Print this Article


කය නිවෙන්න සිත නිවන්න

කය නිවෙන්න සිත නිවන්න

ලෞකික වශයෙන් හටගත් සියල්ල යම් මොහොතක නැතිව යනවා. එවැනි ලෝකයක කිසිවක් ස්ථිර නෑ. සදාකාලික නෑ. එයයි සත්‍යය. එහෙත් එසේ සඳහන් කරන විට ඔබේ සිතට යම් වූ ද දුකක්, ශෝකයක්, අඳුරක් දැනුනේ නැහැ නේද?

ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්නට ඕනෙ. පෘතග්ජන මනුෂ්‍යයාගේ සිතේ සැහැල්ලු බව ඇතිවෙන්නේ අවබෝධයත් සමඟයි. මිල - මුදල්, ගේ - දොර, ධන - ධාන්‍ය ලෞකික විෂය දැනුම අපට සැපතට උදව් උපකාර වෙනවා. එහෙත් සැබෑ සතුට පවතින්නේ අපේ සිත තුළ ඇතිවන අවබෝධයෙන්. තමයි කෙටියෙන් සඳහන් කරන්නේ නම්, යමක් හට ගත්තා නම් ඒ සියල්ල ගෙවෙන හැම මොහොතක් පාසාම වෙනස් වෙමින් නැතිවෙලා යනවා. ඒ වගේම හැම උපතකම ජීවිතයේ කෙළවරක් තියෙනවා. ඒ අදහස පැහැදිලියි.

අන්න ඒ අවබෝධයෙන් යුක්තව ජීවිතයට මුහුණ දෙන විට සමහරු දෑත - දෙපය මහන්සියෙන්, උත්සාහයෙන් දහඩිය වගුරුවමින් කටයුතු කරනවා. තවත් අවස්ථාවක මොළය පාවිච්චි කරමින් සිතේ පුරුදු කරන ලද හටගන්නා සියල්ල නැති වෙනවාය කියන ලෝකයක් තුළ කිසිවක් ස්ථිර සදාකාලික වෙන්නේ නැහැ කියන අවබෝධයෙන් සිතන්න පටන් ගන්නවා. අන්න එතැන දී ගත වෙහෙසා කටයුතු කළත්, මොළය උපකාර කර ගෙන සිතින් සිතා මෙහෙයවා ගෙන කටයුතු සිදු කළත් සිතේ සැහැල්ලු බවක් දැනෙනවා.

මොළයෙන් බාහිර අරමුණු ගන්නා විට ඒවා සිතට දීල නිරීක්ෂණය කරන විටත් පුරුදු වූ සිත හටගෙන වෙනස්වන ලෝකයක් තුළ කිසිවක් ස්ථිරයි, සදාකාලිකයි කියා සිතෙන් දැඩිව ගන්න එපා යැයි උගන්වපු සිත මොළයෙන් දෙන තොරතුරුවලට සැබෑ සාධාරණයක් ඉටු කරනවා. අන්න එතැන දී මේ සිතට සැහැල්ලු බවක් දැනෙනවා.

කියා ගන්න බැරි තරම් දුකක්, වේදනාවක්, තනිකමක්, පාළුවක් තියෙනවා කියන අයට පවා සිතෙන් හැබෑ පාඩම කියා දුන්නොත් සිත නිවෙන බවක් දැනෙන්නට පටන් ගන්නවා. උඩට ගත් ආශ්වාසය, ප්‍රාශ්වාස කරල නැවත ආශ්වාස කර ගන්න බැරි වුණොත් ලියපු, කියපු, පොරොන්දු වූ දුකයි, තනිකමයි, පාළුවයි මට දරා ගන්න බැහැ කියා සිතපු, කියපු සියල්ලම එතැනින් අවසන් වෙනවා නේ ද? අන්න ඒ අවබෝධයෙන් යුක්තව ඒ සැහැල්ලු බව හඳුන්වා දෙනවා. ඒ සිතේ පස්සද්ධිය කියා.

සිතේ පස්සද්ධිය එනම් සැහැල්ලු බව ඇති වන විට කයටත් සැහැල්ලු බවක් දැනෙන්නට පටන් ගනීවි. සිත නිවෙන අය කයෙන් නිවිල ජීවිතය ගත කරන බව ඔබට දැනිල ඇති. ඒ ඔබේ කතාව වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා ඔබත් ජීවිතය ගැන සිතන්න පුරුදු වන්න.