Print this Article


ආයති සංවරයේ වටිනාකම කියන සුසීම සූත්‍රය

ආයති සංවරයේ වටිනාකම කියන සුසීම සූත්‍රය

භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩවසන සේක. මේ වන විට බුදු දහම කෙරෙහි බෙහෙවින් ප්‍රසන්න වූ බොහෝ ජනයා බුද්ධ ප්‍රමුඛ මහ සඟනට ගරුකාර - සත්කාර කරති. සිවු පසය බෙහෙවින් ලබන සුලු ද විය. අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ ලාභ සත්කාර පිරිහෙන්නට විය.

මෙකල අන්‍ය තීර්ථක සුසීම නම් පිරිවැජියෙකි. හෙතෙම මහත් පිරිස සමඟ රජගහ නුවර ම වාසය කළහ. දිනක් පිරිස් පිරිවැජ්ජන් සුසීමට කියන්නේ

“ඇවැත් සුසීමයෙනි, ඔබ ශ්‍රමණ ගෞතමයන් වෙත ගොස් බඹසර හැසිරෙමින් ගෞතමයන්ගේ දහම් ඉගෙන අපට කියනු මැනැවි. අපිදු ඒ දහම ඉගෙන ගිහියන්ට කියන්නමෝ වන්නෙමු නම් අපටත් ලාභ සත්කාර ගරුකාර බොහෝ වන්නෙමු”යි කීහ.

එය පිළිගත් සුසීම අනඳ තෙරුන් වහන්සේ වෙත එළඹ, ඔබ සස්නෙහි බඹසර හැසිරෙන්නට මම කැමැත්තෙමි යි කීය. මෙම සුසීම සෘග්, යජුර්, සාමන් ත්‍රිවේදයෙහි ද, අථර්වන් සතර වෙනි කොට ඇති චාතූර්වේදයෙහි ද, ඉතිහාසය පස්වෙනි කොට ඇති පඤ්ච මහා වේදයෙහි ද දක්ෂ පිරිවැජියෙකි.

එකල්හි ආනන්ද තෙරුන් සිතන්නේ මොහු අන්‍ය තීර්ක පැවිද්දෙකි. මොහු පැවිදි ව සසුනට අලාභ කළ හැක. මොහුගේ අභ්‍යන්තරය මම නො දනිමි. ශාස්තෘන් වහන්සේ ම එය දනිති. එනිසා ඔහුත් රැගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගිය ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේට සුසීමගේ පැවිද්ද පිළිබඳ කරුණු කීහ.

බුදුරජාණන් වහන්සේට මේ අදහස පහළ වූ සේක. මොහු මගේ ශාසනයේ පැහැදීමකින් මහණ වන්නෙක් නොව, ධර්මය සොරා ගනිමි’ යි සිතා පැවිදි වේ. එහෙයින් සිත අපිරිසුදු ය. එහෙත් පසුව ඔහුගේ හේතු සම්පත් බලන්නේ එසේ පැවිදි වූවත් කීප දිනක් උත්සාහ කර රහත් ඵලය ලබන බව දැක,

“ආනන්දය, එසේ නම් සුසීම පැවිදි කරන්න” යැයි වදාළ සේක. පැවිද්ද ලැබූ සුසීම තෙරුන් උපසම්පදාව ද ලැබූහ.

එකල්හි බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ගෙන තෙමසක් වස් වැස ඒ තෙමස තුළ උත්සාහ කර අරහත් ඵලය ලබා ගත් බොහෝ භික්ෂූන් වහන්සේ පිරිසක් වස් පවාරණය කොට ඔවුන් ලැබූ ගුණයන් ශාස්තෘන් වහන්සේට දන්වන්නෙමු’ යි සිතා පැමිණ යහ. තමා ලැබූ අධිගම ගුණ මහිමයන් (අර්හත්වය) භාග්‍යවතුන් වහන්සේට දන්වා සිටි සේක.

ඒ ආසන්නයේ සිටිමින් මේ බව ඇසූ සුසීම තෙරුන් ඒ භික්ෂූන් වහන්සේ වෙත එළඹ සතුටු විය යුතු, සිහිකටයුතු කතා කොට එකත්පසෙක වාඩි විය. එසේ හුන් සුසීම තෙරුන්, ආයුෂ්මතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි අර්හත්වය ප්‍රකාශ කරන ලද්දේ සැබෑ දැයි ඇසීය. සුසීමයෙනි, එසේ යැයි වදාළහ.

රහත් බව යනු මේ බුදු සසුනෙහි පරම නිෂ්ටාව ය. පරම ගුරු මුෂ්ටිය වේ. ඒ ගැන අසා දැන ගැනීමේ අදහසින් මෙසේ විමසන්නට සුසීම තෙරුනට සිතක් ඇතිවිය. එසේම වේදය දත් මොහු සමාධියෙන් ලැබිය හැකි අභිඥා ලාභ පිළිබඳ ව ද හොඳින් දැන සිටි අයෙකි.

ආයුෂ්මත්නී, මේ අර්හත්වයට පත් වූ ඔබ වහන්සේ නන් වැදෑරුම් සෘද්ධි කොටස්වලට පැමිණියාහු වෙත් දැයි මෙතැන් සිට පඤ්ච අභිඤ්ඤා ආදී ඤාණ පිළිබඳ සුසීම තෙරණුවෝ විමසන්නට වූහ.

“ඔබ වහන්සේට... බඹලොව තෙක් තම කයින් ස්පර්ශ කළ හැකි සෘද්ධි විධ ඤාණය වේද? ඇවැත්නි, නැත.

“ඔබ වහන්සේට.... දෙවියන් මිනිසුන් පිළිබඳ ළඟ වූත් දුර වූත් ශබ්ද ඇසිය හැකි දිබ්බසෝත (දිවකන්) ඤාණය තිබේද?” ඇවැත්නි, නැත.

“ඔබ වහන්සේට.... අනුන්ගේ සිත් සරාග ද, විරාග ද ආදී වශයෙන් තමන්ගේ සිතින් අන්‍යයන්ගේ සිත් පිරිසිඳ දැකිය හැකි චෙතො පරියඤාණ වේ ද?” ඇවැත්නි නැත.

“ආයුෂ්මතුන් වහන්ස..... පෙර විසූ කඳ පිළිවෙළ දන්නා පුබ්බේනිවාසානුස්මෘති ඤාණය වේ ද?” ඇවැත්නි නැත.

“ආයුෂ්මත්නි,..... මිනිසැස ඉක්ම වූ දිබ්බචක්ඛු (දිවැස) ඤාණය තිබේද?” ඇවැත්නි නැත.

“ආයුෂ්මත්නි..... මෙසේ දන්නා වූ (අරහත් වූ) ඔබ වහන්සේ රූපය ඉක්ම වූ ශාන්ත අරූප විමොක්ඛයෝ (මිදීම්) වේ නම් ඔවුන් තම නාමකයින් ස්පර්ශ කර වසන්නේ වේ ද? ඇවැත්නි මෙය නො වේ ම ය.

විමෝක්ෂ නම් - සතුරු නීවරණයන්ගෙන් මැනවින් මිදුණු ධ්‍යානයන්හි තදින් ඇලී සිටින ධර්මයෝයි. (දීඝනිකාය මහා නිදාන - මහා පරිනිර්වාණ සූත්‍ර ද බලන්න.)

ආයුෂ්මත්නි, මෙහි දී ඔබ වහන්සේ මේ නානාවිධ අභිඥා සෘද්ධියනට පැමිණ නැතැයි ප්‍රකාශ කරන්නේ ම ය. එසේ නම් මේ අර්හත් ඵලයට පැමිණි කෙනෙක් වන්නේ කෙසේ ද?

ඇවැත්නි, මෙය විය නොහැකි ය. වේදයේ සෘද්ධි බල - රූපාවචර ධ්‍යාන - අරූපාවචර ධ්‍යානයන්ට පැමිණීම, විමෝක්ෂ හෙවත් මිදීම ගැන සඳහන් වන නිසා සුසීම මෙසේ අර්හත් ඵල ලාභි භික්ෂූන් වහන්සේගෙන් ඉහත දැක්වූ පරිදි විමසන්නට වූහ. මෙසේ අභිඤ්ඤා නොලබා ඔබ වහන්සේ රහත් බව ප්‍රකාශ කරන්නේ කෙසේ ද? යනු සුසීමට ගැටලුවක් වී ඇත. ධර්මකාමී අප තුළ ද මේ සිතිවිලි වේ ද? නොවේ ද?

එසේ නම් මේ ගැටලුවලට විසඳුම් සොයා සූත්‍රය තව ඉදිරියට කියවා තේරුම් ගැනීමට උත්සාහ කරමු.

ඇවැත් සුසීම, අපි (ශුෂ්ක විදර්ශක) විදර්ශනා ප්‍රඥා මාත්‍රයෙන් ම සසරින් මිදුණමෝ වෙමු.

ආයුෂ්මතුන් විසින් සැකෙවින් කියන ඔය අරුත විස්තර වශයෙන් මම නොදනිමි. මට කියන්න යැයි සුසීම තෙරණුවෝ අයැද සිටියහ. ඇවැත් සුසීම, ඔබ දැන ගත්තා හෝ නො දැන ගත්තා හෝ (වේවා) අපි වූ කලි ප්‍රඥා මාත්‍රයෙන් ම සසරින් මිදුනමෝ වම්හ’යි අර්හත් ඵල ලාභි ඒ භික්ෂූන් වහන්සේ වදාළ සේක.

අනතුරුව ආයුෂ්මත් සුසීම තෙරුන් වහන්සේ හුන් අසුනෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක සිට භික්ෂූන් වහන්සේ සමඟ වූ ඒ කතා සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.

“සුසීම, පළමුව ධම්මට්ඨතිඤාණය (විදර්ශනා ඥානය) ඇති වේ. පසුව (නිර්වාණ) මාර්ග ඥානය උපදී යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.”

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සැකෙවින් වදාරන ලද මෙහි අර්ථය මට විස්තර වශයෙන් වදාරන සේක්වා’යි සුසීම තෙරුන් වහන්සේ අයැද සිටියහ.

සුසීම, ඔබ දැන ගන්නෙහි හෝ නො දැන ගන්නෙහි හෝ (වේවා) පළමුව විදසුන් නුවණ ද, පසුව මඟ නුවණ ද උපදී. සුසීම මාර්ගය හෝ ඵලය හෝ සමාධියේ විපාකයක් නොවේ. සමාධියෙන් ලැබෙන ආනිසංසයක් නොවේ. සමාධියේ නිෂ්පත්තියක් (සිද්ධවීමක්) නොවේ. (අරහත්මඟඵල) විදර්ශනාවේ ම ගලායාමකි. (නිස්සනේදා) විදර්ශනාවේ ම ආනිසංසයකි. (ආනිසංසො) විදර්ශනාවේ ම සිද්ධවීමකි. (නිෂ්ඵත්ති) එ නිසා නුඹ දැන සිටියත්, නොදැන සිටියත් ධම්මට්ඨිති (විපස්සනා)ඤාණය මුලින් ඇති වේ. පසුව නිර්වාණය ඤාණය ඇති වේ යනුයි.

සම්පාදක අසා දැන සිටින පරිදි අදහසක් - සමාධිය ඇත්තේ විදර්ශනා ඥානයට පහසු වීමට ය. නිවනට නතු කරගත් සිත ඇත්තේ නාම - රූප මුල්කොටගත් සංස්කාරයෝ අනිත්‍යාදි තිලකුණ යොදා සමාධිය නැත්තේ වුව ද විදර්ශනා ඥානය මතු කර ගත හැක. ඒ පටිසෝතගාමී වීර්යයෙනි. මහත් කැප කිරීමෙනි. අසීරුවෙනි. මෙහිදී ද ශ්‍රද්ධා - වීරියාදී පඤ්චබල පඤ්ච ඉන්ද්‍රියෝ සම ව තිබිය යුතු ය.

දැන් සුසීමගේ සිත ප්‍රතිවේධයට සුදුසු බව බුදුරජාණන් වහන්සේ දැන නිවන් අවබෝධය සඳහා තිපරිවට්ටයේ (සත්‍ය හා කෘත්‍ය වට අභිභවා - කෘත වටයට පැමිණ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ හා දොළොස් ආකාර අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වූ පටිච්චසමුප්පාද) ධර්මතා පහත සඳහන් පරිදි විචාළ සේක.

සුසීම, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? මේ කරුණ ගැන ඔබට කුමක් සිතන්නේහි ද?

‘ස්වාමීනි රූපය අනිත්‍ය’ ය.

යමක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සැප හෝ වේ ද,?

ස්වාමීනි, දුක්’ය,

යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වන ස්වභාව ඇත්තේ නම් එය “මෙය මාගේ ය. මෙය මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දැකීමට සුදුසු වේ ද? ‘ස්වාමීනි, එය සුදුසු නොවේ’ ම ය.

සුසීම, වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ස්වාමිනී, අනිත්‍යය.

..... සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ස්වාමීනි, අනිත්‍යය.

...... සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

ස්වාමීනි, අනිත්‍යය.

....විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ස්වාමීනි, අනිත්‍යය.

‘සුසීම යමක් අනිත්‍ය නම්, එය දුක් හෝ සැප හෝ වේ ද?

‘ස්වාමින් වහන්ස, දුක් ය.’

යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වන සුලු නම්, එය ‘මෙය මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්මය’යි දක්නට සුදුසු වේ ද? ‘ස්වාමීන් වහන්ස, එය සුදුසු නොවේ ම ය,

සුසීම, එහෙයින් මෙහි දී ආධ්‍යාත්මික වූ හෝ, බාහිර වූ හෝ, මහත් වූ හෝ, සූක්ෂම වූ හෝ, හීන වූ හෝ, ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ, ළඟ වූ හෝ, අතීතයේ තිබූ, අනාගතයේ තිබිය හැකි - වර්තමානයේ තිබෙන යම් රූපයක් වේ නම් ඒ සියලු ආකාරයේ රූප මගේ නො වේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ යැයි මනා නුවණින් (සම්‍යක් ප්‍රඥාවෙන්) දැක්ක යුතු ය.

සුසීම මෙසේම තෛ‍්‍රකාලික යම් වේදනාවක් වේ ද, සංඥාවක් වේ ද? සංස්කාරයෝ වේ ද, විඤ්ඤාණයක් වේ ද (පඤ්චස්කන්ධයක් ම වේ ද) මෙය මාගේ නොවේ. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ ය’ යි තතු සේ මනා නුවණින් (නිවරද සම්‍යක් ප්‍රඥාවෙන් - යථාභූත ඤාණයෙන්) දැක්ක යුතු ය.

සුසීම, මෙසේ (පර්යාප්ති ධර්මයෙහි) බොහෝ ඇසූ පිරූ තැන් ඇති ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මෙසේ දකින්නා වූ, රූපයෙහි කලකිරෙයි. විඳින්නා වූ වේදනාවෙහි ද, සංඥාවෙහි ද, සංස්කාරයන් හි ද, විඥානයෙහි ද, කලකිරෙයි.

(නිබ්බන්දති) තමාගේ කරගත් පඤ්ච උපාදානස්කන්ධයෙහි ම කලකිරෙණුයේ නො ඇලෙයි. (විරජ්ජති)

නො ඇල්මෙන් ද මිදෙයි. (විරාගා විමුච්චති)

මිදුණු කල්හි මිදුණේ යැයි දැනීම වෙයි. (දැන ගනී)

විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති) එකල්හි ජාතිය ක්ෂය වූයේ ය. (ඛීණා ජාති) (නැවත භවයක ඉපදීමක් නැත) මාර්ග බ්‍රහ්ම චරියාවෙහි හැසිරීම නිම වෙයි. (වූසිතං බ්‍රහ්මචරියං) ඒ සඳහා කළ යුතු සියලු කටයුතු නිම කරන ලදී. (කතං කරණීයං) නිවන පිණිස, අරහත් ඵල පිණිස කිරීමට වෙනත් කිසිවක් (අනෙකෙක්) නැතැයි දැන ගනී. (නාපරං ඉත්ථත්තායා’ති පජානාති)

(සටහනකි - කර්මක්ෂය, තණ්හක්ෂය, මෝහක්ෂය හා කිසිදු ඉතිරියක් නැතිව අවිද්‍යාව නසා විද්‍යාව උපදවා ක්ෂීණාශ්‍රව හෙවත් නැවැත ඉපදීමක් නැති අරහත් ඵල ස්වභාවය එකී ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන් සාක්ෂාත් කළ බව ඉහත පාඨයෙන් කියැවේ.

එමෙන්ම පහත දක්වන අනුලෝම පටිලෝම පටිච්චසමුප්පාද අවබෝධය ද (අවිජ්ජා නිරෝධා අසෙස විරාග නිරොධො) මේ අර්හත් ඵලය සාක්ෂාත් කිරීමට අත්‍යවශ්‍ය බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුසීම තෙරුනට පිළිවෙතක් ලෙස (කළ යුත්තක් ලෙසින්) තවදුරටත් මෙසේ පහදා දෙන සේක.

සුසීම, ඉපදීම නිසා ජරා මරණා දී සියලු දුක් වන බව ඔබ දකිහි ද? ස්වාමීනි, එසේ ය. භව ප්‍රත්‍යය කොට ගෙන මේ ඉපදීම වන බව සුසීම ඔබ දකිහි ද? ස්වාමින් වහන්ස, එසේ ය.

සුසීමගෙන් මෙසේ උපාදාන, තණ්හා, වේදනා, ඵස්ස, සලායතන, නාමරූප, විඥාන, සංඛාර, අවිජ්ජා වශයෙන් පටිච්ච සමුප්පාදයේ එන 12 අංග හේතු නිසා උපදින ඵලයන් බව ප්‍රශ්නෝත්තර වශයෙන් අසා පැහැදිලි කරවාලූ සේක. අනතුරුව ඒ අයුරින් ම සුසීම ජාතිය නැත්තේ ජරා මරණාදි සියලු දුක් ගිනි නිරෝධ (විනාශ) වන බව (ජාති නිරොධා, ජරා මරණ නිරොධො) ඔබ දකිහි ද? ස්වාමීනි, එසේ ය. සුසීම, අවිද්‍යා නිරුද්ධයෙන් සංස්කාර නිරෝධ වන්නේ යැයි 12 අංගයෝ ම නිරෝධ කරවන අයුරු සුසීම තෙරුනට පහදා දුන් සේක.

මේ පහදා දීම සුසීම තෙරුනට පමණක් ම ද? නැත. අපටත් සමඟ ය. මෙහි අවිද්‍යා නිරෝධය නම් චතුරාර්ය සත්‍යයෝ අවබෝධ කිරීම ම වෙත්.

ඉක්බිතිව සුසීම, මෙසේ දන්නා වූ, දක්නා වූ ඔබට නාන ප්‍රකාර සෘද්ධ විධි වේද? සෘද්ධි විධි විඳිහී ද? වහන්ස මෙය නොවේ ම ය. දිබ්බසෝත ඥානය, පරචිත්ත විජාණන ඥානය, දිබ්බචක්ඛු ඥානය (චුතුප්පාද ඥානය) රූපයන් ඉක්මවා සිටි, යම් ඒ ශාන්ත අරූප විමෝක්ෂයෝ වෙත් නම් (අරූපාවචර ධ්‍යාන) ඒ ධර්මතා (මේ) කයින් ස්පර්ශ කරමින් වාසය කෙරෙත් ද? ස්වාමීනි, මෙය නොවේම’ ය.

සුසීම, දැන් මෙහි (මගේ) මේ ප්‍රකාශය ද මේ ඉහත ධර්මයන්ට (පඤ්ච අභිඥා, රූපාවචර අරූපාවචර ධ්‍යානයන්ට) නො පැමිණීම පිළිබඳ ව ය. සුසීම, මෙය කෙසේ වේ ද? එවිට ආයුෂ්මත් සුසීම තෙරුන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා ළඟ හිසින් වැටී මෙසේ කීයේ ය.

ස්වාමින් වහන්ස, මම යම්බඳු මෙසේ මනා කොට දේශනා කරන ලද (මුල, මැද, අග ඇති් ස්වාක්ඛාත දහම) මේ ශාසනයෙහි දහම් සොරෙකුව පැවිදි වූයෙම් ද “ස්වාමීනි, මා බාලයකු මෙන් මෝඩයකු මෙන් අදක්ෂයකු මෙන් වූ ඒ වරද මා ඉක්ම ගියේ ය.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ මාගේ වරද ආයති සංවරය (මත්තෙහි සංවරවීම) පිණිස ම වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා” යි ඉල්ලා සිටියහ.

සුසීම, මනාකොට දේශනා කරන ලද (ස්වාක්ඛාත) දහමක් ඇති මෙම ශාසනයෙහි ඔබ දහම් සොරකුව පැවිදි වූයෙහි ය. එසේ නම් බාලයකු, මෝඩයකු, අදක්ෂයකු සේ වරද ඔබ ඉක්මවා ගියේ ය. (වරදෙහි බැඳුනේ ය.)

“සුසීම, රාජපුරුෂයන් අපරාධයක් කළ සොරකු අල්ලා ගෙනවුත් රජුට දක්වමින් කරුණු කී විට රජු මේ පුරුෂයා පිටිතලහයා දැඩි බැම්මෙන් බැඳ, හිස මුඩුකොට රළු හඬ ඇති පනාබෙරින් යුක්තව වීදියෙන් වීදියට, සතර මං සන්ධියෙන් සතර මන්සන්ධියට, පමුණුවා.... හිස ගසාලව“යි නියෝග කෙරේ. එසේ කොට රාජපුරුෂයෝ ඔහුගේ හිස සිඳින්නාහු ය. සුසීම, ඒ ගැන (ඒ සොරකම හා දඬුවම ගැන) ඔබට කෙසේ හැඟීමක් වේ ද? ඒ පුරුෂයා ඒ සොරකම හේතු කොට ගෙන දුකක් දොම්නසක් විඳින්නේ ද?

ස්වාමීනි, එසේ ය.

සුසීම, ඒ පුරුෂයා එවන් සොරකමකට යම්බඳු දුකක් දොම්නසක් විඳින්නේ ද? මෙසේ මනා කොට දේශිත ශාසනයක දහම් සොරකුගේ යම් පැවිද්දක් වේ ද මේ පැවිද්ද රාජ දඬුවමකට හසුවූ සොරා විඳි දුකට වඩා අතිශයින් වූ දුක් විපාක ඇත්තේ ද, අතිශයින් කටුක විපාක ඇත්තේ ද වෙයි. තව ද නිරයෙහි ඉපදීමට ද හේතු වේ.

සුසීම, යම් හෙයකින් ඔබ වරද වරද වශයෙන් දැක ධර්මයට අනුව පිළියම් කෙරෙහි ද? (සසර වසන තෙක් අනාගතයෙහි නැවත එම වරද නොකරන බවට අදිටනින් ප්‍රකාශ කරන්නෙහි ද?) ඔබගේ ඒ වරද සමා කරවා ගැනීම අපි පිළිගනුම්හ. සුසීම, යමෙක් වරද වරද වශයෙන් දැක දහමෙහි වූ පරිදි පිළියම් කෙරේ නම් මත්තෙහි සංවර වීමටත් (ආයති සංවරය) පැමිණේ නම් මෙය ආර්ය විනයෙහි දියුණුවට හේතු වන්නේ ම ය.

අරියසස විනයෙ යො අච්චයං අච්චයතො දිසවා යථාධම්මං පටි කරොති, ආයතිඤ්ච සංවරං ආපජ්ජතීති.

සුසීම තෙරණුවෝ රහතුන් වහන්සේ අතර තවත් එක් අරහත් ඵල ලාභියෙකු වූ සේක.

(සංයුත්ත නිකාය 2 - අභිසමය සංයුත්තය - මහා වග්ග - 10 සුසීම සූත්‍රය පිටු 188 ) (අටුවාව ද ඇසුරු කරන ලදී.)