Print this Article


තමන් කරන හොඳ නරක තමන් ම දකින්න

තමන් කරන හොඳ නරක තමන් ම දකින්න

අනෙක් අයට මගේ හොඳ පෙනෙන්නේ නැත්තේ ඇයි?. මේ බොහෝ දෙනකුට තියෙන ප්‍රශ්නයක්. ඔබටත් ඒ සිතිවිල්ල මොනයම් හෝ වෙලාවක ඇතිවෙලා තියෙනවා ද?

අප යමකුගේ හොඳ දුටුව ද එය සිතේ තබා ගන්නේ නැහැ. ඒ වගේ අනිත් අය අපේ හොඳ දුටුවත් එය ද බොහෝ විට සිතේ තියා ගන්නේත් නැහැ. ඇතැම්විට කෙනෙක් කළ හොඳ දකින්නේ නැතිව, අඩුපාඩුවක් පෙන්නුම් කළ අවස්ථාවක, යම් කෙනෙක් අනවශ්‍ය ලෙස හෝ අවශ්‍ය ලෙස යම් තැනෙක අපට දෝෂාරෝපණය කළ විට යම් අඩු පාඩුවක් පෙන්වා දුන් විටක එය හොඳින් මතකයේ සිටිනවා.

ඒ නිසයි බොහෝ විට සිතෙන්නේ කිසිවකුට මගේ හොඳක් පේන්නේ නැහැ කියා කවුරුත් බනින එක විතරමයි කරන්නේ කියා. ඒත් වැඩි පිරිසක් සැබෑවට ම හොඳ කියනවා. හොඳ දකිනවා.

ගැටලුව පවතින්නේ අපේ සිතේ. මොකද, ඒ හොඳ අපි සිතෙන් ඈත් කර ගන්න නිසා. නැති නම් සිතේ තියා ගන්නේ නැති නිසා. සිතක රඳවා ගත යුත්තේ හොඳ දේ පමණයි. ඒ වගේම නරක දේ, අඩුවක් පාඩුවක් නම් නිවැරැදි කරගෙන නරක දේ ඉවත් කර ගන්න ඕනෑ. එවිට හැබෑවට ම එක්කෙනෙක්, දෙන්නෙක් අපේ හොඳ දැක්කත් එය හරියට සියයක්, දහසක් හොඳ දැක්ක වගේ තමන්ට ම දැනෙන්නට පටන් ගනී.

සිතා බලන්න, අඩුම වශයෙන් අප අවට දෙතුන් දෙනෙක්වත් හොඳ සත්පුරුෂ අය ඉන්නවා. ඔබ ම ඔබේ ජීවිතවල කියා ඇති, කවුරු මොනවා කීවත්, මොන ආකාරයෙන් හිතුවත්, ඔබ දන්නවානේ මම කවුද කියා. අඩුම තරමේ ඔබටවත් වැටහෙනවා නේ ද මම කවුද කියා. මට ඒ ඇති, මුළු ලෝකය ම නැති වුණත්, ඔබ වගේ කෙනෙක් මගේ හදවත තේරුම් ගෙන ඉන්න එක මට සතුටක්. සමහර විටෙක ඔබ කියන ආකාරයට දහසක් දෙනා මට නපුරුකම් කළත් එක්කෙනෙක් හෝ මගේ ජීවිතයේ හොඳ දකින්න ඉන්නවා කියන එක සිතට සැනසිල්ලක් නේද? එවිට අහන එකක් නැහැ, ඇයි කවුරුත් මට බණින්නේ, මගේ හොඳක් දකින්නේ නැත්තේ කියා.

එතැනින් නතර වෙන්න එපා. ජීවිතය ගැන ගැඹුරින් දකින්න. ඕනෑතරම් නපුරුකම් කර හොඳ කියන එක් අයෙක් හරි මට ඉන්නවා කියා, එහෙම සිතා නතර වෙන එක නෙමෙයි කළ යුත්තේ. හැබෑවට ම අවංක මනුෂ්‍යයෙක් වීමයි. ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගළපා ගන්න පුළුවන්. තමන් ජීවත්වන සමාජයට, රටට, ලෝකයට ගලපා ගන්න පුළුවන්නේ. අන්න එහෙම ගලපා වැරැදියි කියන දෙයින් බැහැර ව හොඳයි කියන දේ සත්පුරුෂ ව ජීවිතයට පුරුදු කර ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනෑ.

කෙටියෙන් සඳහන් කරන්නේ නම් වංචාවෙන්, බොරුවෙන් තමන්ගේ කුස පිරෙනවා නම් අනෙකාට මොනවා වුණත් කමක් නැහැ කියා හැසිරෙන එක, තමන් නිතරම උසස් කර අනෙකා පහත් කර කතා කිරීම හා අනුන්ගේ අඩුපාඩු දැකීම ඉතා අයහපත්. අඩුපාඩු දැක්කාට කමක් නැහැ. ඒ ගුණබර අම්මා කෙනෙක්, අප්පච්චි කෙනෙක් දරුවෙක් දෙස බලනවා සේ නිවැරැදි සිතකින් දැක අපහාසයක්, අපවාදයක් කරන්නේ නැතිව නිවැරැදි කරන්න උත්සාහ කරන්න පුළුවන්. හැකිතාක් දුරට අපි සත්පුරුෂ මනුෂ්‍යයෙක් වූ විට එක් අයෙක් හොඳයි කියා කිව්වත් ඒ ඇති. නමුත් එතැනින් නතර වෙන්න එපා. සැබෑවට ම සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහෝමයක් කතා කරාවි අපි ගැන.

ඔය අතර යම් තැනෙක, සුදු බිත්තියක කලු තිතක් ඇති වුණා වගේ ඉඳහිට යම් තැනෙක නපුරු කෙනෙක්, නපුරු මනුෂ්‍යයෙක් ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරලූ ලෝකයක හැම ආගමක ම ශාස්තෘන් වහන්සේ නමකට මෙන් ම කරදර කළ ලෝකයක ඔබයි, මමයි පමණක් එතැනින් වෙනස් වෙන්නේ කොහොම ද? මනුෂ්‍ය ජීවිතය ගැන ගැඹුරින් දකින්න. හොඳ යැයි පවසන තැන හදවතින් ම අහන්න, ඒ තම නිවසෙන් ම එනම්, ස්වාමියාට - බිරිඳත්, බිරිඳට - ස්වාමියාත්, මව්පියන් - දරුවන්ගෙනුත්, දරුවන් - මව්පියන්ගෙනුත් ආදී තැන ඒ ගුණ හදවතින් ම අහන්න. එතැන වුණත් ඔබට ඇති. අන්න එතැන ඔබට හොඳයි කියල දැනුණොත්, මුළු ලෝකයම ඔබට හොඳයි කියනවා සේ ඔබට දැනෙන්න පටන් ගනීවි. ඔබත් ධර්මයට අනුව සිත පහදවා ගෙන උත්සාහ කර බලන්න.