Print this Article


ඉන්දියාව බුද්ධ කාලයේ ජම්බුදීපය යි

ඉන්දියාව බුද්ධ කාලයේ ජම්බුදීපය යි

බුදු දහම බෞද්ධ ඉතිහාසය උගන්වනු ලබන ලෝකයේ ඕනෑම විශ්වවිද්‍යාලයක හෝ පර්යේෂණ ආයතනවල හෝ ජාත්‍යන්තර පාසල් ආදී ඕනෑම තැනක බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ඉන්දියාවේ යැයි පිළිගත් සත්‍ය ඉතිහාසයේ කිසිදු සැකයක් නොමැතිව උගන්වනු ලබන බවත් අවධාරණය කරගත යුතු ය.

අපේ රට මහ මුහුදෙන් වට වුවත් ඉන්දියාව එසේ නොවන හෙයින් ජම්බුද්වීපය යනු ඉන්දියාව නොව බුදුන් උපන් දේශය ලංකාවයි” මිථ්‍යාවාදී කල්ලිවල ප්‍රබල තර්කයකි. එහිලා ජම්බුදීප වචනය පිළිබඳ ධර්ම ශාස්ත්‍රීය වශයෙන් කෙටියෙන් හෝ විමසා බැලීම වැදගත් වෙයි.

දීප

භාරත දේශය හෙවත් ඉන්දියාව හැඳින්වීම සඳහා බුද්ධ කාලයේ ව්‍යවහාර වූ නාමය “ජම්බුදීප” යන්නයි. මෙහි ජම්බු හා දීප යනු විසින් දෙපදයකි. “දීප යනු දිවයිනයි” අරුත් සැපයීමට ඇතැමෙක් පෙළැඹේ. එහෙත් ජලයෙන් වට වූ එනම් දිවයින යන අදහස සඳහා දීප යන පදය ත්‍රිපිටකයේවත්, අටුවාවලවත්, ටීකාවලවත්, ප්‍රකරණ ග්‍රන්ථවලවත් භාවිත නොවේ. දීප යන පාලි පදය සඳහා දිවයින යන අර්ථය සපයා ඇති පැරැණිම මූලාශ්‍රය ක්‍රි.ව. 918 දී පමණ පස්වැනි කාශ්‍යප රජු විසින් රචනා කරන ලද “ධම්පියා අටුවා ගැටපදයයි” දීප සංඛ්‍යාතං පතිට්ඨං විය පිහිට දිවයිනැයි කියන ලද පිහිටක් සෙයින්” නිදසුන් කොට දැක්විය හැකි ය. නමුත් නූතනයේ ප්‍රචළිත අර්ථය වූ ජලයෙන් වට වූ භූමිය දීප යනුවෙන් කිසිසේත්ම මෙහි අර්ථ දක්වා නොමැති බව ප්‍රකටයි.

ජම්බුදීප යන මේ වචනය බුද්ධ දේශනාවේ අන්තර්ගත හෙයින් එහි පැරැණිම මූලාශ්‍රය වන්නේ තුන්පිටකයයි. දීප ශබ්දය ඇතුළත් ප්‍රකට දේශනාවක් වශයෙන් “අත්ත දීපා භික්ඛවේ විහරථ, අත්තසරණ අනඤ්ඤසරණා, ධම්මදීප, ධම්ම සරණ, අනඤ්ඤසරණ” යන පාඨය පෙන්වාදිය හැකි ය. “අත්තදීන” යන පදයේ අර්ථ සපයා ඇත්තේ ආත්මය හෙවත් ලොවී ලොව්තුරා දහම ද්වීප කොට ඇත්තෝ වැ යනුවෙනි. එම නිසා දීප යන පදයේ අර්ථය පිහිට, ආරක්ෂිත ස්ථානය යනුයි. “අත්තදීපාති අත්තානං දීපං තානං ලෙනං ගතිං පරායණං පතිට්ඨං කත්වා විහරථාති අත්තේ” අත්තදීපා යනු තමන්ට පිහිට, ආරක්ෂාව රක්ෂා ස්ථානය, ගතිය, උපදනා තැන නැතහොත් පැවතීම” යන අරුත් ය. අටුවාව මෙම අර්ථය සපයන්නේ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් ය. කප්ප සූත්‍ර නිර්දේශයේ දීපං පබ්‍රැහි මාරිසාති දීපං තානං ලෙණං සරණං ගතිං පරායනං බ්‍රැහි ආචික්ඛාහි දෙයෙහි පඤ්ඤපෙහි පටිඨපෙහි විවරාහි විභජාහි උත්තානී කරොහි පකාසෙහි” පාඨය නිදසුන් කොට දැක්විය හැකි ය. දීප යන්නට තාන (ආරක්ෂාව පිහිට) ලෙණ (ආරක්ෂාව, රක්ෂා ස්ථානය) සරණ (පිහිට) ගති (පැවැත්ම, ගතිය, උපදනා තැන) පරායණ (පිහිට) යනුවෙන් සමාන අර්ථ කිහිපයක් දක්වා ඇත. එම අර්ථය ම පශ්චාත් කාලීන අටුවා ආදියෙහි ද විවරණය කරයි. දීප යන පදයේ අවසානම නැතහොත් ඉහළම අර්ථය නිවනයි. “දීපං කසිරාථ මෙධාවි” යන ගාථා පාදයේ දීපං පදය ඛුද්දක නිකායේ විස්තර කරන්නේ මෙසේ ය. එනම් “දීපං යනු ඉතා ගැඹුරු සංසාර සාගරයට පිවිසියහුට ප්‍රතිෂ්ඨා ස්ථානය වන අර්හත්ථ ඵලයයි.” මෙම ඓතිහාසික මූලාශ්‍රයන් පිළිබඳ අනවබෝධයෙන් හුදෙක් සාගරයෙන් වට වූ ලංකාවේ පිහිටීම උපකල්පනය කරමින් දීප යන්න තේරුම් ගැනීම නිසා මෑත භාගයේ ඇතැමෙක් ජම්බුදීප නැතහොත් දඹදිව යනු ඉන්දියාව නොව ලංකාවයි. ඊනියා උමතු මත ප්‍රකාශ කරති. දැන් දේශනා පාලියේ “ජම්බු” නාමය අර්ථවත් කොට ඇති ආකාරය කෙසේදැයි විමසා බැලීම වැදගත් වෙයි.

“ජම්බු ශබ්දය”

ජම්බුදීප, ජම්බුගාම, ජම්බුසණ්ඩ, ජම්බුම් ඡායා ආදී වශයෙන් ත්‍රිපිටකයේ විවිධ තැන්වල “ජම්බු” ශබ්දය සඳහන් ය. නූතනයේ ඉන්දියාව හෙවත් භාරත දේශය යනුවෙන් හැඳින්වෙන රට එදා ජම්බුදීප යනුවෙන් හඳුන්වා ඇත. නේපාලය, පකිස්ථානය, තුර්කිය ආදී වශයෙන් බෙදා වෙන් වූ රාජ්‍යයන් එදා එකම රටක් විය. එය ජම්බුදීපයයි. අටුවාවලටත් වඩා පැරැණි මිලින්ද පඤ්හෙ සකල ජම්බුදීප යනුවෙන් සඳහන් වන්නේ නොබෙදුනු ජම්බුදීපයයි. වරක් බුදුරජාණන් වහන්සේ හා උරුවෙල කාශ්‍යප ජටිල තෙමේ අතර පැවැති සාකච්ඡාවකින් ජම්බු හෙවත් දඹගස පිළිබඳ විස්තරයක් මහාවග්ගපාලියේ හෙළිවේ.

උරුවෙලකස්සපං ජටිලං උය්‍යෙජෙත්වා යාය ජම්බුයා ජම්බුදීපො පඤ්ඤායති තතො ඵලං ගහෙත්වා පඨමතරං ආගනත්වා අග්‍යාගාරේ නිසීදී.... ඉධාහං කස්සප, තං උය්‍යොජෙත්වායාය ජම්බුයා ජම්බුදීපො පඤ්ඤායති, තතො ඵලං ගහෙත්වා පඨමතරං ආගන්ත්වා අග්‍යාගරෙ නිසින්නො ඉදං ඛො කස්සප ජම්බුඵලං වණ්ණසම්පත්තං ගන්ධසමිපත්තං රසසමිපත්තං සචෙ ආකඛෙයි පරිභූඤ්ජාති”

කාශ්‍යපය, මෙහි මම ඔබ පිටත් කොට දඹදිව යමි දඹ ගසකින්. ප්‍රසිද්ධ වේ ද, ඒ ගසින් ගෙඩියක් ගෙන පළමු කොට අවුත් ගිනිගල්ගෙහි හුන්නෙමි. කාශ්‍යපය මේ දඹගෙඩිය පැහැයෙන් පිරිපුන්ය. සුවඳින් පිරිපුන් ය. රසයෙන් පිරිපුන් ය. ඉදින් කැමැත්තෙහි නම් අනුභව කරව. “වදාළ සේක” වර්ණයෙන් පිරිපුන් (වණ්ණ සම්පන්න) සුවඳින් පිරිපුන් (ගන්ධ සම්පන්න) රසයෙන් පිරිපුන් (රස සම්පන්න) ගෙඩි ඇති සුවිසල් දඹගසක් හේතුකොට ජම්බුප (දඹදිව) නමින් එදා දඹදිව ප්‍රසිද්ධ වූ බව සනාථ කිරීමට මෙම පාඨයත් වැදගත් ය. තවද අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙහි ‘ජම්බුදීප ප්‍යොලය නමින් සතර වැනි වර්ගය නම් කොට ඇත. එකල “සෙය්‍යථාපි භික්ඛවෙ අප්පමත්තකං ඉමස්මිං ජම්බුදීප්‍යෙ. ආරා මමණෙය්‍යකං වනරාමණෙය්‍යකං, භුමිරාමණෙය්‍යකං පොකඛරණරා මණෙය්‍යකං අථ ඛො ථතදෙව බහුතරං යදිදං උක්කුලවිකුලං නදීවිදුග්ගං ඛාණු කණ්ටකා ධානං පබ්බත විසමං

මහණෙනි, මේ දඹදිව අරමි රමණීයය. වන රමණීය බිමි රමණීය පොකුණු රමණීය. යම් සේ අල්පමාත්‍ර වේ ද වැලිදු උස් වූ ඉවුරු ඇති ප්‍රපාත ඇති (උක්කුලවිකුලං) ගමනට ආපසු ගංගා ඇති (නදීවිදුග්ගං) කණුකටු පිහිටා තැන් ද (චාණු කණ්ඨ කාධානං) ගිරි විෂමස්ථාන යනාදිය බොහෝ වෙයි. මෙහි ජම්බුදීපෙ යන පදය විවරණය කරන අටුවාව ජම්බුදීපෙති ජම්බුයා පඤ්ඤාතො පාකථො දීපොති ජම්බුදීපෙ දඹදිව යනු දඹගසින් ප්‍රකට ස්ථානයයි. නැතහොත් රටයි යනුවෙන් වරණ කරමින් ජම්බු හෙවත් දඹ ගසෙහි ප්‍රමාණය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරයි. අටුවාවේ අන්තර්ගත එම විවරණයෙන් රසවත් වූ ගෙඩි ඇති දඹ නැතහොත් “ජම්බු” ගසෙහි විශාලත්වය පිළිබඳ සිතා ගත හැකියි.

එනම්,

“ඉමස්ස කිර දීපස්ස පඤ්ඤාණ භූතා යොජන සතුබේබෙඨා හිමවත්ත පබ්බතෙ ජාතක - ප්පටිඨායිනී මහා ජම්බුතාව අත්ථිතාය අයං දීපො ජම්බුදීපො මෙම ජම්බු හෙවත් දඹගහ යොදුන් සීයක් උස වූ පණස් යොදුන් අතු ඇති, යොදුන් පසළොස්කින් වට වූ කඳ ඇති හිමවත් පෙදෙසෙහි හට ගත් කල්පයක් පවතින මහා ජම්බු නම් ගසකි. එම නිසා මේ රට ජම්බුදීප නමින් ප්‍රකට විය. මෙම විවරණය අනුව දඹ ගසෙහි විශාල ප්‍රමාණය සිතා ගත හැකි ය. “යොදුනකට සැතපුම් 8 කි. (ක්‍රෝශ 4කි) සැතපුම් 4 යි ද, 16 කැයි දා කියති. එසේ බලන කල මේ ජම්බුගස යොදුන් සීයක් උසයි. පනස් යොදුනක් පමණ අතු තිබේ. කඳෙහි වට ප්‍රමාණය යොදුන් පහළොවකි. මේ උස වට ප්‍රමාණය ආදිය විස්තරවලින් අදහස් කරන්නේ අති විශාල අතු විහිදුනු ගසක් බවයි. දැක හැතැම්ම ගණන් දිගට වැඩුණු නුග ගස් පවා දක්නට ලැබෙන හෙයින් මෙය අභව්‍ය සිද්ධියක් නොවේ. කෙසේ වුවත් අටුවාවේ විස්තර කරන්නේ අති විශාල ගසක් බව ය. ජම්බුදීප යන පදය බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේ ස්වකීය රට හැඳින්වීම සඳහා එකල ව්‍යවහාරයක් පැවැති වචනයට භාවිත කොට ඇත. එහෙත් බෞද්ධ නොවූ ඇතැම් වෛදිකයෙක් මෙම ව්‍යවහාරයට එකඟ නොවූ බව පෙනේ. එම නිසා ඔවුන් බොහෝ විට භාරත යන පදය භාවිත කොට ඇත.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.