දස පින් පුරමු
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් විසින් බුද්ධ භක්තිය ග්රන්ථයට
ලියන ලද ලිපියකිනි
සනීපය ආරක්ෂා කැරැ ගැන්මෙන් ඇඟ හොඳට වැඩෙයි. ඇඟේ හව් හත්තිය ඇතිවෙයි. වැඩි කලක් සැප
සේ ජීවත් විය හැකි වෙයි. එසේම හිතේ සනීප ගතිය රැක ගැන්මෙන් හිතේ සත්තිය, හිතේ හයිය
වැඩි වෙයි, හිත දියුණු වෙයි.
හොඳ ගුණයට පැහැදීම, නරක ගතියක් තමා තුළ ඇති නො වන්නට පරිස්සම් වන ගතිය, නරක කැත
ගතිවලට නො කැමැති කම (හෙවත් පිළිකුල) ලෝභ නැති කම, තරහ නො වෙන ගතිය, ඇත්ත ඇති
හැටියට දකින ගතිය යන ආදී ගති ලෙඩ නැති හිතේ ලකුණු ය. මේ හොඳ ගති හිතේ පුරුදු
වීමෙන්, සිත තුළ වැඩී යෑමෙන් හොඳ දෑ කිරීමට හිත නැමේ.
මෙ සේ හොඳ හිතෙන් කරන ඒ හොඳ දෑවලට පින් ය කියා නමෙකි. ‘පින්’ යන වචනයේ මුල් තේරුම
නම් “එය කරන්නහු ගේ හිත සුද්ද කරන දැ ය” යනුයි. හිතේ හොඳ ගති දියුණු වීමෙන් කරන හොඳ
ක්‍රියා දහවගෙකි. ඒවාට දස පින් යැයි කියත්.
ඉන් පළමු වැන්න දීම යි.
අපට වැඩියෙන් හොඳ වූ අය සිටිති. අපට වඩා හික්මීම ඇති, අපට වඩා කරුණාවන්ත, ලොව හැම
දෙනාම ගැන තමාට මෙන්ම ආදරය පවත්තන, අනුන් ගැහුවත් බැන්නත් තරහ නැතිව ම ඒ සියල්ල
ඉවසන, මේ ආදී වශයෙන් හොඳ ගතිවලින් අපට වඩා දියුණු වුණු අය සිටිති. ඒ බඳු හොඳ ගුණ,
උසස් උතුම් දෑ හැටියට සලකන අප තුළ, එබඳු ගති ගුණ අපට වඩා දියුණු වී ඇති අය ගැන ද
සැලකිල්ලත්, ආදරයත් ඇති වේ. එබඳු අයට සැලකිලි දක්වන්නට, වඳින්නට පුදන්නට, අපේ හිත
නැමෙයි. එහෙම ඇත්තන්ට එතුමත් පුරන ඒ ගුණ දහම් දියුණු කිරීමට උදවු දීමක් වශයෙන්
සලකන්නට ද අපේ සිත නැමේ. අප සතු දෑ කෙරෙහි අප තුළ ඇති ඇල්ම පවා අත් හැරලා ඒවා
වියදම් කැරැ ඒ උතුමනට හොඳින් සලකන්නට අපට සිතෙයි. එ බඳු උතුමනට කෑම බීම ආදිය දීමෙන්
සැලැකිලි දැක්වීම එක් දීමෙකි.
අපට වඩා දුප්පත් අසරණ අය පෙනුණාම අපේ හිතේ ඔවුන් විඳින දුක ගැන කනගාටු ගතියෙක්,
කරුණාවෙක්, අනුකම්පාවෙක්, පපුව උණු වීමෙක් ඇති වේ. අප කොතරම් ආශාවෙකින් රැක ගෙන
තිබෙන දෑ වුව ද ඔවුන් හට දී ඔවුන් සනසන්නට සිත් වෙයි. ඒ කරුණාව උඩ අසරණ අයට සංග්‍රහ
කිරීමත් එක් දීමෙකි.
මෙසේ ගෞරවයෙන් දෙන දීමත්, කරුණාවෙන් දෙන දීමත් යන දෙක ම දාන (දීම) නමැති පින්කම යි.
දෙවෙනි පින්කම සිල් රැක්ම යි.
සිල් නම් හීලෑ ගුණය යි. සතුන් මැරුම්, අන්සතු දෑ අයුතු අන්දමින් ගැනුම්, නරක
ආශාවෙන් නො හොබනාකම් කැරැම්, මත් පැන් බීම, බොරු කීම්, කේලාම් කීම්, නපුරු වචන
කීම්, වැද ගැම්මකට නැති දෑ දෙඩීම්, අයුතු දෑ කිරීමෙන් ජීවිකාව කිරීම් යන මේවා
දුස්සීල කම් ය. ඒ නො හීලෑ කම්වලින් වැළැකී හෙවත් ඒවා අත්හැර හීලෑගතිය, හික්මුම්කම
ඇති කැරැ ගත යුතුයි. මෙ සේ හික්මුම සීල (සිල්) නම්, මෙය ද හිතේ හොඳ ගති නිසාම ඇති
වන එකෙකි.
තෙ වෙනි පින්කම භාවනාව යි.
අපේ හිත ඒ මේ අතට දුවන්නට වුණාම නොයෙක් නරක ගති හිතේම ඇති වන්නට ඉඩ තිබේ. පි‍්‍රය
නැති කෙනකු දුටුවා ම තරහ ඇති වේ. යමක් ලබා ගැන්මේ ආශාව නිසා හිත තුළ නො සන්සුන්කම ද
ඇති වේ. මෙසේ නොයෙක් අතට හිත යෑමෙන් හිතේ කලබල ගති හැදේ. ඒවායින් හිත වෙන් කැර ගෙන
යම් කිසි හොඳ ගතියකට ම හිත නමා ගෙන, එහි ම හිත බැඳ තබන්නට පුරුදු වුණොත් නරක -
ගතිවලට හිතේ ඉඩ නො ලැබේ. එ බැවින් නරක අතට හිත නො නැමෙන්නටත්, හිතේ හොඳ ගුණ තහවුරු
වෙන්නටත් අප විසින් පුරුදු කළ යුතු හොඳ වැඩෙක් තිබේ. එ නම් හොඳ අන්දමට හිත එකඟ
කැරැ? හිත එක දැයකට ම නමා තබා ගෙන ඉඳීමයි.
“මුළු ලෝකයේ හැම දෙනාට ම හොඳක් ම වෙච්චාවේ” කියා හිතින් කැමැති වෙමින්, ඔවුන් සැප
සේ ඉන්ද යුතු අන්ද ම හිතෙන් දැක දැක එයට කැමැතිකම දියුණු කරමින් අපට ඉන්නට පිළිවන.
මේ ආදී යම් කිසි හැටියෙකින් හිතේ එකඟකම දියුණු කිරීමෙන් හිත වැඩෙයි. මෙ සේ හොඳ අතට
හිතේ එකඟකම දියුණු කිරීම එක් භාවනාවෙකි.
අපේ ඇඟ වෙනස් වන හැටි, දිරන හැටි, හිත වෙනස් වන හැටි, හිතත්, හිතේ ගතිත්, ඇඟත් දුක්
වන සැටි, ඒවායේ නො නැසෙන හර ගතියක් නැති සැටි හිතින් බලමින් ඒ ගැන දැනුම දියුණු කළ
යුතු. මෙසේ ඒ දැනුම වැඩීමෙන් ඒ කිසිවක් ගැන ආශාවක් ලෝබයක් ඇති නො වේ. ඒ කිසිවකට
අනුන්ගෙන් කරදරයක් වුණාට තරහවකුත් ඇති නො වේ. ඒවා නිසරු බව දැනෙන බැවිනි. මෙසේ
ජීවිතයේ ඇති සැටි දන්නා නුවණ වැඩීම ද එක් භාවනාවෙකි.
මේ හිතේ එකඟකම වැඩීම සමාධි භාවනා නම්. නුවණ වැඩීම විපස්සනා භාවනාව නම්,
මෙය පුරුදු කිරීමෙන් හිතේ නරක ගති දුරු වේ. හොඳ ගති දියුණු වේ. නුවණ ද වැඩේ.
සිව්වන පින්කම නම් යටත් පහත්කම පෑම යි.
මව්පියනට, වැඩිහිටියනට, ගුරුවරුනට ගුණවත්නට යටත් පහත්කම් දැක්වීම, ගරු බුහුමන්
දැක්වීම, වැඳුම් පිදුම් යන මේ සියල්ල එයට ඇතුළති. මෙය පුරුදු කිරීමෙන් උඩඟුකම් ආදී
නරක ගති නැතිවී හිත ශුද්ධ වේ. පාලි භාෂාවෙන් මෙයට අපචායන යන නම බැවහර යි.
පස් වන පින්කම නම් මව්පිය ආදීනට වතාවත් කිරීමයි.
ඔවුනට ලෙඩ දුකේ දී සාත්තු කිරීම, ඔවුනට කෑම් බීම් ආදිය පිළියෙල කිරීම, දර වතුර
ගෙනවුත් දීම, අත් පා මිරිකීම, ගමන් බිමන්වල දී ඔවුන් හා යෑම් ආදියෙන් උපකාරී වීම යන
ආදිය මෙයට ඇතුළත්. මෙය පුරුදු කරන්නා ද මෙයින් ලෝබ තරහ උඩඟුකම් ආදී නරක ගති හිතින්
දුරලයි. ඔහු ගේ හිත හොඳ ගතිවලින් පිරෙයි. ශුද්ධ වෙයි. මෙයට පාලියෙන් වෙය්‍යාවච්ච යන
නම වැහැරැ වේ.
හවන පින්කම නම් පින් දීම යි.
හොඳ දෑ කිරීමෙන් ගුණ නුවණ වැඩේ. කෙනෙකු කරන හොඳ දැයට සතුටු වීම ඒ හොඳ දෑ හිතින්
පිළිගැනීමයි. අන් කෙනකු දන්දීම්, සිල් රැකීම් ආදී වශයෙන් හොඳ වැඩ කරනවා දැක අප එයට
සතුටු වෙනවා නම් එයින් අපේ සිතින් ඒ පින කළා නම් වේ. ඉතින් අපත් පිනක් කොට එය අන්
අය සතුටු කැරැවීමෙන් ඔවුන් තුළ ද හොඳ ගති ඇතිවේ. එයින් අපට මෙන් ඔවුනට ද යහපතෙක් ම
සැලැසේ.
මෙසේ හෙයින් අප පිනක් කළා ම “මේ පින අන් සත්ත්වයනට ද සතුටට හේතු වේවා. මේ පිනට
සතුටු ව ඔවුහු ද සැප බලත්වා’යි සිතින් සිතීම, වචනයෙනුත් කීම අනුන් හට උපකාර
කිරීමෙකි. මෙ සේ කිරීමේ දී මෙයට බලාපොරොත්තු වන සමහර දෙවිවරු ද, අපේ අදහස්, අපේ වචන
තේරුම් ගත හැකි අන් සත්ත්වයෝ ද අප කළ පිනට සතුටු වෙති. එයින් ඔහු තමන් තුළ ද හොඳ
අදහස්, පින් සිත් ඇති කැර ගනිති. එයින් සැප ලබති.
අපේ නැසී ගිය නෑදෑයන්ගෙන් යම් යම් අය එබඳු පින් ගන්නට හැකි ප්‍රේත ජන්මයෙක ඉපිද
හිටියොත් අප පින් දීමේ දී ඒවා අනුමෝදන් කොට ගෙන හෙවත් ඒවාට සතුටු ව කුසල් වඩා ගෙන
සැපතට පැමිණෙති. එබැවින් අනුන් හට පින්දීම පින් අනුමෝදන් කැරැවීම හිතවත්කමින් කරන
උපකාරයෙකි, උතුම් පිනෙකි. මෙයට පාලියෙන් පත්ති දාන යන නම වැහැරැවෙයි.
හත්වැනි පින නම් පින් ගැනීම යි.
උඩ කී පරිදි අප අනුනට පින් දෙන්නා සේ ම අන් අය අපට ද පින් දෙති. ඉතින් පින් කැමැති
අප විසින් ඔවුන් හිතවත්කමින් අපට දෙන පින් සතුටින් ගත යුතු යි. හෙවත් ඔවුන් තමන් කළ
පින් අපට අනුමෝදන් කරවන විට අපත් ඒවා අප කළ දෑ සේ ම සිතා සතුටු වියැ යුතු යි. මේ
අනුන් දෙන පින් ගැනීමට පාලි භාෂාවෙන් පත්තානුමෝදනා යැ යි කියනු ලැබේ.
අට වන පින්කම බණ කීම යි.
අනුන් නරක සිතුම් පැතුම්වලිනුත්, නරක කියුම් කැරුම්වලිනුත් බේරා ගෙන හොඳ අතේ යවන
අදහසින් උපදෙස් දීම, හොඳ දෑ කියා දීම බණ කීම නම්. ධර්ම දේශනා කියන්නේත් මෙයට ම යි.
අනුනට බණ කියන්නේ ඔවුනට හිතවත් බැවිනි. කරුණාවෙනි. එය කරන්නහු ගේ හිත එයින් වඩ වඩා
පිරිසුදු වේ.
නව වන පින්කම නම් බණ ඇසීම යි.
අපට අපේ යහපත පිණිස හොඳ අය උපදෙස් දෙති. අපේ මවු, පිය, ගුරුවරු, සිල්වත් ගුණවත්
හාමුදුරුවරු දැනුමැතිකම් දෙති. පින් පව් තෝරා කියා දෙති. ඒවා අසා තේරුම් ගැනීම අපේ
යුතුකම යි. මෙසේ බණ ඉගැන්මෙන් දැනීම ඇති වේ. එයින් හිත නරකින් ඉවත් ව හොඳ වේ. හෙවත්
පිරිසුදු වේ. ධර්ම ශ්‍රවණය කියා බැවහැර වන්නේ බණ ඇසීමට යි.
දස වන පින්කම නම් නිවැරැදි දැකීම හෙවත් හරි නුවණ ඇති කැර ගැන්මයි.
සමහරු “සත්වයා මෙයින් ම අවසන් වෙතැ” යි වරදවා සලකති. එය ඇදට දැකීමෙකි. තව කෙනෙක්
“මෙහි අප තුළ වෙනස් නො වී එක ලෙසම පවත්නා යම් කිසි හරයක්, ‘ආත්මය’ කියා එකක් ඇතැ’යි
ද “එය දිගින් දිගට අලුත් අලුත් ශරීරවලට එකතු වේවී යතැ’ යි ද වරදවා සිතති. මේ දෙක ම
වක් වූ, ඇද වූ දැකුම් ය. වැරැදි සැලැකුම් ය. බණ දහම් ඇසීමෙන්, සත්පුරුෂයන් ආශ්‍රය
කිරීමෙන් මේ වැරැදි හැර දමත හැකි යි.
සත්ත්වයා යනු එක් අන්දමකට ම තිබෙන වෙනස් නො වී සිටින කිසියම් දැයක් නො වේ යැ යි ද,
නිතර වෙනස් වේවී යන ස්වභාව වැලක් යැයි ද දැනීම නිවැරැදි යි. එය හරි දැක්මෙකි.
තව ද හේතුවක්, කාරණයක් නැති ව, ලොව යම් යම් දෑ ඉබේම ඇති වේ යැ යි සමහරු සලකති.
තව කෙනෙක් සියල්ල දන්නා දක්නා සියලු බලැති කෙනකුගේ කැමැත්ත අනුව ලොව්ත්,
සත්ත්වයන්ගේත් පැවැත් ම වේ යැයි සලකති.
තව අයෙක් මේ අත් බව්හි සිදුවන සියල්ල පෙර අත්බව්හි කළ කර්ම නිසාම වේ යැ යි සලකති.
මේ හැම දැකුම් සැලැකුම් වැරැදි ය, ඇද ය.
හේතුවක් නැති ව කිසිවක් ඇති නො වේ. යමක් වීමට හේතුවක් තිබිය යුතු ය. සත්ත්වයා ගේ
මෙහි සිදුවීම්වලින් ඇතැම් දෑ මේ අත්බව්හි ම වූ ඇතැම් කරුණින් වේ. ඇතැම් දෑ පෙර
අත්බව්හි කළ කර්ම නිසා වේ. ඇතැම් දෑ මේ අත් බව්හි කරන දෑ නිසා ම සිදු වේ. ඇතැම් දෑ
මෙ අත්බව්හි කරන දෑත් පෙර අත් බව්හි කළ කර්මත් යන දෙකෙන් ම සම්බන්ධයෙන් වේ. මේ හරි
දැක්මයි, ඇද නැති දැක්මයි. ඝෘජු දෘෂ්ටිය යි. සම්‍යග්දෘෂ්ටිය යනු ද මෙ ය යි. දස වන
පින හැටියට දැක්වුණේ මේ සම්‍යග් දෘෂ්ටිය ඇති කැර ගැන්ම යි.
දැන් අපි දස පින් උගත්තෙමු. ඒවායේ නම් පිළිවෙළින් සිහි කැරැ ගනිමු.
දාන, ශීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්ම දෙසනා, ධම්ම
සවණ, දිට්ඨිජුකම්ම යනු පින් දහය යි.
ලොව ඇතිතාක් යහපත් ක්‍රියා සියල්ල මේ පින් දහයට ඇතුළත් වෙයි. මේ දස පින් පුරුදු
කිරීමෙන් මිනිසා තමාටත් අන්හටත් ප්‍රයෝජන ඇති හොඳ කෙනෙක් වෙයි.
පව් කිරීමෙන් මෙ ලොව පර ලොව දෙකෙහි ම දියුණුවෙන් පහත වැටෙයි. පින් කිරීමෙන්
දෙලොව්හි ම දියුණුව ඇති වෙයි. සැපත වැඩෙයි.
සනීප ලබන්නට කැමැති තැනැත්තා අපථ්‍ය ආහාරාදියෙන් වැළැකී බේත් ද, සුදුසු හොඳ ආහාර
පාන ද පාවිච්චි කළ යුතු යි. එ මෙන්ම දෙලොව දියුණුව, දෙලෝ සැප ලබනු කැමැත්තා පවින්
වැළැකී පින් කළ යුතු යි. |