Print this Article


ධර්ම විනයධර භික්ෂූන් බිහි කළ ආරාමික අධ්‍යාපනයේ විශිෂ්ටතා

ධර්ම විනයධර භික්ෂූන් බිහි කළ ආරාමික අධ්‍යාපනයේ විශිෂ්ටතා

ඓතිහාසික ලාංකේය අධ්‍යාපනයේ දක්නට ඇති සුවිශේෂී අධ්‍යාපනික ආයතනයකි, පිරිවෙණ. පිරි පූර්ව වා ධාතුවෙන් නිපන් පිරිවන යන වචනයෙන් ‘පාඩම් කියන’ යන අරුතක් ජනිත වේ.

(ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, 2 භාගය, 2011, 611 පිටුව) පාඩම් කියන ස්ථානය යන අරුතින් පිරිවෙන යන වචනය යෙදෙන්නට ඇතැයි සිතිය හැකි ය. පරිවෙණ යන පාලි වචනයේ සිංහල රූපය පිරිවෙන (පිරිවෙණ) වේ. පරිවෙණ යන පාලි වචනයේ අර්ථ දෙකක් ඇති බව ගුණපාල වීරසේකර මහතාගේ පාලි ශබ්දකෝෂයේ (1968, 263 පිටුව) පැවසේ.

1. භික්‍ෂූන් වහන්සේ වාසය කරන ස්ථානය

(The Residense of Bhikkhus)

2. භික්‍ෂූන් වහන්සේ ඉගෙන ගන්නා ස්ථානය

(The School of Bhikkhus)

අනුරාධපුර, පොළොන්නරු, කුරුණෑගල යුගවල දී පිරිවෙන යන වචනය යෙදී ඇත්තේ භික්‍ෂූන් වහන්සේ වාසය කරන ස්ථානය යන අරුතිනි. පරිවහනය (ඉගෙන ගැනීම) සඳහා වූ ස්ථානය යන අරුතින් පරිවේණ (පිරිවෙණ) යන්න මුල්කාලයේ යෙදී ඇත්තේ භික්‍ෂූන් වහන්සේ වැඩසිටි විහාරස්ථානයට ය.

කාලප්‍රාසාද පිරිවෙන එහි ආරම්භක අවස්ථාවක් සනිටුහන් කරයි. (සිංහල සාහිත්‍ය වංශය, පී.බී. සන්නස්ගල, 2009, 38 පිටුව) එය දෙවනපෑතිස් නිරිඳු විසින් මිහිඳු මහරහතන් වහන්සේගේ වාසය සඳහා මැටිවලින් සාදවා හුලු අතුවලින් පුලුස්සා පූජා කළ සංඝාවාසයකි.

පාලි සූත්‍ර හා අටුවාවන්හි ‘විහාරේ ච පරිවේණානි ච’ යනුවෙන් විහාරයත්, පිරිවෙණත් යන දෙක ම භික්‍ෂු වාසස්ථාන හැඳීන්වීමේ දී සිංහලයේ යුගල පද මෙන් එකට යෙදී ඇත. (දීඝනිකායට්ඨකථා, 1, හේවාවි,6 පිටුව) පාලි විසුද්ධිමග්ගයේ සමාධි නිද්දේසාරම්භයේ දී (හේවාවි, 254 පිටුව) සෑමලු, බෝමලු ඇමඳ පැන්පෙරා තබා පිරිවෙණ ඇමදිය (පරිවේණං සම්මජ්ජිත්‍වා) යුතු බව පැවසේ. එමෙන් ම සුළඟින් සැලෙන පැරැණි පත්‍ර ද ගිලන් භික්‍ෂූන්ගේ සහ ළදරු සාමණේරවරුන්ගේ මලමුත්‍ර, සෙම්, සොටු ආදියෙන් ද වැසි දිනවල දිය, මඩ, කසළ ආදියෙන් ද වඩාත් කිළිටි වූ ස්ථානයක් ලෙස පිරිවෙණ පිළිබඳ සඳහන් වේ. (සිංහල විශුද්ධිමාර්ගය, මාතර ශ්‍රී ධර්මවංශ හිමි, 2 භාගය, 29 පිටුව)

මෙම තොරතුරු අනුව එක්නමක්, දෙනමක් වෙසෙන කුඩා ගෙවල් ‘විහාර’ වශයෙනුත්, විවිධ වයස් පරතරවල භික්‍ෂූන් වෙසෙන කාමර කුටි රැසක් සහිත ශාලා මෙන් ඉදි වූ භික්‍ෂු වාසස්ථාන ‘පරිවේණ’ නාමයෙනුත් හැඳීන් වූ බව සිතිය හැකි ය.

මහින්දාගමනයේ සහ දුමින්දාගමනයේ සිට ග්‍රාම මූලික ව පිහිට වූ ‘පන්සල’ (පර්ණශාලා =

පණ්ණසාලා = පන්සල) ග්‍රාමීය අධ්‍යාපනික ආයතනයක් ලෙස ක්‍රියාත්මක විය. ප්‍රාග් මහින්ද යුගයේ ත්‍රිවේද ප්‍රාරප්‍රාප්ත බ්‍රාහ්මණයන්ගේ ප්‍රධානත්‍වයෙන් ශිල්ප ශාස්ත්‍ර හදාරවන විද්‍යාස්ථාන පැවතුණි. දකුණු ප්‍රදේශයේ පණ්ඩුල ගමේ සිටි පණ්ඩුල බ්‍රාහ්මණයාගෙන් පණ්ඩුකාභය කුමරුත්, චන්ද කුමරුත් රාජ්‍යත්‍වයට අදාළ සිප්සතර මනාව හැදෑරූහ. (පාලි මහාවංසය, 10 පරි. 20-23 ගාථා) මුටසිව රජුගේ දෙවැනි පුතා වූ තිස්ස කුමාරයා ‘ගොබුතිය’ නම් බමුණු ඇදුරෙකු වෙතින් සිප්සතර හදාළේ ය. (සම්භාෂා, 18 කලාපය, 2011-2012,642 පිටුව) බුදුදහම ලක්දිව පුරා ව්‍යාප්ත වූ පසුව රජ, ඇමැති, ගොවි, දාස සියලු දරුවෝ සිප්සතර හදාළේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධානත්‍වයෙන් ක්‍රියාත්මක වූ පන්සලේ පිහිටි අධ්‍යාපනික ආයතනයන්හි ය.

අපි එය ‘ආරාමික අධ්‍යාපනය’ ලෙස හඳුන්වමු. මහින්දාගමනයෙන් පසු පළමු සිංහල භික්‍ෂුව ලෙස සසුන්ගත වූ අරිට්ඨ මහරහතන් වහන්සේ ප්‍රධාන කරගත් භික්‍ෂු පිරිස ලාංකේය ආරාමික අධ්‍යාපනයේ දීප්තියට බලපෑ පළමු පැවිදි ශිෂ්‍ය පිරිසයි. උන්වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන විදේශීය ධර්මදූතයන්ගෙන් පාලි භාෂාවත්, පාලියෙන් වූ ත්‍රිපිටකයත්, සිංහල භාෂාවෙන් අටුවාවනුත් වහ වහා ඉගෙන ගත්හ. එහි කූටප්‍රාප්තිය (නිමාව) සනිටුහන් වූයේ අරිට්ඨ මහරහතන් වහන්සේ අටුවාවත් සමග ත්‍රිපිටකය ඉගෙන ගෙන ථූපාරාමයේ දී උන්වහන්සේගේ ප්‍රධානත්‍වයෙන් විනය සංගායනාවක් පැවැත්වීමෙනි.

ඉන්පසු ස්වදේශීය පැවිදි ගුරුවරුන් යටතේ අනුරාධපුරයේ මහාවිහාරය, ඉසුරුමුනිය, සෑගිරිය, ථූපාරාමය, ඈත රුහුණේ තිස්සමහාරාමය හා සිතුල්පව්ව යන ආරාම මුල් කරගෙන ලාංකේය ආරාමික අධ්‍යාපනය දියුණුවට පත් විය. අනුරාධපුර යුගයේ දී ම මහාවිහාරය සමග සමගාමීව භාෂා ශාස්ත්‍ර සාහිත්‍යය පෝෂණයට රුකුල් වූ, අභයගිරිය සහ ජේතවනය තරගකාරීව සිය මතවාද ව්‍යාප්තියෙහි නිරත විය. තුන් නිකායෙහි ප්‍රධාන මූලස්ථානයන් වූ මහාවිහාරය, අභයගිරිය සහ ජේතවනය යනු වර්තමාන විශ්වවිද්‍යාල මට්ටමේ උසස් විද්‍යාස්ථානයන් ය. දහස්ගණන් පැවිදි ශිෂ්‍ය පිරිසක් නේවාසික ව ඉගෙනගත් ඒවායේ අධ්‍යාපනය අතිශය ප්‍රායෝගික විය. ඇස්පනාපිට ප්‍රතිඵල පෙන්වන අතිදක්‍ෂ ශිෂ්‍ය ප්‍රජාවක් මෙම විද්‍යාස්ථානයන්ගෙන් බිහිවිය. මොවුන්ගේ තරගකාරීත්‍වය නිසා සිංහල, පාලි, සංස්කෘත භාෂා ශාස්ත්‍ර හා සාහිත්‍යය පෝෂණය සිදුවිය. නිදසුනක් වශයෙන් මහාවිහාරයේ භික්‍ෂූන් වහන්සේ ‘පාලි මහාවංසය’ ලියනවිට අභයගිරික භික්‍ෂූන් වහන්සේ ‘උත්තරවිහාර මහාවංසය’ රචනා කිරීම දැක්විය හැකි ය.

අනුරාධපුරයේ ලෝවාමහාපායත්, රෝහණ දේශයේ තිස්සමහාරාමයත් මහාවිහාරයට අයත් ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථාන දෙකකි. එහි පැවති ඉගෙනුම් සම්ප්‍රදාය දීඝනිකායට්ඨ කථාවේ මෙසේ දැක්වේ.

තම තම ආරාමික අධ්‍යාපනික ස්ථානයන්හි පෙළ හා අටුවා හදාරණ භික්‍ෂූන් වහන්සේ සය මසකට වරක් මෙම ප්‍රධාන ආයතන දෙකට රැස්වෙති. උන්වහන්සේ ත්‍රිපිටක ධර්මයත්, එහි අටුවාත් එකිනෙක ගලපමින් සජ්ඣායනා කළහ. ගැටලු සහගත ධර්ම කරුණු සහ වඩාත් නිරවුල්ව අවබෝධ කරගත යුතු ස්ථාන සාකච්ඡා කළහ. අම්බලට්ඨිකා, පංචනිකාය මණ්ඩල යන ආයතන ද බහුශ්‍රැත වයෝවෘද්ධ උගතුන් නිතර රැස්ව ධර්ම සාකච්ඡා පැවැත් වූ ස්ථාන ය. එම සාකච්ඡා ධර්මය ඉගෙන ගන්නා ආධුනිකයන්ට වඩාත් ඵලදායී විය. (හේවාවිතාරණ මුද්‍රණ, 406 පිටුව) විනය පිටකයේ අග්‍රභාවයට පත් ලක්දිව මහාථෙර නාමලේඛනයේ ‘ධම්මපාලිත නාමෝ ච රෝහණේ සාධුපූජිතෝ’ (සමන්තපාසාදිකා, 1, බාහිර නිදාන වණ්ණනා, හේවා. 36 පිටුව) යන සඳහනෙන් ප්‍රකට වනුයේ අනුරාධපුරයේ මෙන් ම, රුහුණේ ද සම්භාවනීය මහ තෙරවරු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරතව සිටි බවයි.

අනුරාධපුර යුගයේ මැද භාගය (වළගම්බා රජසමයෙන් පසු කාලය) වනවිට තුන් නිකාය මූලික කරගෙන මූල (මුල) නම් වූ ආයතන (ගුරුකුල) අටක් ව්‍යාප්ත වුණි. ඒවා අෂ්ට මූලායතන නම් වේ. දක්ඛිණ මූලය (දකුණු මුල), උත්තරෝළ මූලය (උතුරු මුල), මහා නෙත්තපාසාද මූලය (මහනෙත්පා මුල), සේලන්තර මූලය (ගලතුරු මුල), කප්පර මූලය (කපාරා මුල), සේනාපතිරාජ මූලය (සෙනවිරත් මුල), වාහදීපක මූලය (වහදු මුල), සරෝගාම මූලය (විල්ගම් මුල) යන ලාංකේය අෂ්ට මූලායතනයන්හි තිබූ අධ්‍යාපනය ක්‍රමය වනාහී භාරතයේ වූ නාලන්දා, වික්‍රමශිලා, ජගද්දලා, තක්‍ෂිලා වැනි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලවල පැවති අධ්‍යාපන ක්‍රමයට සමාන වූ නිසා ‘වියපත් අටගණය’ (විද්වතුන්ගේ කණ්ඩායම් අට) යන නාමයෙන් මෙම ආයතන අට ඇගයුමට පත්විය.

(නිකාය සංග්‍රහය, සමරනායක සංස්කරණය, 77 පිටුව) දඹදෙණි යුගයෙන් පසුව මෙම අෂ්ට මූලායතන අභාවයට පත්වූ බව පැවසේ.

උක්ත ආරාමික අධ්‍යාපනික විද්‍යාස්ථාන සඳහා ‘පිරිවෙන’ යන නම භාවිත වූයේ දඹදෙණි යුගයෙන් පසුව ය. ඉන්පසු ඊට පාරිවේණික අධ්‍යාපනය හෙවත් පිරිවෙන් අධ්‍යාපනය යන නම ද යෙදුණි. දඹදෙණි යුගයේ විසූ පූජාවලි කතුවර බුද්ධපුත්‍ර මා හිමියන් වැඩසිටියේ වාකිරිගල මයුරපාද පිරිවෙනේ ය. සිදත්සඟරාව ලියූ මහතෙරුන් වහන්සේ වැඩසිටියේ පතිරාජ පිරිවෙනේ ය. උන්වහන්සේගේ පැවිදි නාමය අප්‍රකට ය. ඉගැන්වූ විද්‍යාස්ථානයේ නමින් උන්වහන්සේ ප්‍රසිද්ධව සිටියහ. ලාංකේය පිරිවෙන් ඉතිහාසයේ ස්වර්ණමය යුගය කෝට්ටේ යුගයයි. විදේශීය ගිහි පැවිදි ශිෂ්‍යයෝ පවා එකල ලක්දිව පිරිවෙන්වලින් උගත්හ. භක්තිශතක කතුවර ශ්‍රී රාමචන්‍ද්‍ර කවිභාරතී ඉන් එක් දීප්තිමත් සිසුවෙකි. කෝට්ටේ යුගයේ ප්‍රධාන පිරිවෙන් ආයතන පහක් පැවතුණි.

කෑරගල ශ්‍රී පද්මාවතී පිරිවෙන, තොටගමුවේ ශ්‍රී විජයබා පිරිවෙන, වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙන දෙවිනුවර රත්නවල්ලි (තිලක) පිරිවෙන හා පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙන (සම්භාෂා, 18 කලාපය, 648 පිටුවයි) මෙම පිරිවෙන්වලින් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් ලබා දෙන ලදී. ඒවායේ ඉගැන් වූ ගුරුවරුත්, ඉගෙනගත් ශිෂ්‍යයෝත් ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ග්‍රන්‍ථ රචනා කළහ. කෝට්ටේ යුගයේ ලියවුණු සන්දේශ ග්‍රන්‍ථ පහ මෙම පිරිවෙන් ස්ථානවලින් ලියවුණි. එකල පැවති සෙසු අධ්‍යාපනික ආයතන ලෙස මුල්ගිරිගල ඉරුගල්කුල පිරිවෙන, ලංකා සෙනෙවිරත් පිරිවෙන, කැලණියේ රාජරත්න පිරිවෙන, එරබත්ගොඩ ධම්මරාජ පිරිවෙන, ශ්‍රී නිවාස පිරිවෙන නම් කෙරේ. (මහාචාර්ය බන්දුසේන ගුණසේකර, ‘කෝට්ටේ යුගයේ සන්දේශ කාව්‍ය’, 1997, 2 පිටුව)

කෑරගල පද්මාවතී පිරිවෙන වනවාසී පාර්ශ්වයත්, තොටගමුවේ ශ්‍රී විජයබා පිරිවෙන ග්‍රාමවාසී පාර්ශ්වයත් ප්‍රධාන වශයෙන් නියෝජනය කළේ ය. සෙසු පිරිවෙන් ද මෙම පාර්ශ්ව දෙකට අයත් වන්නට ඇත. උක්ත පිරිවෙන් දෙක අතර දේවවාදය ප්‍රමුඛ කර ගෙන අනෙකුත් භාෂා හා ශාස්ත්‍ර පිළිබඳවත් ඇතිවූ මත ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස තරගකාරී ව සිංහල භාෂා සාහිත්‍යය පෝෂණය විය.

ආරම්භයේ සිට ම මෙම ආරාමික අධ්‍යාපනයේ ප්‍රධාන භාෂා මාධ්‍යය වූයේ සිංහල භාෂාවයි. මිහිඳු මහරහතන් වහන්සේ ත්‍රිපිටක පෙළ පාලි භාෂාවෙනුත්, එහි අටුවාව (බුදුකැලි මහඅටුවාව) සිංහල භාෂාවෙනුත් ඉගැන්වූ සේක. උන්වහන්සේ ලක්වැසියන්ට ධර්ම දේශනා කළේ ද දීප භාෂාවෙනි. එනම් හෙළ බසිනි. බුද්ධ වචනය ඉගෙනීමට සියලු භික්‍ෂූන් වහන්සේ පාලි (මාගධී) භාෂාව හදාළහ. ඉක්මණින්, සාර්ථක ව ඉගෙනීමේ ක්‍රමවේදයක් ආරාමික අධ්‍යාපනය තුළ පැවතුණි.

බෞද්ධාරාම මූලික ව ක්‍රියාත්මක වූ මෙම බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ වූයේ සම්බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය පිරිසුදුව පරපුරින් පරපුරට දායාද කිරීමයි. සිංහල ජනයා තුළ ධර්ම ඥානය දියුණු කරවා ධාර්මික සමාජයක් බිහිකිරීමත්, සිවුවනක් පිරිස තුළ ම ආධ්‍යාත්මික සංවර්ධනයක් ජනිතකරවීමත් එහි පැවති අනෙක් අරමුණු ය. ඒ අරමුණු ඉටු කර ගනු සඳහා ග්‍රන්‍ථධුර හා විදර්ශනා ධුර වශයෙන් ප්‍රධාන අධ්‍යාපනික ක්‍රමවේද දෙකක් පැවතුණි. අටුවාගත තොරතුරු අනුව මෙම ප්‍රභේද දෙක බුද්ධ කාලයේ සිට ම පැවතුණි.

ග්‍රන්‍ථධුර යනු තම ඤාණශක්තිය අනුව එක නිකායක් හෝ නිකාය දෙකක් හෝ සියලු ත්‍රිපිටක බුද්ධ වචනය ම ඉගෙනීමයි.

විදර්ශනා ධුර යනු සැහැල්ලු පැවතුම් ඇති, අවම සිවුපසයෙන් සතුටුවන, දුෂ්කර වනසෙනසුන් ඇසුරුකරමින් සිය ශරීරයේ ක්‍ෂයවන (දිරායන) ස්වභාවයත්, සසර ඉපදෙන මැරෙන ස්වභාවයත්, (උප්පාදවය) සිහිකරමින් නිතර ත්‍රිලක්‍ෂණය මෙනෙහි කරමින් භාවනානුයෝගී ව මාර්ගඵල අවබෝධය සඳහා උත්සාහවන්ත වීමයි. (ධම්මපදට්ඨකථා, 1, හේවාවි, 4 පිටුව) ග්‍රන්‍ථධුර පිරූ භික්‍ෂූහු, ඉගෙනීමත්, ජනයාට දහම් දෙසීමත්, ජනතාව තුළ ජාතික හා දේශීය හැඟීම් මතු කිරීමටත්, ත්‍රිවිධ ශාසනයෙන් පර්යාප්තිය (තථාගත සුදේසිත ශ්‍රී සද්ධර්මය) සිය ප්‍රාණය හා සමාන ව ආරක්‍ෂා කර ගැනීමටත් යොමු වූ අතර ධර්මකථික නාමයෙන් ද උන්වහන්සේ හැඳීන්වූහ.

විදර්ශනා ධුර පිරූ භික්‍ෂූහු ශාසනික ප්‍රතිපත්ති සුරක්‍ෂිත කර ගනිමින් භාවනානුයෝගී ව සිටි අතර ත්‍රිවිධ ශාසනයෙන් ප්‍රතිපත්ති හා ප්‍රතිවේධ දෙක ආරක්‍ෂා කළහ. උන්වහන්සේ පාංශුකූලික නාමයෙන් ද හැඳීන්වූහ. (සිංහල සාහිත්‍ය වංශය, පී.බී. සන්නස්ගල, 2009, 27 පිටුව) පසුව ග්‍රාමවාසී හා අරණ්‍යවාසී වශයෙන් ද හැඳීන්වූයේ මෙම දෙපිරිසයි.

මෙම ආරාම අධ්‍යාපන ක්‍රමයේ දී ගිහි පැවිදි වශයෙන් ගුරුවරුත්, ශිෂ්‍යයෝත් දෙපිරිසක් වූහ. පැවිදි ශිෂ්‍යයන්ට ආචරිය හා උපාධ්‍යාය යනුවෙන් ප්‍රධාන ගුරුවරු දෙදෙනෙක් වූහ. හික්ම විය යුතු ධර්මයන්හි ශිෂ්‍යයා හික්මවනුයේ ආචාර්යවරයා ය. ගිහි සිසුන්ට සිටිනුයේ ආචාර්යවරු පමණි. පැවිදි සිසුන්ට වරද නිවරද කියා දෙනුයේ උපාධ්‍යායන් වහන්සේ ය. (සමන්තපාසාදිකා 1, හේවාවි. 22 පිටුව) පුරුෂ පක්‍ෂයේ වූ ගිහි පැවිදි ශිෂ්‍යයෝ මූලායතනයන්හි ඉගෙනගත් බවට සාහිත්‍ය මූලාශ්‍රයන්හි තොරතුරු ඇතත් ස්ත්‍රී පක්‍ෂයේ වූ ගිහි පැවිදි ශිෂ්‍යාවනුත් මේවායෙහි ඉගෙනගත් බව සිතිය හැකි ය.

රුහුණෙන් වැඩම වූ කාවන්තිස්ස රජුගේ දියණිවරු දෙදෙන ප්‍රධාන විසිදහසක් භික්‍ෂුණීහු අනුරපුරයේ විද්‍යාස්ථානවල වැඩවෙසෙමින් විනය පිටකය සහ අභිධර්ම පිටකය ඉගැන්වූ බව දීපවංසයේ සඳහන් වේ. (පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිගේ සංස්කරණය, 18 පරි. 23 ගාථාව) දෙවනපෑතිස් රජුගේ සිට පස්වන මිහිදු රජු දක්වා සිටි රජවරු භික්‍ෂුණීන් වහන්සේට ආරාම, පිරිවෙන්, ප්‍රාසාද ඉදිකරවා පූජා කළ බවට පාලි මහාවංසය සාක්‍ෂි දරයි. (54 පරි.)

අෂ්ට මූලායතනවල විෂය මාලාවේ ප්‍රධානත්‍වය ධර්මයට හා විනයට ලැබුණි. ගුරු මුඛයෙන් ලබන ශ්‍රැතිය හා ධාරණය ප්‍රමුඛත්‍වයට පත් වූ අතර, පුස්කොල පොත් ද පරිශීලනය විය. සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත හා ද්‍රවිඪ භාෂා, ව්‍යාකරණ, ඡන්දෝලංකාර, සාහිත්‍යය, තර්ක ශාස්ත්‍රය, ගණිතය, වෛද්‍ය ශාස්ත්‍රය, නක්‍ෂත්‍රය, නීතිය, ලලිතකලා, ලුහු කර්මාන්ත, ගෘහනිර්මාණ, මූර්තිශිල්පය, චිත්‍ර කර්මය ආදී විෂයය රැසක් මූලායතනයන්හි විචාරාත්මක ව ඉගැන්විණි. ත්‍රිපිටක ධර්මය ද විචාරාත්මක ව අධ්‍යයනය විය. මහාවිහාර ගුරු කුලයන්හි ථෙරවාදය පමණක් ඉගැන්වුනත් අභයගිරි හා ජේතවන ගුරුකුලයන්හි ථෙරවාද, මහායාන හා වෙනත් සමයාන්තර දර්ශනත් විචාරාත්මකව අධ්‍යයනය කෙරුණි. (සම්භාෂා, 18 කලාපය, 647 පිටුව)

නිවැරැදි ආකාරයෙන් දැනුම ලබා දීමත්, යහපත් ආකල්ප පෙරදැරිව සිසුන්ට මඟ පෙන්වීමත් සිසුන් සතු විවිධ හැකියා, කුසලතා, නිපුණතා, දක්‍ෂතා හඳුනාගෙන ඔවුන්ගෙන් බුදුදහමේ චිර පැවැත්මට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත් ආරාමික අධ්‍යාපන ක්‍රමයේ පැවති සුවිශේෂී ලක්‍ෂණයන් ය. කිසිම සිසුවකු ‘නොවැදගතෙකි, පදපරමයෙකි, නූගතෙකි.’ කියා ඉවත දැමූ අවස්ථාවක් ලාංකේය බෞද්ධ අධ්‍යාපනික ඉතිහාසය තුළ සඳහන් නොවේ. තමා වෙතින් උගන්නා සියලු සිසුහු කිසියම් සමාජෝපකාරී කාර්යයකට යොදාගැනීම ඇගයිය යුත්තකි.

අනුරාධපුරයේ ප්‍රධානතම ථෙරවාදී බෞද්ධ ආයතනය වූ මහාවිහාරයේ සැලැස්ම සකස් කළේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. නවමහල් ලෝවාමහාප්‍රාසාදයේ සැලැස්ම දුටුගැමුණු රජතුමාට ඇඳ දුන්නේ විශේෂ දක්‍ෂතා ඇති මහරහතන් වහන්සේ අටනමකගෙන් යුක්ත කමිටුවක් මගිනි.

ක්‍රි.ව. 456 චීන අධිරාජයා වෙත වැඩම වූ නන්ද හිමියෝ දක්‍ෂ ප්‍රතිමා ශිල්පියෙක් වූහ. ථෙරවාදී විනය පිටකයෙහි ප්‍රවීණත්‍වයට පත්වූ ඇතැම් දක්‍ෂ හිමිවරු එවකට රටේ ක්‍රියාත්මක රාජ්‍ය නීතිය පිළිබඳවත් මනා දක්‍ෂතා ඇත්තෝ වූහ. (සම්භාෂා, 18 කලාපය, 644 පිටුව) ලක්රජුගේ ඉල්ලීමෙන් නඩුවිසදූ මහ තෙර නමක් පිළිබඳ අටුවාවක පැවසේ. ස්වර්ණමාලී මහ සෑ ඉදිකිරීමේ දී ධාතු ගර්භයේ තැබූ අසූ රියන් දිග පළල ඇති මේඝවර්ණ ගල්පුවරු හය උතුරුකුරු දිවයිනෙන් රැගෙන ආවේ උත්තර හා සුමන යන ඍද්ධිමත් සාමණේරවරු දෙදෙනා වහන්සේ ය. (පාලි මහාවංසය, 30 පරිච්ඡේදය) ඒ මහා සෑයේ නිධන් කළ ද්‍රෝණයක් ධාතූන් වහන්සේ මහාකාල නාගරාජ භවනයෙන් රැගෙන ආවේ මහත් ඍද්ධිමත් ෂඩ් අභිඥාලාභී සෝණුත්තර මහරහතන් වහන්සේ ය. (පාලි මහාවංසය, 31 පරිච්ඡේදය) මහා පදුම හිමියන් වෙත පැමිණි රජකීය දාසියක්, අගමෙහෙසියට මෙවැනි රෝගයක් සෑදී ඇතැයි පැවසූවිට සිය ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ සමඟ එවැනි රෝගියකුට දියයුතු බෙහෙත් පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එම දෙබස් මතකයේ තබාගත් දාසිය ඒ අනුව බෙහෙත් කර අගබිසව නීරෝගී කරගත් පුවතක් පාලි අටුවාවක දැක්වේ.

මෙසේ ආරාමික අධ්‍යාපනයෙන් බිහිවූ භික්‍ෂූන් වහන්සේ ගෘහනිර්මාණ, ප්‍රතිමා නෙළීම, බුද්ධ නීතිය හා ව්‍යවහාර නීතිය, අධිකරණ කටයුතු, අධිමානසික හැකියා, වෙදකම ආදී විවිධ විෂයයන්හි දක්‍ෂයෝ වූහ.

මහාවිහාරය ප්‍රමුඛ අධ්‍යාපනික ආයතනයන්හි ඉගැන්වූ ගුරුවරු ද විවිධ දක්‍ෂතා ඇති විශේෂඥයෝ වූහ. දවස ‘යාම’ වශයෙන් බෙදාගෙන මුලු දවස ම ඉගැන්වීම් සිදුකළ උන්වහන්සේ අතර සමස්ත ත්‍රිපිටක පිළිබඳ ප්‍රධානත්‍වය දැරූ ත්‍රිපිටකධාරී චූලනාග තෙරණුවෝ, විනය පිටකයේ ප්‍රවීණත්‍වය දැරූ ත්‍රිපිටකධාරී චූලාභය තෙරණුවෝ, සිසුන් පන්සීයකට ඉගැන්වූ විනයධාරී උපතිස්ස තෙරණුවෝ, අභිධර්මයෙහි විශේෂඥභාවය ලැබූ ග්‍රාමවාසී සුමනදේව තෙරණුවෝ පාලි අටුවාවන්හි ඇගයුමට පාත්‍රවෙති. (සම්භාෂා, 18 කලාපය, 645 පිටුව)

‘දැනුම’ වයස් භේදයකින් තොරව අගය කළ බවට නිදසුනක් සමන්තපාසාදිකා විනය අටුවාවේ දැක්වේ. (3 භාගය, හේවාවි. 816 පිටුව) කරවීකතිස්ස තෙරුන් වනාහී විනයධාරී භික්‍ෂූන් අතුරින් ප්‍රමුඛාචාර්ය වරයෙකි. (කරවීකතිස්සටත්‍ථරෝ කිර විනයධරපාමොක්ඛෝ) දිනක් කරවීකතිස්ස තෙරුන් තමන්ට වඩා වැඩිමහල් වූ මහාසිව තෙරුන් සමීපයට ගොස් වැඳ පුදා ආගිය තොරතුරු කථා කරනවිට ගිතෙල් කළයක් එම අරමෙහි තිබෙනු දැක, උපසපන් භික්‍ෂුවක් සමීපයේ මෙවැන්නක් තබාගෙන සිටීම යෝග්‍ය නොවන බව පැවසීය. මහාසිව තෙරණුවෝ වහාම සිය ශිෂ්‍ය නමගේ ප්‍රකාශය පිළිගෙන ගිතෙල් කළය ආරාමයෙන් පිටත තැබූහ. පසුව එය සොරු ගත්හ. මෙවැනි සඳහන්වලින් පෙනෙනුයේ වයෝවෘද්ධ තෙරවරු පවා දැනඋගත් බහුශ්‍රැත ශිෂ්‍ය හිමිවරුන්ගේ ධර්ම විනයට එකඟ ප්‍රකාශන අවිවාදයෙන් පිළිගත් බවයි. දැනුම හා හැකියාව (පුද්ගල කුසලතාව) ඇගයීම ආරාමික අධ්‍යාපනයේ විශිෂ්ඨ ලක්‍ෂණයකි.

අතීතයේ ආරාම, පන්සල්, සිප්හල්, ශාස්ත්‍රශාලා, ආයතන, මූල ආදී නාමයන්ගෙන් හැඳීන්වුණු ලාංකේය භික්‍ෂු අධ්‍යාපනය වර්තමානයේ පිරිවෙන් අධ්‍යාපනය යනුවෙන් හදුන්වනු ලැබේ. තත් පාරිවේණික අධ්‍යාපනයේ ගුණාත්මක භාවය විශේෂයෙන් රඳා පවතිනුයේ වාචෝද්ගත කිරීම (කටපාඩම) මත ය. මෙකල උගත්කමේ විශේෂ ලක්‍ෂණයක් වූයේ ස්මෘති හෙවත් ස්මරණ ශක්තියයි. (කරුණු රැසක් සිහියේ මතකයේ තබා ගැනීමේ හැකියාව ස්මරණ ශක්තියයි.) මුල්කාලයේ පුළුල් විෂයඩ ක්‍ෂේත්‍රයක් (සම්පූර්ණ නිකායක් හෝ පිටකයක්) වාචෝද්ගත කෙරුණි. උන්වහන්සේ ‘භාණක’ නාමයෙන් විශේෂ කෙරුණි. වාචෝද්ගත කළ දැනුම් කොටස් පෙළ, අක්‍ෂර, පද, ව්‍යංජන, නිරුක්ති, නිර්වචන යන විචාර ක්‍රම ඔස්සේ විමර්ශනය කෙරුණි. ‘ත්‍රිපිටක ග්‍රන්‍ථාරූඪයෙන් පසුව වාචෝද්ගත කරන කොටස් ක්‍රමයෙන් අඩු වී ගෙනගොස් අද වනවිට ඉතා ම අඩු කොටසක් (ග්‍රන්‍ථයකිනුත් පරිච්ඡේදයක් දෙකක්) වාචෝද්ගත කෙරේ.

වර්තමානයේ පාසල් අධ්‍යාපනයට වඩා වාචෝද්ගත කිරීමේ අංශයෙන් පිරිවෙන් අධ්‍යාපනය ප්‍රමුඛව සිටියි.

ඉපැරැණි ආරාමික අධ්‍යාපනයේ ව්‍යුහය සිවු පියවරකින් යුක්ත වූ බව ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියෝ පවසති. (සම්භාෂා, 18 කලාපය, 645 පිටුව) ඒ සිවු පියවර නම් පණ්ඩුපලාසයන් සඳහා වූ අධ්‍යාපනය, සාමණේර අධ්‍යාපනය, උපසම්පදාපේක්‍ෂක භික්‍ෂු අධ්‍යාපනය සහ උපසම්පදාවෙන් පසුව ලබන අධ්‍යාපනය යි.

මෙම සිවු පියවර අනුව පාරිවේණික අධ්‍යාපනය වනාහී යාවජීව අධ්‍යාපනයක් බව අවබෝධ වේ.

ග්‍රන්‍ථ හා විදර්ශනා ධුර සඳහා ඒ ඒ පියවරේ දී හදාළ යුතු විෂයය කොටස් වෙන වෙන ම නිර්දේශ වී පැවතුණි. සිවුවන පියවර අවසන් වන විට ධර්මධර, විනයධර අභිඥාලාභී, ශාසනභාරධාරී මහතෙරනමක් බිහිකිරීමට හැකියාව ලැබුණි.

බෞද්ධ විහාරස්ථාන මූලික කරගෙන ඇතිවූ මෙම පිරිවෙන් ආයතනයන්හි අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම නොමිලයේ ලබා දුන් අතර පැවිදි ශිෂ්‍යයෝ නේවාසික ව අධ්‍යාපනය ලැබූහ. රාජ්‍යානුග්‍රහයෙන් මෙම අධ්‍යාපනික ආයතන නඩත්තු විය.

මහනුවර යුගය වනවිට මෙම පිරිවෙන් අධ්‍යාපනය අන්තයට ම පිරිහීගොස් එකදු පිරිවෙනක් ලක්දිව නොතිබුණි. පන්සල්වල අධ්‍යාපනය ලබාදීම සාමාන්‍ය මට්ටමින් සිදුවිය. එක පොතක් ඉගෙන ගැනීමට ගුරුවරු කීපදෙනකු වෙත යෑමට සිසුන්ට සිදුවූයේ ගුරුවරු ද සම්පූර්ණ පොත හදාරා නොතිබුණු බැවිනි. පූජ්‍ය වැලිවිට සරණංකර සාමණේරයන් බාලාවතාරයේ නාමකාණ්ඩය එක් ගුරුවරයෙකුගෙන් හදාරා සමාස කාණ්ඩයේ සිට ඉතිරිය වෙනත් ගුරු මුඛයකින් උගත් බව පැවසේ. (සංඝරාජ සාධු චරියාව, සමයවර්ධන, 1997, 4 පිටුව)

කිතක කාණ්ඩයේ සිට වැල්ලේ ලියන සන්නය ඇතුලු පොත් ම ගුරු කර ගෙන ඉගෙනගත් උන්වහන්සේ ස්වෝත්සාහයෙන් ශිල්ප ශාස්ත්‍ර හදාරා ආරම්භ කළ නියමකන්ද පිරිවෙන වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ මූලාරම්භ විද්‍යාස්ථානය යි. අති පූජ්‍ය වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගෙන් ප්‍රාරබ්ධ බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායේ ව්‍යුහය මෙසේ සැකසුණු බව ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියෝ පවසති. (සම්භාෂා, 18 කලාපය, 649 පිටුව)

සාක්‍ෂරතා ඥානය වර්ධනය කිරීම, වණ පොත් කිරීම, අර්ථාවබෝධය, තුලනය කිරීම ,ශිෂ්‍ය කේන්‍ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් අනුගමනය කිරීම හා දැනුම අඛණ්ඩ ඇගයීමකට ලක් කිරීම නියමකන්ද පිරිවෙනින් ශාස්ත්‍ර උගත් විද්වත් ශිෂ්‍ය දෙනමකගෙන් ඇරඹුණු විද්‍යෝදය (ක්‍රි.ව. 1872 දී) හා විද්‍යාලංකාර (ක්‍රි.ව. 1875 දී) මහ පිරිවෙන් දෙක වර්තමාන ලාංකේය පිරිවෙන් අධ්‍යාපනයේ සුවිශේෂී අවස්ථාවකි.

විද්‍යාධාර හා විද්‍යාලංකාර සභා දෙකින් පාලනය වන මුලදී ඉංග්‍රීසි රජයේ ආධාර ලබා නොගත් මෙම පිරිවෙන් දෙකින් අනුරාධපුර හා කෝට්ටේ යුගවල පැවතියා හා සමාන වූ ගුණාත්මක පිරිවෙන් අධ්‍යාපනයක් පැවිදි සිසුන්ට ලබාදුණි. මුල දී ගිහි ශිෂ්‍යයෝ මේ පිරිවෙන්වල අධ්‍යාපනය නොලැබූහ. පාලි, සිංහල, සංස්කෘත, ප්‍රාකෘත භාෂා, තත් ව්‍යාකරණයන්, තත් සාහිත්‍යයන්, ඡන්දෝලංකාර, ධර්මය හා විනය, ලංකා ඉතිහාසය, පුරාවිද්‍යාව, ශිලාලේඛන, තර්ක ශාස්ත්‍රය, ගණිතය, ඉංග්‍රීසි භාෂාව ආදී විෂයය 19 ක් මෙම පිරිවෙන් දෙකෙහි ඉගැන්විණි.

සමය සමයාන්තර ඥානයත්, අතීත උරුමය හා ස්වකීය අනන්‍යතාවය හඳුනාගැනීමත්, භාෂා දැනුමත් නවලොව හා සබඳතා තහවුරු කර ගැනීමේ හැකියාවත් ලබා දෙන පරිදි මෙම ස්වාධීන පිරිවෙන් ආයතනවල විෂය ඉගැන්වීම් ප්‍රවීණ (ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත) ආචාර්ය මණ්ඩලයක් මගින් සිදුකෙරුණි. අදීන භික්‍ෂු ජීවිතයේ උන්නතිය ඇතිකිරීමටත් ශ්‍රමණ සාරුප්‍ය ශාසනානුලෝමී පැවැත්ම අවිච්ඡින්න ව ආරක්‍ෂා කර ගැනීමටත් මුල් කාලයේ ඇතිවූ පිරිවෙන් ආයතනවලට හැකියාව ලැබුණි. යටත්විජිත සමයේ දී බෞද්ධ ගිහි සිසු සිසුවියන් වෙනුවෙන් ඒ ඒ ප්‍රදේශවල විසූ දූරදර්ශී භික්‍ෂූන් වහන්සේගේ පුරෝගාමීත්‍වයෙන් බෞද්ධ පාඨශාලා ආරම්භ කෙරුණි. පන්සලේ මෙතෙක් කුඩාවට පැවති ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පන්සලේ ඉඩමක ම විහාරස්ථානයෙන් මදක් දුරස් කර බෞද්ධ පාසල් පිහිටුවන ලදී. පසුව ඒවා රජයට පවරා ගන්නා ලදී.

උක්ත ප්‍රධාන පිරිවෙන් ආයතන දෙකින් ධර්ම විනය මනාව උගත් හිමිවරුන්ගෙන් ලංකාව පුරා පිරිවෙන් ආයතන රාශියක් බිහිවිය. න ණ ල ළ භේදය, සිවුරු පෙරවීම (පාරුපන වාදය) ආදී වාද විවාද මතවාද මගින් නව සාහිත්‍ය ප්‍රබෝධයක් මෙම පිරිවෙන් ආයතන නිසා ලක්දිව පුරා ඇතිවිය. දැනුමෙන් සපිරුණු සැබෑ භික්‍ෂු පිරිසක් තැනීම පිරිවෙන් අධ්‍යාපනයේ මූලික අරමුණ විය. සාමණේර අවස්ථාවේ සිට ස්ථවිර භාවය දක්වා ම අවශ්‍ය ශාසනානුලෝමී පරිපූර්ණ පැවිදි ශික්‍ෂණය, ඇවතුම් පැවතුම්, ගුණ ධර්ම, බණපිරිත් පුහුණුව, ආයති සංවරය සමඟ ධර්ම හා විනය පිළිබඳ ප්‍රවීණතාව ලබා දීමට පිරිවෙන් ආයතන මෙහෙය වූ යතිවරු උත්සුක වූහ.

ලංකාවේ පාසල් අධ්‍යාපනය සියතට ගැනීමෙන් ඉංග්‍රීසීන් අපේක්‍ෂා කළ ප්‍රතිඵල නොලැබුණේ මෙම ස්වාධීන පිරිවෙන් ආයතන නිසා යැයි ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියෝ පවසති. (සම්භාෂා, 18 කලාපය, 651 පිටුව) මෙනිසා ඉංග්‍රීසිහු පිරිවෙන්වලට වාර්ෂික ආධාරයක් පිරිනැමීමට කූටෝපක්‍රම සලසා ගත්හ. එය තමන් වහන්සේට ආශිර්වාදයකැයි සිතූ පිරිවෙන් කරවූ යතිවරු ඊට කැමතිවූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ රජයේ චක්‍රලේඛන, උපදෙස් හා නියෝග මාලාවන්ට කෘත්‍යාධිකාරී, පරිවේණාධිපති හිමිවරු යටත් කර ගැනීමයි. නිදහස ලැබීමෙන් පසුවත් මෙම තත්වය වෙනස් වූයේ නැත.

1979 අංක 64 දරන වර්තමානයේ ක්‍රියාත්මක පිරිවෙන් පනත 2023 වසර වනවිට දසක හතරකටත් වඩා පැරණි වී තිබේ. වත්මන පිරිවෙන් පාලනය කෙරෙනුයේ වසර 44 ට පෙර තිබූ නීති සමාජ තත්ත්‍වයන් අනුව ය. අදවන විට ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. නමුත් පිරිවෙන යල්පැන ගිය පනතකින් පාලනය කෙරේ. ඒ පනත අනුව මූලික, මහ, විද්‍යායතන යනුවෙන් පිරිවෙන් වර්ග තුනකි. ගිහි පැවිදි සියල්ලන්ට පිරිවෙන් අධ්‍යාපනය ලැබිය හැකි සේ නීති හා සම්ප්‍රදායයන් වෙනස් කෙරුණි. රජයේ හා ප්‍රාචීන භාෂෝපාකාර සමාගමේ විභාගවලට සිසුන් ඉදිරිපත් කිරීමත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සිසුන් සූදානම් කිරීමත් පමණක් අද්‍යතන පිරිවෙන් ආයතනවලින් සිදුවේ. පනතේ සඳහන් අරමුණු පරමාර්ථ හුදු වාගාලාප පමණි. නියෝග පැනවීම, චක්‍රලේඛ නිකුත් කිරීම, පිරිවෙන් පරීක්‍ෂා කිරීම, පරිවේණාචාර්යවරුන්ට වැටුප් ගෙවීම ආදී කටයුතු සිදුවන්නේ පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය හරහා රජයෙනි. පාසල් ගුරුවරයාගේ තත්ත්‍වයට පරිවේණාචාර්යවරු පත්කර ඇතැයි ඇතැමෙක් කියූවත් තවමත් පිරිවෙන් ගුරුවරයා අර්ධ රාජ්‍ය නිලධාරියෙකි. ඔවුහු අතෘප්තිමත් ව පිරිවෙන්වල සේවය කරන අතර ඉඩලද වහා වෙනත් රැකියා අවස්ථාවන්ට යොමුවෙති. මෙවැනි තත්ත්‍වයන් තුළ පිරිවෙන් තුළ ගුණාත්මක වර්ධනයක් කෙසේ ඇතිකරන්න ද?

පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැති කිරීමේ ප්‍රතිඵල වූයේ භික්‍ෂුත්‍වයේ වටිනාකම නොහඳුනාගත් පැවිදි ශිෂ්‍ය පිරිසක් බිහිවීමයි. මූලික ශ්‍රේණියේ සිට උසස් පෙළ හා ප්‍රාචීන අවසානය දක්වා අධ්‍යාපනය ලැබ විශ්වවිද්‍යාලයට යන පැවිදි සිසුන්ගෙන් සියයට අසූවකටත් වඩා උපැවිදි වෙති. සිවුරේ රැඳී සිටින සමහරු උද්ඝෝෂණවල දී දුර්ගුණ ප්‍රකට කරන අතර ම විශ්වවිද්‍යාලය තුළ අශාසනික කටයුතුවල හිරිඔතප් දෙකින් වියුක්තව ක්‍රියා කරති. ඇතැමෙක් ඒවා සාධාරණීකරණය කිරීමට තරම් ධර්ම විනය දැනුමෙන් තොරවූවෝ වෙති. අතීතයේ රාජරාජමහා මාත්‍යාදීන්ට පවා ධර්ම විනය ඉගැන්වූයේ ලාංකේය පිරිවෙන් අධ්‍යාපනය මැනවින් ලැබූ මහ තෙරවරු ය. කීර්ති ශ්‍රී රාජාධිරාජසිංහ රජතුමාගේ රාජසභාවට පූජ්‍ය කරතොට ධර්මාරාම නා හිමියන් ඉදිරිපත් කළ ‘බාරස කාව්‍ය’ (බරනමගබසක) නම් දුෂ්කර නිබන්‍ධය කියවීමටවත් දක්‍ෂයෙක් එකල රාජ සභාවේ නොසිටි බව පැවසේ. පසුව කතු හිමියන්ට ම රාජ සභාවට වැඩ බාරස කාව්‍යයේ සඳහන් පද්‍ය තුන ඇසුරින් ගාථා 12 ක් පවසා එහි අර්ථ පැවසීමට සිදුවිය. සරණංකර සංඝරාජයන් වහන්සේගෙන් ප්‍රාරබ්ධ පිරිවෙන් අධ්‍යාපනය ලැබූ හිමිවරු රාජසභාවෙහි එවැනි දක්‍ෂතා දැක්වූවත් අද පිරිවෙන්වලින් අධ්‍යාපනය ලබා පිටවන බොහෝ ගිහි පැවිදි ශිෂ්‍යයන්ට පාලි සංස්කෘත වචන නිවැරැදිව උසුරුවීමට ත් අපහසු ය. (සම්භාෂා, 18 කලාපය, 652 පිටුව)

පාලි සංස්කෘත මළ භාෂා යැයි ගරහන සරසවි ශිෂ්‍ය ප්‍රජාව ප්‍රාචීන අධ්‍යාපනයෙන් බොහෝදුරට දුරස් ව වෙනත් ලෞකික විෂයාධ්‍යයනයට යොමුවෙති. වර්තමාන පිරිවෙන් අධ්‍යාපනයේ පවත්නා අකර්මණ්‍යභාවය නිසා සිංහල ඉංග්‍රීසි භාෂාවන්වත් මැනවින් නොහදාළ ශිෂ්‍ය ප්‍රජාවක් බිහිව ඇත. මෙම තත්ත්‍වය ඉවත් කර අතීතයේ පැවති ගුණාත්මකභාවයෙන් පිරිපුන් විද්‍යාස්ථානයන් බවට අනාගත ලාංකේය පිරිවෙන් පද්ධතිය පත්කිරීම කාලීන අවශ්‍යතාවකි.