Print this Article


ශ්‍රාවකයා සතු අභිමානය

ශ්‍රාවකයා සතු අභිමානය

අභිමානය කියන වචනය අපේ කනට නුහුරු නුපුරුදු නොවේ. රටකට, ජාතියකට, ආගමකට පෙරටු වූ අභිමානයක් ඕනෑම කෙනකුට තිබෙනවා. තමන්ට ම ආවේණික වූ අභිමානයක් අපගේ සිත තුළ ගොඩනැඟෙන්නේ අප කුඩා කාලයේ පටන්ම යි.

අභිමානය කියන වචනය ඇතුළේ තමන්ට දැනෙන දෙයක් තිබෙනවා. යම්කිසි දෙයක් හෝ යම් පුද්ගලයෙක් නැතිනම් යම් පිරිසක් මේ මේ ආකාරයට වටිනවා කියලා හඳුනාගෙන ඒ වටිනාකම සම්බන්ධයෙන් හදවතේ ඇතිවන හැඟීමත් අපට අභිමානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

අද වන විට ඇතැම් දෙනාට තමන් ගේ රට, ජාතිය, ආගම ගැන අභිමානය අඩුවීමට හෝ නැතිවීමට හේතුවක් වන්නේ ඔවුන්ට ඉතිහාසය ගැන තිබෙන සැකයයි.

සිංහල ජාතියට අපගේ රට ගැන අභිමානයක් ඇතිකර ගන්නට තිබෙන පූජනීය ග්‍රන්ථය තමයි මහාවංශය. අනෙක් වංශ කතා බොහොමයක් තිබෙනවා. ඒ සියලු වංශ කතා අතර, ඉදිරියෙන් තිබෙන්නේ මහාවංශය යි. මහාවංශය, දීපවංශය වගේ වංශ කතා පොත් විශ්වාසයෙන් පරිශීලනය කරනවා නම් ඔහු මේ සුන්දර රට ගැන අභිමානයක් ඇති කර ගන්නවා. මම මේ වගේ ඉතිහාසයක් තිබෙන, සෑ රදුන්, බෝධින් වහන්සේ වැඩ සිටින, ධාතුන් වහන්සේ වැඩ සිටින රටක උපන්නා නේ කියා අභිමානයක් තමා තුළ ඇතිවෙනවා.

ඒ වගේම අපට ඇසුරට සුදුසු පිරිසක් ලැබිලා නම් අපට ඒ ගැනත් ඇතිවන්නේ අභිමානයක්. බොහෝ විට අභිමානය ප්‍රඥාවන්තයන්ට අයත් විෂයක්. ඒ වගේම එකිනෙකාගේ ප්‍රඥාවේ තරමටයි රට, ජාතිය, ආගම ගැනත් අභිමානයක් හටගන්නේ.

අභිමානය කියන දේ අපගේ හදවත් තුළ ගොඩනඟා ගතයුත්තේ කෙසේද? කියා ඇතැම්විට ඔබට සිතෙන්නට පුළුවන්. ඒ සඳහා අපට මහත් සේ උපකාර කරනවා සත්පුරුෂ ඇසුර. කල්‍යාණ මිත්‍ර ඇසුර තුළින් වටිනා දේ සහ නොවටිනා දේ හඳුනා ගන්න. බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ ආශ්‍රය හඳුන්වා දුන්නේ නිධානයක් පෙන්වා දෙනවා වගේ වරද පෙන්වා දෙන තැනැත්තා සත්පුරුෂයා බවයි. ඒ සත්පුරුෂයාගෙන් අපට පුලුවන් මේ දේ හරි, මේ දේ වැරැදියි, මේ දේ වටිනවා, මේ දේ වටින්නේ නැහැ, මේ දේ ජීවිතයට ආශිර්වාදයක්, මේ දේ ශාපයක් ආදී වශයෙන් හඳුනා ගන්න. හරි වැරැද්ද හොඳ නරක, යහපත අයහපත, අපට පෙන්වා දෙන්නේ සත්පුරුෂයායි. මේ සත්පුරුෂ ආශ්‍රය තමයි අභිමානයක් ඇතිකර ගන්නට සැබෑම ප්‍රඥාව අපට උපද්දවා දෙන්නේ.

අප උපතින් රැගෙන එන ප්‍රඥාවට කියනවා ජාත ප්‍රඥාව කියලා. ජාත ප්‍රඥාව තිබුණොත් විතරයි ඇත්තෙන්ම සත්පුරුෂයෙක් ලබා දෙන ප්‍රඥාවට අපේ ජීවිතය සම්බන්ධ වෙන්නේ. ජාත ප්‍රඥාව තිබෙන අයෙක් තමන්ගේ රට, ජාතිය, ආගම් ගැන අභිමානයක් ඇති කර ගන්නවා. ඔහුගේ සිතේ අභ්‍යන්තර ව ඇතිවන යම් සාඩම්බර බවක් විඳිනවා මම මේ වගේ කෙනෙක් නේ කියලා.

තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකුට තෙරුවන ගැන හදවතේ කිසියම් වටිනාකමක් නැත්නම් ඔහු තුළ ඒ සම්බන්ධ ව අභිමානයක් නැහැ. නමුත් හැබෑවටම මනුස්සයකුගේ හදවත ඇතුළේ තමන් උපන් රට ගැන යම් අභිමානයක් තිබෙන්නට ඕන. අපට අදහසක් තිබෙන්නට ඕන මම උපන්න රට මොකක්ද? මම උපන් දා සිට ජීවත්වන මේ රටින් මට ලැබිලා තිබෙන දේ මොනවාද? කියා සිතන්නට ඕනෑ.

මෙවැනි කරුණු මත ඔබට ඔබ ගැන අභිමානයක් තිබෙනවා නම් ඔබටත් අභිමානවත් පුරවැසියෙක් ලෙස සතුටු විය නොහැකි ද?