Print this Article


කීර්තිය අතහැර අම්මා වෙනුවෙන් කැප වූබෝසත් ඇතා

කීර්තිය අතහැර අම්මා වෙනුවෙන් කැප වූබෝසත් ඇතා

බරණැස් නුවර ‍බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කාලයේ අපගේ බෝසතාණන් වහන්සේ හිමාල වනයේ ඇත් කුලයක ඇලි ඇතෙක් වෙලා උපත ලැබුවා. ඒ විතරක් නොවෙයි මේ ඇතා ඇතුන් අසූ දහසකට නායකයෙක් ද වුණා. මේ ඇතාගේ මව අන්ධ ඇතින්නක්.

පරිවාර ඇතුන්ගේ කටයුතු නිසා මව ගැන සොයා බැලීමට ඇතුන් කිහිපදෙනෙක් ම යොදවා තිබුණා. ඔවුන්ට නියම වුණේ සොයා දෙන මිහිරි ඵලාඵල මවට ගෙන ගොස් දීමයි. රාජකාරියට යොදවා සිටි ඇතුන් මගදීම ඒ මිහිරි ආහාර අනුභව කරලා ඇත් පංතියට ඇවිත් බෝසත් ඇත් නායකයාට කියනවා

‘ඇත් රජුනි, ඔබ වහන්සේ පවරපු රාජකාරිය එලෙසම ඉටුකළා’යි කියලා. දවසක් බෝසත් ඇතා මවගෙන් සැපදුක් විමසන්න ගිහින් අහනවා

‘මෑණියනි, මම හැමදාම ඔබ වෙත ආහාර එවනවා. ඒවා රස ද? වෙනත් පලතුරු හෝ ගස්කොළ ආදිය හෝ තිබෙනවා නම් මට කියන්න’යි මතක් කළා. ඒවගේම අඩුපාඩු තියනවා නම් කියන්න කියලත් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේ දී මව් ඇතින්න බෝසත් ඇතාට කියනවා

‘පුතණුවනි, දින ගණනාවක් මට ආහාර ලැබුණේ නැහැ. මා බොහෝ සේ කුසගින්නේ ඉන්නේ. මට ආහාර ලැබුණේ නෑ’යි කියලා. බෝසත් ඇතා සියල්ල වටහා ගත්තා. තමන්ට ලැබුණ නායකකමත්, අසූ දහසක් පරිවාර ඇතුනුත් අත්හැර දමලා මව් ඇතින්න අරගෙන චණ්ඩෝර නම් පර්වත පාමුලට ගිහින් එහි විශාල ගල් ලෙනක මව නතර කරලා අවශ්‍ය ආහාර පාන ලබා දීමටත්, නෑවීම් ආදිය සිදු කිරීමටත් පටන් ගත්තා. මෙහෙම මව පෝෂණය කරමින් කාලය ගත කළා.

දවසක් ගල් ලෙනේ ඉන්න මවගෙන් අවසර අරගෙන කැලෑවට පිටත් වුණා මවටත්, තමන්ටත් ආහාර සොයා ගෙන එන්න. මෙහෙම කැලේ ගමන් කරන කොට දකින්න ලැබුණා අඬමින්, කදුළු සළමින් එහේ මෙහේ සිහිවිකල් ව ඇවිදින වැදි පුරුෂයෙක් ව. මේ බෝසත් ඇතා දැකපු ගමන් ඔහු එක පිම්මේ දුවන්න පටන් ගත්තා. ඇතා සිටිය ඉරියව්වෙන් ම හිඳිමින් ඒ වැදි පුරුෂයාට කථා කළා.

‘පින්වත් පුරුෂය, ඔබ බිය වෙන්න එපා. මගෙන් කිසිම හානියක් ඔබට සිදු වන්නේ නෑ. ඔබ අඬමින් එහේ මෙහේ ඇවිදින්නේ ඇයි? මගෙන් උදව්වක් අවශ්‍ය නම් කියන්න’යි ඉල්ලා සිටියා. වැදි පුරුෂයාට බෝසත් ඇතා ගැන තිබුණ බිය නැතිවෙලා ගිහින් හෙමින් හෙමින් සමීප වුණා. ළගට ම ඇවිත්

‘ඇත් රජුනි, මම දවස් හතක් තිස්සේ මේ මහා වනයේ මං මුලා වෙලා ඉන්නේ. මට ගමට යන්න ඕන’යි කිව්වා. බෝසත් ඇත් රජතුමා ඔහු කෙරෙහි මහත් කරුණාවෙන් ඔහු පිටමත තබා ගෙන දවස් හතක් තිස්සේ පයින් ම ගමන් කරමින් වැදිපුරුෂයාගේ ගමට ගිහින් දැම්මා. මේ පුරුෂයා කැලෑවට ඇවිත් තිබුණේ මී පැණි, දඩමස්, පලාපල ආදිය සොයා ගෙන යන්න. වැදිපුරුෂයා ඇතා පිට හිඳිමින් ගමනේ යෙදෙන විට හමුවන ගස්, වැල්, ඇළ දොළ, පර්වත ආදිය හොඳීන් මතකයේ තබා ගත්තා. මඟ සලකුණු ලකුණු කර ගත්තා.

මේ අතරේ දී බරණැස් නුවර රජතුමාගේ මංගල ඇතා මිය ගියා. රජ්ජුරුවන්ගේ ගමන බිමන නතර වුණා. මංගල ඇතෙක් හොයාගන්න ඕන වුණා. මැති ඇමැතිවරුන් කැඳවලා කිව්වා මංගල ඇතෙක් හොයා ගෙන එන ලෙස. රාජ පිරිස බොහෝම වෙහෙස ගත්තා මංගල ලක්ෂණ ඇති ඇතෙක් හොයා ගන්න. ඒත් හැකියාවක් ලැබුණේ නෑ. මේ නිසා අඬබෙරකරුවන් කැඳවලා රට පුරාම අඬබෙර ගැහුවා බරණැස් රජුට මංගල ඇතෙක් අවශ්‍යයි. හොයල දුන්නොත් රජුගෙන් පුදපඩුරු ලැබෙනවා කියලා. මේ පණිවිඩය අඬබෙර ගසමින් රට පුරාම යැව්වා.

මේ අඬබරය අහගෙන හිටිය අර අසත්පුරුෂ, දුර්ජන වැදි පුරුෂයා වස්තු තණ්හාවෙන් පය ඉක්මන් කරලා රාජ මාලිගයට ගිහින් රජතුමා අමතලා කියනවා ‘ස්වාමීනි, මම ඔබ වහන්සේට ගැළපෙන මංගල ලක්ෂණවලින් පිරිච්ච, ලස්සන ධවල ඇතෙක් හොයලා දෙන්නම්. මට ඇත්ගොව්වනුයි, රාජ සේවකයනුයි ලබා දෙන්න’ කියලා. රජතුමාත් ඔහු ඉල්ලන සියල්ල ලබා දුන්නා.

චණ්ඩෝර නම් පර්වතය දක්වා මතක තබා ගත් මඟ සලකුණු අනුව ගමන් කළා. මේ පිරිස පර්වතය පාමුලට යන කොට බෝසත් ඇතා විලකට බැහැලා මවට නෙළුම් අල, නෙළුම් මල් හා ගස් කොළ ආදිය එකතු කරමිනුයි හිටියේ. බෝසත් ඇතා දුරදීම දුටුවා තමන් පිහිට වූ වැදිපුරුෂයා සමඟ රාජ පුරුෂයන් වගේම ඇත්ගොව්වන් ඇවිත් ඉන්න ආකාරය. තමන් අල්ලා ගෙන යන්නට ආ බවත් හඳුනාගත්තා.

බෝසත් ඇතාට තිබුණා විශාල ශක්තියක්. එක මොහොතින් ගැල් දහසක් වුණත් විනාශ කර දමන්න පුළුවන්. එහෙම වුණත් තමන්ගේ සීලයට වගේම තමන්ගේ මවට හානියක් වන නිසා කිසිවකුට කිසිදු හානියක් කළේ නෑ. රාජ පුරුෂයෝත්, ඇත්ගොව්වනුත් රිසි සේ රැහැන් දමලා අල්ලා ගෙන දවස් හතක් පුරාවට ම පයින්ම නුවරට අරගෙන ගියා. මංගල ඇතා නුවරට ළගා වන බව රජතුමාට පූර්වයෙන් ම දැනුම් දුන්නා. රජතුමා නගරයත්, ඇත් ගාලත් අලංකාරවත් ව සැරසුවා.

මංගල ඇතා වෙනුවෙන් රසවත් ඵලාඵල සූදානම් කළා. රජතුමා මංගල ඇතා දැකලා බොහෝම සතුටට පත්වෙලා කෑම බීමාදියෙන් සතුටු කරන ලෙස මැතිඇමැතිවරුන් ප්‍රමුඛ පිරිසට නියෝග කර මාලිගාවට පිටත්ව ගියා. දවස් හතක් පයින්ම පැමිණියත් වතුර බිඳක්වත් ගෙන තිබුණේ නෑ. ඇත්ගාලට පැමිණියත් ආහාර පාන කිසිවක් ගත්තේ නෑ. ඇත් ගොවුවන් බොහෝ වෙහෙස ගත්තත් කෑම දීමට නොහැකි වුණා. මේ බව රජතුමාට දන්වා සිටියා. රජතුමා පැමිණ ඇතාට කෑම දීමට උත්සාහ කළත් එයත් නිෂ්ඵල වුණා. අවසානයේ දී රජතුමා බෝසත් ඇතා අමතලා

‘පින්වත්නි ඇත් රජුනි, ඔබ මේ රාජ්‍යයේ මංගල ඇතායි. ඒ නිසා ශරීරය කෘෂ නොවී සිටිය යුතුයි. මේ ආහාර අනුභව කරන්න. රාජකාරි නිසි සේ ඉටු කරන්න නම් නීරෝගී ව සිටිය යුතුයි.’ කිව්වා. ඒ අවස්ථාවේ රජතුමා අමතන බෝසත් ඇතා

‘රජතුමනි, ඔබගේ රාජකාරිය මෙයයි. මගේ රාජකාරිය දින හතක් පුරාවට ම මට ඉටුකර ගන්න බැරි වුණා. ඒ නිසා ආහාර ගැනීමට හැකියාවක් නෑ’යි කියා සිටියා. රජතුමා බෝසත් ඇතාගේ වදන්වලින් විස්මයට පත්වෙලා නැවතත් අහනවා ‘ඇත් රජුනි, ඔබට වනාන්තරයෙහි ඇති රාජකාරිය කුමක්ද? එය ප්‍රකාශ කරන්නැ’යි ඉල්ලා සිටියා. ‘රජතුමනි, මගේ මෑණියන් අන්ධ ඇතින්නක්.

ඇයට මගේ පිහිට නැතිව ගමන් කළ නො හැකියි. කෑම බීම සොයාගත නොහැකියි. ඒ සියල්ල මමයි ඉටු කරන්නේ. මගේ රාජකාරිය එයයි. දින හතක් පුරාවට ම ඇය වතුරවත් නැතිවයි දැන් ඉන්නේ. ඒ නිසා ඇගේ ජීවිතය සුවපත් වන තෙක් මට ආහාර ගැනීමට නොහැකි”යි කියා සිටියා.

රජතුමා මේ බෝසත් ඇතාගේ ඒ බෝසත් ගුණවලට පැහැදිලා ඇත්ගොව්වන්ට නියෝග කළා මේ බෝසත් ඇතා ව වහාම නිදහස් කරන්න කියලා. ඒ අනුව බෝසත් ඇතා දවස් හතක් පයින් ආ දුර එක දවසකින් ගෙවා දමමින් චණ්ඩෝර නම් පර්වතය සමීපයට ගමන් කළා. අසල තිබුණු විලෙන් නෙළුම් මල්, කොළ, අල ආදිය වාගේම ජලයත් අරගෙන ගල්ලෙන වෙත ගියා.

පළමුව කළේ හිම වැටෙනවා වගේ වැස්සක් ඇතින්නගේ ශරීරයට වැටීමට සැලැස්වීමයි. ඇතින්න හිමවැනි වැස්සට හඬමින් වැළපෙමින් කියනවා

‘මගේ පුතා බරණැස් රජතුමා අරගෙන ගියා. අදට දවස් හතයි. ඒ ශෝකයෙන් තමයි මේ වැහි බිඳු වැටෙන්නේ’යි කියමින් දුක් වෙන්න පටන් ගත්තා. ඒ මොහොතේ දී බෝසත් ඇතා මව් ඇතින්න සනසමින් කියා සිටිනවා.

‘මෑණියනි, මම ඔබගේ පුතණුවන්. මම රජුගෙන් මිදී පැමිණියා. ඒ නිසා නැඟී සිටින්න. මේ ආහාර අනුභව කරන්න’යැයි ඉල්ලා සිටියා. මව් ඇතින්න රජතුමාට ප්‍රශංසා කරමින් දීර්ඝායුෂ පතමින් බොහෝ කලක් රාජ සම්පත් අනුභව කෙරේවා'යි ආශිර්වාද කළා. රජතුමා මේ පුවත් සියල්ල අමාත්‍යවරුන්ගෙන් සහ ඇත් ගොව්වන්ගෙන් අසා දැනගෙන බෝසත් ඇතාට පැහැදිලා පර්වතය පාමුලින් ම පිහිටා තිබුණු විශාල වන පෙදෙසක් හස්තිපුර නමින් ගමක් බවට පත්කරලා මව් ඇතින්නත්, ඇතාත් මිය යන තෙක් ම රැක බලා ගැනීමට නියෝග කළා. කාලයාගේ ඇවෑමෙන් මව් ඇතින්න මරණයට පත් වුණා. පසු ව බෝසත් ඇතා තාපසවරුන් සිටින තැනකට ගොස් ඔවුන්ට උපස්ථාන කරමින් කාලය ගත කළා.

බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ මේ බෝසත් ඇතාගේ ගුණයට පැහැදිලා මහා ඇත් රාජයෙක් ගලින් නිර්මාණය කරලා වසරක් පාසා පූජා පවත්වන්න පටන් ගත්තා’යි රසවත් කථා පුවතක් පන්සිය පනස් ජාතක පොතේ හාරසිය හතළිස් අට වෙනි ජාතකයේ මාතුපෝසක ජාතකය නමින් සඳහන් වෙනවා.

තිරිසන් ආත්මයක ඉපදිලා සිටියත් මව් ගුණ හඳුනාගෙන තනතුරු අත්හැර, කීර්තිය අත්හැර මව වෙනුවෙන් කැප වුණු බව මේ ජාතක කතාවෙන් අපට පෙන්වා දෙනවා. කවර කටයුත්තක් යෙදුණත්, කවර තනතුරක් ලැබුණත් තමන්ගේ මව කිසිම දවසක අමතක නොකළ යුතු බවත්, පෝෂණය කළ යුතු බවත් හැම රාජකාරියකට ම වඩා මව්පියන්ට සැලකීමේ රාජකාරිය වටිනා බවත්, උතුම් බවත් තිරිසන් සතකුගේ ක්‍රියාකලාපයකින් මිනිස් සමාජයට ආදර්ශයක් ලබා දී තිබෙනවා.

මිනිස් සමාජයේ තිබිය යුතු මේ ගුණ ධර්ම බොහෝ විට දකින්නට ලැබෙන්නේ තිරිසන් ලෝකයේ සතුන්ගෙන්. එතරම් ම මිනිස් සමාජය පිරිහෙමින් යන බවක් තමයි දක්න්නට ලැබෙන්නේ.

ඒ නිසා එම තත්ත්වය මඟහරවා ගැනීමට නම් අනාගත දරු පරපුර මව්පියන්ගේ ගුණ හදුනන පරපුරටක් බවට පත් කළ යුතු වෙනවා. එම වගකීම වැඩිහිටි අප හැමට ම උරුම වී ඇති බව නම් කිසිම විටක අමතක කරන්න එපා.