෙද්දකට තවත් කිළුටු එකතු වුණා කියලා එහි වෙනසක් පෙනෙන්නේ නෑ. කිළුටු ගතිය ම තමයි පෙනෙන්නේ, ස්වාමිනි, මට අයිතියක් නෑ ඔබට උපදෙස් දෙන්න, නින්දා හෝ අපහාස කරන්න. ඔබ ම සුගතියට යන මාවත හඳුනා ගන්න. ඒ මාවත මඟ හැරීම වළක්වන අදහසින් තමයි මම මේ උපදෙස් ලබා දුන්නේ’යි කියලා ඉතාම කරුණාවෙන් තමන් කළ ක්‍රියාවේ වටිනාකම තරුණ භික්ෂූන් වහන්සේට පැහැදිලි කරලා දුන්නා.

ඒ අවස්ථාවේ භික්ෂූන් වහන්සේ බොහෝම සතුටට පත්වෙලා ඒ පින්වත් දේවතාවා අමතලා කියනවා

‘කාරුණික දේවතාවෙනි, මම ඔබගේ අදහස දැන ගත්තා. ඔබ මට අනුකම්පා කළා. ආයෙමත් මේ වගේ වැරැද්දක් මගෙන් වෙනවා නම් ඒක මට පෙන්වලා දෙන්න’යි වැරැද්ද පිළිගනිමින් දෙවියන්ට ස්තූති කළ කථා පුවතක් සංයුක්ත නිකායේ වන සංයුක්තයේ පදුමපුප්ඵ සූත්‍රයේ සඳහන් වෙනවා.

මේ කථා පුවතින් අපට පෙන්වලා දෙන්නේ තමන්ගේ වැරැද්ද අනුන් හා නො සසඳා බාර ගනිමින් තම ජීවිතය සකසා ගැනීම වැදගත් බවයි. යමෙකුගේ දෝෂයක් දුටු විට එය පෙන්වා දීමට මැලි නො විය යුතුයි. වැරුද්ද නම් එය රජතුමා කළත්, භික්ෂුව කළක්, මව හෝ පියා කළත්, ගුරුවරයා කළත් වැරැද්දක්මයි. එය දුටු විට ඔවුන්ට අනුකම්පාවෙන් පෙන්වාදීම උතුම් ගුණයක් බවත් මේ කතා පුවත පෙන්වලා දෙනවා.

ඒ වගේම අවවාද අනුශාසනා හෝ නිවැරැදි කිරීම් කළ යුතු වන්නේත් ඒවා පිළිගන්න කැමැති, දොස් පරොස් එල්ල කළත් හදා ගන්න පුළුවන් සුදුසු පුද්ගලයන්ට බවත් මේ කථාවෙන් අපට කියා දෙනවා.