Print this Article


ජීවිතයේ නිස්සාර බව නුවණින් දකින්න

ජීවිතයේ නිස්සාර බව නුවණින් දකින්න

අපගේ බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිදුවු සිදුවීමක් මෙසේ වදාළා.

තව්තිසා දෙව්ලොව වාසය කළා සුබ්‍රහ්ම නමැති දෙවියෙක්. මේ සුබ්‍රහ්ම දෙවියාට දිව්‍ය අප්සරාවෝ දහසක් දෙනා සිටියා. ඒ අප්සරාවන් සමඟ ඒ දෙවියා හරිම සතුටින් සන්තෝෂයෙන් කාලය ගත කළා. යම් කාලයක් එනවා දෙව්ලොව තිබෙන අසිරිමත් පරසතුමල් වෘක්ෂයේ මල් පිපෙන, පරසතු මල් පිපෙන කාලයට දෙවිවරු ඒ ගස යටට යන්න ආශා කරනවා. මේ සුබ්‍රහ්ම දෙවියාටත් අප්සරාවෝ ඇවිටිලි කළා.

“දේව පුත්‍රය, අපිත් පරසතු මල් වෘක්ෂය යටට ගොස් සතුටු වෙමු” කියලා. ඒ අනුව ඔවුන් වෘක්ෂය යටට ගොස් මල් කඩමින් මල් මාලා ගොතමින් දෙවියාට පළඳවමින් සතුටු වෙවී සිටියා. සුබ්‍රහ්ම දෙවියා දෑස් පියාගෙන සතුටින් සිටියා. ඔහුට එක වරම පාළුවක් දැනුණා. දෙවියා දෑස් ඇර බැලුවා. එක අප්සරාවක්වත් එතැන සිටියේ නැහැ. ඒ දෙවියා පරසතුමල් වෘක්ෂය වටේම අප්සරාවන්ගේ නම් කියමින් සෙව්වා. කිසිවෙක් නැහැ. දෙවියාගේ සිතට බියක් ඉපදුණා. මාගේ පි‍්‍රයාදර අප්සරාවියෝ මාව දාලා ගිහිල්ලා ද? ඔවුන්ට දිව්‍ය ජීවිතය අහිමි වෙලා වෙන ලෝකයකට චුත වුණා ද කියලා දෙවියාට සිතුණා. සුබ්‍රහ්ම දෙවියාට තිබුණා ඥානයක්. ඒ ඥානයෙන් දෙවියා බැලුවා තමාගේ අප්සරාවෝ මේ තව්තිසා දෙව් ලොවෙන් යට තිබෙන චාතුම්මහාරාජික දෙව්ලොව ඉපදුණා ද කියලා. හිටියේ නැහැ. භූමාටු දෙවියන් අතරත් නැහැ. මනුලොව ඉපදුණා ද බැලුවා. මනුලොවත් නැහැ. පේ‍්‍රතයන් අතරත්, තිරිසන් ලොවේත්, අසුර ලොවේත් ඔවුන් නැහැ. සුබ්‍රහ්ම දෙවියා නිරය දෙස බැලුවා. ඔහු දුටුවා උහුලා ගත නොහැකි ගිනි දැලෙන් දැවෙන මොහොතකුත් සැනසීමක් නැති අවීචි නිරයේ ඔවුන් පැහෙනවා. දෙවියාගේ ගත සලිත වුණා. මීට මොහොතකට පෙර දිව්‍ය සළුවලින් ගත වසා සිටි, දෙව් සුගන්ධයෙන් ගත සරසා ගෙන සිටි, දිව්‍යමය සුවඳින් සුවපහසුවෙන් සැනසී සිටි ඉතාම සුන්දර ශරීර ඇතිව සිටි අප්සරාවෝ දහසක් දෙනා අවීචියේ ගිනිදැල් මැද. දෙවියාට මහා දුකක් හට ගත්තා.

ඔහු කල්පනා කරනවා මගේ අප්සරාවන් සියලුම දෙනා නිරයේ ඉපදුණා. ඒ වගේම මටත් මරණයක් තිබෙනවා. මට මේ දිව්‍ය ජීවිතයේ තව තිබෙන්නේ කොපමණ කාලයක් ද කියලා බැලුවා. ඔහුට පෙනුණා තමාටත් එතරම් කාලයක් නැහැ. තමාට තිබෙන්නේ මනුස්ස ජීවිතයෙන් දින හතක තරම් ඉතාම කෙටි කාලය යි. ඒ මොහොතේ ම ඔහුට සිහි වුණේ ලොවට සැනසිල්ල දන් දෙන සැනිසිලිදායකයන් වහන්සේ වෙත, ලොවට ශාන්තිය දන් දෙන ශාන්ති දායකයාණන් වහන්සේ අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. දෙවියා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි කියා සිටියා.

‘ස්වාමීනි’ භාග්‍යවතුන් වහන්ස, මගේ ජීවිතයේ හටගත් දුක් තිබෙනවා. ඒ මගේ අප්සරාවන් දහසක් දෙනා එකවර චුත වීම. මම දැන් තනි වෙලා. එය මට හට ගත් දුකයි. ඔවුන් චුත වෙලා ඉපදුණේ නිරයේ. ඒකත් මට හටගත් දුකක්. මට, නියමිත දුක් ද පෙනේ. ස්වාමීනි, මිනිස් ආයුෂවලින් දින හතකින් මට දිව්‍ය ආත්මය අහිමි වෙනවා. ඉන්පසු මම ද නිරයේ ඉපදෙන්න නියමිතයි. නිරයේ උපතින් බේරෙන්න කියා මම රැස්කර ගත් දෙයක් නැහැ. ස්වාමීනි, හටගත් දුක් නිසාත්, හට ගැනීමට තිබෙන දුක් නිසාත් දැවෙන මගේ සිත නිවා දමන දහමක් කියා දෙන සේක්වා”යි ඉල්ලිමක් කළා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“එහෙම නම් පින්වත් දෙවිය, අවබෝධයට වුවමනා කරන ඒ උතුම් සති, ධම්මවිජය විරිය, පී‍්‍රති, ඵස්සද්දි, සමාධි, උපේක්ඛා, කියන බොජ්ඣංග ධර්ම වඩන්න. අකුසල් දුරු කරන්නත්, කුසල් වඩන්නටත් වීරිය උපදවා ගන්න. ඇස, කන, නාසය, දිව, කය මනස යන ඉන්ද්‍රියයන් සංවර කර ගන්න. කෙලෙස් ගැට සියල්ලෙන් ම ගැලවෙන්න. තමා මුල්කර ගෙනවත්, අනුන් නිසාත් කෙලෙස් ගැට හදා ගන්න එපා. මේ සියල්ලෙන් නිදහස් වෙන්න. දෙවිය, මීටත් වඩා තිබෙන තවත් සැනසිල්ල කුමක්ද?

බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දේශනා කොට අවසන් වන විට සුබ්‍රහ්ම දෙවියෝ සෝතාපන්න ඵලයට පත්වුණා. රැකවරණයක් හදා ගත්තා.

එහෙම නම් දෙව්ලොව ගියත් මැරෙන ස්වභාවය උරුමයි. එය නවතාලීමට කිසිවෙකුත් නැහැ.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්මය අත් දකින්න. බුදුරදුන්ගේ සද්ධර්මය ඇසීම වාසනාවක් කියා සිතන්න. ජීවිතවලට කරදර කම්කටොළු කඩා පහත්වෙත ආකාරය දකින්න. ජීවිතයේ නිස්සාර බව සිහි කරමින් මේ සුන්දර දහම වෙත ළං වෙන්න. අවබෝධයෙන් තෙරුවන් සරණ යන්න.