Print this Article


වත්ථූපම සූත්‍රයෙන්

වත්ථූපම සූත්‍රයෙන්

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙද්දී භික්ෂූන් අමතා වත්ථූපම සූත්‍රය දේශනා කළ සේක.

රෙදි සායම් කරන්නෙකු කිලිටි වූ, මළ බැඳුණු වස්ත්‍රයක්, නිල්පාට හෝ කහපාට හෝ රතුපාට හෝ මදටිය රතුපාට හෝ සායම් භාජනයකට දැමුවහොත්, එම වස්ත්‍රය, අපිරිසුදු නිසා, එය නොමනා පැහැ ගත්තක්ම වෙයි. අපිරිසුදු පෙනුම, ඇත්තක් ම වෙයි. එමෙන්, සිත කිලිටි වූ කල්හි දුගතියක් ම බලාපොරොත්තු විය යුතුයි.

පිරිසුදු වස්ත්‍රයක් ඉහත කී ලෙස රජකයෙකු සායම් භාජනයකට දැමූ විට වස්ත්‍රය පිරිසුදු නිසා, එය පිරිසුදු පැහැය, ඇත්තක් ම, ලස්සන පෙනුම ඇත්තක් ම වෙයි. එමෙන් සිත කිලිටි නොවූ කල්හි, සුගතියක් බලාපොරොත්තු විය යුතුයි.

මහණෙනි, සිත කිලිටි කරන කාරණා මොනවාද?

අභිජ්ඣා විෂම ලෝභය, ව්‍යාපාදය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගූණමකුකම, පලාසය, ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව, කපටිකම, තදබව, එකට එක කිරීම, මානය, අතිමානය, මදය, ප්‍රමාදය යන මේවා සිත කිලිටි කරන චිත්තෝපක් ක්ලේශ ධර්ම ය.

භික්ෂුව අභිජ්ඣා විෂම ලෝභය, සිත කෙලෙසන ධර්මයක් බව දැනගෙන, එය (සිතින්) ඉවත් කරයි. මෙලෙසින් (ඉහත දැක්වූ) ක්‍රෝධය පටන් ප්‍රමාදය දක්වා සිත කිලිටි කරන ක්ලේශ ධර්ම ද ඉවත් කරයි.

අභිජ්ඣා විෂම ලෝභය, සිත කෙලෙසන ධර්මයක් බව දැන ගැනීම නිසා ඒ භික්ෂුව අභිජ්ඣා විෂම ලෝභය ආදී නම් වූ (ඉහත සඳහන්) සියලු උපක්ලේශ ධර්ම ප්‍රහීණ කළ කල්හි, (ඒ භික්ෂුව) බුදුරදුන්ගේ අරහාදී ගුණ දැන පහදී. එසේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ස්වාක්ඛාත ආදී ගුණවලින් යුතු බව දැන ධර්මයෙහි පහදී. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ සුපටිපන්නාදී ගුණ දැන පැහැදෙයි.

ඒ මහණ තෙම කෙලෙසුන් ඉවත් කොට, බැහැර කොට, මුදවාහැර, ප්‍රහීන කොට, අත්හැර දැමූ කල්හි, “මම බුදුරදුන් පිළිබඳ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අත්ථවේදය (ගුණ දැන උපදනා සතුට) ලබයි. ධම්මවේදය (සොම්නසින් උපන් ඤාණය) ලබයි. සතුටින් හා නුවණින් යුක්ත ප්‍රමෝදය ලබයි.

ප්‍රමෝද වූවහුගේ සිත්හි පී‍්‍රතිය උපදියි. පී‍්‍රති සිත් ඇති ඔහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තා සැප විඳී. සැප විඳින්නහුගේ සිත එකඟ වෙයි. සමාධිගත වෙයි.

ධර්මය හා සංඝයා පිළිබඳ නොසැලෙන ප්‍රසාදයෙන් යුක්ත වූ කල්හි (ඉහතින් කී ලෙස) ඔහුගේ සිත සමාධියට පැමිණේ.

මහණෙනි, කිලිටි මළ බැඳුණු වස්ත්‍රයක් පිරිසුදු ජලයට දැමූ කල අපිරිසුදු පැහැයක් ඇතිවන්නාක් මෙන් ද, කෝවකට දැමූ විට රත්රන් පිරිසුදු ව පැහැපත් වන්නාක් මෙන් ද, මෙබඳු සිල් ඇති, මෙබඳු සමාධි ඇති, මෙබඳු නුවණ ඇති ඒ භික්ෂුව කළු ඇට අහුලා දැමූ ඇල්හාලේ බතක් නොයෙක් සූප ව්‍යඤ්ජන සමඟ අනුභව කළත්, එය ඔහුට මාර්ගඵල ලබා ගැනීම පිණිස බාධාවක් නොවන්නේ ය.

ඒ මහණ තෙමේ මෛත්‍රි සහගත සිත එක් දිසාවක ම පතුරුවා වෙසෙයි. එසේම දෙවන, තෙවන, සිව්වන දිශාවන්හි ද මෛත්‍රිය පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, හරහා හැම තැනමත්, සියල්ලන් තමන් හා සමාන කොට ගැනීමෙන්, සියලු සතුන් ඇති ලෝකය පුරා අප්‍රමාණ වූ (වෛර නැති, දොම්නස් නැති) මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කරයි.

එසේම කරුණා සහගත සිත්, මුදිතා සහගත සිත්, උපේක්ෂා සහගත සිත් පතුරුවා වාසය කෙරෙයි.

ඒ මහණ තෙමේ මේ දුක් (දුක්ඛ සත්‍යය) ඇත්තේ ය. මේ හීන ධර්මය (සමුදය සත්‍යය) ඇත්තේ ය. මේ ප්‍රණීත ධර්මය (මාර්ග සත්‍යය) ඇත්තේ ය. මේ බ්‍රහ්ම විහාර සංඥාවට වඩා උතුම් වූ නිවනක් ඇත්තේ යැයි දැන ගනී. මෙසේ දැන ගන්නා වූ ඔහුගේ සිත කාමාශ්‍රව, භවාශ්‍රව, අවිද්‍යාශ්‍රවයන්ගෙන් මිදෙයි. එසේ මිදුණු කල “මිදුණේය”යි ඥානය පහළ වෙයි. ඉපදීම, ක්ෂය කරන ලදි. මාර්ග බ්‍රහ්මචර්යාවෙහි හැසිරීම නිම කරන ලදි. සිව් මහ නුවණින් කළ යුතු තාක් සියල්ල කරන ලදි. මේ ජීවිතය වෙනුවෙන් කළ යුතු තවත් යමක් නැතැයි කියා මනා සේ දැන ගනී.

මහණෙනි, මේ මහණ තෙම ආධ්‍යාත්මික ක්ලේශ ධර්ම ප්‍රහීණ කළ බැවින්, අභ්‍යන්තර ස්නානයෙන් නා ගත්තෙකැයි කියනු ලැබේ.

මේ වේලාවෙහි බුදුරජාණන් වහන්සේ නුදුරෙහි හුන් සුන්දරික භාරද්වාජ නම් බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ බාහුකා නදියට ස්නානයට වඩින්නාහුදැ’යි විචාළේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ බාහුකා නදියෙන් කවර ප්‍රයෝජන ද? බාහුකා නදිය කුමක් කරන්නේ දැයි බමුණාගෙන් විචාළහ.

“භවත් ගෞතමයන් වහන්ස, බාහුකා නදිය පිරිසුදුකම ලබා දෙන්නක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. බාහුකා නදිය කළ පව් සෝදා හරින තැනෙකැයි බොහෝ දෙනා සම්මත කරගෙන, කළ පව්කම් බාහුකා නදියේ දී ම සෝදා හරිත්” යයි කීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුන්දරික භාරද්වාජ හට ගාථාවලින් මෙසේ වදාළහ.

1.බාහුකා නදියටත්, බාහුමතී නදියටත්, සුන්දරිකා නදියටත් ප්‍රයාග තොටට සහ ගයාවටත් සරස්වතී නදියටත්, අධිතක්ක නම් තොටටත්, පව්කම් කරන අනුවණයා නිතර බැස ගත්තත් පිරිසුදු බවක් නොසිදු වේ.

සුන්දරිකා නදියත්, බාහුකා නදියත්, ප්‍රයාග තීර්ථයත්, කුමක් කරන්න ද? නපුරු ක්‍රියා කළ, පාපකාරි, වෛර කරන අයෙක් බාහුකාවට හෝ සුන්දරිකාවට හෝ ප්‍රයාග තොටට බැස්සත් පිරිසුදු නොවෙති.

2. පිරිසුදු තැනැත්තාට හැමදාම උතුරුපල් නැකතයි. සෑම කල්හි ම පොහොය වේ. පිරිසුදු යහපත් කියා ඇත්තාගේ ව්‍රතය හැම කල්හිම සමෘද්ධ වේ. සියලු සතුන් වෙත මෙත පතුරුවන්න. බමුණ (මෙහිම) මේ සසුන් සයුරෙහි ම ස්නානය කරන්න.

3. බොරු නොකියන්නේ නම්, සතුනට හිංසා නොකරන්නේ නම්, නුදුන් දෙයක් නොගන්නේ නම්, සැදැහැබර ව නොමසුරු ව වෙසේ නම් ගයාවට ගොස් කුමක් කරන්නේ ද? ඔබ ගේ ළිඳ ද ගයා තොටක් වේ.

මෙසේ වදාළ කල්හි සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා”මම තෙරුවන් සරණ යමි. මට ඔබ වහන්සේ ළඟ පැවිද්ද ලබා දෙනු මැනවැ’යි කීය.

සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි උපසම්පදාව ලබා නොබෝ කලකින් කෙලෙස් නසා රහත් බවට පත් විය.

සූත්‍ර සාරාංශය

වස්ත්‍රයක් වර්ණවත් කිරීමට කිලිටි බවින් තොර ව පිරිසුදුව තිබිය යුතු ය. එමෙන් සිත සමාධි වීමට උපක්ලේශ ධර්මවලින් තොරව පිරිසුදුව තිබිය යුතු යැයි වත්ථූපම (වස්ත්‍ර උපමාව) සූත්‍රයෙන් දැක්වේ. එය ආධ්‍යාත්මික ක්ලේශ ධර්ම දුරු කරන අභ්‍යන්තර ස්නානයයි.

විවිධ විශ්වාස අනුව ගංගාවල ස්නානය කිරීමෙන් පව් සෝදා හල නොහැකි බව, සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා පැවිදිවීම හා රහත්වීම යන කරුණු මේ සූත්‍රයෙන් පැහැදිලි කෙරේ.)