Print this Article


පිරිවර ලැබෙන්නේ කර්මානුරූපීවයි

පිරිවර ලැබෙන්නේ කර්මානුරූපීවයි

තනිකම, තනිවීම කියන දේට අපි එකිනෙකා විවිධ අයුරින් මුහුණ දෙන්නේ. ඒ එයට තිබෙන හේතුන් විවිධ නිසා. ඒ වගේම එයට මුහුණ දෙන පුද්ගලයා ඒ පිළිබඳව දරන සිතිවිලිත් විවිධ වෙන නිසා.

බුද්ධ දේශනා අනුසාරයෙන් ගත්තොත් කෙනකුට පරිවාර සම්පත්තියක් තිබෙනවා නම් ඔහුට එය ජීවිතයේ සතුට උපද්දවා දෙන කරුණක්. මට හැමදේට ම උදව්වට ලොකු පිරිසක් ඉන්නවා කියලා ඔහුගේ සිතේ සතුටක්, කැමැත්තක් උපදිනවා කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. එහෙත් හැමදෙනාට ම එසේ යහපත් පිරිවරක් ලැබෙන්නේ නැහැ.

සත්පුරුෂ පුද්ගලයකුට අසත්පුරුෂ පිරිසක් සමඟ වාසය කිරීම, ඇසුරු කිරීම ඉතා දුෂ්කර කටයුත්තක්. අද වන විට මේ ලෝකයේ බොහෝ වැඩි අසත්පුරුෂ සිතිවිලි බහුල මිනිසුන්. එනිසා අකුසල් කරන, වරදට යොමුවන පිරිස වැඩිවෙලා තිබෙනවා.

එනිසා යහපතේ හැසිරෙන්නට මහන්සි ගන්න කෙනකුට තනිවීම, හුදකලාවීම යහපතක් වෙන්න පුලුවන්. අසත්පුරුෂයාට අසත්පුරුෂයා ඉක්මනින් මුණ ගැසුණත් සත්පුරුෂයාට සත්පුරුෂයා මුණ ගැසීම කලාතුරකින් සිදුවන දෙයක්. මේ දෙපිරිසට ම පිරිවර ලැබෙනවා කියන එක කර්මාණුරූප ව ලැබෙන දෙයක්.

බුද්ධ දේශනාවේ තිබෙනවා පිරිස එකතු කරගෙන දන් දුන්නොත්, දන්දීම හේතු කරගෙන ඔහුට තව තවත් පිරිවර සම්පත්තිය ලැබෙනවා. තමන් කියන වචනයට ඇහුම්කන් දෙන, තමාට අවනත බොහෝ පිරිසක් මහේශාක්‍ය පුද්ගලයා වටා එකතු වෙනවා. කර්මානුරූප ව එය ලැබෙන දෙයක්.

කර්මාණුරූප ව ජීවිතයේ හුදකලා බවක් තනිවීමක් කෙනකුට ලැබෙන්න පුලුවන්. ඒ වගේම තවත් කෙනෙකුට තමන්ගේ විවිධ දොස් අඩුපාඩු නිසාත් තමන්ට තනි වෙන්න වෙන අවස්ථා තිබෙනවා. කිසිවෙක් ඔහුගේ ඇසුරට කැමැති නැහැ.

ඒ වගේම කෙනෙක් නිතර ඊර්ෂ්‍යා සිතින් යුතුනම්, නපුරු කුහක ගතිගුණ තිබෙනවා නම් අන් අයගේ සැපට අකැමැති නම්, අධික මසුරු බවින් යුක්ත නම් ඔහු වටා සිටින පිරිස ඈත් වෙනවා. නිතරම ඔහුට හෝ ඇයට මේ සමාජයේ තනි වෙන්න වෙනවා.

නමුත් තව කෙනෙක් තනි වෙනවා. ඒකට ධර්මයේ සඳහන් වන්නේ සොඳුරු හුදකලාව කියලා. ඇසුරට සත්පුරුෂයෙක් නැතිනම් අසත්පුරුෂයෝ දහසක් සමඟ එක්වීමට වඩා තනිවීම හුදකලා වීම යහපත්.

හුදකලා ජීවිතයේ තිබෙන්නේ අපූර්වත්වයක්. සොඳුරු බවක්. ඇතැමෙක් බොහෝ පිරිසක් සමඟ කාලය ගෙවීමට කැමැති වුවත් තවත් කෙනෙක් මේ හුදකලාවට කැමැති වෙන්නත් පුලුවන්. ආශ්‍රයට සත්පුරුෂයෙක් නැතිනම් හුදකලා වීම අපේ ජීවිතවලට බොහෝ යහපත සලසා ගත හැකි ක්‍රමයක්.