Print this Article


උනපාන චන්ද්‍රජෝති හිමියෝ අධිකරණ සංඝනායක පදවි ලබති

උනපාන චන්ද්‍රජෝති හිමියෝ අධිකරණ සංඝනායක පදවි ලබති

ඔක්කම්පිටිය මාලිගාවිල රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත උනපාන චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේට සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝසභාව මඟින් ප්‍රවචන කීර්ති ශ්‍රී දේවරක්ඛිත යන ගෞරව නාමය සහිතව ඌව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීම මාර්තු මස (01) වෙනි දින පෙ.ව 10.00 මහනුවර උපෝසථ පුෂ්පාරාම විහාරස්ථානයේ දී සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක හිමියන් විසින් සිදුකෙරිණි.

1957 පෙබරවාරි මස 11 වෙනි දින ඌව පරණගම ලූණුවත්ත උනපාන ග්‍රාමයේ දී උපත ලැබූ උන්වහන්සේගේ දෙමව්පියන් වන්නේ ටී.එම් පුංචිබණ්ඩා,ආර්.එම් බණ්ඩාරමැණිකා යන දම්පතීන් යුවළයි.

1970/10/21 වෙනි දින ඔක්කම්පිටියේ සුමනජෝති සහ ඔක්කම්පිටියේ දේවරක්ඛිත යන ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි වූ උනාපාන චන්ද්‍රජෝති හිමි 1977/06/19 වෙනි දින මහනුවර මල්වතු විහාරීය උපොසථාගාරයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබීය.

පොතුබන්ධන සහ බුක්කීරියගොල්ල යන පිරිවෙන්වලින් සහ කුඹල්වැල්ල රේවත පිරිවෙන් විද්‍යායතනයෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්වී ශාස්ත්‍රවේදී උපාධියත් පසුකාලීනව කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් හිමිකරගෙන ඇත.

අනතුරුව වැල්ලවාය වෙහෙරයාය ගංගාරාම පිරිවෙනේ ගුරුවරයෙකු ලෙස රජයේ ගුරු සේවයට එක්වූ උන්වහන්සේ ප්‍රදේශයේ පිරිවෙන් සහ පාසල් ගණනාවක ගුරුවරයකු ලෙස සේවය කර ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහලපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී විශ්‍රාම ගනු ලැබීය.

මාලිගාවිල රාජමහා විහාරය, ඔක්කම්පිටිය ගලේ විහාරය, රාත්‍රීවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන විහාරස්ථාන වල විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරමින් ප්‍රදේශයේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ඉටුකළ සේවය අතිමහත් ය.

බුත්තල ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් උන්වහන්සේ සාමාජයීය, ශාසනික, අධ්‍යාපනික සහ ආගමික සේවාන් වැඩි දියුණු කිරීමට මුළු කාලය ම කැප කළ තෙර නමකි.

නායක පදවියෙන් පුදලද උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය මාර්තු මස 04 වෙනි දින ප.ව 2.00 ඔක්කම්පිටිය මාලිගාවිල රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.