Print this Article


දුර්ලභ ව ලැබිය යුතු කරුණු හතරක්

සසර පුරා සපුරන පින ජීවිතයට සුව ගෙන දෙයි

දුර්ලභ, අසීරු, අමාරු, අපහසු යන වචන අප කනට එතරම් සුවදායක නොවන වග අමුතුවෙන් කිව යුතු නැත. නමුදු එහි වටිනාකම ඇත්තේ ද ඒ තුළ ම ය. අප ලේසියෙන් ලබා ගන්නා දේකට වඩා අමාරුවෙන් ලබා ගන්නා දෙයක් අපට ඉතා වැදගත් වනු ඇත.

අප සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ නොයෙක් දේ පහසුවෙන් ලබා ගනු ඇත. අද කාලය වන විට මුදල් තුළින් සියල්ල නිර්ණය වනු ඇත. එසේ වුව ද කොතරම් මුදල් තිබුණත්, කුමන හැකියාවන් තිබුණත් දුර්ලභ කරුණු හතර ලබා ගැනීම අපහසු බව බුදු හිමි දේශනා කොට ඇත. ධම්ම පදයේ බුද්ධ වග්ගයෙ 4 වැනි ගාථාව මේ සම්බන්ධ ව ඉතා වැදගත් වේ. එනම්,

“කිච්ඡො මනුස්ස පටිලාභො
කිච්ඡං මච්චානං ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිච්ඡො බුද්ධානං උප්පාදෝ”

මිනිසත් බව ලැබුම හා දිවි රැකුම දුෂ්කර ය. සදහම් ඇසුම හා බුදු උපත ලැබීම ද දුෂ්කර ය. පළමු කාරණය වන්නේ මිනිසත් බව ලැබීමයි. සත්වයන් අතර උසස් ම සත්වයා ලෙස සැලකෙන්නේ මිනිසායි. එයට හේතුව උසස් මනසක් ලැබීමයි. අන් සත්ත්වයෝ බොහෝ දුරට අනුකරණයෙන් හා බියට, සැකයට එම ආත්මය තුළ යම් යම් දේ සිදු කරති. නමුදු මිනිසාට ඕනෑම දෙයක් සිතා බලා විනිශ්චය කොට තීරණය කළ හැකි ය. එතැනදී කාලාම සූත්‍රයේ සඳහන් පරිදි කරුණු 10න් බැහැර වී යමක් කුසල ය, නිර්වද්‍යය, නුවණැත්තන්ගේ ප්‍රශංසාවට හේතු ය. සමාදන් වී සම්පූර්ණ කිරීම හිත පිණිස, සැප පිණිස හේතු වේ යනුවෙන් තමාට ම වැටහේ ද එවිට එහි යෙදීමට පුළුවන් ආකාරයට ධර්මය වැළඳ ගැනීම උසස් මනසක් ලැබූ මිනිසාට කළ හැකි බව පැහැදිලි කොට ඇත.

“කිච්ඡෝ මනුස්ස පටිලාභෝ” යනුවෙන් වදාළේ එම හේතුව නිසා ය. ඉතා දුක සේ මහත් පිනකින් ලැබිය යුතු දෙයක් ලෙස එය විග්‍රහ කොට ඇත.

“දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” යනුවෙන් ලෝවැඩ සඟරාවේ ද ඒ බව පැහැදිලි කොට ඇත. තව පැත්තකින් අංග සම්පූර්ණ මිනිස් දිවියක් ලැබීම ද අසීරු කාර්යයකි. ඒ සඳහා සසර පින් අවශ්‍ය වේ. අද සමාජය දෙස බැලීමේ දී ඒ බව ප්‍රත්‍යක්ෂ වේ. අඳ, ගොළු, බිහිරි නොවී, අත් පා ආදී අවයව වකුටු නොවී අංග සම්පූර්ණ ශරීරයක් ලැබීම දුර්ලභ බැවින් ද, මිනිස් ආත්මයක් ලැබීම අන් සියල්ලට ම වඩා උතුම් සේ ම දුර්ලබ වන්නේ ය. “දුල්ලභංච මනුස්සත්තං” යන ආකාරයට දුර්ලභ ව ලැබූ මිනිස් බව රැක ගැනීමටත් ගුණ ධර්ම ප්‍රගුණ කරමින්, පින් දහම් සිදු කරමින් මිනිස් දිවිය අර්ථවත් කර ගැනීමටත් නොපසුබට විය යුතු ය.

දෙවැනි කාරණය දිවි රැක ගැනීම නොහොත් පවත්වා ගැනීම අපහසු බව ය. අප ලද දිවිය හරියට තණ අග පිනි බිඳක් හා සමාන ය. ක්ෂණයකින් විනාශ වීමේ ප්‍රවණතාව වැඩි ය. ස්වභාවික විපත්, සංසාරික කර්ම ශක්තීන්, ඇසුරු කරන්නන්ගෙන් වන අයහපත් ක්‍රියා, සතා සිවුපාවුන්ගෙන් සිදු වන හානි ආදී වශයෙන් නිතර මිනිස් දිවියට එළඹෙන අනතුරු එමට ය. එලෙස ජීවත්වීම උදෙසා නොයෙක් රැකී රක්ෂා කිරීමට සිදු වේ. එලෙසම මෙම ශරීරය නිතර පෝෂණය කළ යුතු ව ඇත. ආහාර - පාන, බේත් – හේත්, ඇඳුම් – පැළඳුම්, ගෙවල් – දොරවල්, ශරීරය සඳහා වෙන් කළ යුතු ය. මේ සියල්ල ම කිරීමට පුංචි කාලයක් පවතින බැවින් ද, එතුළිනුත් නින්දට ජීවිතයේ භාගයක්ම ගෙවන බැවින් ද දිවි පැවැත්ම ඉතා දුෂ්කර කාර්යයක් වන්නේ ය.

තෙවැනි කාරණයෙන් පැහැදිලි වන්නේ සදහම් ඇසීම දුෂ්කර බව ය. “කිච්ඡං සද්ධම්ම සවණං” යනුවෙන් දේශනා කළේ එයයි. හැම යුගයක් තුළම සද්ධර්මය ඇසීමට නොලැබේ. සමහර යුගවල සද්ධර්මය ඇසීමට තබා සිතීමටවත් අපහසු ය. දහම් සොඬ කතා පුවතෙන් ඒ බව මනාව පැහැදිලි වේ. සදහම් ඇසීමට බුදු කෙනෙකු ලොව පහළ විය යුතු ය.

“සද්ධම්මෝ පරම දුල්ලභෝ” යනුවෙන් අර්ථවත් වන්නේ එහි අසීරු බව හා දුර්ලභ බව ය.

ධර්මය නම් පරියාප්ති ධර්මය හා නව ලෝකෝත්තර ධර්මය යන දසවිද ධර්මයයි. පර්යාප්ති ධර්මය යනු තෙවලා බුදු බණයි. නව ලෝකෝත්තර ධර්මය යනු සතර මඟ, සතර ඵල හා නිවන යන්නයි. ඒවා ඇසීම අපහසු කාර්යයකි. ධර්මය තිබුණ ද තම තම නැණ පමණින් ම දැන ගත යුතු වන්නේ ය.

“සුඛා සද්ධම්ම දේශනා” ධර්මය ඇසීමට ඇත්නම් එය සැප පිණිස පවතී.

බුදු උපතක් සිදුවීම සිව් වැනි දුෂ්කර කාර්යයයි. බුදු කෙනෙක් ලොව පහළවීම කප් කෙළ සුවහස් ගණනකිනුදු සිදු නොවන්නකි.

“බුද්ධෝත්පාදෝව දුල්ලභෝ” යනුවෙන් ද, “කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ” යනුවෙන් ද, බුදු උපත දුර්ලභ බවත් අසීරු බවත්, පැහැදිලි වේ. ඒ සඳහා නියත විවරණ ලැබීම හා දස පාරමිතා තුන් ආකාරයකින් සම්පූර්ණ කිරීම ද කළ යුතු ය. “කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ’ යනුවෙන් ලෝවැඩ සඟරාවේ අති දීර්ඝ කාලයකින් බුදු උපත සිදු වන බව පැහැදිලි වන්නේ එම කරුණූ පදනම් කර ගෙන ය.

“සුඛෝ බුද්ධානං උප්පාදෝ” යනුවෙන් බුදු උපත තුන්ලොවට ම සැපතක් වන්නේ එම දුෂ්කර බව හේතුවෙනි.

ඉහත කරුණු හතර ම ලැබීම දුෂ්කර කාර්යයෝ වෙති. කිච්ඡෝ යනුවෙන් හැඳින්වෙන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා මිනිස් දිවිය ලැබීම අසීරු වන බවයි. නමුදු අද මේ කරුණුවල වටිනාකම අවබෝධ නොවී තිබීම කනගාටුවට කරුණකි. දීර්ඝ සංසාර චක්‍රයට හසු වී සිටින අප මිනිසත් බව නැමැති උතුම් ම, ශ්‍රේෂ්ඨතම ආත්ම භාවය ලබා ඇති මුත් ඉන් නිසියාකාර ව ප්‍රයෝජනය ලබා ගන්නේ ස්වල්ප දෙනෙකි. බොහෝ දෙනෙක් ගුණ ධර්ම, යුතුකම් හා වගකීම්, සිරිත් විරිත් වලපල්ලට දමා තිබේ. ආත්මාර්ථකාමී සමාජයක් තුළ මිනිසත්කම කැලෑ වැදී ඇත. පැණි හැළියට වැටුණු ඇඹලයෙක් සේ සැප යැයි සිතා දුක් ම විඳිති. ආධ්‍යාත්මික ගුණධර්ම ප්‍රගුණ කිරීම, වර්ධනය කිරීම ඉදිරියට කල් දමාගෙන ඇත. ඔවුන් පිළිබඳ බුදුරදුන් දේශනා කළේ “පමාදෝ මච්චුනෝ පදං” ප්‍රමාද වූවෝ මලවුන් හා සමාන බවය. මිනිසත් බවෙන් විය යුතු ක්‍රියාවලිය දැන හඳුනාගෙන අද අද ම එය කළ යුතු ය. හෙටට කල් දැමීම බුදු දහමේ පිළිවෙත නොවේ. ප්‍රමාද නොවී නිවන් මඟට පිවිස, ඒ ඔස්සේ ගමන් කළ යුතු ය. නැතිනම් හුස්ම පොද පිටවීමට පෙර දුක් වීමට සිදු වනු නියත ය. එම හේතුවෙන් පරලොව දිවිය ද අභෞව්‍යස්ථානවල ඉපදීමට එය හේතුවක් වනු ඇත. ඉහත කරුණු සිහියට ගෙන, යුතුකම් වගකීම් ඉටු කරමින්, පින් දහම් ද සිදු කරමින්, ගුණ ධර්ම ද ප්‍රගුණ කරමින් දුර්ලභ ව ලද මිනිසත් බව අර්ථවත් කර ගැනීමට උත්සාහවත් වෙමු.